Friday, 13 April 2012

අපේ සොඳුරු ළමා කාලේ සිංහල අවුරුදු..



අද සිංහල අළුත් අවුරුදු දවස...


ඒත් ඉතිං මෙහේ කොහෙද අපිට අලුත් අවුරුදු නිවාඩු. හිතට නම් දුකයි අවුරුදු වලට ලංකාවේ නැති එකට. මොනවා උනත් ලංකාවේ අළුත් අවුරුදු කාලේ මතක් වෙනකොට ඇඟ හිරි වැටෙනවා වගේ.


ඉස්සර අපි පොඩි කාලේ අවුරුදු කාලෙට කරපු සෙල්ලම්, පංච, රතිඤා, බඹර චක්‍ර, අහස් කූරු, අවුරුදු කෑම: කැවුම්, කොකිස්, අතිරස, මුං කැවුම්, උඳුවැල්.. මට නම් තාම අද වගේ මතකයි. මම ඒවගෙන් වැඩියෙන් ම කැමති අපේ අම්මා හදන උඳු වැල් වලටයි කිරි ටොෆි වලටයි.


නොනගතේ වෙලාවේ අපි ශ්‍රී මහා බෝධියට යනවා වඳින්න. එන ගමන් ජෝශප් එක ලඟ තියන ගණදෙවි කෝවිලට යනවා. අපේ අම්මා වැඩ අතහැරියාම අපිට ගේ ඇතුලේ තියන දේවල් දොරෙන් එලියට ගෙනියන්නත් තහනම්. ඕන දේවල තියනවනම් නොනගතේට කලින් එලියට දාලා තියාගන්න ඕනේ. හැම සැරේම මට වරදින්නේ නැති දෙයක් තමයි රතිඤයි ඒවා පත්තු කරන්න ගිනි පෙට්ටියකුයි.


අවුරුදු නැකතට කියන දිශාව බලාගෙන "Happy New year, සුභ නව වසරක් වේවා" කියලා ලියලා, පොතක් කියවලා අපි වැඩ අල්ලනකොට තාත්තා කිරිබත් කට කට අපි හැමෝටම කවනවා. ඊට පස්සේ බුලත් දීලා වැඩිහිටි අයට වඳිනකොට අපේ පවුලේ බාලයා විච්ච මල්ලීට විහිළු කරනවා ගෙදර ඉන්න පපීට ඇවිල්ලා  මල්ලිට වඳින්න කියන්න කියලා. අම්මටයි තාත්තාටයි දෙන බුලත් අත ආපහු හම්බ වෙනකොට ඒකත් එක්ක සැලකිය යුතු මුදලක් ගණු(දෙණු නැත.) වෙන එකත් වරදින්නේ නෑ.


ඒ විතරක් ද අවුරුදු කෑම පිඟන් අරන් අහල පහල ගෙවල් වලට යන එක... ඉස්සර අපි ඒකට පොර කනවා මොකද අපිට ඒ ගෙවල් වලින් හිස් අතින් එලියට එන්න වෙන්නේ නැහැ නේ.


පස්සෙ කාලෙක යාළුවෝ එක්ක අවුරුදු චාරිකා කියලා ගෙයින් ගෙට යන්නත්, ඔය අතරේ ඒ කාලේ හිටපු (අති) විශේෂ අය බලන්න යන්නත් වරදින්නේ ම නැහැ.


හිස තෙල් ගාන නැකතට හිසට සහ පයට ඖෂධ කොල තියලා තාත්තා තමයි හැම අවුරුද්දෙ ම අපේ හිස තෙල් ගාන්නේ, මට මතක විදිහට සබ්බී තියෝ විවජ්ජන්තූ - සබ්බ රෝගෝ විනස්සතූ - මාතේ භවත්තන්තරයෝ - සුඛීදීඝායුකෝ භව ගාථාව කියලා.


ඒ අපේ සොඳුරු ළමා කාලේ සිංහල අවුරුදු...


සිංහල සිරිත් විරිත් අපේ පැටවුන්ට මෙහේ ඉඳන් කියලා දෙන්නේ කොහොමද කියලා හිතන කොටනම් බයත් හිතෙනවා.


පිටරටක ජීවත් වෙනකොට තමයි ලංකාවේ තියන හොඳ දේවල් මතක් වෙන්නේ...




ක්‍රි.ව. 2012 ක් වූ අප්‍රේල් මස දහතුන් වන දින පූජිත විසින් ආවර්ජනය කර සටහන් කරන වගයි...

No comments:

Post a comment