Wednesday, 21 December 2016

05 කොටස - මුල් විනාශ කිරීමේ රුදාව


එතැනට පැන අසුට පහරක්‌ එල්ල කිරීමට පෙර මේ ශරවේදී ධනුර්ධරයන් විදුලි වේගය අභිබවා යන වේගයෙන් එවන හීසර හතකටවත් තමා ලක්‌වන බව නන්දිට වැටහිණි.

ආසන්න විදමන නමින් හඳුන්වන මේ කෙටි ප්‍රහාරක විලාසයට අනුව ශූර ශරවේදී දුනුවායකුට විදුලි කොටන ආලෝකයක්‌ නිමාවීමට පෙර පිටෙහි එල්ලා ඇති හියවුරෙන් (හී කොපුවෙන්) ඇද ගන්නා හී දෙකක්‌ වත් තම ඉලක්‌කයට එල්ල කළ හැකිය.

හදිසියේම ඔහු තව යමක්‌ දුටුවේය. එය නම් මේ සෑම ඊදණ්‌ඩකම කෙළවර සමන්විත වූයේ කපුටු පිහාටුවලින් බවය. ඉන් කියෑවුණේ මේ සියලුම ඊ මූණත් විෂ පොවා ඇති බවය. එහි ඇති අති බිහිසුණු බව නම් යොදා ඇති විෂ වර්ගයට අනුව හීසර පහර ලබන්නාගේ මරණයේ ක්‍ෂණික බව තීන්දුවීමය.

නන්දි දැන සිටි අන්දමට අසේල රජුගේ මොනම සේනාංකයක හෝ, එසේත් නැතහොත් ඔහු යටතේ සිටි පරුමකවරුන්ගේ මොනම සේනාංකයක හෝ මෙබඳු විෂ අවි භාවිතා කිරීමක්‌ නොවීය. තමන් බඳු රාක්‍ෂසයන් අතර තබා යම් යම් හේතු කාරණා නිසා තමන් සමග පයුරු පාසානම් නොපැවැත්වූ යක්‍ෂ ගෝත්‍රික කණ්‌ඩායම් අතර හෝ එබඳු සාහසික භාවිතයක්‌ නොවීය.

විෂ වෙදකම හොඳින්ම දැන සිටි මෙහි මිනිසුනට සතුරන්ට පහර දීම සඳහා ආයුධවලට විෂ යොදා ගැනීම මහ අරුමයක්‌ විය හැකි නොවුවත් ඔවුහු කිසි කලෙක එය නොකළහ. නැතහොත් තම මුතුන් මිත්තන්ගේ සම්ප්‍රදාය තුළ කිසි කලෙක එවැන්නක්‌ නොදුටහ.

මිත්‍ර කෙරෙහි උපන් කෝපයෙන් පිපිරී ගිය නන්දි වියරු වූ ව්‍යාඝ්‍රයකු මෙන්ද ඔහු කලින් අදහස්‌ කළාක්‌ මෙන් රුදුරු හීසර සතක්‌ ලබාගනිමින්ම ද මිත්‍රගේ අසු වෙතට පැන උගේ කන අසල මර්මස්‌ථානයට මාරක පහරක්‌ එල්ල කළේය. අසු මිත්‍ර ද පෙරළාගෙන ඇද වැටෙනවිට මිත්‍රගේ බොටුව වෙත පැනීම ඔහුගේ අපේක්‍ෂාව වූවද, ශරවේදියෝ ඒ වනවිට තමන් නිකුත් කොට තිබූ හීසර ප්‍රමාණය සියයද ඉක්‌මවා සිටියෝය.

නන්දි ද ඔහුගේ ශිෂ්‍යයන් හා සහායකයන් ද බිම වැටෙන විටත් මළකඳන් බවට පත්වී තිබුණු බව සැබෑවකි. එහෙත්, නන්දි තම අසුට එල්ල කළ අනපේක්‍ෂිත ප්‍රහාරයෙන් බිම වැටී තෝන්තු වී සිටි මිත්‍ර කල්පනා කළේ තව එක්‌ මොහොතක අවස්‌ථාවක්‌ නන්දිට ලැබිණි නම් තමාගේ ඉරණම කුමක්‌ විය හැකිව තිබුණේද යන්නය.

දුනුවායෝ පැමිණ මිත්‍ර නැගිටුවා ගත්හ.

කාල වර්ණ ඇඳුම්වලින් සැරසුණ කාලවර්ණ වූ පිරිසක්‌ ඒ සමඟම එතැනට පැමිණ සිටියහ. 

"ගැල් සූදානම් මහ සෙනෙවිතුමනි" 

ඔවුහු කීවෝය.

මිත්‍ර නිහඬව ධනුර්ධරයන් විසින් සපයනු ලැබූ නව අසකු මතට නැග්ගේය.

"එක ලේ පැල්ලමක්‌වත් තිබෙන්නට බැහැ."

ඔහු, දැන් පැමිණිය වුන් දෙස බලා අණ කළේය.

"අශ්වයා පණ අදිනවා"

එක මිනිසකු මහත් ඕනෑකමකින් කීවේය.

"එක්‌කෝ ඌ තොපගේ යාගයකට, නැතිනම් තොපගේ කුසට"

මිත්‍ර ද ඔහු පිරිවරාගත් ධනුර්ධරයෝ ද ආපසු හැරුණහ. 

මේ මහ රාත්‍රියේ කන්දරාජිය හරහා ගැල් කීපයක්‌ ගමන් කරන්නේ කොහේට දැයි කල්පනා කරමින් රෝහිණි ගැල් පසු කරමින් ඉදිරියට ආවාය.

ගැල් හොඳින් වසා ආවරණය කොට තිබූ අතර ඒවා සමඟ ගමන් කළ වුන් මේ මෑතකදී පිහිටි රටට පැමිණි චෝල වෙළෙඳුන් කණ්‌ඩායමක්‌ වන්නට ඇතැයි ඇය කල්පනා කළාය.

හුළු අත්තද වනමින් අංගංපිටියට පිවිසෙන රෝහිණී පුදුමයෙනුත් පුදුමයට පත්වන්නේ එහි තම සැමියා ඇතුළු කිසිවකුත් නොසිටින නිසාම නොවේ. ඔවුන්ගේ විවිධ ආයුද ද, උපකරණද, ඔහේ වැටුණු වැටුණු තැන්වලම තිබෙන්නට හැර තිබෙන නිසාය.

ජීවිතයේ හැමදෙයම ඉතාම පිළිවෙළකට කළ නන්දි තම ජීවිතය තුළ වූ විනය අන් හැමදෙනා තුළම පිහිටුවීමටද උත්සාහ කළේය. ඔහුගෙන් රාක්‍ෂස අංගම් ඉගෙන ගැනීමේ වරප්‍රසාදය ලැබුණේ ඒ විනයට එකඟ වන්නන්ට පමණක්‌ම විය.

ඔවුන් කිසි විටක කඩුවක්‌ තබා තමන් භාවිතා කළ කෝටු කැබැල්ලක්‌වත් ඔහේ බිම දමා නොගියහ.

එහෙත්, දැන් එවැන්නක්‌ දක්‌නට තිබෙයි. ඇය දැන් සෙවිල්ලෙන් අංගංපිටියේ එහාට යයි, මෙහාට යයි. අනතුරුව එය එහාට මෙහාට දිව යැමක්‌ බවට පත්වෙයි. එහෙත් කිසිවක්‌ අමුතුවෙන් වටහා ගැනීමට ඇය සමත් නොවෙයි.

නැත, ඇය යමක්‌ දුටුවාය. සීතලට පෑගුණු වැලි පදාසය තෙත් වී ඇත්තේ රුධිරයෙන් බව වටහා ගත්තාය. වැලි අතර සැඟවී තිබෙන හී දණ්‌ඩක්‌, දෙකක්‌........ 

රෝහිණී මහ හඬින් මොර දුන්නාය. 

⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆

ළදරු නන්දිමිත්‍රයෝ ගැස්‌සී අවදි වුහ.

ඔහු නිදි කරවන්නට ඉතාම අසීරු දරුවෙකි. එසේම, නින්දට පත් කළ අවදි කරවන්නට ද අසීරු දරුවෙකි.

⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆

කන්දරාජිගේ නැගෙනහිර කොටසේ සුන්දර භූමියක වූ කුඩා ගෙපැලේ සිට අනුරාධපුර ඇතුළු නුවර පිටත උතුරු දොරටුව අසල පිහිටි ස්‌වකීය මාමණ්‌ඩිය වූ මිත්‍රගේ රැකවරණය යටතට ගෙන යන කාලය වනවිට නන්දිමිත්‍රට යන්තම් තෙවසරක්‌ වූවා පමණකි.

ඔහු මිත්‍ර මන්දිරය තුළ සුවසේ නිදා ගත්තේය. ඔහුට බාධා කරන්නට කෙනකු එහි නොසිටියා සේම, ඔහු සුරතල් කරන්නට ද කෙනකු එහි සිටියේ නැත. 

මිත්‍ර, එළාර රජුගේ ප්‍රියතම සෙනෙවියකු හා ඉතා විශ්වාස කටයුතු අයෙකු ද වූ බැවින් කීපවිටක්‌ රජ මාළිගාවට යැමේ අවස්‌ථාව ද නන්දිමිත්‍ර ට හිමි විය. එවිට ඔහු සොළොස්‌වන වියේ පසු විය.

භට්‌ටාර හරිචන්ද්‍රතුමා දිනක්‌ එසේ මිත්‍ර සෙනෙවි සමග පැමිණි නන්දිමිත්‍ර ගැටයාට රාජකීය උයනෙන් ලැබුණු අඹ ගෙඩියක්‌ දුන්නේය. එහෙත්, ඊට වඩා දෙයක්‌ ඔහුට දෙන්නට ඔහු පිළිබඳව පරීක්‍ෂාවෙන් සිටි පිරිසක්‌ අනුරාධපුරයේ සිටියේය.

තමා රාක්‍ෂසයකුයි වරක්‌ අභය වැව අසලදී සම්මුඛ වී තමාට මහත් දයාවෙන් ප්‍රකාශ කළ එකකුට ඔහු හොක්‌ක පොඩි වෙන්නට පහර දුන්නේය. 

එහෙත්. ඒ හේතුව නිසාවත් රහසේ ඔහු සොයා එන පිරිස ඔහු සොයා ඒම අතහැරියේ නැත.

වසර විසිහතරක්‌ම ඔවුහු නන්දිමිත්‍ර පිළිබඳව සෙවිල්ලෙන් සිටියහ.

නන්දිමිත්‍ර රාක්‍ෂසයකැයි ආදි වශයෙන් වන ඕනෑ නැති කතා කියන්නට ගොස්‌ ඔහුගෙන් හොක්‌ක තලාගත් මිනිසා අන්තිමේදී දවසක්‌ නන්දිමිත්‍රගේ කණින් රිංගා ගලනාලය දිගේ පහලට බැස ඔහුගේ හදවත අභියස පෙනී සිටියේය.

ඒ හදවතේ වසා දමා තිබූ දොරක්‌ විය. ඔහු දොරට තට්‌ටු කළේය. 

⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆

ගාමණී අබය කුමාරයෝ 'හ්ම්' යන ශබ්දයෙන්, තමා ඉදිරියේ හිස නමා ආචාර කොට, තවමත් හිස පහත් කොට සිටින මිනිසාට හිස ඔසොවන්නට සංඥ කළෝය.

නන්දිමිත්‍ර හිස ඔසොවා එකත්පස්‌ විය.

පියරජතුමා විසින් ගාමණි අබය ඉදිරියට පමුණුවනු ලැබූ මේ මිනිසා ඉතාම විශේෂ පුද්ගලයකු වශයෙන් එතුමන් විසින් හඳුන්වා දෙනු ලැබ තිබිණි.

"කුමාරයාණෙනි..." 

වශයෙන් අමතා නන්දිමිත්‍රයෝ දීර්ඝ කතාවකට මුල පිරූහ.

"මඳක්‌ ඉන්න ඔබ උදෑසන ආහාර ගෙන නැහැ නේද?"

රාජකීයයකු එසේ විමසූ කළ යමකු ආහාර ගෙන සිටියේ නම් ඒ බව නොවළහා ප්‍රකාශ කිරීම ද ආහාර ගෙන නොසිටියේ නම් කිසිවක්‌ නොදොඩා මුණිවත රැකීමද සිරිතක්‌ විය.

"රාජකීය භෝජනාගාරය ඔබ එනතුරු බලා සිටිනු ඇත."

ඉතාම ප්‍රියමනාප ලෙස ප්‍රකාශ කළ ගාමණි අබය එතැනින් ඉවත් විය.

නන්දිමිත්‍ර රාජපුරුෂයන්ගේ මඟ පෙන්වීම ඔස්‌සේ මාගම රජ මාළිගයේ රාජකීය භෝජන ශාලාව කරා ගමන් කරන්නට විය.

අනුරාධපුර රජ මාළිගයේ සැරිසරා පුරුදු ඔහුට මෙය පුදුමයකි.

එහි තිබෙන සියලු රාජ උෂ්ණයක්‌ම මෙහි තිබේ. රාජකීය චාරිත්‍ර විධි. මාළිගය තුලට අදාළ නීතිරීති, සම්ප්‍රදායන් ආදී සියල්ලද ඉහළින්ම මෙහි තිබේ. එහෙත් එහි නොමැති ලෙන්ගතුකමක්‌ සමීප බවක්‌ ඔහුට මෙහි දැනිණ.

ගාමණී අබය පමණක්‌ නොව සුළු නිලධාරීන් පවා මෙහි උස්‌ හඬින් කතා කළහ. අනුරාධපුර මාළිගය තුළ එය තහනම් කාරණයකි. එහි උස්‌ හඬින් කතා කළේ භට්‌ටාර හරිචන්ද්‍ර පමණි. රජු වුවද එළාර පවා බොහෝ විට කතා කළේ මන්ද්‍ර ස්‌වරයකිනි. 

තොරතෝන්චියක්‌ නොමැතිව සිනාසෙන සේවිකාවන් පිරිසක්‌ දෙස පුදුමයෙන් බලමින් නන්දිමිත්‍ර භෝජන ශාලාවට ඇතුළු විය. පසෙක කුඩා මේසයක්‌ කරා ඔහු කැඳවාගෙන යනු ලැබූ අතර මහ සෙනෙවිවරුන් වෙනුවෙන් වෙන්කොට තිබූ දිගු මේසයක්‌ අසළ අසුන්ගෙන ආහාර ගනිමින් සිටින හැඩිදැඩි සිරුරක්‌ සහිත තරමක්‌ වයෝවෘධ මිනිසා එක්‌වරම ඔහුගේ අවධානයට යොමු විය.

"වේළුසුමන සේනාපතිතුමා" 

රාජපුරුෂයෙක්‌ නන්දිමිත්‍රගේ කණට කොට තෙපුළේය.

මහ රජුගේ මහ සෙනෙවියා දැකීම නන්දිමිත්‍ර තුළ තැති ගැන්මක්‌ ඇති කළේය. වරක්‌ අනුරාධපුර රාජධානියට කඩා පැන එළාර රජුගේ මහ සෙනෙවි නන්දසාරථි මරා දමා ඔහුගේ හිසත්, අසුත් යන දෙකම රැගෙන යළි මාගමට පළා ගිය මේ මිනිසා පිළිබඳ කතා පුවත් ඔහු කුඩා කල පටන් අසා තිබේ. තම මව තමාට නින්ද යනතුරු පැවසූ නොයෙකුත් කතාන්දරවල සිටි යෝධයාගේ ස්‌වභාවය නන්දිමිත්‍ර මෙතෙක්‌ දැක තිබුණේ එළාර රජුගේ දීඝජන්තු මහසෙනෙවි වෙතිනි. එහෙත්, මෙන්න තව නියම යෝධයෙක්‌.

"කොල්ලෝ ඕක ගෙනෙන් බාං"

වේළුසුමන ඉතාම සුළු සේවකයකු අමතන ආකාරය නන්දිමිත්‍ර පුදුමයෙනුත් පුදුමයට පත් කළේය. දීඝ ජන්තු සුළු සේවකයකු පමණක්‌ නොව සුළු සෙනෙවියකු පවා හැමවිටම අමතන්නේ ගෙනෙව්, ගෙනෙනු, වැනි වදන් වැලකින් වන අතර දැඩි ස්‌වරයකින්ද වේ.

හැමතැනම දකින්නට තිබුණු ලෙන්ගතුකම නිසා නන්දිමිත්‍ර කෙතරම් කැළඹී සිටියේ ද යත් ඔහුට කිරිබත් සමග තිබුණු කිතුල් හකුරු රස බැලීමට ද අමතක විය. 

බැලු බැල්මට ම අනුරාධපුර රාජධානිය සහ මාගම රාජධානිය අතර එතරම් වෙනසක්‌ පැවතියේ නැත. රාජකීය ගොඩනැගිලිවල තබා සාමාන්‍ය මිනිසුන්ගේ නිවාසවල වුවද එතරම් වෙනසක්‌ තිබුණේ නැත.

එහෙත්, අනුරාධපුර නගරයේ විවිධ ඇඳුම් පැළඳුම්වලින් සැරසුණු විවිධ වර්ගවල මිනිසුන් සිටියහ. මේ බොහෝ අය සේන-ගුත්තික, එළාර යන අයවලුන්ගේ ආක්‍රමණික හමුදාවල සාමාජිකයන් වූ අතර ඔවුන් බැලූ බැල්මට චෝළ, චේර, පාණ්‌ඩ්‍යය, කලභ්‍ර, කාලිංග, පල්ලව ආදි වශයෙන් වෙන් වෙන්ව හඳුනා ගත හැකි වූයේද නැත. එහෙත්, සිව ආගම ඇදහු අය වශයෙන් ද, විෂ්ණු ඇදහූ අය වශයෙන් සහ ජෛන ආගම ඇදහූ අය වශයෙන් ඔවුන් ඉක්‌මනින් හඳුනාගත හැකිව තිබිණි. ඔවුන් අතර බෞද්ධයන් යම් ප්‍රමාණයක්‌ හෝ සිටියේ නම් ඒ කාලිංගයන් සහ පල්ලවයන් අතර පමණක්‌ම විය. 

මාගම රාජධානිය මේ තත්ත්වයෙන් මුළුමනින්ම පාහේ වෙනස්‌ විය. සම්පූර්ණ වශයෙන්ම බෞද්ධ ජනයාගෙන් සුසැඳි රාජ්‍යයක්‌ වූ එය මේ කාලයේ අනුරාධපුරයේ දක්‌නට ලැබුණු බ්‍රාහ්මණ සංස්‌කෘතික ලක්‍ෂණවලින්ද මුළුමනින්ම වෙනස්‌ වී සිටියේය.

සාමාන්‍යයෙන් මාගම යනු ස්‌වාධීන රාජ්‍යයක්‌ නොවේ. එය හැමවිටම අනුරාධපුර ප්‍රධාන රාජ්‍යයේ උප රාජ්‍යයක්‌ විය. එහෙත්. ඒ යම් විදේශ ආක්‍රමණිකයකු අනුරාධපුරය අල්ලා ගන්නා තුරු පමණකි. එසේ වූ ඕනෑම විටෙක එය අනුරාධපුර රාජ්‍යයෙන් වෙන්වී ස්‌වාධීනව කටයුතු කළේය.

දැන් මේ උදා වී තිබුණේ එබඳු කාලයකි. යුද උණුසුමක්‌ නොපැවතිය ද රාජ්‍ය දෙකම දැඩි ලෙස තම තමන්ගේ දේශ සීමා ආරක්‍ෂා කළහ. අනුරාධපුරයෙන් මාගමටත්, මාගමින් අනුරාධපුරයටත් ඉඳහිට හෝ ගමන් කළේ වෙළෙන්දන් සහ වන්දනාකරුවන් පමණකි. 

අනෙක්‌ අතට දකුණේ පැවතියේ මාගම රාජ්‍යය පමණක්‌ම ද නොවේ. මේ වනවිට බටහිරට වන්නට පිහිටි කල්යාණි රාජ්‍යය ද, කතරගම ක්‌ෂත්‍රියයන් සතුව පැවැති කාචරග්‍රාම රාජ්‍යය ද මාගම රාජධානියට නතුව පැවතියද, සේරු සහ සෝම යනුවෙන් හඳුන්වනු ලැබූ තවත් කුඩා රාජ්‍ය දෙකක්‌ ද දකුණේ විය. එහෙත්, දකුණේ මහරජු වූ කාවන්තිස්‌ස ගේ ඥතීන් විසින් පාලනය කරන ලද මේ රාජ්‍ය අතර බරපතල දේශපාලන අර්බුද පැවතියේ නැත.

⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆

කුස පුරවාගත් නන්දිමිත්‍රයෝ සිත පුරවාගනු පිණිස යළිත් ගාමණි අබය තරුණ කුමාරයා වෙත පමුණුවන ලදහ.

ඔහු තම ජීවිත කතාවත්, මාගමට පළා ඒමට සිදුවූ හේතුවත් ගාමණි අබයට පැහැදිලි කළේය. කළින් මෙන් නොව දැන් මෙතැන මහ සෙනෙවි වේළුසුමන ද සෙනෙවි සුරනිමල ද ගාමණි අබය සොහොයුරු තිස්‌ස කුමරුද විය.

"එපමණද?"

ගාමණි අබය කුමරුවෝ සැහැල්ලූ ලෙස සිනාසී ඇසූහ.

"... නැහැ මං ඊට පස්‌සෙ මිත්‍ර මාමණ්‌ඩි යටතේ එළාර රජු ළඟ සේවය කළා."

"ඒක අප දන්නවා, අය්යණ්‌ඩි අහන්නෙ ඊට පස්‌සෙ කරපු දේවල් ගැන"

තිස්‌ස කුමාරයා කීවේය.

"ඉතුරුවෙලා හිටපු අප්පච්චිගෙ අංගක්‌කාරයෝ මාව ඔවුන්ගේ නායකයා කරගත්තා. මිනියවත් හොයාගන්න බැරිවෙච්ච අප්පච්චිගෙ මරණෙ සිදුවුණේ කොහොමද කියල ඔවුන් මට කියල දුන්නා.."

කී නන්දිමිත්‍ර තරමක්‌ සෙමෙන් මෙසේද කීවේය.

"අපි ඊට පස්‌සෙ කාටත් හොරෙන් අපේ රාජකාරිය පටන් ගත්තා."

"රාජකාරිය කිව්වෙ?"

ගාමණි අබය ඇසුවේය.

"අපි බෝධීන් වහන්සේ ළඟ රැකලා හිටියා"

"නමුත්... ඔබගේ පියාගේ කාලෙ අර සිද්ධියෙන් පස්‌සෙ බෝධීන් වහන්සේ කපා හෙලන්න කවුරුවත් ආවා කියලා දැනගන්න නැහැ.."

"ඇත්ත ඊට පස්‌සෙ උන් ආවෙ බෝධිය කපාහෙලන්න නොවෙයි, විෂ යොදන්න, මුල් විනාශ කරන්න වගේ දේවලට.."

"බොහෝ දෙනාට තිබෙන්නේ මුල් විනාශ කිරීමේ රුදාව තමා" 

සිනාසී කී ගාමණී අබය ඉතා තියුණු ලෙස මෙසේ ඇසුවේය.

"ඒ ආව කාටවත් ඒවා කරන්න ඔබ ඉඩදුන්නේ නැහැ?"

"එහෙමයි"

"ඒ කියන්නෙ ඒ ආපු අය ආපසු පණපිටින් ගියෙත් නැහැ"

"එහෙමයි"

"නන්දිමිත්‍ර, හතුරකු තබා කුරා කුහුඹුවකුවත් ඝාතනය කිරීමට අපගේ ධර්මයෙන් අපට අවසරයක්‌ නැහැ. අපේ ධර්මය, එය විනාශ කිරීමට පැමිණෙන්නාටත් පෙරළා පහරදීමට අවසර නොදෙන අහිංසක ධර්මයක්‌. අප පණපුදා හෝ එය රැකගැනීමට තැත්කරන හේතුව එයයි..."

ගාමණි අබයගේ ස්‌වරය තමන් වශී කරන මන්ත්‍රයක්‌ මෙනැයි නන්දිමිත්‍රට සිතිණි.

සැහැල්ලූ සරල සිනාකරුවා දැන් තම නියම චරිතයට ආරූඪ වී සිටියි.

"... ඒත් මේ පණ පිදීමෙන් අපි අපේ ආත්ම විමුක්‌තියෙන් ඈතට යයි. නිර්වාණයෙන් ඈතට යයි..."

"අපි, අනෙක්‌ අයගේ නිර්වාණ සුවය වෙනුවෙන් අපේ නිර්වාණ සුවය පරිත්‍යාග කරන අය කුමාරයාණනි"

ගාමණි අබය ආවේශ වූ කලෙක මෙන් නැගී සිටියේය. මහා සංසාරයක්‌ මුළුල්ලේ තමන් හොඳින් ඇසූ යමක්‌, තම චිත්ත සන්තානයේ රැඳි තිබුණ යමක්‌ දැන් කෙනකු විසින් ඔහු ඉදිරියේ ප්‍රකාශ කරනු ලැබ තිබේ.

"නන්දිමිත්‍ර..., ඔබලාට මේ දර්ශණය උගැන්වූයේ කවුද? අනෙක්‌ අයගේ නිවන වෙනුවෙන් ඔබලාගේ නිවන පරිත්‍යාග කරන්න ඔබලාට උගැන්වූයේ කවුද, අනෙක්‌ අය වෙනුවෙන් ධර්මය ආරක්‌ෂා කිරීම උදෙසා තමන්ගේ ජීවිත පරිත්‍යාග කරන්න ඔබලාට උගැන්වූයේ කවුද?"

⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆



වර්ෂ 2010 පෙබරවාරි දාහතර වන ඉරිදා, දිවයින ඉරිදා සංග්‍රහයෙන් උපුටාගත් මෙම මහරජ ගැමුණු සිනමා තිර රචනයේ නවකතා පරිවර්තනය පස්වන කොටස ක්‍රි.ව. 2016 ක් වූ දෙසැම්බර් මස විසිඑක් වන දින පූජිත විසින් සටහන් කරන වගයි...

No comments:

Post a comment