Tuesday, 20 December 2016

04 කොටස - නෑකමට එනවානම් ගෙදරට එමු


"තා උපන් බිම කොහිද?"


මිත්‍ර සෙනෙවි තමා ඉදිරියට පමුණුවා ඇති කුහන්ගෙන් ප්‍රශ්න කළේ මඳ සැරෙනි.

සාමාන්‍යයෙන් ඉහළ ශ්‍රේණිවල සෙනෙවිවරු පහළ ශ්‍රේණිවල සෙබළුන් අමතන ඕනෑම විටෙක කිසියම් දෘඪ ස්‌වරයක්‌ පවත්වා ගැනීම සිරිතකි. සෙබළා කෙරෙහි විශේෂ කෝපයක්‌ සෙනෙවියා තුළ ඇතැයි ඉන් අදහස්‌ නොකෙරෙයි. එහෙත්, තම සේනාංකයට අයත් නොවූ සහ කුක්‌කිරාමම් නමැති අති ශූර චෝල සෙනවියකු අතින් පාලනය වූ විශේෂ ප්‍රහාරක සේනාංකයකට අයත් මේ තැති ගැනුණු සෙබලා කෙරෙහි වන යම් කෝපයක්‌ මිත්‍ර කෙරෙහි විය.

මීට මාස නවයකට පෙර වූ යම් සිදුවීමක්‌ පිළිබඳව වැඩිදුර ක්‍රියාමාර්ගයක්‌ අනුගමනය කරනු වස්‌ ඔහු මිත්‍ර ඉදිරියට පමුණුවනු ලැබ තිබේ. ඒ එළාර රජුගේ අණසුන් පතක්‌ ද (රාජ නියෝගය ඇතුලත් ලියෑවිල්ලක්‌) රැගත් රජුගේ සමීපතම සුළු සෙනෙවියකු වූ උපවර්ණ නමැති පාණ්‌ඩ්‍යයාද සමඟය.

මේ මිනිසා තමාට අනවශ්‍ය කරදරයක්‌ ගෙනාවේ ය යන සිතිවිල්ලෙන් මිත්‍ර පීඩා විඳිමින් සිටියේය. එහෙයින්, ඔහුගේ රළු බවද, නොරිස්‌සුම් බව ද දැඩි විය.

"මං ඇහුවෙ තා උපන් බිම කොහේද බොල?"

"මා චෝල රටේ නාට්‌කෝණම් ප්‍රදේශයේ කැල්ලුරල් ගමේ..."

"ඉතිරි හරියත් කියාපිය"

මිත්‍ර ගුගුළේය.

"ඒ කාලයේ අපව යටත් කරගෙන පාලනය කළේ උරියාවේ මහ රජ්ජුරුවෝ යි" (කාලිංගයේ ඛාරවේල රඡ්ජුරුවෝ යන්නය.)

"ඉතිං....?"

".... මම උන්වහන්සේගේ හමුදාවට බැඳුණා. මාව බඳවා ගත්තේ කුක්‌කිරාමම් සෙනවිතුමා. ඔහොම කාලයක්‌ යනකොට මට ඒ හමුදාව එපාවුණා."

"ඒ මොකද බොල?"

"අපි යටත් හමුදාවක්‌ නිසා ඛාරවේල රජතුමාගෙ මහ සෙනෙවිවරු අපට හරියට සැලකුවේ නැහැ. එළාර කියන නැව්පතියා හොඳ වැටුප් ගෙවා මහ සේනාවක්‌ හදනවය කියන ආරංචිය ආවෙ ඔය අතරයි. කුක්‌කිරාම් කිව්වා අපි ගිහින් එතුමාට සේවය කරමු කියලා..."

"ඇති"

මිත්‍ර සෙනෙවිගේ ප්‍රශ්න කිරීම දැන් ගමන් කරන්නේ වැරදි මාර්ගයක යෑයි පාණ්‌ඩ්‍ය සෙනෙවියාගේ ප්‍රත්‍යක්‍ෂය විය. කුහන් තිගැස්‌සීමකට පත්කරමින් ඔහු ඔහුට බාධා කළේ එහෙයිනි. එහෙත් එය, මිත්‍රගේ උදහසට හේතු විය. තම අතැස්‌මේ (කඩුව එල්ලා ගැනීම සඳහා ඉනේ බඳින පටියේ) එල්ලා වැටෙන කඩුවේ මිටේ වූ කඩු පොහොට්‌ටුව මිරිකමින් ඔහු සුළු සෙනෙවි උපවර්ණයාට මෙසේ කීවේය.

"මුගේ උත්තර ළඟට කෙළින්ම යනවාද වටෙන් යනවාද තීරණය කරන්නේ මම තේරුණාද? මම විතරමයි"

උපවර්ණ මඳ රැවීමකින් තම කෝපය පිට කළා නම් ඒ ද කුහන් දෙසම බලාගෙනමය. කුහන් ඊළඟ මොහොතේ ප්‍රශ්න නොලබාම උත්තර නිකුත් කරන්නට පටන් ගත්තේ දිගට හරහටය.

"එළාර නැව්පතිතුමා සිංහලද්වීපය අල්ලාගන්නට යනව කියන ආරංචියට අපි මත්වෙලා හිටියෙ. ඒකෙ පය තබන තබන තැන තිබෙන්නෙ මුතු, මැණික්‌, බලන බලන තැන ඉන්නෙ දිව්‍යාංගනාවො වගේ ගැහැණු. ඒක මේ ලෝකෙ තියෙන විශාලම රට හින්දා අපි හැම කෙනකුටම විශාල බිම් කඩක්‌ බැගින් ලැබෙනවා. ඔන්න ඔය වාගේ ආසාවල් හින්දා චෝල අප විතරක්‌ නොවෙයි, තරුණ චේරයෝ, පල්ලවයෝ, පාණ්‌ඩවයෝ, කාලිංගයෝ බොහෝ දෙනෙක්‌ එතුමාගේ හමුදාවට බැඳිලා හිටියා. අපි නැව් හැත්තෑවකින් පිටත්වුණා. ජම්බකෝලපට්‌ටනයෙන් සිංහලදීපයට ගොඩබැස්‌සා එදා තමයි..."

"ඇති"

මිත්‍ර ලඡ්ජාවට පත්ව සිටියේය. කුහන් මේ කියන කාලයට ටික කාලයකට පසු උදාවූ එක්‌තරා සුවිශේෂ දිනයක අනුරාධපුර රජ මාලිගා අංගනයේ පැවැත්වූ අවි සිප් තරගයකදී තමා සිංහලයන් වෙනුවෙන් ශිල්ප දැක්‌වීමට ඉදිරිපත්වූ සැටිත්, එහිදී චෝල පාණ්‌ඩ්‍ය, චේර, පල්ලව ආදී රණශූරයන් පරාජයට පත්කරමින් ජයගත් සැටිත් ඔහුට සිහිපත් විය. තම ජයග්‍රහණ ඉතා උනන්දුවෙන් නරඹමින් සිටි එළාර රජතුමාත් භට්‌ටාර පුරෝහිතතුමාත්, දීගජන්තු, නන්දසාරථී වැනි එළාරගේ කාලිංග මහ සෙනෙවිවරුත් අත්පොළොසන් දුන් ආකාරයන් ඔහුට සිහිපත් විය.

ඊළඟට ඔහුට සිහිපත් වූයේ තම උපන් ගම වූ කන්දරාජියේ මිනිසුන් පමණක්‌ නොව අසල්වැසි මිස්‌සකපව්ව පැත්තේ මිනිසුන්ද කෝපයට හා ශෝකයට පත්කරමින් තමා එළාර රජුගේ ආරාධනය පරිදි ඔහුගේ සෙනෙවියකු වශයෙන් රාජ්‍ය සේවයට එක්‌වූ දිනයය.

එහිදී තම නැගණියගේ ස්‌වාමි පුරුෂයා වූ නන්දි තරම් කෝපයට පත්ව සිටි මිනිසකු ඔහුට සිතා ගත නොහැකිය.

තමා මෙන්ම රාක්‌ෂසයකු වූ ඒ සුන්දර මිනිසා කඳුළු සළනු ඔහු ඉන් පෙර කිසි දිනෙක දැක තිබුණේද නැත.

එහෙත්, උසස්‌ රාජ්‍ය නිලධාරියකු වශයෙන් ඔහු ලද ඓශ්චර්යය එළාර රජතුමා නිසා උදාවූවකි. සිංහල පාලකයකු තම සමත්කම් උදෙසා නිසි තැන ලබා නොදුන්නේ යෑයි ඔහු හෘදය සාක්‌ෂියට බැණ වදිමින් එයට අඟුළු දැමුවේය. ඔවුන් තම ගෝත්‍රය නොසලකා හරින ලද්දේ යෑයි අනතුරුව ඔහු තම හෘදය සාක්‌ෂියට පහරදී තමාට ලැබුණ කුඩා මන්දිරයේ දොරටුවක එල්ලා තැබුවේය. අන්තිමේදී එක්‌තරා දවසක තම හෘදය සාක්‌ෂිය මරණයට පත්වූ බව ඔහුට දැනිණි. එතැන් පටන් ඔහු සිටියේ සතුටිනි.

එහෙත් දැන් ඒ සතුට කා දමන්නට මළ යක්‌ෂයකු පැමිණ සිටියි.

"බෝගස ළඟදී එදා මොකද වුණේ?"

උපවර්ණයා ද සතුටට පත්කරමින් මිත්‍ර තමාට පැවරුණු නියම රාජකාරියට පිවිසියේය.

"ඔවුන් අප සියල්ලන් ඉතා සුළු මොහොතකින් ඝාතනය කළා."

"කවුද ඔවුන් කියන්නේ?"

"රාක්‌ෂසයන්, රාක්‌ෂස අංගම්කාරයන්" 

මිත්‍ර තිගැස්‌සිණි. කුහන් සෘජුවම සහ ස්‌ථිරවම එසේ පවසනු ඇතැයි ඔහු බලාපොරොත්තු නොවීය.

"කොහොමද එහෙම කියන්නේ?"

"මා මට පහර දුන් පුද්ගලයා හඳුනා ගත්තා."

"කවුද?"

"නන්දි"

"නන්දි?"

මුවින් වරක්‌ ප්‍රතිරාවය වූ ඒ හඬ මිත්‍රගේ චිත්තාභ්‍යන්තරයෙහි යළි යළිත් ප්‍රතිරාවය විය. තමන් උගුලක හසු වූ සෙයක්‌ ඔහුට දැනිණි, එළාර කුහන්ගෙන් ප්‍රශ්න කිරිමට තමන් යෙදුවේ ඇයි ද යන්න දැන් පැහැදිලිය. ඔහු තමා පරීක්‍ෂා කරයි. තමාගේ පක්‍ෂපාතිත්වය, රාජපාක්‌ෂික භාවය තියුණු පරීක්‍ෂණයකට ලක්‌කරයි. පරීක්‍ෂණයේ ප්‍රතිඵල වශයෙන් නන්දි ඇතුළු කණ්‌ඩායම විනාශ කිරීමේ මෙහෙයුම තමන්ට පැවරෙනු ඇත. එළාර රජු එක ගලෙන් කුරුල්ලන් දෙදෙනකු නොව රංචුවක්‌ම බිම දැමීමට සැරසී සිටියි.

"ඉතින් තා පුර පෝය නවයක්‌ම මේ බව අපට හෙළිනොකර සිටියේ මන්ද? සැඟවී සිටියේ මන්ද?"

"මගෙ පණ බේරුවෙ හාමුදුරුවරු ආයිබෝවන්ඩ, මුලදි මම බොරු කියලා උන්වහන්සේලා රැවැට්‌ටුවා. ඒත් ටික දොහක්‌ යනකොට මට ඒක කරන්න බැරුව ගියා. මගෙ කැඩුණ ඉළ ඇට අත පය සනීප වෙනකොට මට බොරු කියන්න බැරුව ගියා. මම දෙවියන්ටත් යාච්ඥා කළා. අනේ දෙවියනේ ඇත්ත නොකියවෙන්න මගේ දිව නමන්න කියලා. ඒත් මොන පිස්‌සුද දවසක්‌ මට හාමුදුරුවන් වහන්සේලා ඉදිරිපිට සේරම කියෑවුණා. මම බලාපොරොත්තුවුණා උන්වහන්සේලා රාක්‌ෂසයන්ට මේක දැනුම් දීලා, මාව උන්ට අල්ලා දීලා මාව මරා දමයි කියලා. ඒ වුණාට එහෙම වුණේ නැහැ. උන්වහන්සේලා මට කරපු සාත්තුව නතර කළෙත් නැහැ. මට කීවෙ එක දෙයයි. ඒ වගේ පව්කාර වැඩවලට සම්බන්ධ නොවී ආව දිහාවකටම පලයං කියලා විතරයි. අනේ උන්වහන්සේලා රජතුමාගෙ මිනිසුන්ටත් හොරෙන් රාක්‌ෂස මිනිසුන්ටත් හොරෙන් මාව මාන්තොටට යවන්න සූදානම් කළා. එතනින් වෙළෙඳ නැවක නැගිලා ආයෙමත් මගේ ගමට යන්නයි මම හිතුවෙ...."

"මූ නැවකට නගින්න ඔන්න මෙන්න තියෙද්දි තමයි මට අහුවුණේ"

උපවර්ණ කීවේ ජයග්‍රාහී ලීලාවෙනි. අනතුරුව හේ එළාර රජු මිත්‍රට ලබාදෙන සේ තමන් සමඟ එවූ අණසුන් පත කිසියම් ගම්භීර ආකාරයකින් ඔහු අතට පත් කළේය.

මිත්‍ර එය කියෑවූයේ සැලෙන හදිනි.

"මේ වැදගත් සාක්‌ෂිකරුවා සමඟ ඔබ කළ පරීක්‍ෂණයේදී හෙළිදරව්වන රාජද්‍රෝහියා හෝ රාජද්‍රෝහීන් කණ්‌ඩායම කවුරුන් වුවත් ඔවුන් ඒ ආකාරයෙන්ම විනාශ කිරීම ඔබට පැවරෙන රාජකාරියයි."

⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆

වල් අලින් නිදහසේ වනාන්තරයේ ද ගැමියන් නිදහසේ තම ගෙවල්වල ද ගත කළ මේ කාලයේ මේ ද්වවිධ ප්‍රාණීන්ට එකිනෙකාගෙන් හිරිහැරයක්‌ තිබුණේ නැත. එහෙත් ඉතාම කලාතුරකින් ලුණු කෑමට ඇබ්බැහි වූ අලියකු ගැමි නිවසක මුළුතැන්ගෙය තුළට තම හොඬවැල ඔබයි. ලුණු පොල්කට්‌ට සැණෙකින් උරාබොයි. ඌ වළක්‌වන්නට සමහර ගැමියෝ තම නිවෙස්‌ වටා දඬු වැටක්‌ බැන්දහ.

කන්දරාජියේ එබඳු දඬුවැටක්‌ සහිත ගොවි නිවසක්‌ වෙතට මේ පැමිණෙමින් සිටින්නේ එබඳු අලියෙකු නොවේ. අසරුවන් පිරිසකි.

රෝහිණී නමැති තරුණ කාන්තාව ගොම මැටි පිරියම් කළ සීතල ගෙබිම මත එලන ලද පන් පැදුරක තම දෙහැවිරිදි ළදරුවා හොවා සිටියාය. නන්දිමිත්‍ර නමැති ගමේ කවුරුත් දන්නා මේ සුරතලා නින්දට යෑවීම අසීරු කාර්යයකි. තම පියා වූ නන්දිගේ නම ද තම මාමා වූ මිත්‍රගේ නමද එක්‌කොට තැනුණු නන්දිමිත්‍ර නමින් හැම විටම අමතනු ලැබූ දරුවා කොයි මොහොතකවත් නමේ කොටසකින් සුරතලයට හෝ අමතනු නොලද්දේය.

ඒ නිහඬ, නිසල රාත්‍රියේ නන්දිමිත්‍රයාට යන්තම් ඇස්‌ පියවුණා පමණි.

"කවුද?"

රෝහිණිය තරමක්‌ එහායින් ඇති දඬුවැට අසල සෙලවෙන අඳුරු ඡායාවන් රාශිය දෙස බලා ඇසුවාය.

"මම"

පිළිතුර නිකුත් කළ හඬ ඇය මහා සොම්නසකට පත්කළේය.

"අනේ මිත්‍ර අයියන්ඩි" 

ඇයට කියෑවිණි.

එළාරගේ රාජ්‍ය සේවයට ගිය පසු ඔහු නැවත කිසි දිනෙක තම නිවසට පැමිණ නැත. තමන්ද කෙදිනකවත් ඇතුළු නුවර පිටත උතුරු දොරටුව අසල පිහිටි ඔහුගේ මන්දිරයට ගොස්‌ නැත.

දෙමස්‌සිනාවරුන් අතර පැවැති විරසකය කුමක්‌ වුවද ඇයට තම ආදරණීයයා සමඟ අමතක කළ නොහැකි අතීතයක්‌ තිබේ. වෙල් ඉපනැල්ලේ දිව යමින් කෙළි සෙල්ලම් කළ මතක සේම මවටත් පියාටත් තුරුළුව එකම ගුලියක්‌ව නිදාසිටි ආකාරයේ මතකද ඇයගේ චිත්තසන්තානය සතුය.

මිත්‍ර පැමිණ සිටියේ අශ්වාරෝහක සෙබළ මුලක්‌ද කැටිවය. මේ අශ්වාරෝහක සෙබළෝ අමුතුම මිනිසුන් වූහ. අඳුරේ පෙනෙන සෙල් රූ මෙන් දිස්‌වූ ඔවුන් එකිනෙකා සමඟ හෝ කතා බහෙන් තොරවූහ. හැම කෙනකුගේම පිටේ එල්ලා තිබෙන ඊතල කොපුවත් උර හරහට දමාගෙන තිබුණු විශාල දුනුත් කියා පෑවේ ඔවුන් ඒ ක්‍ෂේත්‍රයේ අතිශය ප්‍රවීණයන් බවය. කිසිවකු දඬුවැට නොඉක්‌ම වූ අතර මිත්‍ර පමණක්‌ ම පෙරමඟට පිවිසෙන රෝහිණිය වෙතට පැමිණියේය.

"දෙවි හාමුදුරුවනේ අපේ අයියන්ඩි බොහෝම කාලෙකට පස්‌සෙ, නන්දිමිත්‍රයාට දැනුයි නින්ද ගියේ. අපේ මහයා ඔන්න අංගංපිටියේ."

රෝහිණීගේ අවසන් වැකිය තොරතුරක්‌ වශයෙන් සිතට ගනිමින් මිත්‍ර උළුවස්‌සෙන් නැවී ගෙතුලට පිවිසියේය.

"සුනංගු වෙන්ඩ බෑ, ආවෙ රාජකාරියකට."

"රාජකාරියකට ආවත් මෙහාටත් ගොඩවෙලා යන්න ආ එක කොච්චර දෙයක්‌ද?"

සඟවාගත නොහැකි කණස්‌සල්ලකින් මිත්‍රට මෙසේ මැතිරිණ.

"නෑ නෑ මං මෙහාටම තමයි රාජකාරියට ආවෙ"

මිත්‍රට සංග්‍රහ සත්කාර කිරීමේ කලබලයෙන් සිටි රෝහිණියට එය ඇසුණේ නැත. පෙරළී නිදා සිටින නන්දිමිත්‍ර දෙස මොහොතක්‌ බලා සිටි හේ යළිත් තමාටම මෙසේ කොඳුලා ගත්තේය.

"මම නුඹලා අසරණ වෙන්න ඉඩ තියන්නේ නෑ. මගෙ ළඟට ගන්නවා, ඔව්. ඒක සහතිකයි."

⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆  

උදිතෝදිතයා හතිලමින් දිව එනවිට නන්දි සිටියේ රාක්‌ෂස අංගම් ශිල්පයේ ගැඹුරුම රහස්‌ කීපයක්‌ තම සිසුන් හමුවේ ලෙහමිනි.

"මාමණ්‌ඩි, මිත්‍ර මාමණ්‌ඩි එනවා" 

සිසුවාගේ පණිවිඩය මිත්‍ර තුළ මඳ නැතිගැන්මක්‌වත් ඇති කළේ නැත. ඒ වෙනුවට ඔහු තම සිරුරත්, මනසත් නිහඬ යුද පිටියකට සූදානම් කළේය.

"නෑකම් නොකියා බොලාගේ වැඩක්‌ බලාගනිල්ලා."

ඊළඟ මොහොතේ මිත්‍ර පැමිණියේය. එහෙත්, ඔහු සමඟ වූ අසරුවෝ පැමිණියෝ නොවෙති. අංගම්පිටිය වැටළුවෝ වෙති. එසේ වුවද රාක්‌ෂස අංගම් ශිල්පියෝ කිසිවකුත් එය ගණනකට නොගත්හ. කලබලයකට ද නොපත්හ.

නන්දි සන්සුන්ව හිනෙන් ගත් බුලත්විටක්‌ මුව තුළ රුවා සපන්නට පටන් ගත්තේය. ඒ සන්සුන්කමත්, නිහඬකමත් මිත්‍රගේ හද ගැස්‌ම වැඩි කළේය. කිසිවක්‌ සිදු නොවූ අතර කිසිවෙක්‌ කිසිවක්‌ම නොදොඩා ද සිටියහ. අන්තිමේදී ශබ්ද පුරවන්නට වූයේ නන්දිටමය.

"මොකද මේ? නෑකමට එනවා නම් ගෙදරට එමු."

"මම නෑකමයි රාජකාරියයි පටලවා ගන්නේ නැහැ අයියන්ඩි. ඔබ ඒක දන්නවා"

"දැන් මොකක්‌ද මෙතන රාජකාරිය?"

"මීට පොහොය නවයකට කලින් එළාර මහරඡ්ජුරුවන්ගේ විශේෂ සේනාංකයේ සෙබළු රංචුවක්‌ම අතුරුදහන් වුණා."

නන්දි හොඳ බුලත් කෙළ පහරක්‌ දෑඟිලි අතරින් ඈතට විද්දේය. අනතුරුව මුව පුරා විසුරුණු බුලත් හප එක්‌රැස්‌කර ගැනීමට මුඛය හැඩ වැඩ කර ගනිමින් මෙසේ කීවේය.

"මොකෝ, මාගම පැත්තෙ රිංගන්ට ගොහින්ද?"

"එහෙම වුණා නම් අපට ඒක තේරුම් ගන්ඩ පුළුවන්. මේක වෙලා තියෙන්නෙ මාගමදී නොවෙයි, අනුරාධපුරේදි.. ශ්‍රී මහා බෝධීන් වහන්සේ ළඟදී"

නන්දි ඇත්තටම මෙන් සිනාසුණේය.

"කවදා අහපු කතා ද මේ? එහෙමනං ඕක මෙහෙම වෙන්න ඇති"

"කොහොමද?"

"වඳින්න ආව සර්දාව නිසා සේරමලාව දෙවියෝ අතුරුදහන් කරවන්න ඇති, දිව්‍යලෝකෙට පණපිටින්ම ගෙන්න ගන්න."

මිත්‍ර පෞද්ගලික කෝපයකට වඩා නැගී ආ රාජකාරීමය කෝපයකින් මෙසේ කීවේය.

"වෙන්න ඇති හැබැයි ඒ දෙවියෝ කවුද කියන එක රජවාසල අඳුරගෙන."

හදිසි යුද්ධයේ ආරම්භක සංඥාව නිකුත්වී ඇති බව නන්දිට වැටහිණ. හිස මඳකුදු නොසොල්වා දෙනෙත් පමණක්‌ම සොලවා ඔහු ක්‌ෂණයකින් තමා සහ තම සිසු පිරිස ස්‌ථානගතව සිටින සැටිත්, සතුරන් සියල්ලන්ම ස්‌ථානගතව සිටින සැටිත් නිරීක්‍ෂණය කළේය.

නිරායුදව වුව සතුරන් වෙත කඩාපැන සුළු මොහොතකින් ඔවුන් විනාශ කිරීමේ විශ්මයජනක හැකියාවක්‌ ඕනෑම විටක රාක්‌ෂස අංගම් ශිල්පීන් සතුව පැවතිණ. එය නාගයන් හෝ යක්‌ෂයන් සතුව පැවති ඕනෑම සටන් ක්‍රමයකටද වඩා විශිෂ්ට වූවක්‌ වූ අතර චේර, පාණ්‌ඩ්‍ය, චෝල, කාලිංග, කලභ්‍ර, පල්ලව ආදී ඕනෑම විදේශිකයකු නොඇසූ නුදුටු වික්‍රමයක්‌ ද විය.

එහෙත් මෙතැන ප්‍රශ්නයක්‌ තිබිණි. ඒ වන විට ද කාලිංග දුනුවායෝ දුනුදිය ඇද තම තමන්ගේ ඉලක්‌ක කෙරෙහි චිත්ත ඒකාග්‍රතාවකින් යුක්‌තව සිටියහ.

අධික වේගයකින් දුනුදිය සූදානම් කිරීමටත්, ඊතල නොවරදින ලෙස ඉලක්‌ක කරා යෑවීමටත් විශ්මයජනක හැකියාවක්‌ තිබූ මොවුන් සමඟ කෙරෙන සටන ඉතාම අසමාන සටනක්‌ විය හැකි බව නන්දි පළපුරුද්දෙන්ම දැන සිටියේය.

කිසිවක්‌ම නොමැති විට දක්‌ෂ සටන්කරුවන් විසින් ලබා ගන්නට උත්සාහ කරන්නේ කාලයය.

සමහරවිට කාලය ඔවුනට විශ්මයජනක දේ ලබාදෙනු ඇත.

කාලය ලබාගැනීම සඳහා අර්ථාන්විතව හැසිරීමද, නිවැරදිව වචන භාවිතා කිරීමද අවශ්‍යය. නන්දි මෙසේ කීවේය.

"අපව කුදලාන යන්ඩ නම් බැරිවෙයි. කුදලාන ගියත් හිරේ විලංගුවෙ දාල වහල තියන්න බැරිවෙයි. මස්‌සිනන්ඩි දන්නවනේ අපි කොයිවගේ හටන්කාරයෝද කියලා..."

කතාකරන අතර නන්දිගේ උපනෙත යොමුව තිබුණේ මිත්‍ර නැගී සිටින අසුගේ කණ වෙතය. කන්ගැට්‌ටට සිංහල පරමාණු දහසක්‌ මෙහායින් තිබෙන මාරක ස්‌ථානය තරමක්‌ දුරකින් සිට වුවද හඳුනා ගැනීම ඔහුට අපහසු නොවීය.

එහෙත්.....

⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆



වර්ෂ 2010 පෙබරවාරි හත් වන ඉරිදා, දිවයින ඉරිදා සංග්‍රහයෙන් උපුටාගත් මෙම මහරජ ගැමුණු සිනමා තිර රචනයේ නවකතා පරිවර්තනය සිව්වන කොටස ක්‍රි.ව. 2016 ක් වූ දෙසැම්බර් මස විසි වන දින පූජිත විසින් සටහන් කරන වගයි...

No comments:

Post a comment