Saturday 24 December 2016

10 කොටස - හොරෙන් බලන්න මම ලලනාවක්‌ ද මිනිහෝ?

දීඝාභයගේ පැමිණීම එළාර රජු ලද සුළුපටු ජයග්‍රහණයක්‌ වූයේ නොවේ. කලක්‌, රජරට රාජධානි සීමාව අසල වූ, රුහුණු රාජ්‍යයට අයත් පුලත්ථිපුර නගරයට නුදුරු කසුප්තොට බලකොටුවෙහි අධිපතියා වූ ඔහු ඒ ප්‍රදේශයෙන් රුහුණු රාජ්‍ය දේශ සීමාව ආරක්‍ෂා කළ මහත් ශූර වීර මිනිසා ද විය.

කසුප්තොට රැකවරණය තර කරනවාට අමතරව ස්‌වකීය පිය රජුගේ යුද හමුදාවනට ඉතා දක්‍ෂ මිනිසුන් තෝරා එවීමේ කාර්යයේ ද දීර්ඝ කාලයක්‌ නියෑලුණු දීඝාභය, දීඝවාපියට පත් කර එවන ලද්දේ මෑතකදී ය. ඇත්ත වශයෙන් ම ඔහු කසුප්තොට භාරව සිටි සමයේ දැන් බඳු යුද උණුසුමක්‌ පැවතියේ ද නොවේ.

"පියරජතුමා ඔබ කසුප්තොටින් දීඝවාපියට කැඳවා ගත්තේ ඇයි?"

එළාර ඒ අව්අස්‌සේ තම රාජ්‍යයේ භූ ආරක්‍ෂාව සම්බන්ධයෙන් මෙතෙක්‌ ඔහුට තිබූ ගැටලුවක්‌ ලිහා ගැනීමට උත්සාහ කළේය.

"ඔබ වහන්සේ කසුප් තොටින් ඔබේ ප්‍රථම ප්‍රහාරය දියත් කරනු ඇතැයි මුලින් පිය රජතුමා විශ්වාස කළා. එහෙත් පසුව එතුමා කල්පනා කළා ඔබ වහන්සේ මුලින්ම පහර දෙනවා නම් ඒ නිසැකවම දීඝවාපියට බව.."

කාවන්තිස්‌ස රජුගේ යුද ඉව පිළිබඳව එළාර රජුගේ හදවත තුළ විදුලියක්‌ කෙටී ගියේය. එහෙත් ඔහු ඒ බවක්‌ නො අඟවා සැහැල්ලු කාරුණික සිනාවක්‌ම නැඟීය.

"දීඝවාපිය..? මොකක්‌ද මට ඒකෙ තියෙන වැදගත්කම?"

එළාර රජු කිරිසප්පයකු වීම ගැන නම් මේ මොහොතේ දීඝාභය තුළ යම් අසතුටක්‌ මතුවිණි.

"දීඝවාපිය කියන්නේ අපගේ ධාන්‍යාගාරය"

දීඝාභය බිම බලාගෙනම කීවේය.

"මිනිසුන් කුසගින්නේ තබා කෙසේ හෝ යුද්ධයක්‌ පමණක්‌ කිරීම පිය රජතුමාගේ කැමැත්ත නොවෙයි"

අනතුරුව ඔහු කීවේ කෙළින්ම එළාර දෙස බලමිනි.

එළාර රජුගේ හදවත තුළ මෙවර කෙටී ගියේ එක විදුලියක්‌ නොව, විදුලි ප්‍රහාර දහසකි. මාගම පාවාදීමට පැමිණි මානවකයා දැන් එහි නායකයන්ගේ උසස්‌කම පිළිබඳව නන් දොඩවයි. මොවුන් පාවාදීම් කරන්නේ කෙසේද යන්න පිළිබඳවත් හරිහැටි නොදන්නේ යෑයි එළාර රඡ්ජුරුවෝ කල්පනා කළහ. ඔහු තැති ගැනුණේ කාවන්තිස්‌ස රජුගේ යුද සූදානම එසේ මෙසේ එකක්‌ නොව එය අතිශය සංවිධානාත්මක එකක්‌ බව යළි යළිත් ප්‍රත්‍යක්‍ෂ කර ගැනීමෙනි. ඒ වූ කලී හුදු යුදකාමී ක්‍ෂත්‍රියයන්ගේ විලාශයක්‌ නොව, යුද්ධය ප්‍රතික්‍ෂේප කළ නොහැකි ධර්මතාවක්‌ බවට පත් වූ කල එය ඉතාම අකැමැත්තෙන් තෝරාගන්නා සුවිශේෂී ක්‍ෂත්‍රිය විලාශයක්‌ බව එළාර දැන සිටියේය.

එබන්දන් පිටුපස නිහඬ, නොසැලෙන මහා ශක්‌ති ප්‍රවාහයක්‌ ද, දර්ශනයක්‌ ද පවතී. ඒවා යුද්ධයකදී අසිපත්වලට වඩා බිහිසුණුය.

"ඊට අමතරව තව හේතුවක්‌ තිබුණා"

දීඝාභය ඊළඟට පවසනු එළාරට ඇසුණේ වෙන ලෝකයක සිට එන හඬක්‌ පරිද්දෙනි. දීඝාභය ඒ ප්‍රකාශ කරන්නට යන අනෙක්‌ හේතුව ඇසීමට පෙර එළාර තම සිත වෙනත් කාරණාවක්‌ ඔස්‌සේ ඈතට රැගෙන ගියේය.

එළාර රජ්ජුරුවෝ ශූර චරපුරුෂයෙක්‌ වූහ. ශූර සමුද්‍ර වාණිජයකු ද, ශූර නැව්පතියකු ද, ශූර රාජ්‍ය පාලකයකු ද වූහ. දක්‍ෂිණපථයේ සෑම ප්‍රදේශයකම පාහේත්, ඉන් පිටත නානා දේශවලත් සැරිසරා ඇති ඔහුට විවිධ මිනිසුන් මුණගැසී තිබේ..

ආන්ද්‍ර, කාලිංග, චේර, පාණ්‌ඩ්‍ය, චෝළ. පල්ලව, කලභ්‍ර ආදීන් පමණක්‌ නොව ඉතාම ඈත රටවල පර්සියානුන් ද, යවනයන් ද, රෝමානුකයන් ද ඔහු ඇසුරු කොට තිබේ.

මේ විවිධ මිනිසුන්ගේ විවිධ භාෂා කීපයක්‌ ම ද කතා කළ හැකි මිනිසකු වූ ඔහු ඒ නිසාම ඔවුන්ගේ ජීවන දර්ශනයන් ද හොඳින් දැන සිටියේය.

එහෙත් පාරාදීසයකැයි වහ වැටී පැමිණ අත්පත් කොට ගත් මේ භූමියේදී ඔහුට මුණ ගැසුණු මිනිසුන් මහ අමුතු මිනිසුන් විය. සාමාන්‍යයෙන් අනෙක්‌ ඕනෑම මනුෂ්‍යයන් පිරිසක්‌ සතු ඉන්ද්‍රියයන්ගෙන් සේම දුර්වලකම් වලින් ද සමන්විත වුවත් මොවුහු විශ්මය ජනක මානසික සුවයක්‌ භුක්‌ති විඳිමින් සිටින්නෝ වූහ. ඉතාම සරල ලෙසත්, ඉතාම සැහැල්ලු ලෙසත් තම ජීවිතය ගත කළ ඔවුන් නිතරම උස්‌ හඬින් කතා කළ අතර. ඔවුන්ගේ මුහුණු හැම විටම සිනහවන්ගෙන් පිරී පැවතියේය. ඒ සිනහව ඔවුහු තම ආගන්තුකයන් කෙරෙහි නොමසුරුව පුද කළහ. 

එසේම ඔවුහු තම ආගන්තුකයන් දෙස සැකයකින් හෝ බියකින් හෝ නොබැලූහ. ඕනෑම ආගන්තුක මනුෂ්‍යයකුට ඕනෑම විටෙක ඔවුන්ගේ රටට පිවිසීමට හැකි විය. එසේ පිවිස වෙළ හෙළඳාමේ යෙදීමට ද හැකිවිය. අවශ්‍ය නම් ආවාහ-විවාහ කර ගැනීමටද, තවත් අවශ්‍ය නම් මෙහි පැළපදියම් වීමට ද කිසිවකුගෙන් බාධාවක්‌ නොතිබිණි. වර්ණය මත හෝ වර්ගය මත හෝ කිසිවකුට කිසිදු වෙසක්‌ නොකෙරුණු අතර ආගම් නිසාවත් කිසිවකු නොසළකා නොහරින ලද්දේය. ඒ නිසා ආගන්තුකයන් සමඟ මෙහි පැමිණෙන ඕනෑම දෙවියකුටද මෙහි පැළපදියම් වීමට බාධාවක්‌ නොතිබිණි.

ඒ අනුව ඉන්ද්‍ර, වරුණ, පර්ජන්‍ය වැනි වෛදික දෙවිවරු ද, ශිව, විෂ්ණු වැනි පශ්චාත් වෛදික දෙවිවරුද, මෙහි පැමිණියහ. ජම්බුද්ධීපයේ ඊසාන දිග කපිලවස්‌තු ප්‍රදේශයේ ඉපිද, බුද්ධත්වය නම් අති ශ්‍රේෂ්ඨ තත්ත්වයට පත් මනුෂ්‍යයකුගේ දර්ශනයක්‌ මුළු මහත් ජනතාවක්‌ වශයෙන් ම වැළඳගෙන සිටි මෙහි වැසියෝ ඒ කිසිදු දෙවියකු විශ්වාස නොකළ ද ඔවුනට කිසිදු විටෙකදී බාධා ද නොකළහ. ඒ කෙසේ හෝ වේවා මෙහිදී මතුව තිබූ සුවිශේෂ තත්ත්වයක්‌ නම් ආක්‍රමණිකයකුට වේවා එසේ නොවෙන්නකුට වේවා රටේ ජනතාව තම පක්‍ෂපාතීත්වයේ රඳවා තබා ගැනීම සඳහා කිසිම දෙවියකු යොදා ගත නොහැකි වීමය.

දෙවියන්ට ද බිය නැති මේ සාමකාමී නිතර සිනාසෙන පුදුමාකාර මිනිසුන් යම් කලෙක තම දකුණේ ඥතීන් සමඟ එකතුව තමාට එරෙහිව නැගී සිටිය හැකි යෑයි යන සැකය හැම විටම එළාර තුළ විය.

'ඔබට වැරදුණා මිත්‍රයා' යන අසේල රජුගේ ප්‍රකාශය ද රන්පත් ඉරුවේ සහ මහා මේඝවන මහා සෙල්ටැඹේ සඳහන් බ්‍රාහ්මීය අක්‍ෂර ද ඔහුගේ සැකය අසහනයක්‌ බවට පත් කොට තිබූ අතර මේ සියල්ලෙහි  ඓක්‍යය වශයෙන් පෙනෙන ගාමණී අබය නමට ද ඔහු තැති ගැනිණි. ඒ තරමටම ඔහු කාවන්තිස්‌ස රජුගේ යහපත්කම් වලට ද තැති ගැනිණි.

එහෙත් රාෂ්ට්‍ර පාලකයා තැතිගැන්ම ප්‍රතිකර්මය බවට පෙරළයි. ප්‍රතිකර්ම සඳහා ඔහු ඉදිරියේ උපක්‍රම පහළ වේ. උපක්‍රම වෙනුවෙන් ඔහු වඩාත් සන්සුන් වේ.

අවසානයේදී එළාර රඡ්ජුරුවෝ යළිත් මුලටම පැමිණියහ.

"අමතර තව හේතුවක්‌ ගැන ඔබ කිව්වා"

"එසේය, මීළඟට රජකමට සුදුස්‌සා කවුද යන්න රජතුමා රාජ සභාවට ප්‍රකාශ කොට තිබුණා"

"නමුත් ඒ ඔබ නොවෙයි, ඒ ගාමණි අබයයි?"

"එසේය"

"ඔබ තව දුරටත් කසුප්තොට නොතබා දීඝවාපියේ සාමන්තයා වශයෙන් උසස්‌ කොට යෑවීමට තව හේතුවක්‌ වූයේ එයයි"

"එසේය රජතුමනි"

"ඔබව සනසන්න කළ ඒ වැඩෙන් ඔබ තවත් කළකිරුණා?"

"එසේය රජතුමනි"

"දීඝාභය, මාගේ රාජ්‍යය ඔබ සාදරයෙන් පිළිගන්නවා"

කල් නොයවා කියූ එළාර රජ්ජුරුවෝ රහස්‌ මන්ත්‍රණ ශාලාවෙන් පිටව යනු පිණිස අඩියක්‌ පෙරට තැබූහ.

ඡත්ථත්, දීඝාභයත් කඳ නවා ඔහුට ආචාර කළෝය.

එළාර ආපසු හැරී මෙසේ කීවේය.

"හදවතින් දුටු දෙය දෑස කවදාවත් අමතක කරන්නේ නැහැ. අප මාගම රාජ්‍යය පරාජය කළ දවසට එහි යුවරජ ඔබයි."

⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆

මාගම රජ මාළිගා පරිශ්‍රයේ ඉදිරි ද්වාරයට ආසන්න ප්‍රදේශයක පවත්නා සාමාන්‍ය දොරටුවකින් එළියට බැස, ඇතුළු පවුරේ එළිපත්ත හරහා මඳක්‌ එහායින් පෙනෙන විශේෂ රාජ්‍ය සේවක නිවාස පංතිය වෙත ගමන් කරන්නකුට මේ මොහොතේ බටහිර අහසේ අපූර්ව දර්ශනයක්‌ දිටිය හැකිය.

ඒ, ගොබ වළාවලින් පිරුණ අහස සැඳෑ හිරු එළියෙන් වර්ණවත් වී ඇති අසාමාන්‍ය ආකාරයයි. සිත්තරකුගේ රන්පැහැති සායම් බඳුනක්‌ සුදු පුළුන් කුට්‌ටියක්‌ මතට හදිසියේ හැළුණු ස්‌වභාවයක්‌ ප්‍රදර්ශනය කළ මේ දර්ශනය රසවිඳීමට මිනිසකු පළපුරුදු රසිකයකුම වියයුතු නැත.

එය දුටුමුත් කිසිදු ආකාරයකින් එය නොවිඳි, නැතහොත් එය විඳගැනීමේ අවකාශයක්‌ මේ මොහොතේ නොමැති මිනිසකු මේ කියන ප්‍රදේශය හරහා ගමන් කරමින් සිටියේය.

ඔහු භාතිකය.

විශේෂ රාජ්‍ය සේවකයන්ගේ විවේකය පිණිස නිමැවී තිබූ කුටිපෙළ අතරින් ගමන් කළ භාතික තම ගමන නිමා කෙරෙන කුටිය තුළට ඇතුළුවන විට කෝඳුරුවාත් මේඝත් එහි පිස්‌සු කතා කියවමින් සිටියහ.

"ඔහෙ පලයං - භාතික අයියණ්‌ඩි"

භාතිකගේ අනපේක්‌ෂිත පැමිණීමෙන් තිගැස්‌සුණු මේඝට කියෑවිණ.

"මොකද අද බොලාල රාජකාරි යන්නෙ නැද්ද?"

විමසමින් අසල තිබුණ ගෙල දිගැති ශක්‌තිමත් මැටි භාජනය අතට ගත් භාතික එහි පිරී තිබුණු ජලය ශබ්ද නඟා යැමට ඉඩ හරිමින් එය තම උදරය තුළට හිස්‌ කළේය.

"යනව අයියන්ඩි, අද අපි කුමාරවරුන්ගෙ සීමාවෙනේ, එළිවෙනකම් හක්‌මන් කොරහල්ලකො ඉතිං"

කෝඳුරුවා එවදන් අසමින් භාතික දෙස බලන අයුරුත්, භාතික ද එයට හොඳින් සවන්දෙමින් කෝඳුරුවා දෙස බලන අයුරුත් මේඝ දුටුවේ නැත.

මේඝ පළපුරුදු අංගාරක්‌ෂකයෙකි. කෝඳුරුවා තරම්ම නොවුණත් හේ භාතිකට වඩා ජ්‍යෙෂ්ඨය, එහෙත් භාතික ඔහුට වඩා වැඩිමහල්ය. එකට වැඩ කරන කුඩා කණ්‌ඩායම අතර භාතික හැම විටම යම් ප්‍රභූත්වයක්‌ හිමි කොටගෙන සිටියේය. ඊට එක්‌ හේතුවක්‌ වූයේ ඔහු මහ සෙනෙවි වේළුසුමනගේ ඉතාම සමීප සේවකයකුයෑයි අනෙක්‌ අය තුළ පැවැති මිථ්‍යාවය. මේ මිථ්‍යාව ගොඩනඟන ලද්දේ කෝඳුරුවා විසින් වූ අතර ඔවුහු අප එකිනෙකාට පෙනෙන්නට ඒ සමීපකම් නොපෙන් වතියිද කෝඳුරුවා තවත් මිථ්‍යාවක්‌ වපුරා තිබුණේය.

ඒ කෙසේ වුවත්, ඔවුන් කිසිවකුට තමන්ට රිසි පරිදි අංගාරක්‌ෂක රාජකාරියේ වේලාවන් තෝරාගත නොහැකි වූ අතර ඒවා වේළුසුමනගේ තනි පෞද්ගලික අධීක්‌ෂණය යටතේම සිදුවිය. ඔහුගේ සහාය පිණිස අලුතින් අනුයුක්‌ත කෙරුණු නන්දිමිත්‍ර සෙනෙවි පවා තවමත් මේ කාර්යයට වේළුසුමනට ඉහළින් අත තබා තිබුණේ නැත.

අද උදාවි ඇත්තේ කෝඳුරුවාත්, මේඝත් කුමාරවරුන්ගේ නිදන ගබඩාව පිහිටි අංගනයේ ආරක්‌ෂක සක්‌මනෙහි යෙදෙන රාත්‍රියය.

මෙය ඉතා සුවිශේෂ රාත්‍රියක්‌ වශයෙන් රජ රටින් ලැබුණු අණ පරිදි භාතික විසින් තීරණය කරනු ලැබ තිබුණේය. කෝඳුරුවා අතින් ගිලිහුණ ගාමිණී අබය ඝාතන වරමට ඔහු මුළු සිතින් ගතින්ම ආරූඪව සිටියේය. ඔහුගේ ඇතැම් ඉංගිතයක්‌ රහසේ නිරීක්‌ෂණය කළ කෝඳුරුවා පවා සලිත වී සිටියේය.

භාතික අද යමකට සැරසෙන බව ඉවකින් මෙන් කෝඳුරුවාට දැනුණත්, එවැන්නක්‌ අද සිදුවන්නේ කෙසේ දැයි යන්න ඔහුට සිතාගත නොහැකි දෙයක්‌ විය.

අද අදාළ ප්‍රදේශයේ රාජකාරි කරනුයේ තමාත්, මේඝත් පමණකි. භාතිකට ඒ අස්‌සේ රිංගීමට මොනම අවකාශයක්‌වත් නැත.

"ඔය කුමාරවරුන්ගෙ අංග ආරක්‌ෂකයො වෙලා රෑට රෑට උන් නිදාගන්න ඉසව්වෙ හක්‌මන් කොරලා කාටද බං හරිගියේ?"

භාතික හිටිවනම කීවේය.

සාමාන්‍යයෙන් අංගාරක්‌ෂකයෝ කිසිවිටක එබඳු කතා නොකියති. එබඳු කතා ප්‍රකාශ කරනවා තබා එබඳු අදහසක්‌ දැරීම ද හිස දංගෙඩියට තබන වැඩකි.

"හැහ් මොකක්‌ද අයියන්ඩි උඹ ඒ කීව හරුපේ?"

මේඝට කියෑවුණා නොව කෑගැසුණේය.

එහෙත්, ඒ විමතියටත්, ප්‍රශ්නයටත් පිළිතුර වූයේ වදනක්‌ හෝ නිහඬතාවක්‌ හෝ නොවේ.

ඉතාම සන්සුන් ලීලාවෙන් අසල සයනයේ වැතිරීමට මෙන් පහළට නැඹුරුවන භාතික එක්‌වරම සෘජු වී ස්‌වකීය වැළමිටෙන් මාරක ප්‍රහාරයක්‌ මේඝගේ පපු පෙදෙසට එල්ල කළේය. යම් හේතුවක්‌ නිසා එය හදවතටම නොවැදිණි. එය මේඝගේ වම් ගිරා ඇටයකට (මනුෂ්‍ය ශරීරයක ගෙල වළ දෙපස සිට උරහිස දක්‌වා විහිදී යන ඇට) වැදුණු අතර දණ්‌ඩක්‌ කැඩීයන ශබ්දයක්‌ නඟමින් එකෙනෙහිම කැඩී ගියේය.ඒ වේදනාව භුක්‌ති විඳීමේ අවකාශයක්‌ හෝ මේඝට නොවිණි. භාතික ස්‌වකීය මාරාන්තික ප්‍රහාරය මෙවර නිවැරදිවම මේඝගේ හදවත ප්‍රදේශයට එල්ල කළේය. ඔහු බිම ඇද වැටෙන විටත් මරණයට පත්ව සිටින්නේ ය යන්න පිළිබඳව කෝඳුරුවාට හෝ භාතිකට හෝ සැකයක්‌ නොතිබුණේය.

කිසිදු බාහිර තුවාලයක්‌ නොමැති සිරුරකින් මේඝ ඇදවැටී සිටියි.

කිසිදු ක්‍රියාවක්‌ සිදු කළ නොහැකි යන්ත්‍රයක්‌ මෙන් කෝඳුරුවා ගල්ගැසී මේඝ දෙස බලා සිටියි.

"මොකද බොල මේවා දැකල නෑ වගේ බලාන ඉන්නේ, පල ගිහින් තොගෙ කාර්යභාර නිලධාරියා හමුවෙලා මට අවසර ඇරං වර"

කෝඳුරුවා ගස්‌ ගෙම්බෙකු මෙන් එතැනින් පැන ඉවත්ව ගියේය.

⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆

තම ගොරෝසු හඬින් රාජ්‍ය නිලධාරීන් පිළිබඳ රසකතා කීම වේළුසුමනගේ සිරිතය. විවේකයක්‌ ලැබෙන ඕනෑම වේලාවක නන්දිමිත්‍ර වේළුසුමනගේ රාජකාරි කුටියට පැමිණියේ ඒ ඕපාදූප කතා අසන්නටම නොවේ. ඔහු වේළුසුමන සෙනෙවියාගේ සමාගමය අතිශයින් ප්‍රිය කිරීම ඊට හේතුවය.

වේළුසුමන කියමින් සිටියේ කංචදේව පිළිබඳ රසකතාවකි. කතාව රසවත් කරනු සඳහා ඔහු ඒ කතාවට අදාළ නැති පුස්‌සදේව ද චරිතයක්‌ කොටගෙන සිටියේය. සත්‍යයක්‌ වුව ද නොවුව ද කතාවේ අවසානය දෙදෙනාම මහ හඬින් නැඟූ ගොරෝසු සිනා ගඟුල විය.

කුටියට පිටතින් තට්‌ටුකරනු ඇසුණේ ඒ අතරය.

"මොකාද?"

වේළුසුමන සැරෙන් ඇසුවේය.

"වේළුසුමන මහ සෙනෙවිතුමනි, යටහත් සේවක කෝඳුරුවා"

"එනු"

තම සුපුරුදු සහ ලෙන්ගතු මහ සෙනෙවියා ඉදිරියට කෝඳුරුවා පිවිසියේ මුවපුරා සිනාවක්‌ ද නඟා ගෙනය. තමන් නිතර නිතර හාස්‍යයට ලක්‌කරන මහ සෙනවියා වෙතින් ඔහු මේ මොහොතේ ද හොඳ හාස්‍යයකට ලක්‌වීමක්‌ බලාපොරොත්තු විය.

උසස්‌ කෙනකුගේ විහිළුවක්‌ බවට පත්වන තරමටම ඔහුගේ අනුකම්පාව ද දිනාගත හැකි බව කෝඳුරුවා අත්දැකීමෙන් දැන සිටියේය.

එහෙත් වේළුසුමන මහ සෙනෙවි හැර මෙතැන තමන්ට අප්‍රිය සෙනෙවියෙක්‌ ද සිටිනු ඇතැයි කෝඳුරුවා බලාපොරොත්තු වූයේ නැත. කෙසේ වුවත් නන්දිමිත්‍ර දෙසවත් නොබලා ඔහු වේළුසුමන ඇමතුවේය.

"මහ සෙනෙවිතුමනි, මේඝයාට ජවරයක්‌ හැදිලා, අද කුමාරවරුන්ගෙ අංගනේ පාද මූලික රාජකාරි බෑ."

"හ්ම්, වෙදනා ළඟට එක්‌ක පලයං. ඒක නොවෙයි එහෙම නං කාවද බොලත් එක්‌ක ඒ වෙනුවට දාන්නෙ, පාමුල්ලේ රාජකාරියට ඕනෑම එකෙක්‌ දාන්න පුළුවන්ද බොල?"

"අර භාතිකයා හොඳයි ඌ අද නිකං ඉන්නෙ"

කෝඳුරුවා ප්‍රවේශමෙන් කීවේය.

"ආ..., භාතිකයා, ඌ හොඳයි... ඌ ශූරයි"

ප්‍රශ්නය මෙතරම් ඉක්‌මනින්ද, ඉතාම සතුටුදායක ලෙස ද විසඳේ යෑයි කෝඳුරුවා සිතුවේ නැත. එහෙයින්, ඔහුගේ ඉහේ මල් හතක්‌ පිපුණේය. වේළුසුමන මහසෙනවි දැන් තමා විහිළුවක්‌ කර ගනු ඇතැයි උපේක්‌ෂාවෙන් ඔහු එතැන මොහොතක්‌ පමාවිය. ඔහු එය කෙතරම් බලාපොරොත්තු වූවා ද යත් ඔහුට මෙතැන නන්දිමිත්‍ර සෙනෙවි සිටින බව පවා අමතක වූයේය. එහෙත්, හදිසියේම ඔහුට නන්දිමිත්‍ර සෙනෙවියා සිහිපත් වූ බැවින් වේළුසුමනගෙන් විහිලූවට ලක්‌ව්ම අමතකකොට ආපසු හැරෙන අතරේ ඔහුට යන්තමට නන්දිමිත්‍ර දෙස බැලිනි.

"මොකද නුඹ මා දිහා නොබලන්නේ නිලධාරියා, නුඹට මාව පෙනෙන්නේ නැද්ද?"

නන්දිමිත්‍රගේ ඒ ප්‍රකාශයට කෝඳුරුවා පමණක්‌ නොව වේළුසුමන ද තිගැස්‌සුණේය.

"පෙනෙනවා... පෙනෙනවා"

ඉක්‌මනට එතැනින් පිටවයනු රිසියෙන් කෝඳුරුවා කෙඳිරීය.

"මං දැක්‌කා පෙනුණ බව, තා හොරෙන් මා දෙස බලනු බව, හොරෙන් බලන්න මම ලලනාවක්‌ද මිනිහෝ?" 

නන්දිමිත්‍ර ගුගුළේය.

කෝඳුරුවාගේ ශරීරයේම ලේ සිඳී ගියේය.

වේළුසුමන මහ හඬින් සිනාසුනේය.

"මේ නුඹ භයවෙන්න එපා. ඔහොම තමා සෙනෙවිතුමා හරිම විහිළුයි, හොඳයි පලයං භාතිකයාව රාජකාරියට යොදාගනින්"

කෝඳුරුවා පත් අපහසුතාව වටහාගත් වේළුසුමන ඔහු ඉක්‌මනින් එතැනින් මුදාහරිනු වස්‌ කීවේය.

කෝඳුරුවා සෙනෙවිවරුන් දෙදෙනාටම ආචාර කොට පිටව ගිය අතර, දොරද යළිත් වැසිණි.

"එහෙත්.... ඒයි ඔහොම හිටපං"


⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆

වර්ෂ 2010 මාර්තු විසි එක්වන ඉරිදා, දිවයින ඉරිදා සංග්‍රහයෙන් උපුටාගත් මෙම මහරජ ගැමුණු සිනමා තිර රචනයේ නවකතා පරිවර්තනය දසවන කොටස ක්‍රි.ව. 2016 ක් වූ දෙසැම්බර් මස විසි හතර වන දින පූජිත විසින් සටහන් කරන වගයි...


No comments:

Post a Comment