Saturday 24 December 2016

15 කොටස - මිනිසකුට මිනිසකු විය නොහැකි නම් රජෙකු ද විය නොහැකිය

පිල මත එළන ලද ගල්ලැහැ පැදුරේ සිංහ සෙයියාවෙන් යුතුව සැපට නිදා සිටින කුමරුවා දෙස සුරනිමල නොනිදා බලා සිටියේ මහත් පුදුමයකිනි.

සුවපහසු රාජකීය සයනයකට කුඩා කල පටන් හුරු පුරුදු මේ සුවිශේෂ ශරීරය කිසිදු කෙඳිරියක්‌ නොනඟා රළු පැදුරක්‌ මත වැටුණු සැණින් නිදි දෙව්දුව විසින් වැළඳගනු ලැබුයේ කෙසේද?

සුරනිමලගේ ගිලීමලයේ ඥතීන් මහත් කණගාටුවට පත්කරමින් මේ අපූරු අමුත්තා ඔවුන් හදිසියේ පිළියෙළ කළ ආහාර අනුභව කිරීමට ද අවදිවූයේ නැත.

ඒ සඳහා තමා දන්නා ආකාරයෙන් කළ මෘදු උත්සාහ කිරීම් කීපයකින් පසු සුරනිමල විසින් කුමරුවා අවදි කරවීම අතහැර දමන ලද්දේ රජවරුන් සහ රාජ කුමාරවරුන් හිතුමතයේ අවදි කරවීම මහා අනිෂ්ට ප්‍රතිඵල ගෙන දෙන්නකැයි යන කවුදෝ වැඩිහිටියකු පැවසූ කතාවක්‌ ඔහුගේ මනසේ හොල්මන් කරමින් තිබූ නිසාය.

රාජකීයයන් සම්බන්ධයෙන් පබැඳුණු මෙබඳු සමහර මිථ්‍යා මත විටෙක ඔවුන්ටම මහත් පාඩු සිදු කරයි. ගාමණී අබය මහත් ක්‍ෂුදා ගින්නකටම අදාළ සිහිනයක්‌ දකිමින් නින්දේ වෙලී සිටි අතර සුරනිමල අධික ලෙස ආහාර ගැනීම නිසා තමා වෙතින් පළායන, නැවත පැමිණෙන සහ නැවත පළායන නින්ද අල්වා පොරවා ගැනීමට මහත් පරිශ්‍රමයක්‌ යොදමින් සිටියේය.

කාට කාටත් උදා වූ දුක්‌ඛ දෝමනස්‌සයන් මධ්‍යයේ සේම, සුඛ සෝමනස්‌සයන් මධ්‍යයේ ද රැය පහන් විය.

පළා යන්නන් ගිලීමලයේ ආගන්තුක සත්කාරකයන් අවදිවීමට ද ප්‍රථම නික්‌මයන බව කළින්ම ඔවුනට දන්වා තිබිණි. එකී පරිද්දෙන්ම, අසුන් සඳහා සූදානම්කොට තිබූ ධාන්‍ය කැඳ වර්ගයක්‌ ඔවුන්ට ලබාදුන් සුරනිමලත් ගාමණී අබයත් සිරුර විනිවිද යන සීත සුළං රැළි ආශ්වාස කරමින්ද ඈත පෙනෙන, සුමනකූඨය, නමස්‌කාර කරමින්ද දක්‌ණ මලය දෙසට ගමන් කළෝය.

තමන් මේ තවමත් ගමන් කරමින් සිටින්නේ සැදැහැවත් බෞද්ධ දෙවියකු වශයෙන් සැලකුණු සුමන සමන් දෙවියන්ගේ බල ප්‍රදේශය මධ්‍යයෙහි යන හැඟීම හිටි වනම ගාමණී අබය තුළ පහළ විණි. තමන්ගේ ගෞරවය දිනූ සම්‍යයක්‌ දෘෂ්ටික දෙවියකු අරභයා වුව දේවාලයක්‌ තැනීමේ සිරිතක්‌ මේ කාලය වන විට කඳුකර බෞද්ධ ජනතාව තුළ නොවූවත් සුමන සමන් දෙවියන් පිළිබඳ මහත් විශ්වාසයක්‌ ඔවුන් තුළ විය. මාගම වැසියකු වුවද ගාමණී අබය තුළද මේ විශ්වාසයත් ගෞරවයත් එලෙසින්ම පැවතිණි.

වෙළඹ පිටින් බිමට බට හේ ඈත පෙනෙන සුමන කූඨය දෙස බලමින් ද මනසින් සිරිපතුල මවා ගනිමින්ද බොහෝ වේලාවක්‌ එය වන්දනා කළ අතර ඉන් උපයාගත් සියලු පින් සුමන සමන් දෙවියනට පුද කළේය.

⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆

මධ්‍යාහ්නය වන විට ඔවුහු විශ්මය ජනක භූ විෂමතාවක්‌ සහිත ප්‍රදේශයකට පැමිණ සිටියහ.

මේ දැඩි බෑවුම් සහිත කඳු පන්ති ගාමණී අබය මින් පෙර සිහිනයකදී හෝ දුටු ඒවා නොවේ. නිල්වන් තැනිතලාවන්ද ඈතින් පෙනෙන තවමත් මීදුමෙන් වැසුණු නිම්න ද විටින් විට පසුකොට පැමිණි දිය ඇලි ද තමා තුළ මතු කළ චමත්කාරය මින්පෙර ඔහු වින්දේ කොතැනකදී දැයි සිහිපත් ර ගැනීමට ඔහු ගත් උත්සාහය සාර්ථක වූයේ නැත.

මේ සොබා දහමේ විශ්මිත නිර්මාණය ඔහුට කරුණු දෙකක්‌ අමතක කළේය. එකක්‌ නම් මෙතෙක්‌ වේලා ඔහු පෙලූ කුසගින්නය. අනෙක නම්, තමා සැඟවී පළායන්නෙක්‌ ය යන හැඟීමය.

"සුරනිමල මෙහි එනු අප අර දිය ඇල්ලෙන් වැටෙන ජලය එකතුවන තැනින් ස්‌නානය නොකරන්නේ මන්ද?"

"දැන් ඒකට වෙලාව නොවෙයි මගෙ දෙවියනේ..."

සුරනිමල තමා කෙරෙහි අධික භක්‌තියක්‌ ද අනුකම්පාවක්‌ ද කුළුගන්වමින් ප්‍රකාශ කිරීම ගාමිණී අබයට මහත් විශ්මයාර්ථයක්‌ විය.

"මොකද මේ එක්‌ වරම නුඹ වෙනස්‌ වෙලා?"

කුමරුවා නොදරුවකු මෙන් අහිංසක යෑයි සුරනිමලට සිතිණි.

"කුමාරයාණනි, අප ගමනාන්තයට ඇවිල්ලා"

"හෝ... එහෙමද? මේ කොහේද?"

"මේ තමා කොත්තුමලය" (කොත්මලය)

'කොත්තුමලය' යනුවෙන් ප්‍රතිරාවය කළ කුමාරයා මෙසේ කීවේය.

"මේක පුදුම රටක්‌"

ඔහුට තමා පැමිණ සිටින ස්‌ථානය වර්ණනා කිරීමට අවශ්‍ය විය. ඒ ස්‌ථානයට මඟ පෙන්වූ සුරනිමලට ස්‌තූති කිරීමට ඔහුට අවශ්‍ය විය. එහෙත්, සුරනිමලයෝ හඬති.

"මොකද?"

ගාමණී තරමක්‌ සැරෙන් ඇසුවේය. 

වටපිට බලා ගාමණී අබයගේ දෙපාමුල වැඳ වැටෙන සුරනිමල කුඩා දරුවකු මෙන් ඉකි ගසා හැඬුවේය.

"මම දැන් යන්න ඕනෙ..... මෙහෙම දමා ගියාට මට පව් නැහැ. මගෙ දෙවි හාමුදුරුවනේ"

ගාමණීට සියල්ල වැටහුණේ දැන්ය. සුරනිමල සෙනෙවියෙකි. පළා යන්නා ඇරලවීමේ සීමාවටත් එහා ඔහු දැන් පැමිණ සිටියි. සත්තකින්ම ඔහු දැන් යායුතුය. තම ඉරණම තමා තනිවම භාර ගත යුතුය. මෙතැන් පටන් දැසි දසුන්ද නැත. රාජපුරුෂයන්ද නැත. හිතවත් මහ සෙනෙවිවරුන්ද නැත. එහෙත් රාජ උදහස ද, නොකඩවා ලුහුබැඳීම්ද  සොයා බැලීම්ද , බොරු ප්‍රචාර ද, තනිකම ද, හුදෙකලාව ද තවදුරටත් පවතිනු ඇත.

"සුරනිමල නැගී සිටිනු" 

පැවසූ ගාමණී අබයට සුරනිමලගේ සිත සන්සුන් කිරීමටද සැහැල්ලු කිරීමටද අවශ්‍ය විය.

"ඔබ පමණක්‌ ආපසු යනවා. මට මේක විශ්වාස කරන්නත් බැහැ"

ගාමණී සිනාසී කීවේය.

සුරනිමලයෝ නන්දිමිතු ප්‍රමුඛ සෙනෙවි මණ්‌ඩලය තමන්ට පැවරූ රාජකාරියට බටහ.

"කුමාරයාණනි, මෙතැන සිට ඉදිරියට යන්න, ඔබට හමුවන පළමුවැනි ගම්මානයේ නම කඩදොරයි. එහිදී ඔබට අපූරු ගල්වැටියක්‌ හමුවෙයි. එය මේ ගම්වල මිනිසුන් වන සතුන්ගෙන් බේරෙන්න සෑදු පවුරක්‌. ඒ පවුරේ තැනක ගලින්ම තැනූ විවරයක්‌, එහෙමත් නැත්නම් ද්වාරයක්‌ ඇති, එයට කියන්නේ දෙහුදු කඩුල්ල කියලා. ඒකෙ තේරුම අසිපත් ද්වාරය කියන එකයි"

අද්භූත පුරාණ කතාවක එන කුමාරයකුට මිථ්‍යා රාජධානියකට ඇතුළුවන සැටි කියා දෙන තාපසයාගේ විලාසය මෙහිදී සුරනිමල කෙරෙන් පිළිබිඹු වෙතැයි ගාමණී අබයට සිතුණේය.

සිනහව නවතාගත නොහැකි වූ ගාමණී සුරනිමලට බාධා කළේය.

"අසිපත් ද්වාරය, පුදුම ලස්‌සන නමක්‌. හොඳයි ඔන්න මම ඒ ගල් දොරටුවෙන් ඇතුළුවෙනවා. එතකොට මට පෙනෙනවා එතන ඉන්න රාක්‌ෂයෙක්‌. කෝ ඉතින් ඒ රාස්‌සයා සමග සටන්කරන්න මට අසිපතක්‌ නැහැ"

සුරනිමල වහා තම ඉන බැඳි අසිපත කොපුවෙන් මුදාගෙන ඉදිරියට නැඹුරුවී එය දෝතින්ම ගාමණී අබයට පිළිගැන්වීය.

"ඔබ එය සරදමට කීවත්..... මෙය ඉපැරණි රාක්‌ෂස ප්‍රදේශයක්‌ තමා. ඔබ රැකගැනීමට මිස සටනකට කෙනකු මෙහි නැහැ. යම් මතු ආරක්‍ෂාවකට මා මෙය ඔබට පිරිනමනවා. නමුත් දෙහුදු කඩුල්ලෙන් ප්‍රදේශයට ඇතුළුවීමට පෙර ඔබ මෙය යම් තැනක සඟවා තැබියයුතුයි"

මහත් ආවේගකර හඬින් තමා අමතන සුරනිමලගේ හැඟුම්බර විලාසය ගාමණී අබය තමා නිපදවාගත් සරදම් විලාසයෙන් මුළුමණින්ම බැහැර කෙරිණ.

"හොඳයි සුරනිමල ඊට පස්‌සෙ...?"

"ඊට පස්‌සෙ ඔබ කුඹුරු වැඩ කාලයට වැඩ සොයාගෙන කොත්මලයට පැමිණෙන පිට පළාතක හිතුවක්‌කාර කොලුගැටයෙක්‌ පමණයි"

ගාමණී තමා එය හොඳින් පිළිගත් බව ඉංගිතයකින් දැක්‌වීය.

"දිගටම යන්න......." 

සුරනිමල ඈතට අත දිගුකර කීවේය.

"අර ඈත පෙනෙන කඳුවැටිය ඔබට මතක තබාගන්න පුළුවන්ද?"

හාත්පස පවත්නා කඳුවැටි සියල්ල සිසාරා බැලූ ගාමණී, සුරනිමල දැක්‌වූ කඳුවළල්ල වෙසෙසින් මතක තබා ගත්තේය.

"ඒ කඳුවැටියේ බෑවුමට යන්න. එහි ගමක්‌ ඇති ඒ ගමේ නම කොටගේපිටිය. එහි ගංගොඩක්‌ (එකතැන පිහිටි නිවාස සමූහයක්‌) ඇති එහි නම ඌරුපැළැස්‌ස......."

"මා යායුත්තේ ඌරුපැළැස්‌සට?"

"ඔව් නම ඌරුපැළැස්‌සමුත් එහි වැඩිපුර සිටින්නේ පක්‌ෂීන්. මේ පක්‌ෂීන් ඔබ ඔවුන්ගේ උණුසුම් පියාපත් අතර සඟවා තබා ගනීවි"

සුරනිමල තම උපදේශනය මිථ්‍යා කතාවක රූපක විලාසයකින් අවසන් කිරීම ගාමණී අබයට යම් ගැටලුවක්‌ වුවත් ඔහු එසේ කිරිම ඔහුගේ සිත්ගත්තේය.

තම අසූ පිට නැගි, ගාමණී අබයගේ වෙළඹගේ රැහැන්ද අල්වාගෙන ඇය ද රැගෙන ආපසු යන්නට හැරුණු සුරනිමල අවසාන වශයෙන් මෙසේ කීවේය.

"නන්දිමිත්‍ර අවසාන මොහොතේ ඉතා වැදගත් යමක්‌ ඔබට පවසන්න කීවා"

"මොකක්‌ද?"

"ඔබ ප්‍රවේශම් විය යුත්තේ මහ රජතුමාගේ සෙබළුන්ගෙන් පමණක්‌ නොවෙයි. මෙය සැළවූ පසු ඔබ සොයා අල්ලා ගැනීමට රට පීරන එළාරගේ සෙබළුන්ගෙනුත් ඔබ ප්‍රවේශම් විය යුතුයි"

"මා නිසැකවම මා ගැන බලාගන්නවා සුරනිමල......"

"ඔබ ගැන අපත් බලාගන්නවා කුමාරයාණනි..."

සුරනිමල කීවේය.

"......තව නොබෝ දිනකින් ගොවියන්ගේ වේශයෙන් මෙහි පැමිණෙන විශේෂ සේනාංකයක්‌ මේ අසල ගමක කඳවුරුලාගෙන....."

සුරනිමලට තම වාක්‍යය අවසන් කිරීමට ලැබුණේ නැත. ගාමණි අබය ඉක්‌මනින්මත් තරමක්‌ නොසන්සුන්වත් එයට විරෝධය පළ කළේය.

"මා එයට විරුද්ධයි. රැකවරණ ලබමින් සැඟවී සිටීමට නොවෙයි මා පැමිණියේ. අලුතින් ජීවිතයක්‌ ආරම්භ කිරීමටයි මා පැමිණියේ. රාජ්‍යත්වය නැමති මායාවේ උපක්‍රමික වූත් ප්‍රයෝගකාරී වූත් සළුපිළි ගලවා දමායි මා පැමිණියේ......"

සුරනිමලට ගාමණී අබය වැටහුණේ නැත. ඔහු කලබලයෙන් මෙසේ විචාළේය.

"ඒ කියන්නේ ඔබ රාජ්‍යය අතහැර මෙහි පැමිණියා කියන එකද?"

"නැහැ. රජකම අතහැර මෙහි පැමිණියා කියන එක, මා රාජ්‍ය අතහරින්නේ නැහැ. එය මගේ දූර ප්‍රණිධානයක්‌" (දුරාතීතයේ පටන් වූ ප්‍රාර්ථනාවක්‌)

කුමරුවා රජකම අත හැර පැමිණීම, එහෙත් රාජ්‍යය අත්නොහැරීම, මේ අපබ්‍රංස සුරනිමලට වැටහුණේ නැත. ඒ කෙසේ වුවත් ඔහුගේ ආරක්‍ෂාව පිණිස සේනාංකයක මැදිහත්වීම ඔහු තරයේ ප්‍රතික්‍ෂේප කරන බව ඔහුට හොඳ හැටි වැටහුණේය.

වෙළඹද රැගෙන පිටව යන අතරේ කිසිදු පිළිතුරක්‌ හෝ ප්‍රතිචාරයක්‌ අපේක්‍ෂාවෙන් තොරව සුරනිමල මෙසේ කීවේය.

"ඔබ රජෙක්‌ ද නැද්ද මා දන්නේ නැහැ. ඒත්, මේ රටේ අනාගත රාජ්‍යය යනු ඔබයි."

"මා පමණක්‌ නොවෙයි...."

ගාමණී කෑගසා කීවේය.

"...... ආක්‍රමණිකයන්ගෙන් තොර, කෛරාටිකයන්ගෙන් තොර, මුග්ධයන්ගෙන් තොර ධර්මයේ ස්‌වාභාවික ගමන ආරක්‍ෂා කරන අප සියල්ලන්ගේ හදගැස්‌මයි රාජ්‍යය......."

සුරනිමලට ගාමණී අබය අවසානයට කී කිසිවක්‌ ඇසුණේ නැත. ඔහු වේගයෙන් නික්‌මයමින් සිටි නිසාය.

"මිනිසකුට රජකු විය හැකි නම්, රජකුට ද මිනිසකු විය හැකිය. මිනිසකුට මිනිසකු විය නොහැකි නම් ඔහුට රජෙකු ද විය නොහැකිය."

අළු පැහැති මඳ අඳුරට අසුවූ කඳුකර වැසි මැදින් ඉදිරියට ගමන් කරමින් ගාමණී අබය තමන්ටම මතුරා ගත්තේය.

⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆

බත ඉදී ඇද්දැයි පොල්කටු හැඳි මිටේ දැවටී පැමිණි බත් ඇට කීපය සපා පිරික්‌සූ ගම මහගේ ඉක්‌මනින්ම ලිපේ දර කැබැල්ලක්‌ දෙකක්‌ එළියට ඇද ලිප නිවා දැමූවාය.

ඔවුනට කොයි කාලයකවත් දර හිඟයක්‌ නැතත් නිතර වැසි වැටෙන මේ කාලයේ නොතෙමුණු දර වටිනා ද්‍රව්‍යයකි.

රක්‌ගල කුඹුරෙහි සී සාමින් සිටින මහ ගමයා හෙවත් තම ස්‌වාමියා වෙත ඇඹුල ගෙන යැම ඇය අතින් අද කෙසේවත් පමාවිය යුතු නැත.

ඕනෑවටත් වඩා වෑංජන පිසින්නට යැමෙන් ඇය අතින් ඇඹුල ප්‍රමාද වූ අවස්‌ථා කීපයකි. තව මොහොතකින් තම වැඩිමහල් තරුණ දියණිය කළු මැණිකේ සමග ඇඹුල ද රැගෙන රක්‌ගල කුඹුරුයාය වෙත ඉගිළීම ඇයගේ බලාපොරොත්තුව විය. මේ ඇදහැලෙන මඳ වර්ෂාව ඊට කුමන ප්‍රශ්නයක්‌ද?

තමන් දැක හෙල්මළු කුඹුරු යායේ ඉම නියර වෙත දිව එන රන් මැණිකේ හෙවත් තම තරුණ බාල දියණිය ඇඹුලේ අඩුවැඩිය අතරින් කොටසක්‌ රැගෙන කලල්ගෙය හෙවත් කමතේ පසෙක කොළ අතු වලින් තැනූ කුඩා ගෙපැල වෙත දිව යනු ඇත. අනතුරුව එතුළට රිංගන මහගම රාළ සමගින් සියල්ලෝම ඇඹුල රස බලනු ඇත.

⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆

කුසගින්න යනු කෙතරම් නපුරු සහ වේදනාකාරී දෙයක්‌ ද යන්න ගාමණී අබයට ජීවිතයේ ප්‍රථම වරට දැනුනේ එදාය. ඉහළාගෙන සිටින අහුලාගත් තල්අත්තට වැටෙන මඳ වැස්‌ස සුළං පහර නිසා විටෙක ඔහුගේ මුහුණ හරහා ද නිරුවත් උඩුකය සිසාරා ද හමායයි. කුසගින්න ඔහුගේ උදරය ද හෘදය වස්‌තුව ද දවා පුළුස්‌සා ඉල පැළැල්ල ද දවයි.

ගාමණී, සුරනිමල කියූ ගංගොඩට පැමිණ සිටියි. ඔහු දැන් සොයන්නේ වැඩි දෙයක්‌ නොවේ. කුසට කුමක්‌ හෝ අහරක්‌ම පමණකි. පොදු මහ මිදුලක්‌ වටා හෝ ඒ එකිනෙකට පිටුපසින් තිබුණු කුඩා ගෙපැල් අතර හෝ තරමක්‌ ලොකු මැටි පිරියම් කළ ගෙයක්‌ විය. ගාමණීගේ මේ මොහොතේ අවධානය ඒ කෙරෙහි යොමු වූයේ එය මේ කුඩා ගම්මානයේ ප්‍රධානියාගේ නිවස විය යුතු යෑයි සිතුණු නිසා නොව එහි මුළුතැන්ගෙය දෙසින් දුම් නැඟෙමින් තිබුණු නිසාය.

මේ දුම් වූ කලී ක්‍ෂුදාව නමැති අසාධ්‍ය රෝගයට ඖෂධ තිබෙන තැනක්‌ පෙන්වන සංඥවකි.

බලාපොරොත්තු රහිත ලෙස ගත වෙව්ලා ගියෙන් ගාමණී අත වූ තල් අත්ත බිම වැටිණි. ඔහු එය නැවත අහුලන්නට නොගියේය. ඒ වෙලාව ද දුම් දමන මුළුතැන්ගෙය දෙසට දෙපා මෙහෙයවීමට යෙදුවේය. ඊළඟ මොහොතේ ඔහු මුළුතැන්ගෙයි දොර අසළ, එළිමහනේ, වර්ෂාවට තෙමෙමින් මුළුතැන්ගෙය දෙස ගල්ගැසී බලා සිටියේය.

මවක්‌ සහ දුවක්‌ අහර බඳුන් කීපයක්‌ එක්‌තැන් කරති. රජ බොජුනකින්වත් ඔහු කිසි දිනෙක නොවිඳි ආහාර පුස්‌ඹක්‌ ඔහු නැහැය තුළින් සිරුරට ඇතුළුව මොළය දවා ගියේය.

කළු මැණිකේ හදිසියේම අමුත්තා දුටුවාය. ඔහු වර්ෂාවේ තෙමෙමින් මුළුතැන්ගෙය දෙසම බලා සිටියේය.

ඒ මේඝවර්ණ දෙවියන් යෑයි මොහොතකට සිතුණු හෙයින් ඈ කෑ නොගැසුවාය.

එහෙත් අමුත්තා කපා හෙලු ගසක්‌ මෙන් මුළුතැන් ගෙය තුළට ඇද වැටුණෙන් ඇය දෙවියන් අමතක කොට කෑ ගැසුවාය.

"සීවරං දෙවියනේ"

එසේ කීවේ තම දෙපා අසල වැටී තිබෙන තෙත බරිත රන්වන් ශරීරය දැක භ්‍රාන්ත වූ ගම හාමිනේය.

කළු මැණිකේ මිදුලට පැන ගෑ ගැසුවාය.

"අනේ අප්පච්චී"

"කෑ නොගහ හිටපන්, මේ යකෙක්‌ නෙවෙයි මිනිහෙක්‌...."

ධෛර්යවන්ත ගැහැණියක වූ ගම හාමිනේ කළු මැණිකේගේ විලාපය වැළැක්‌ වූවාය. කොහොමටත් ඒ මොහොතේ දිව එන්නට අහළ පහළ කිසිවකුත් සිටියේ නැත.

මේ ගංගොඩේ සියල්ලෝම ඇඹුල රැගෙන රක්‌ගල කුඹුරේ සිටින වෙලාවයි.

ගම හාමිනේ පහතට නැඹුරු වී ගාමණී අබයගේ මුහුණ පිරික්‌සා බැලුවාය.

"ලොකු අසනීපයක්‌ නොවෙයි. බාගෙ වෙලාවට හාමතේ වෙන්න ඇති"

කළු මැණිකේ නොසන්සිඳුණු සංත්‍රාසයෙන් යුතුවම යළි මුළුතැන් ගෙය තුළට පිවිසියාය. පහත්වී ඔහු නිරීක්‍ෂණය කළාය.

මෙබඳු කඩවසම් මුහුණක්‌ ඇය අහළ ගම් හතකවත් දැක නැත. මෙබඳු රන්වන් පුරුෂ සිරුරක්‌ ඇය උපන්තේකට දැක නැත.

'මොහු නොමැරෙන්නේ නම් කෙතරම් හොඳද' ඇයට සිතිණි.

එකෙනෙහිම වාගේ ගාමණී ඇසිපිය ගැසුවේය.

කළු මැණිකේ යළිත් කෙතරම් තිගැස්‌සුණේ ද යත් එක්‌වරම නැඟිටුණු ඇයගේ උස්‌ සිරුර කුරුකන්දේ (පහන් තැබීමට මුළුතැන්ගෙයි ගිල්වූ කණුවේ) හැපිණි.


⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆

වර්ෂ 2010 මැයි මස දෙවන ඉරිදා, දිවයින ඉරිදා සංග්‍රහයෙන් උපුටාගත් මෙම මහරජ ගැමුණු සිනමා තිර රචනයේ නවකතා පරිවර්තනය පහළොස් වන කොටස ක්‍රි.ව. 2016 ක් වූ දෙසැම්බර් මස විසි හතර වන දින පූජිත විසින් සටහන් කරන වගයි...


No comments:

Post a Comment