Wednesday, 11 September 2013

අද මුල්ම වරට පාසල් දිවිය අරඹන මා සදාදර සුදු දෝනී වෙනුවෙනි


මගෙ  සුදු දෝනියෝ,

ඉස්කෝලේ ඇඩ්මිෂන් වලට වේටිං ලිස්ට් එකේ ඉඳලා ඔයාගේ තියෙන වාසනාවට කොහොම හරි අනිත් ළමයි ඉස්කෝලේ පටන්ගන්න දවසටම ඔයාටත් ඉස්කෝලේ යන්න පුලුවන්. ඒකට ඔයා පිං කරලා තියෙනවා.

එකොලොස්වෙනිදා ඉස්කෝලේ  යනවා කියලා දැනගත්ත වෙලේ ඉඳන් ඔයා හිටියේ හරිම ආසාවෙන් ඇඟිලි ගනන් කර කර. ඔයාගේ ඇඳුම් සේරම අම්මා ලෑස්ති කරන කොට ඔයා හරිම ආසාවෙන බලන් හිටියේ. තාම අවුරුදු හතරයි මාසයක් උනාට ඔයා හැම වෙලේම ඉස්කෝලේ යන්න හීන මැව්වා.

සීය එක්ක කියපු තරමක් දේවල් කිව්වේ "බබා ඉස්කෝලේ ගියාම ... කරනවා" කියලා.

අයියා තුනේ පන්තියේ - ජූනියර් ස්කූල් එකට ගිහින් දැන් බිග් බෝයි කෙනෙක් වෙලානේ. ඔයා තවම ඉන්ෆන්ට් ස්කූල් යන්න පටන් ගන්නවා විතරයි. අයියා නම් ටිකක් ඔයාව බයිට් එකට ගත්තා ඒ ජොලියට.. ඔයා පොඩ්ඩ ඇත්තම් ඇවිස්සෙනවනේ.. ඒත් අයියා ඔයාට හරිම ආදරෙයි. එයා බලාගෙන ඉන්නේ කවද ද ඔයාගේ අතින් අල්ලගෙන ඉස්කෝලේ යන්නේ කියලා.

ඔයා ගෙදරදී අයියා එක්ක රණ්ඩු කරලා කෑ ගහනවා වගේ නම් ඉස්කෝලෙදි කෑ ගහන්න එපා ඔන්න.. ඔයාගේ අළුත් යාලුවෝ හොඳටම බයවෙයි මේ චූටි බට්ටී කොහොමද මෙච්චර හයියෙන් හූ කියන්නේ කියලා.

ඔයා ඉක්මනටම ලොකු වෙලා මගෙ දෝනියෝ. මට නම් හිතාගන්නවත් බෑ.

තෙරුවන් සරණින්, ජය ශ්‍රී මහා බෝ සමිඳුගේ රැකවරණින්, සියලු දෙවි දේවතාවරුන්ගේ ආශීර්වාදයෙන් අද ඔයාගේ ජීවිතේ මේ පටන්ගන්න අලුත් පියවර හැම අයුරකින්ම සාර්ථක වේවා කියලා තාත්තිත්, අම්මිත්, අයියාත්, සීයාත් ප්‍රාර්ථනා කරනවා.


ක්‍රි.ව. 2013 ක් වූ සැප්තැම්බර් මස එකොලොස්වෙනි දින පූජිත විසින් සටහන් කරන වගයි.

Tuesday, 10 September 2013

ගෙදරින් කෑම නැත - ඉතා සරල සිදුවීමක්

ඔන්න් අපි ඊයෙ රෑට කන ගමන්..

මම: අද කෑම එක නම් එකකට එකක් ගැලපෙන්නේ නෑ, පරිප්පුයි, බණ්ඩක්කයි, කරවලයි. 

චූටි දුවා: ඔයාට ඉතිං අඩුවක් කියන්නෙ නැතුව කාලා පුරුද්දක් ඇත්තෙම නෑනේ.

මම: ඔය කරවල හොඳ හොදි හදන්න.. තෙල් දාලා හරි යන්නේ නෑ.

චූටි දුවා: ඔයාට කන්න බැරි නම් කන්න තැනක් හොයා ගන්න.

මම: ඒකත් හොඳයි.. අපේ ඔෆිස් එක ඉස්සරහා තියෙනවා ටී.ඊ.එස්.සී.ඕ කියලා එකක්. මම ඒකෙන් කෑම ගන්නම්. පවුම් තුනයි.

චූටි දුවා: හා කාලම බලන්නකෝ..

අද,

වෙනදා මට කලින් නැගිටින චූටි දුවා මම නැගිටින විටත් තවම නිදිය.
උදේම අතට හම්බවෙන බෙඩ් ටී එක මටම හදාගෙන බොන්න විය.
උදේට සහ දවාලට දෙකටම මට ගෙදර කෑම නැත.
වෙනදා උදේට කෝච්චියේ යන්කොට දුක සැප බලන්න එන ටෙලිපෝන් කෝල් එකත් අද නැත.
ඔපීසියේ වැඩ කරන අතරතුර 'Hi dear' කියා එන ගූගල් හැඟවුට් මැසේජ් එකත් අද නැත.
රෑට කෑම තියේද කියා ෂුවර් නැත.

ඔන්න බලන්නකො මමත් දාගන්න තොප්පි.
කවුද හිතුවේ කේස් එක මේක මෙච්චර දුර යයි කියලා.

(ප.ලි. චුටි දුව කියන්නේ හාමිනේට, එයාගේ අම්මයි තාත්තයි නෑදෑ කට්ටියයි එයාට කතාකරන්නේ එහෙමයි)


ක්‍රි.ව. 2013 ක් වූ සැප්තැම්බර් මස දහවන දින පූජිත විසින් සටහන් කරන වගයි.

Friday, 6 September 2013

පොතක් කියවා තව කෙනෙකුට කියවීමට දීම දඬුවම් ලැබිය හැකි වරදක්ද..? වෙනත් වචන වලින් කියනව නම්... කෙනක් කියවා ඉවර කොට අන් අයගේ භාවිතය සඳහා දුන් පොතක් තමා සන්තක්යේ තබාගෙන කියවීම දඬුවම් ලැබිය හැකි වරදක්ද?

හරියටම කියනවනම් මේ කියන සිදුවීම වෙලා දැනට අවුරුදු එකහමාරක් (2012 ජනවාරි)  විතර ඇති.

මට මේක ලියන්න හිතුනේ මෙහෙමයි...

ඔන්න මට අර හිටපු ගමන් හිතට එන අයිඩියාස් (අහා ideas) එකක් ඇවිත් මමත් ගත්තා ඇමසන් කෙන්ඩල් එකක්. සල්ලි සල්ලි කියලා බලන්නේ නැතුව පවුම් 89.00 ක් ම දීලා.
(ඇත්තටම මම ඒක ගත්තට අනිත් ඒවා වගේම මේකත් මගේ තවත් shared property එකක්)

ඕක ගත්තට කෝ ඉතින්  පොත්? මොකෝ සිංහල පොත් තියනවා කියල යැ. නිකන් ගන්න පුලුවන් ebooks දෙක තුනක් නම් හම්බ උනා.. හැබැයි ඒවා හරි බෝරින්. කොයිකටත් කියලා thepiratebay එකේ සේර්ච් කරනකොට මැක්සා බඩුවක් අහුවුනා 4000+ ebooks. හෙනම පොෂ් පොත්.
(ඔය කිව්වට මතක තියෙන කාලෙක මම කවදාවත් ඉංගිරිසි පොතක් නම් මුල ඉඳලා අගටම කියවලා නැහැ මේ පහුගිය සැප්තැම්බර් තුන්වෙනිදා වෙනකල්, පොෂ් කියලා දන්නේ ඉතින් ඇඩ්වටීස්මන්ට් වලින් දැකලා තමයි)

ඉතිං හොඳයි කියලා හිතුන ඒවා ටික download කරලා කෙන්ඩලේට දාලා උදේ හවස කෝච්චියේ ඔෆීසි යන එනකොට කියව කියවා යන්න තමයි මගෙ ප්ලෑන් එක.. ඔහොම දවසක් දෙකක් ආවා කියමුකො.

අපේ ඔෆීසියේ ඒ දවස්වල මට කොයිකටත් හිටිය, තාමත් ඉන්න එකම සගයා ගැවින් දවසක් කින්ඩ්ලෙ එක ඉල්ලපි බලන්න කියලා. මමත් ඉතිං පොරවගේ දුන්නා. මෑන්ට පුදුමයි මෙච්චර පොත් මොකට මම සල්ලි දීලා අරගෙන ද කියලා.

මම මොකටද බොරු කියන්නේ ඇත්තම කිව්වා. ගැවින් ලොක්කා (ලොක්කා කියන්නේ ගැවින් මගේ මැනේජර් වගේ ඉන්න එකා නිසා) කිව්වේ නැතැයි ඕක හෙන ඉලීගල් වැඩක්, අහු උනොත් වන්දි ගෙවන්නත් වෙනවයි, කතා කෝටියයි. (තව කාටවත් කියන්න එපා කියලත් කිව්වා මට මතක විදිහට)

මගේ සරලම තර්කය වුනේ මෙහෙමයි, අපි මේ පොත් ඩිජිඩල් කියන එක පොඩ්ඩකට අමතක කරලා හිතමු ඒවා ප්‍රින්ටඩ් ඒවා කියලා.
එතකොට..

1. තමන් කියවලා ඉවර උන පොතක් තව කෙනෙකුට කියවන්න දෙන එක ඉලීගල් ද?
2. අපි කියවන්න ඕනේ අපි සල්ලි දීලා ගත්ත පොත් විතරම ද?
3. ඒක එහෙම නම් පුස්තකාලවල පොත් ආරක්ෂා කරන්වා මිසක් කියවන්න දෙන්න බැහැ නේද?
4. එතකොට second hand book sales කියලා චැරටි වලට සල්ලි හොයාගන්න කියවලා ඉවර කරපු පොත් විකුනන්නත් බැහැ නේද?

හොඳයි එහෙනම් ඇයි මේ කචල් ඔක්කොම ebooks වලට විතරක්?

ප්‍රින්ටඩ්  පොත්වල අච්චු ගහලා තියෙනවා අනවසරයෙන් මුද්‍රණය හා උපුටා ගැනීම තහනම් කියලා. එතකොට මෙතන තියන ප්‍රශ්නය ebooks පහසුවෙන් කොපි කරන්න පුලුවන්කම මිසක් වෙන එකක් නෙවෙයි මට හිතෙන්නෙ.

මේක සිංහලෙන් ම කියනවනම් "අතීසාරෙට අමුඩ ගහනවා වගේ" වැඩක් නේද?  

ක්‍රි.ව. 2013 ක් වූ සැප්තැම්බර් මස හයවන දින පූජිත විසින් සටහන් කරන වගයි..

Friday, 13 April 2012

අපේ සොඳුරු ළමා කාලේ සිංහල අවුරුදු..



අද සිංහල අළුත් අවුරුදු දවස...


ඒත් ඉතිං මෙහේ කොහෙද අපිට අලුත් අවුරුදු නිවාඩු. හිතට නම් දුකයි අවුරුදු වලට ලංකාවේ නැති එකට. මොනවා උනත් ලංකාවේ අළුත් අවුරුදු කාලේ මතක් වෙනකොට ඇඟ හිරි වැටෙනවා වගේ.


ඉස්සර අපි පොඩි කාලේ අවුරුදු කාලෙට කරපු සෙල්ලම්, පංච, රතිඤා, බඹර චක්‍ර, අහස් කූරු, අවුරුදු කෑම: කැවුම්, කොකිස්, අතිරස, මුං කැවුම්, උඳුවැල්.. මට නම් තාම අද වගේ මතකයි. මම ඒවගෙන් වැඩියෙන් ම කැමති අපේ අම්මා හදන උඳු වැල් වලටයි කිරි ටොෆි වලටයි.


නොනගතේ වෙලාවේ අපි ශ්‍රී මහා බෝධියට යනවා වඳින්න. එන ගමන් ජෝශප් එක ලඟ තියන ගණදෙවි කෝවිලට යනවා. අපේ අම්මා වැඩ අතහැරියාම අපිට ගේ ඇතුලේ තියන දේවල් දොරෙන් එලියට ගෙනියන්නත් තහනම්. ඕන දේවල තියනවනම් නොනගතේට කලින් එලියට දාලා තියාගන්න ඕනේ. හැම සැරේම මට වරදින්නේ නැති දෙයක් තමයි රතිඤයි ඒවා පත්තු කරන්න ගිනි පෙට්ටියකුයි.


අවුරුදු නැකතට කියන දිශාව බලාගෙන "Happy New year, සුභ නව වසරක් වේවා" කියලා ලියලා, පොතක් කියවලා අපි වැඩ අල්ලනකොට තාත්තා කිරිබත් කට කට අපි හැමෝටම කවනවා. ඊට පස්සේ බුලත් දීලා වැඩිහිටි අයට වඳිනකොට අපේ පවුලේ බාලයා විච්ච මල්ලීට විහිළු කරනවා ගෙදර ඉන්න පපීට ඇවිල්ලා  මල්ලිට වඳින්න කියන්න කියලා. අම්මටයි තාත්තාටයි දෙන බුලත් අත ආපහු හම්බ වෙනකොට ඒකත් එක්ක සැලකිය යුතු මුදලක් ගණු(දෙණු නැත.) වෙන එකත් වරදින්නේ නෑ.


ඒ විතරක් ද අවුරුදු කෑම පිඟන් අරන් අහල පහල ගෙවල් වලට යන එක... ඉස්සර අපි ඒකට පොර කනවා මොකද අපිට ඒ ගෙවල් වලින් හිස් අතින් එලියට එන්න වෙන්නේ නැහැ නේ.


පස්සෙ කාලෙක යාළුවෝ එක්ක අවුරුදු චාරිකා කියලා ගෙයින් ගෙට යන්නත්, ඔය අතරේ ඒ කාලේ හිටපු (අති) විශේෂ අය බලන්න යන්නත් වරදින්නේ ම නැහැ.


හිස තෙල් ගාන නැකතට හිසට සහ පයට ඖෂධ කොල තියලා තාත්තා තමයි හැම අවුරුද්දෙ ම අපේ හිස තෙල් ගාන්නේ, මට මතක විදිහට සබ්බී තියෝ විවජ්ජන්තූ - සබ්බ රෝගෝ විනස්සතූ - මාතේ භවත්තන්තරයෝ - සුඛීදීඝායුකෝ භව ගාථාව කියලා.


ඒ අපේ සොඳුරු ළමා කාලේ සිංහල අවුරුදු...


සිංහල සිරිත් විරිත් අපේ පැටවුන්ට මෙහේ ඉඳන් කියලා දෙන්නේ කොහොමද කියලා හිතන කොටනම් බයත් හිතෙනවා.


පිටරටක ජීවත් වෙනකොට තමයි ලංකාවේ තියන හොඳ දේවල් මතක් වෙන්නේ...




ක්‍රි.ව. 2012 ක් වූ අප්‍රේල් මස දහතුන් වන දින පූජිත විසින් ආවර්ජනය කර සටහන් කරන වගයි...

Friday, 18 November 2011

ජය පැරදුම

අවුරුදු පහයි මාස හතක් වයස අපේ පුතා ගිය සති අන්තයේ 5TV Milkshake competition එකට චිත්‍රයක් ඇන්දා. අම්මත් එක්ක ටිකක් වලි දාල එහෙම තමයි ඒක ඇන්දේ. ඒ පුතාගේ favourite character එක “Thomas the tank engine”. ඇත්තටම එයා ඇඳපු එක හරි ලස්සනයි. මම ෆොටෝ එකකුත් ගත්ත එයා ලොකු උනාම පෙන්නන්න. කොහොම හරි ඉතින් එකේ අනිත් පැත්තෙ නම ගම වයස ලියලා සඳුදා මම ඒක පෝස්ට් කරා. 


කොලු පැටියා මේ දවස් ටිකේම උදෙන්නම නැගිටල TV එක බලන් හිටිය එයාගෙ චිත්‍රෙ පෙන්නයි කියල. පුතා විතරක් නෙවෙ මමයි අම්මයිත් හිතගෙන හිටියෙ මෙයාගේ චිත්‍රෙ සැනසිලි තෑග්ගකට හරි තෙරේවි කියල.. අපි එහෙම හිතුවට ඒක උනෙ නැහැනේ.. මට පුතා ගැන දුක හිතුනා.. මම ඕනවට වඩා බලාපොරොත්තු තියන් ඉඳලා මගේ හිතේ. අම්මා පුතාට කිව්ව අපි තව චිත්‍ර ඇඳල යවමු කියලා... මමත් කිව්ව අපි තව try කරමු කියලා.. එතකොට පුතා කිව්වා මට මොනවා හම්බවෙයිද දන්නෙ නෑ winner උනහම කියලා.


මට තේරුනා පුතාට තරඟෙක පැරදුම තාම දරා ගන්න බැහැ කියල.. (සමහර විට එයාට නොතේරුනාද මංදා තරඟෙ ඉවරයි කියලා..) පොඩි ළමයින්ට පරාජය කියන එක දරා ගන්න කොහොමත් අමරුයි. එයාලට ඕනේ හැමදාම දිනන්න..


මට මතකයි ගිය අවුරුද්දේ (2010) අලුත් අවුරුදු උත්සවයේදී පුතා බනිස් කාල පලවෙනියා උනා.. එයා ඒ වෙලේ ගොඩක් සතුටු උනා.. ඒත් බැලුම් පිපිරවීමේ තරගයෙන් පුතා පැරදිලා ඇඬුවා..


දෙමව්ව්පියෝ විදිහට අපි අපේ පැටවුන්ට අමරුවෙන් උනත් පරාජය කියන එක උගන්නන ඕනෙ කියල මම හිතා ගත්තා.. 


අපි තරඟයකට ඉදිරිපත් වෙන්න ඕනෙ ජය හෝ පැරදුම කෝක උනත් හිත හදාගන්න පුලුවන් නම් විතරයි මම හිතන්නෙ..


හැබැයි ඉතිං එහෙම කියලා කිසිම තරඟයකට ඉදිරිපත් නොවී ඉන්නවනම් හරි අභියෝග වලට මුහුණ නොදී මඟහරිනවා නම් හරි නම් ඉතින් ඒක දියුණුවෙන්න ඕනකම තියන කෙනෙකුගේ ලක්ෂණයක් නෙවෙයි...


ක්‍රි.ව. 2011 ක් වූ නොවැම්බර් මස දහ අට වන දින පූජිත විසින් සටහන් කරන වගයි...

Thursday, 17 November 2011

ජීවිතේට ආදර්ශ පාඨයක්..

මීට අවුරුදු 24කට විතර කලින් මම පෝතක බාලදක්ෂයෙක වෙලා ඉන්න කාලෙ ඉස්සෙල්ලම මගෙ කණට අහපු බාලදක්ෂ පොරොන්දුව මට පහුගිය දවසක මතක් උනා. "මාගේ ආගම හා රට කෙරෙහි යුතුකම් ඉටු කිරීමටත්, සෑම කල්හි අනුනට සේවය කිරීමටත්, බාලදක්ෂ නීතියට කීකරු වීමටත් මාගේ උපරිම උත්සාහය යොදවන බවට දිවුරා පොරොන්දු වෙමි."


මටත් හිතුනා මගේ ජීවිතේටත් මේ වගේ දෙයක තිබුනා නම් හොඳයි කියලා...


ඔය ගැන හිතේ තියන අතරේ ඊයෙ උදේ office එනකොට train එකේ දි මගේ හිතට මෙහෙම සිතිවිල්ලක් ආවා..


ජීවත් වන මහ පොලොවට බරක් නොවන්නටත්, 
අනන්ත වු හීන වලින් හිත පුරවාගෙන දුක් නොවන්නටත්, 
මහන්සියෙන් ලබාගත් දෙයින් සතුටු වන්නටත්, 
දයාබර බිරිඳ සහ දරු පැටවු දෙදෙනා රැක ගනිමින්...
ඔවුන්ට සුන්දර හෙටක් තනන්නටත්, 
හිතට අවංකව යහපත් සිතිවිල්ලෙන් ජීවත් වන්නටත්,  
මාගේ උපරිම උත්සාහය යොදවන බවට 
මම මටම පොරොන්දු වෙමි...



මේ පොරොන්දුවේ පිහිටලා මම හෙට නෙවෙයි අද ඉඳලා වැඩ කරනවා...


ක්‍රි.ව. 2011 ක් වූ නොවැම්බර් මස දාහත් වන දින පූජිත විසින් සටහන් කරන වගයි...