Friday, 23 December 2016

09 කොටස - නැහැ, දැන් ඔබ එය අතහැර දමන්න


මෙතෙක් නොතිබූ ධෛර්යයක් සහ නිර්භීතකමක් මේ මොහොතේ කෝදුරුවා කරා පැමිණියේය. ඉතාම තීරණාත්මක අවස්ථා වල තමාට එසේ සිදුවන බව ඔහු අත්දැකීමන් දනී. කොහොමටත් නිකුත්ව තිබූ රාජාඥාවටම මුවහ ව සිටිමින් ඔහු, ගැබුරු, නොසැසලන හඩකින් ගාමිණී අභයට මෙසේ කීවේය.

"තරහ වසර, ඔබ වහන්සේට මේ රෑ රාත්‍රියේ එලියට පහලියට යාමට ඉඩ නොදෙන්නැයි රාජාඥාවක් තිබෙනවා..."

තමා ඉතා නිවැරදි ස්වර ස්ථානයකින් යුක්තව ද, ඉතාම ප්‍රභල හඩකින් යුක්තව ද එය ප්‍රකාශ කලේ  යැයි කෝදුරුවාට සිතුනේ තම සිංහ හඩ ඇසී මොහොතකට බිමට යොමු වුනු ගාමිණී අභය කුමරුගේ දෙනෙත් දැකීමෙනි.


සියල්ල හරි! භාතිකට ද හැගුනේ ය.


මේ රජකුමරුවා පුදුම නිහතමානී පුද්ගලයෙකි. දැන් නිහතමානීකම මිනිසෙකුට මරු කැදවන වෙලාවයි.


සිත මහා පුදුම තැනකි. භාතිකසේ සිත ඒ ක්ෂණයෙහි අනුරාධපුරය අසල කුඩා නගරයක, ඉහල පෙලේ නිලධාරියෙකුට අයත් මන්දිරයක සදළුතලය කරා දිව ගිසේය. අනතුරුව ඔහු, තම ප්‍රියම්බිකාව සමග ඒ සදළුතලසේ සැදෑසුව විදින මහා සෙනෙවියාගේ මුහුණට එබී බැලුවේය. 


ඒ තමාය. මහා සෙනෙවි භාතිකය, තම අසල දැවටෙමින් පෙම් බස් මුමුනන්නේ ගුණනිකා හෙවත් කෝදුරුවාගේ බිරිය ය.

"ඇරපිය!!"

එහෙත් මහා කන්දක් කඩා වැටෙන්න සේ ඇසුණු ගාමිණී අබය ගේ ගර්ජනයෙන් තිගැස්සී ගිය භාතික, හැකි ඉතාම කුඩා කාලයකින් රජරටට යවා තිබුන තම සිත ආපසු ගෙන්වා ගත්තේය. 


ඒ වන විටත් සියලු ධෛර්යන්ගෙන් පිරිහී ගොස් සිටි කෝදුරුවා, තම සිරුර දහඅට පලකින් නවා කුමරුට ආචාර ද කොට දොර දෙපියන් විවෘත කර දී හමාරය.


මේ සිදුවීම කොතරම් සුළු කාලය් තුල සිදු වුසේ ද යත්, එය කෝදුරුවා කෙරෙන යම් ප්‍රමාදයක් හෝ අතපසු වීමක් සිදු වුවහොත්, දෙවනුව එල්ල කිරීමට බලාපොරොත්තු ව සිටි භාතිකගේ විකල්ප ප්‍රහාරය ද වැලක්වූයේය. සඟවා සිටි තියුණු සිරියට යැවුණු භාතිකසේ සුරත එසේ තිබියදී ම විවර වූ දොර පියන් වලින් එහා පෙනුණු දර්ශනයෙන් භාතිකගේ ද උගුරේ  කටේ කෙළ සිදී ගියේය.


නන්දිමිත්‍ර, ගෝඨයිම්බර, සුරනිමල ඇතුළු ගාමිණී අභයගේ ප්‍රධාන පෙලේ සෙනෙවිවරුන් කීප දෙනෙක්ම දොරින් එහා ඔහු එනතුරු රැදී සිටි නිසාය.

දොරින් එහා මුර සෙබලුගේ ආචාරය මධ්‍යයේ ගාමිණී අබය කුමාරයෝ තම සෙනවිවරුන් වෙත ගියහ. තව නොබෝ වේලාවකින් ඔවුන් තම තමන්ගේ අසුන් පිට නැගී මාලිගයෙන් පිටව යනු ඇත.


මේ දිනවල දිවා කාලයේ මාගම රාජධානිය පුරා පවතින අධික උෂ්ණත්වය නිසා බොහෝ සටන් පුහුණු කදවුරු පැවැත්වුයේ රාත්‍රී කාලවලදී ය.


⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆

රජරට රාජ්‍යයේ මෙන්ම රුහුණු රාජ්‍යයේ ද කතාකරුවෝ බෙහෙවින් සිටියහ. මිනිසුන් එක තැනකට රස කරන ඔවුහු, ත්‍රාසය, භීතිය, කුතුහලය, මෛත්‍රිය පමණක් නොව විනෝදය ද සැපයූ පුරාන කතා මිනිසුන්ට කීහ. මේ බොහෝ කතා මිත්‍යා කතා වූ අතර ඒවායේ ඇදහිය හැකි නොහැකි බව පිළිබද මිනිසුන්ට ප්‍රශ්නයක් නොවීය. භික්ෂුන් වහන්සේ ගේ ධර්ම දේශනය තුලින් තමන් ලබා ගන්නා සාදු ආදේශයත්, ජීවිත පරිඥානයත් සේම මේ කතා කරුවන්ගෙන් ද තමන්ගේ ජීවිතයට ලබා ගත් බොහෝ දේ තිබිණි.

මේ කතාකරුවන් ශතවර්ෂ ගණනාවක් පැරණි ජන ජනශ්‍රතින් පමණක් නොව, ඒ ජනශ්‍රතින් තුල දැවටී තිබුණු පැරනියන්ගේ පණිවිඩ ද රැසගන ආහ.


මෙයට බොහෝ කාලයකට පෙර මුහුද ගොඩ ගලා ගම් නියම්ගම් යට වී යැයි යන්න එසේ පැමිණි එක් පණිවිඩයකි. තමන් ජීවත් වෙන්නේ විශාල මුහුදක් මැද පිහිටි කුඩා දූපතක ය යන්න දන සිටි මිනිසුන්ට මේ කතාව විශ්වාස නොකිරීමට හේතුවක් තිබුනේ නැත.


මේ කතාවක සඳහන් වුයේ එක්තරා පසළොස්වක පොහොය දිනක හිටි වනම යොදුන් ගණනක් දුරට මුහුද සිදීගිය බවය. අපූර්ව දෙයක් වුව ද මෙය නම් කදිම අත්දැකීමක් යැයි සිතූ සමහර මිනිසුන් එකල්හි, සිදී ගිය මුහුදු පත්ලේ දස අතට දිව ගිය බවද, පන ගැහෙන මත්සයන් අල්ලමින් කෙළිදෙලෙන් හැසිරුණු බවද එවිට දනක් පමණ යලිත් සාගර ජලය සපැමිණි බව ද ඉන් කියවිණි. මෙහිදී දැනුමැතියන් වහාම ගොඩට එන්න යැයි දුන් අවවාද නොතකා සමහරු දනක් පමණ සාගර ජලයේම ලැග සිටියෝය. ඊලගට උකුලක් පමණ රල ආ කල ද ඒ අතරින් යම් පිරිසක් විනෝද වෙමින් සිටි අතර, ඒ සමගම තැන මත්තක් රල නැගී එන විට ආපසු ගොඩබිමට දිව ඒමට තැත් කල ද ඔවුන් පමා වුවා වැඩි විය. ඊලග මොහොතේ ඔවුන් පමණක් නොව සාගරය ආසන්නයේ රැදී සිටි සහ වාසය කල දහස ගණන් බිලි ගනිමින් නැගී ආ , එකපිට එක තැබූ තෙලබු ගස දහයක් තරම් උස මහා රල ප්‍රවාහයක්  රුහුණු රාජ්‍යය දෙවනත් කල බවද ඒ කතාවෙන් කියැවිණි.


මේ කතාව විශ්වාස නොකිරීමට කැප වුවන් පිරිසක් සිටින්නට ඇතත් මෙය විශ්වාස කල කල්‍යාණි, මාගම, කාචරගාම යන කිසිදු රාජ්‍යයක වැසියෙක් සමුද්‍රයට ඉතා ආසන්නසේ කිසිදු ස්ථිර ගොඩනැගිල්ලක් ඉදි නොකළහ. වාසයට නොගියහ. යම් හෙයකින් එසේ කළා නම් ඒ සමුද්‍රාසන්න වුවත් උස භූමියකම විය.


කතන්දර වල සදහන් වූ සියල්ලම බියකරු යතාර්ථය බවට පත කරමින් යලිත් මුහුද ගොඩ ගැලීය.


කතන්දර වලට පින්සිදු වෙන්නට මෙවර අමනොඥ ලෙස එයට ගොදුරු වූ මිනිසුන් කිසිවෙක් නොසිටියත්, මේ බියකරු සාගර ප්‍රහාරයෙන් විශාල ජනතාවක් ද, කල්‍යාණි 
රාජ්‍යයේ විශාල කොටසක් ද විනාශ වී ගියේය. මේ වන විට මාගම රාජ්යට ම එක් වී තිබුන කාචර ගාම පැරණි රාජ්‍යයේ  විශාල කොටසක් ද ඒ ඉරණමට ගොදුරු වූ මුත් මාගම රාජ්‍යයට නම් ඒ සා විසාල ව්‍යසනයක් සිදු වුසේ නැත. වරාය සහ අනෙකුත් තොටමුනු සියල්ල විනාශ වුවා පමණකි. මේ නිසා නතර වූ විදේශ වෙළදාම යලි ආරම්භ කිරීම සදහා වරාය සහ අනෙකුත් වෙළද තොටමුනු ප්‍රතිසංස්කරණයට ලහි ලහියේ පියවර ගන්නා අතරම මහා ව්‍යසනයට  ලක්වූ කල්‍යාණි රාජ්‍යයට කල හැකි සියලුම උපකාර කිරීමට ද කාවන්තිස්ස රජු තීරණය කළේය.

ස්වකීය වයෝවෘදතම ඥාතියා වූ රජරට පාලනය කල අසසේ රජුගෙන් ද මෙහිදී ඔහුට නොමද සහයක් ලැබිණි.

මුහුද ගොඩ ගැලීම 
කල්‍යාණි රාජ්‍යයේ පමණක් නොව කල්‍යාණි රජ පවුලේ ද ඛේදවාචකයක් විය. රාජ්‍යයට වුන විනාශය සියසින්ම දැකගැනීමට ගිය ගමනේ දී ස්වකීය හස්තියා ද සමග වගුරු බිමක ගිලී මරණයට පත් වූ කැලණිතිස්ස රජු පිළිබද පුවත කාවන්තිස්ස රජතුමාට අසන්නට ලැබුනේ මදක් ප්‍රමාදවය.

ඒ වන විටද බ්‍රාහ්මණ උපදේශකයන්ගේ උපදේශය පරිදි කැලණිතිස්ස රජු තම එකම දූ වූ දේවි කුමරිය, ඇගේ ද කැමැත්ත පරිදි කෝපයට පත් මුහුදු දේවතාවා සන්සිදුවනු පිණිස යම් පූජාකර්මයක යොදවා සිටිසේය. නියත වශයෙන්ම එය බිලි පූජාවක් බව දත් කාවන්තිස්ස, තමා කුඩා කල පටන් දන්නා සුරූපී දේවී කුමරිය මුදා ගනු පිණිස උදම් රැලෙන් බේරී ඉතිරි වුනු කුඩා නෞකාව් යෙදුවේ.

එහෙත් ඒ නෞකාවට දේවී ගමන් ගත් ‘රජකුගේ දුවක්’ යනුවෙන් සදහන් කුඩා නෞකාව කිසි දිනක හමුවුයේ නැත. දේවී ගමන් ගත් නෞකාව, මාගම බල ප්‍රදේශයේ තොලක ප්‍රදේශයට සේන්දු වුයේ ඒ අතරය.


ඇය උණුසුම් ලෙස පිළිගත් කාවන්තිස්ස රජු, තම අග බිසව වශයෙන් ඇයව එදාම අභිෂේක කළේය. අරාජික කල්‍යාණි රාජ්ය ද ඒ සමග ම ඔහුගේ අනසකට යටත් විය.


මේ අවුඅස්සේ සිදු වූ දෙවන ඛේදවාචකය වුසේ වයබදිග මහාතිත්තයෙන් සින්හලදීපයට ගොඩබට නොහදුනන මහා ආක්‍රමණික හමුදාව සිදු කල දේ ය.

මහාතිත්තය, උදම් රැලේ ප්‍රහාරයට ලක් නොවූ ප්‍රදේශයකි. මුලදී කවුරුනුත් සිතුවේ මහාතිත්ථ වරායේත් අසල මුහුදේත් නැංගුරම් ලා තිබෙන මහා නෞකා සමුහය, විනාශ වූ කල්‍යාණියට ආධාර පිණිස පැමිණි විදේශ රටක අධාරක නෞකා පන්තියක් බවය. නමුත් එය එසේ නොවන බව වැටහෙන විට රජරට පමණක් නොව මාගමද හොදටම ප්‍රමාද වී තිබුනේය. නැතහොත් ඒ මහා ව්‍යසනය මොහොතේ රජරටට ආධාර පිණිස යුද්ධයට එකතු වීමට කාවන්තිස්ස රජුට හැකියාවක් නොතිබුනේය.


සතුරා නියමිත මොහොතේ නියමිත තැනට පිවිස සිටියේය. මේ ඔහුගේ වේලාවයි. 

"මතක තබා ගන්න, අපගේ අවස්ථාවත් එලබෙනවා.." 

කාවන්තිස්ස රජු අවකාශයට තෙපළේ ය.

එහෙත් දශක දෙකකට අධික කාලයක් ගත වීත්, ඔහුට ඒ අවස්තාව උදා වුයේ නැත.


"මතක තබා ගන්න, මා ඒ අවස්ථාව අතහැර නෑ.."


රජු දැඩි අධිෂ්ඨානයකින් අවකාශයට කීවේය. මෙවර අවකාශය ඔහුට පෙරලා මෙසේ කීවේය.

"නැහැ, දැන් ඔබ එය අතහැර දමන්න. ඔබගේ අතිජාත පුතුන් එය ඉටු කරනවා ඇත."


කාවන්තිස්ස රජු තම දරුවනට මහත් සේ ආදරය කළහ.


තම අගබිසවසේ පුත්‍රයන් වූ ගාමිණී, තිස්ස දෙපලට සේම අන් බිසවකගේ පුත්‍රයෙකු වූ දීඝාභයට ද ඔහු මහත් සේ ආදරය කළේය. ඔවුන් කිසිවෙකුත් යුද්ධය නැමති බිහිසුණු ක්‍රියාවලියට මැදිවනවා දකින්නට ඔහු සතුටු වුයේ නැත. එහෙත් ඔහු ඔවුනට යුධ ශිල්පයේ සියලු කාරනා ඉගැන්වීය. පැරණි සෙනෙවිවරුන් වෙනුවට ඔහු වෙනම යුධ සෙන්පතියන් පත් කළේය. යුද්ධ සංවිධානයක් ද ඇති කළේය. දීඝාභය මෙහිදී වෙන් කෙරුණු අතර ඔහු දිගාමඩුලේ ආරක්ෂාව භාර රාජ්‍ය නිලධාරියා වශයෙන් පත් කර යැවීය. ගාමිණී අභය අනාගත රජු වශයෙන් පත් කිරීමට අවශ්‍ය සියලු කටයුතු නිහඩවම සම්පාදනය කෙරිණි. එහෙත් කාවන්තිස්ස රජු ඒ බව් ඔහුට කිසිදු විටක නොඇගවීය. ඒ සියල්ල අතරේ තම වැසියා සතුටින් ජීවත් වෙනවා දකින්නට ඔහුට අවශ්‍ය විය. ඔහු සත්‍ය වශයෙන්ම තම වැසියන් තම දරුවන් සේ සැලකූ පාලකයෙක් විය. 
ඒ නිසාදෝ වැසියන් විසින් ඔහු සැම විටම සතුටට පත් කරන ලද මුත් දරුවන් සැම විටම එසේ නොකළේ යැයි කනගාටුවක් ඔහුගේ හදවතේ කොනක තිබිණි. දරුවන්ගේ කුඩා දෙයින් පවා ඔහු හදවත රිදිනි. එහෙත් එය ඇවිලී ගිනි ගත්තේ එක්තරා දිනක ලැබුණු ආරාංචියකින් පමණි.


⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆

"මහ රජ්ජුරුවන් වහන්ස, මම කාවන්තිස්ස මහරජතුමාගේ අතිජාත පුත්‍ර දීඝාභය.."

දනින් නැවී එළාර රජුට ආචාර කල දීඝාභය එකත්පස් වෙමින් කියා සිටිසේය. ඔහු අනුවම රජුට ආචාර කල රජරට රාජධානියේ මහියංගන පළාත භාර ඡත්ත නමැති සොලී මහා සෙනවියා ද ඔහු පසෙකින් විය.  රාජ්‍යයේ ප්‍රභලම අස් ඇණිය මෙහෙයවන පුද්ගලයා වූ ඔහු හැම විටම සාඩම්බර ගති පැවතුම් වලින් යුක්ත වුවකු විය. අද ඔහුට ආඩම්බරයෙන් ඉපිලී යා හැකි දිනයකි. මාගම රාජධානියට අයත් ඇති සශ්‍රීක දීඝවාපිය භාරව සිටි සාමන්තයා, එළාර රජු දෙපා අභියසට කැදවාගෙන ආවේ ඔහුය. කාවන්තිස්ස රජුගේ වැඩිමහල් පුත්‍රයා එළාර රජු දෙපා අබියස ට කැදවාගෙන ආවේ ඔහුය.

කලකට පෙර රාජකාරී කටයුත්තක් සදහා රජරට රජ මාලිගයට පැමිණි ඡත්තට, භට්ටාර හරිචන්ද්‍රතුමා මුණ ගැසුනේ බොහෝ කාලයකට පසුවය. භාට්ටාර සමග දිවා ආහාරය ගන්නා අතර රුහුණු රාජ්‍යයේ මායිමේ පිහිටි තම ශක්තිමත් බල කොටුව ගැන භාට්ටාර නොදන්නා බොහෝ දේ ඔහු භාට්ටාරට විස්තර කරමින් පසු විය. එහෙත් ඒ සියල්ලටම සවන් දෙන බව පෙන්වමින් ම භට්ටාර ඡත්තගෙන් විමසුවේ වෙනත්ම ප්‍රශ්නයකි. කාවන්තිස්ස රජුගේ දීඝවාපිය භාර දීඝාභය කුමරු පිළිබද තමා දන්නා තොරතුරු කුමක් දැයි යන්න ඒ ප්‍රශ්නය විය.


ඡත්ත ගත් කටටම කීවේ ඔහු කාවන්තිස්සට ඉතාම හිත පක්ෂපාත ඔහුගේම දරුවකු බවය. ඡත්ත විස්තර කරන්නේ මෙයට කලකට පෙර තත්වයක් බවත් දැන් එහි වෙනසක්ව ඇති බවත් 
භට්ටාර, ඡත්තට ප්‍රකාශ කලේ තම ඝාන සන්ධිය ( දෑස හා නාසය අතර ස්ථානය) දබරගිල්ලෙන් පිරිමදිමිනි. භට්ටාර එසේ කරනුයේ තොරතුරු සම්භාරක් සතුව ඔහු යමක් ප්‍රකාශ කරන විට බව භට්ටාර හදුනන්නෝ කවුරුත් දැන සිටියහ.

දීඝාභය දිනා ගත හැකි යයි භට්ටාර ඡත්තට ස්ථිර වශයෙන්ම කීවේ. ඡත්ත තම කුමන්ත්‍රණය පසුදාම දියත් කළේය. මාස කීපයකට පසු ඡත්තගේ චරපුරුෂයෝ වැදගත් තොරතුරක් ඔහු වෙතට ගෙන ආහ.

ඒ මහියංගනයටත්, දීඝගාමයටත් අතර උයන්තොට නමැති සුන්දර තොටුපොල අසල දී අහම්බයකින් මෙන් ඡත්ත මුණ ගැසීමට දීඝාභය කුමරු කැමැත්ත පල කල බවය.

කෝකටත් හදිසි ප්‍රහාරයකට මුහුණ දීමට තම අස් ඇණිය සූදානම් කොට උයන්තොට ආසන්නයේ නතර කල ඡත්ත, යොදා ගත් අහම්බය පරිදි දීඝාභය මුණ ගැසුනේය.


සාකච්චාව අවසානසේ ප්‍රීතියෙන් ඉපිලී යන අතරේ ඔහු තමාටම පවසා ගත්සත් 'භට්ටාර යකෙක්' යනු ය.


එහෙත් ඒ යකා දැන් මෙතන නොසිටියි. ඒ ඡත්තගේ රාජකාරියේ පිරිසිදුකම හා රහසිගත බව දීඝාභයට හොදාකාරව ම පෙන්වා දෙනු පිණිස ය.

"ඔබ ගැන හැම දෙයක්ම අප දන්නවා. මාගම රාජධානියෙන් ඔබට සිදුවෙච්ච අසාධාරන කම් සේරමත් අප දන්නවා."


එළාර රජ්ජුරුවෝ මහත් කාරුණික ලෙස දීඝාභය අමතා කීහ.


බිහිසුණු ආක්‍රමණිකයෙකු යයි දකුණ විසින් හදුන්වනු ලබන්නේ මේ සෙමෙන් කතා කරන කාරුණික මිනිසා නොවේදැයි දීඝාභය ඒ මොහොතේ කල්පනා කළේය.


"මා ඡත්තට හැම දෙයක් ම කීවා දේවයන්වහන්ස." 


දීඝාභය කීවේය.

"ඡත්ත පොඩි මිනිහෙක් නොවෙයි. මහියංගන පළාත භාර මගේ සෙනෙවියා. ඔබට විශ්වාස තබන්න පුළුවන් හොඳ මිත්‍රයෙක්."


එළාර රජ්ජුරුවෝ සුපුරුදු සුහද බැවින්ම තෙපලෝ ය.

දීඝාභය ඡත්ත දෙසට හැරී කෘතඥ පූර්වකව බලා 


"එහෙමයි" 

යනුවෙන් රජු ප්‍රකාශ කල දේ අනුමත කළේය.

"මා අග මෙහෙසියගේ පුත්‍රයා නොවුනත් මටත් රාජ්‍යයේ අයිතියක් තිබෙනවා.."


දීර්ඝ වේලාවක් සිදු වූ සුහද සාකච්චාවෙන් පසුව සෘජුවම කාරණයට බසිමින් දීඝාභය කීවේය.

"නියත වශයෙන්ම!"


එළාර රජු එය දැඩිවම අනුමත කරමින් ප්‍රකාශ කළේය.

"හිතුවක්කාර ගාමිණී අභය මේ කිසිවක් සලකන්නේ නෑ.."


දීඝාභයට මධු කුසලානයක් සියතින්ම පිරිනැමූ එළාර රජු තෙමේත්ස එකක් පුරවා ගනිමින් මෙසේ කීවේය.


"බලන්න, කාවන්තිස්ස වගේ ඔබේ පළපුරුදු රාජ්‍ය නායකයන්. බලන්න තිස්ස කුමාරයා වගේ සාමකාමී  තරුණ නායකයන්, බලන්න මාගම රාජධානිය සශ්‍රික කරන්න කැප වෙච්ච ඔබ වගේ තරුණ කුමාරවරුන්.  ඇයි ගාමිණී අභය කුමරුට තේරුම් ගන්න බැරි යුද්ධය නරක  දෙයක්ස බව, ඇයි ගාමිණී අභය කුමරුට තේරුම් ගන්න බැරි යුද්ධය විනාශයක් බව.?"

තමා සිටින්නේ කොහේ දැයි යන්න පවා දීඝාභයට අමතක විය.

"ඔබේ ධාර්මික බව මා සසල කරනවා රජතුමනි."


දීඝාභය කඳුළින් පෙඟුණු දීප්තිමත් දෙනෙතින් එළාර රජු දෙස බලා ප්‍රකාශ කළේය.

එළාර වෙතින් පල වුයේ ද මහත් ශෝකී බවකි. දීර්ඝ සුසුමක් හෙළුවද ළය සැහැල්ලු කර නොගත් එළාර මෙසේ කීවේය.


“අපි තව ටික් පානය කරමු දීඝාභය”


⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆



වර්ෂ 2010 මාර්තු දාහතර වන ඉරිදා, දිවයින ඉරිදා සංග්‍රහයෙන් උපුටාගත් මෙම මහරජ ගැමුණු සිනමා තිර රචනයේ නවකතා පරිවර්තනය නවවන කොටස ක්‍රි.ව. 2016 ක් වූ දෙසැම්බර් මස විසි තුන්වන දින පූජිත විසින් සටහන් කරන වගයි...


No comments:

Post a comment