Tuesday 20 December 2016

01 කොටස - අප පරාජය වෙලා බැහැ

යම් විහාරාරාමයක්‌ තුළ මහත් චිත්ත ඒකාග්‍රතාවකින් යුක්‌තව පිරිත් සඡ්ඣායනයේ යෙදෙන භික්‍ෂුන් පිරිසකි.

ගිරිමානන්ද සූත්‍රයට අයත් මේ පිරිත් ඛණ්‌ඩවල සිංහල අර්ථය මෙසේ ය.

"..... ආනන්දයනි, මේ සස්‌නෙහි මහණවලට ගියේ වේවා, රුක්‌ මුලට, ශුන්‍යාගාරයට ගියේ වේවා, මෙසේ නුවණින් සලකව්. රූපය අනිත්‍යය, සංඥ අනිත්‍යය, සංස්‌කාරයන් අනිත්‍යය, විඥානය අනිත්‍යය, මෙසේ මේ පංච උපාදානස්‌කන්ධය අනිත්‍ය පදනම් කොට පවතියි.

ආනන්දයනි, මෙය අනිත්‍ය සංඥ යෑයි කියනු ලැබේ."


අනිත්‍ය සංඥාව මෙනෙහි කරන භික්‍ෂුන් වහන්සේගේ මේ ගම්භීර ස්‌වරයන් පැමිණෙන්නේ තිස්‌සමහාරාම විහාර සංකීර්ණය තුළ පිහිටි සිලාපස්‌සය පිරිවෙන තුළිනි.

(රුහුණු රාජ්‍යයේ අගනුවර වූ මාගම ප්‍රදේශයේ පිහිටි සුදෝ සුදු තිස්‌සමහාරාම දාගැබ ඇතුළු විහාර සංකීර්ණය ගෞතම බුදුන් වහන්සේ මෙරටට වැඩම වූ ස්‌ථාන 16 න් එකක්‌ ලෙස සැලකෙයි. 10 වැනි සියවසට අයත් කිරින්ද සෙල් ලිපිය සඳහන් කරන්නේ මෙහි බුදුන් වහන්සේගේ යටි වම් දළදාව නිදන් කොට ඇති බව ය. විහාරය ඉදිකරන ලද්දේ ගැමුණු මහ රජුගේ පියාණන් වූ කාවන්තිස්‌ස රජතුමා විසින් යෑයි මහාවංශය සඳහන් කළත්, හෙන්රි පාකර්ගේ විශ්වාසයට අනුව එය කාවන්තිස්‌ස රජුගේ මුත්තා වූ ද, දේවානම්පියතිස්‌ස රජුගේ සොහොයුරකු වූද, මාගම රාජධානියේ නිර්මාතෘවරයා වශයෙන් සැලකෙන මහානාග යුව රජුගේ නිර්මාණයකි.)

පිරිත ඇසෙන නො ඇසෙන දුරක සිට විහාර සංකීර්ණය වෙතට ගමන් ගන්නා ජවාධික සුදු අසුන් සිව්දෙනකු යෙදූ අශ්ව රථයත් ඒ පසු පස හැල්මේ යන ආරක්‍ෂක අශ්වාරෝහකයන් පිරිසත්, ඊට පසුපසින් නොයෙකුත් බඩු භාණ්‌ඩ රැගෙන ගමන් ගන්නා අනෙක්‌ අශ්ව රථයත්, දුරට විහිදුණු මාර්ගයේ තැනින් තැන දූලි වලා නංවයි.

රන්මිණි කිකිණි දැලින් සරසන ලද පළමු අශ්ව රථය තුළවනල තරමක්‌ උස පර්යංකයක සිටින්නී තරුණ අභිශවෙර (විහාර මහා දේවි) කුමරියයි. කාවන්තිස්‌ස රජුගේ අග බිසවයි.

බැලූ බැල්මටම පුන්‍ය මූර්තියක ස්‌වරූපය ප්‍රකට කරන චාරු දේහයකින් යුත් නව යොවුන් කාන්තාව අශ්ව රථයේ තමන්ට පහළ පර්යංකයක සිටිමින් තමා දෙස බලා සිටින සේවිකාවන් නොතකාම තමන්ටම මුමුණා ගන්නීය, ඒකපාත්‍ර භාෂණයක යෙදෙන්නීය.

"අනේ පොඩි හාමුදුරුවනේ මගෙ පුතා වෙලා ඉපදෙන්න කැමති වෙන්න."

වේගයෙන් දිවෙන රිය සක්‌ හඬට මුවා වී ඇය දිගටම මුමුණන්නී ය.

"අනේ පොඩි හාමුදුරුවනේ මගෙ පුතා වෙලා ඉපදෙන්න කැමති වෙන්න."

සිලාපස්‌සය පිරිවෙන ඇතුලේ කුඩා ශාලාවේ සයනයක දස හැවිරිදි සුමන සාමණේරයෝ සැතපී සිටිති. ඉතා අසාධ්‍ය තත්ත්වයේ සිටින උන්වහන්සේගේ දෙනෙත් පියන් අප්‍රාණිකය. එහෙත් එහි රැඳී තිබෙන අවධානයකි.

භික්‍ෂුන් වහන්සේ නොකඩවා පිරිත් සජ්ඣායනයේ යෙදෙති.

විහාර සංකීර්ණය තුළට ඇතුළු කෙරෙන අශ්ව රථයේ අශ්වයෝ නතර කරනු ලැබෙත්.

සේවකයන් විසින් විවර කරන ලද අශ්ව රථයේ දොරින් විහාර මහා දේවිය බිමට බසින්නීය. ඇයගේ මිරිවැඩිවලින් තොර දෙපා පිළිගැනීමට විහාර සංකීර්ණයේ සුවිමල පුලිනතලාව සූදානම් සේ ය.

රජ බිසවට ආරක්‍ෂාව සලසන සන්නද්ධ ආරක්‍ෂකයන් තම සුපුරුදු ආරක්‍ෂාවරණයට සූදානම් වන අතර පරිවාර සේවක සේවිකාවෝ භාජන ආදී නොයෙක්‌ දෑ රැගෙන විහාරමහා දේවිය පසුපස යන්නෝය.

⋆ ⋆ ⋆ ⋆ ⋆     

තුනී සම් වෙළුමක්‌ සහිත පළිඟු කාචයක්‌ එක ඇසක රඳවාගෙන පැරණි පුස්‌කොල ලේඛනයක්‌ කියවමින් දික්‌සඟලා පුටුවක සිටින සිලාපස්‌ස පිරිවෙනේ මහා ස්‌ථවිරයන් වහන්සේ තමා ඉදිරියේ වැඳ නමස්‌කාර කරන විහාර මහා දේවිය දෙසට හැරෙයි.

"අදත්?"

විහාර මහා දේවිය නිහඬව එහෙත් අධිෂ්ඨාන පූර්වකව හිස සොලවනවා පමණි.

මහාසිව මහා ස්‌ථවීරයෝ පළිඟු කාචයත් පුස්‌කොල පොතත් වුවමනාවට වැඩි ප්‍රවේශමකින් අසල මේසයේ පසෙකින් තබා නැඟී සිටිති

"සුමන සාමණේර තැනට අද හොඳටම අසාධ්‍යයයි."

ආවාසයෙන් එළියට පැමිණෙන මහා ස්‌ථවිරයන් පසුපසින් විහාරමහා දේවිය ගමන් ගන්නා අතර අනෙක්‌හු තමන් රැගෙන ආ නොයෙකුත් දෑ සමග ආවාසය තුළට ඇතුළු වෙති. දේවියත්, ස්‌ථවිරයනුත් පමණක්‌ වෙනත් ශාලාවක්‌ කරා ගමන් කරනු පෙනේ.

ශාලාවට ඇතුළු වන විහාර මහා දේවියත්, ස්‌ථවිරයනුත් දෙස සජ්ඣායනයේ යෙදෙන භික්‍ෂුහු නොබලති.

ගිලන් සාමණේරයන්ට මඳක්‌ මෑතින් නතර වන මහා ස්‌ථවිරයෝ දේවියට ඉදිරියට යන ලෙසට සංඥ කරති.

සුමන සාමණේරයන් සැතපී සිටින සයනය අසල බිම වාඩි වන දේවිය උන්වහන්සේට නමස්‌කාර කරයි. සාමනේරයෝ සුපුරුදු හිස්‌ බැල්මෙන් ම සිටිති.

විහාර මහා දේවියගේ දෙනෙත් කඳුළින් තෙත් වෙයි. අපහසුවෙන් විවර වූ මුඛයෙන් ඇය යමක්‌ පවසනවාද නැද්ද කිසිවකුට ඇසෙන්නේ නැත. ඒ පිරිත් සජ්ඣායනයේ හඬ නිසාම නොවේ.

"අනේ පොඩි හාමුදුරුවනේ මම තුන්වැනි වතාවටත් ඉල්ලා හිටිනවා මගෙ පුතා වෙලා ඉපදෙන්න..... ඔබ වහන්සේ සාමාන්‍ය කෙනෙක්‌ නොවෙයි, හැමෝම එපා කියද්දීත් අනෙක්‌ අය වෙනුවෙන් වෙහෙසිලා වැඩ කළා. මගේ දෑහින් දැක්‌ක ආකාශ චෛත්‍යයට තනියම ගල් අදිනවා. ඒ, සමහර විට මේ සංසාරය කියන මහා ගල ඇදීම නතර කිරීමට ඔබවහන්සේ තෝරාගත් භාවනාව වෙන්න ඇති. ඒත් දැන් තෙවැනි වතාවටත් අම්මා කෙනෙක්‌ ඇවිත් ඔබවහන්සේගේ භාවනාවට බාධා කරනවා වැළහින්නක්‌ වගේ..."

සාමණේරයෝ යන්තම් අතක්‌ සොලවා තමන්ට නො ඇසුණු එහෙත් හොඳින්ම දැනුණු ඇයගේ ආයාචනය නවත්වති.

දැඩි චිත්ත ඒකාග්‍රතාවකින් යුතුව පිරිත් සජ්ඣායනයේ යෙදෙන භික්‍ෂුන් වහන්සේට සාවධානව සිටින සාමණේරයන් මේ ශ්‍රවණය කරන්නේ මහා සමය සූත්‍රයේ පහත සඳහන් කොටසය.

එහි අර්ථය මෙසේ ය,

"ගන්ධර්වයනට අධිපති වූද, පෙරදිග පාලනය කරන්නා වූද, ධ්‍රතරාෂ්ට්‍ර මහ දෙවියෝ සහ මහ බලැති ඉන්ද්‍ර දෙවියෝ භික්‍ෂුන්ගේ ඇසුර ලැබීමට මහ වනය කරා පැමිණියහ...."

විහාර මහා දේවිය එක්‌වරම තම හඬ අවදි කරන්නීය.

"මගෙ කුසේ ඉපදෙන්න ඔබ වහන්සේට ආයාචනය කරන්න කියල මට කිව්වෙ ලොකු හාමුදුරුවො. කලින් දොහෙත් ඇවිත්, ඊටත් කලින් දොහෙත් ඇවිත් මම එහෙම කළා...."

සාමණේරයෝ මුනිවතම රකිති. මහාසිව මහා ස්‌ථවිරයන් වහන්සේගෙන් ලැබෙන සංඥාවකට අනුව සාමණේරයන් වැඳ නැඟී සිටින විහාර මහා දේවිය බලාපොරොත්තු කඩ වූ මුහුණින් මහා ස්‌ථවිරයන් පසුපස ශාලාවෙන් එළියට පැමිණෙන්නීය.

"මම හෙටත් නැවත එනවා."

ගිම්හාන නියඟය ආරම්භ වූ බවට සලකුණක්‌ දක්‌වමින් අසල බෝ ගසින් එකවර ගිලිහී ගිය බෝ පත්‍ර රාශිය දෙස බලමින් සිටි මහා ස්‌ථවිරයෝ ආපසු හැරෙති.

දේවිය කෙරෙහි වූ මහත් දාරක ස්‌නේහයක්‌ උන්වහන්සේ තුළ තිබේ. අත්ත සම්මාපණීධාන හෙවත් තමාගේ සිත ශීල ශ්‍රද්ධාදී ගුණයෙහි මනා කොට පිහිටුවීමෙන් ආත්ම භාවයක්‌ පාසා තමා සමඟ සසරේ ගමන් කරන නිධානයක්‌ බඳු පින මතු වී එන්නේ යෑයි තමන් මේ සුවිශේෂ රාජ මහේශිකාවට නිතර දේශනා කළ හැටි උන්වහන්සේට සිහිපත් වෙයි.

එහෙත් එසේ කිරීමෙන් ඇය අපේක්‍ෂා කළ විශේෂ දෙයක්‌ තිබේ.

දරු පැටියෙක්‌.

බිසෝවරුන් කිහිපදෙනකු සිටින රජකුගේ අග බිසව දරුවකු, විශේෂයෙන් පුත්‍රයකු බලාපොරොත්තු වීම දාරක ප්‍රේමයට අදාළ කාරණාවක්‌ සේම දේශපාලන කාරණාවක්‌ ද බව මහාසිව මහා ස්‌ථවිරයෝ නො දැන සිටියෝ නොවෙති. එහෙත් ඒ සියල්ලටත් එහා ගිය කාරණාවක්‌ ඈ ඒ අපේක්‍ෂාව කෙරෙහි දල්වන්නට සමත් වී සිටින බව උන්වහන්සේ දන්නේ ය.

"මම හෙටත් නැවත එනවා."

විහාර මහා දේවිය යළිත් කීවාය.

"හෙටත් හරි නොගියොත් බිසවුන් වහන්සේ ඒක පරාජයක්‌ කියල හිතනවද?"
"නැහැ .... අප පරාජය වෙලා බැහැ. අපට පරාජය වෙලා බලා ඉන්න කාලයක්‌ නැහැ. අප පරාජය වුණොත් මුළු ඉදිරි කාලයම පරාජය විසින් අයිතිකර ගනියි."

මහාසිව මහා ස්‌ථවිරයෝ එක මොහොතකට මේ තමා ඉදිරියේ සිටින කාන්තාව කවුදැයි කල්පනා කරති. ඇය හැම විටම ගෞරවයෙන් අවවාද පිළිගන්නියක්‌ හෙවත් ප්‍රදක්‍ෂිණාග්‍රාහී පුද්ගලයකු බව සැබෑ ය. දැඩි ආවේගශීලී බවකින් තොර යුවතියක්‌ බව සැබෑ ය. එහෙත් කිසියම් අවට සමාජයක්‌ විසින් ඇය සතු ප්‍රතාපාග්නිය අවුලුවා තිබේ. එසේ වූ විට ඇයගේ මුහුණ රත්පැහැ ගැන්වෙයි. දිලිසෙයි.

ආර්යයන් මෙරටට පමණක්‌ නොව මේ කලාපයට පැමිණීමට ද බොහෝ කාලයකට පෙර පටන් මේ භූමියේ ගංගා ආශ්‍රිතව ජීවත් වූ ඉතාම ශිෂ්ට සම්පන්න වූත්, ගුණාත්මක වූත් ජීවිතයක්‌ ගත කළ නාගයන්ගේ ද, පසුව පැමිණි ආර්යයන්ගේ ද සම්මිශ්‍රණයේ ජීවමාන සංකේතයක්‌ බඳු වූ ඇය ප්‍රඥර්ථ චර්යාවෙන් ජීවත් වන්නියක්‌ බව ද පරාර්ථය වෙනුවෙන් දිවි පරදුවට තැබූ ගැහැනියක බව ද උන්වහන්සේ දනිති

දරුවකු නොමැතිව ලැබී ඇති සම්පත්වලින් කිසිදු ඵලක්‌ නැතැයි වරක්‌ ඇය තමන් වහන්සේට ප්‍රකාශ කළේ සාමාන්‍යයෙන් ඕනෑම ගැහැනියක සතු සිතිවිල්ලකින් ද? නො එසේවල දැන් මේ රට හමුවේ එක්‌තරා දුරකට දෘෂ්‍යමානයේද, බොහෝ දුරට අදෘෂ්‍යමානයේ ද පවත්නා මහා අනතුරකට සූදානම් වීමක්‌ වශයෙන් ද?

මහාසිව මහා ස්‌ථවිරයෝ මෙසේ අසන්නෝ ය.

"රජරටින් ලැබෙන ආරංචි හුඟාක්‌ ම නරකයි නේද?"

"ඔවුන් ධර්මයේ ජීවමාන සංකේතය මුලට පොරව තබන්න යනවා."

"ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ මුලට?"

විහාරමහා දේවිය ඔව් යෑයි පැවසීමට හිස වනයි. මහා ස්‌ථවිරයෝ වික්‍ෂිප්තියටත්, කම්පාවටත් පත්වෙති. එක්‌වරම හමා ආ මහා සුළඟකින් පරිසරයේ සිදුවන විපර්යාසය දෙස විහාර මහා දේවිය බලා සිටින්නී ය.

ගිලන් සයනයේ හුන් සාමණේරයන් එක්‌වරම මඳක්‌ වාරුවෙන් නැඟිට ශාලාවේ පිවිසුම් දොරටුව හෙවත් විහාර මහා දේවිය පිවිසුනු දොරටුව දෙස බලනු දැක සයනයේ යෙදෙන ඇතැම් භික්‍ෂුහු කලබල වෙති.

ප්‍රචණ්‌ඩ සුළඟට හසු වූ තම සිවුරුපට ආරක්‍ෂා කර ගනිමින් මහා ස්‌ථවිරයන් වහන්සේ විහාර මහා දේවියගෙන් ප්‍රශ්නයක්‌ නගන්නේ ය.

"දේවීන් වහන්සේ කොහොමද ඒක දන්නේ?"

"අනුරාධපුරේ ඉන්න නන්දි කියන රාක්‍ෂස අංගම්කාරයා එවපු තොරතුරුවලින්."

"නන්දි"

මහා ස්‌ථවිරයන් එම නම තොල් මතුරමින් යමක්‌ සිහිපත් කරන්නට උත්සාහ කරන අතරේ සුළඟ තවත් දැඩි වන්නේය. විහාරමහා දේවියට නිකමට මෙන් සාමණේරයන් සිටින ශාලාව දෙස බැලෙයි.

සාමණේරයන් සුරතල් දරුවකු මෙන් තමා වෙත දිව එන ආකාරය දකින ඇය තිගැස්‌සෙයි.

"පොඩි හාමුදුරුවෝ"

එහෙත් එවන් දර්ශනයක්‌ නොදකින මහාසිව මහා ස්‌ථවිරයෝ විහාරමහා දේවිය තුළ වූ කැළඹීම දැක ඒ පිළිබඳ විමසිලිමත් වෙති.

සාමණේරයෝ අපවත් වෙති. භික්‍ෂුන් විසින් පිරිත් සජ්ඣායනය නතර කරනු ලැබේ.

තමා වෙත දිව ආ සාමණේර රුව නොදැක එය කොහි ගියේදැයි වටපිට බලන විහාරමහා දේවියට එකෙණෙහිම තම කුස තුළ යම් විපර්යාසයක්‌ සිදුවූ බවක්‌ දැනෙයි.

කිසි දිනෙක නූපන් හා නොවිඳි හැඟීමකින් ඇය තම කුස පිරිමදින්නීය.

⋆ ⋆ ⋆ ⋆ ⋆     




වර්ෂ  2010 ජනවාරි දහ වන ඉරිදා, දිවයින ඉරිදා සංග්‍රහයෙන් උපුටාගත් මෙම මහරජ ගැමුණු සිනමා තිර රචනයේ නවකතා පරිවර්තනය පළමු කොටස ක්‍රි.ව. 2016 ක් වූ දෙසැම්බර් මස විසි වන දින පූජිත විසින් සටහන් කරන වගයි...


No comments:

Post a Comment