Monday 26 December 2016

19 කොටස - රාජ්‍ය විචාරන්නට මට කම්මැලියි

"මා ඔහු කුඩා කාලයේ තුරුළු කර ගත්තා"

රජ්ජුරුවෝ තම බිඳුණු හඬට තමන්ම පිළියම් කොට ගැනීමට උත්සාහ කරමින් කීහ. එහෙත් ඒ නිසාම ඔහු හඬ තවත් බිඳිණ.

"දරුවන් න්‍යග්‍රෝධ වෘක්‍ෂ වගේ හැම අතින්ම විශාල වෙනවා. එතකොට අපට ඔවුන්ව තුරුළු කරගන්න බැහැ"

යනුවෙන් කී ඔහු තව බොහෝ වේලාවකට පසු මෙසේ කීවේය.

"මට මහා අලසකමක්‌ දැනෙනවා දේවි. රාජ්‍ය විචාරන්නට මට කම්මැලියි...."

විහාරමහා දේවිය තම සෙනෙහෙබර සංසාර සහකරුවා දෙස මහත් දයාර්ද්‍ර බැල්මක්‌ හෙළුවාය.

තීක්‍ෂණ, ජවාධික, කඩිසර, රාජ්‍ය පාලකයා වෙනුවට එතැන සිටියේ මිනිසෙකි, පියෙකි, සැමියෙකි.

"එහෙම නොවෙයි..." 

ඇය කීවාය.

"ඔබ විඳින පීඩාව මට පෙනෙනවා. ඔබට නිදහස්‌ වෙන්නට අවශ්‍යයි. ඒත් අපට එසේ කරන්නට බැහැ. අපේ රට නිදහස්‌ නැහැ. අනාගතයත් නිදහස්‌ නැහැ. අපි ඒවා නිදහස්‌ කොට නිදහස්‌ වෙමු"

රජ්ජුරුවෝ ඊට එකඟතාව පළ කරන බැල්මක්‌ ද, ඉංගිතයක්‌ ද පළ කළහ. දෙදෙනාගේම ආනුභාවයෙන් දෙදෙනාටම පොදු ධෛර්යයක්‌ දල්වා ගත් ඔවුහු එකිනෙකා දෙස බලමින් සිනා සුණහ. ඒ අතරින්, කාවන්තිස්‌ස රජු නැගූ සිනහව ඔහු මෙයට දශක කීපයකට පෙර නැගූ අන්දමේ සිනාවක්‌ යැයි විහාර මහා දේවියට සිතිණි. ඒ සිනාව තවදුරටත් පවත්වා ගත යුතුව තිබුණත්, පමා නොවී ප්‍රකාශ කළ යුතු යමක්‌ වෙනුවෙන් ඇය එය පරදුවට තැබුවාය.

"තිස්‌ස රාජ්‍යය අපේක්‍ෂා කරනවා"

රජ්ජුරුවෝ නැගී සිටියෝය. කෝපාවේශයක්‌ පැමිණි විට මේ මෑතක සිට ඔහු පෙළෙන කැස්‌සෙන් ඔහු පීඩා විඳිමින් සිටියේය.

"මොන විහිළුවක්‌ද ඒ? සැඟවී සිටියාට මගේ අනුප්‍රාප්තිකයා ගාමණී"

"තිස්‌ස මේ මෑතක මාගමට ආ වෙලාවේ මහ නරක වැඩක්‌ කොට තිබෙනවා"

"ඒ මොකක්‌ද?"

"ඔහු ගාමණී අබයගේ සෙනෙවියන් කැඳවා රැස්‌වීමක්‌ පවත්වා තිබෙනවා"

"ඒ මොකටද?"

"කවදාවත් මාගම රාජ්‍යය අරාජක වීමට ඔහු ඉඩ නොතබන බව කියා හැම සේනාංකයකම සහයෝග ඉල්ලා තිබෙනවා"

රජ්ජුරුවෝ කැස්‌සෙන් දැඩි ලෙසම පීඩා වින්දහ. විහාරමහා දේවිය විසින් වහාම ගෙනැවිත් දෙනු ලැබූ ජල බඳුනෙන් මඳක්‌ පානය කළ ඔහු මෙසේ කීවේය.

"තිස්‌සයාගේ හිතට කවුරුන් හෝ විෂ පොවනවා. මා එය සොයා ගන්නම්"

⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆

චරපුරුෂයන් පිළිබඳව පවත්නා එක්‌ මිථ්‍යාවක්‌ නම් ඔවුනට ඕනෑම විවරයකින් ඇතුළට රිංගා යත හැකි බවය. දක්‍ෂ චරපුරුෂයකුට ඉඳිකටු සිදුරකින් වුව රිංගා යා හැකි යැයි කතාවක්‌ තිබිණි. එහෙත්, ඉතාම සත්‍යය නම් ඇතැම් මහා විවරවලින් වුව චරපුරුෂයන් නොරිංගන බවය. උදාහරණයක්‌ වශයෙන්, මහා මාළිගා ද්වාර ගත හැකිය. ඇතැම් විට මේවා තුළින් මාලිගා තුළට පිවිසීමට චරපුරුෂයන්ට අවශ්‍යම නැත. මක්‌නිසාද, ඒවා තුළින් පිවිසීමට වරප්‍රසාද තිබූ තැනැත්තන් ලවා තම අදහස්‌ මස්‌තකප්‍රාප්ත කර ගැනීමට චරපුරුෂයන් මෙහෙයවන්නන් සමත් නිසාය.

භද්‍රවත් බිල්ව යනු චරපුරුෂයකු නොවේ, බ්‍රාහ්මණයෙකි.

රජරට රාජ්‍යය තුළ බ්‍රාහ්මණයන්ට තිබූ ස්‌ථානය මාගම රාජ්‍යය තුළ බ්‍රාහ්මණයන්ට නොතිබුණත්, ඔවුහු එහිදී ද පිළිකෙව් කෙරුණු හෝ පලවාහරිනු හෝ නොලද්දෝය. නැකත් ශාස්‌ත්‍රයෙහි ද වෙනත් ගුප්ත විද්‍යාවන් විෂයෙහි ද විශාරදයන් වශයෙන් සැලකුම් ලැබූ ඔවුහු අමනාපකොට නොගත යුතු විශේෂ පිරිසක්‌ වශයෙන් ද පිළිගනු ලැබුහ.

භද්‍රවත් බිල්ව දීඝවාපි ප්‍රදේශය තුළ ප්‍රසිද්ධියට පත් වූ කාරණා දෙකකි. එකක්‌ නම් ඔහු ඉදුණු බෙලි කෑමේ ශූරයෙකු වීමය. අනෙක ඔහු දීඝවාපිය පාලනය කළ කාවන්තිස්‌ස මහ රජුගේ බාල පුත් තිස්‌ස කුමරුන්ගේ සමීප හිතවතකු වීමය.

භද්‍රවත් බිල්ව අරභයා දීඝවාපිය තුළ මොන අන්දමකටවත් ප්‍රසිද්ධියට පත් නොවුණු කාරණා ද දෙකකි. ඒ එකක්‌ නම් රජරට රාජ්‍යයට අයත් බලකොටු නගරයක්‌ වූ නාලිසොබ්භයේ පාලකයා වූ නාළික නම් චෝළ සෙන්පතියා අතරත් බිල්ව අතරත් පැවැති මිත්‍රත්වයය. අනෙක නම් මේ මිත්‍රත්වය හඳුනාගත් භට්‌ටාර හරිචන්ද්‍ර ජිමුතවාහන විසින් නාළික හරහා බිල්ව බමුණා දීඝවාපියේ 'අඳුරු තානාපතියකු' කිරීමය.

රජරට රාජ්‍යයටත්, එළාර රජුටත් අහිතවත් පුද්ගලයකු වශයෙන් ඕනෑම විටෙක පෙනී සිටීම මගින් තිස්‌ස කුමරුන්ගේ විශ්වාසය දිනා සිටි බිල්ව හැමවිටම කාවන්තිස්‌ස රජුට පමණක්‌ නොව ගාමණී අබය කුමරුට ද මහත් පක්‍ෂපාතී අයෙක්‌ වශයෙන් පෙනී සිටියේය.

මේ විශිෂ්ට ආවරණයන් මගින් තිස්‌සගේ විශ්වාසය ද ලෙන්ගතුකම ද දිනාගත් බිල්ව ගාමණී අබයගේ පලායැම දීඝවාපියට සැළවුණු මුල් කාලයේ ඔහු සොයා ගැනීමේ උන්මාදයකින් පෙළුණේය.

දෛවය විසින් තිස්‌ස කුමරුන්ගේ කට වරද්දවනු ලැබූයේ මීට පසු කාල පරිච්ඡේදයකදී ය.

"අයියණ්‌ඩිය ගැන මා දන්නවා. සැඟවී සිටින දීපංකරේකින් ඔහු මටවත් පණිවිඩයක්‌ නො එවන්නේ ඔහු අප සියල්ලන්මත්, සියල්ලමත් හැරදා ගොස්‌ ඇති නිසයි. මට හිතෙන්නෙම ඔහු ගැඹුරු වනාන්තරයක ගැඹුරු භාවනාවක යෙදිල ඇති කියලයි"

තිස්‌සගේ සංවේගයට එබඳුම වූ සංවේගයකින් පිවිසෙමින් බිල්ව බමුණා නාලි සොබ්භයේ නාළිකගේ ද අනුරාධපුරයේ භට්‌ටාරගේ ද ,අඳුරු තානාපතිවරයා, වූයේ මෙසේය.

"අනුප්‍රාප්තික භාවය දෙදරීමේ අනතුර, රාජ්‍ය අරාජක වනවාටත් වඩා බරපතල අනතුරක්‌. එය සතුරන් ප්‍රබෝධමත් කරනු ඇති, එසේම, ඔවුන් එය ඔබගේ පියරජතුමාට පහරදීමට හොඳම අවස්‌ථාව වශයෙනුත් සලකනු ඇති. කුමාරයාණෙනි, ඔබට එය වළක්‌වනු නොහැකියි. එහෙත් අනුප්‍රාප්තික භාවය මේ උදාව තිබෙන අනතුරෙන් බේරා ගැනීමට ඔබට හැකියි. ඒ තමා නියම දේශපාලන කුමාරවරුන්ගේ සිරිත"

බිල්වගේ ප්‍රකාශයෙන් සිදුවූයේ ඔහු කියන්නකට පෙළඹීමකට වඩා ඔහු කෙරෙහි ද තිස්‌සගේ කෝපය ඇවිස්‌සීමය.

ප්‍රතිඵලය වශයෙන් බිල්ව කාලයක්‌ ම දීඝවාපියේ තිස්‌ස මාලිගාවෙන් නොනිල වශයෙන් පිටමං කෙරුණි. කුමාරයා මුණ ගැසීමේ සියලු අවස්‌ථාවන් ද ඔහු විෂයෙහි අහුරනු ලැබිණි.

එහෙත් වැඩිකල් නොයවාම ඔහු බලවත් පෙරැත්තයකින් යුතුවම යළි තම මාලිගයට කැඳවාගෙන ඒමට තිස්‌සට සිදු වූයේය.

ඊට හේතුව වූයේ තිස්‌ස තුළම ගොඩනැඟුණු කිසියම් අවිනිශ්චිත මනෝභාවයකි.

"අඩුම තරමේ, දැන් කුමක්‌ කළ යුතුද කියාවත් පිය රජතුමා මගේ අදහස්‌ විමසුවේ නැහැ. රටේ අනාගතය මෙහෙම අරාජක වන්න දෙන්න පුළුවන්ද? ඒ අතරේ එතුමාට දැන් වරින්වර අසනීපත් වෙනවාලු. අරහෙන් සතුරා අවි ආයුද ගොඩගසනවා. එතුමා නිහඬයි. ඒකනං මහ පුදුම නිහඬකමක්‌....."

"භයානක නිහඬකමක්‌......"

බිල්ව මෙවර වඩා සෘජුවත්, වඩා නිර්භීතවත් තම රාජකාරියට බැස්‌සේය. එය සාර්ථක වුවහොත් ඔහුට රජරට රාජ්‍යයෙන් විශාල කහවණු තොගයක්‌ ද, මාගම් රාජ්‍යයෙන් පුරෝහිත තනතුර ද එකවර ලැබෙනු ඇත.

"පස්‌වාන් දහසකට තරහ අවසර, ඔටුන්න සෙලෙවෙන්නේ නැවත වඩාත් හොඳින් හිසමත සවිවීමට විය හැකියි. එසේම එය, හිසෙන් බිමට වැටීමටත් විය හැකියි. ඔබ කෝකටත් මහ රජුගේ දෙපාමුල හිඳිමින් යමක්‌ අල්ලා ගැනීමට දෑත් ඉහළට ඔසොවා සිටිය යුතු කාලයයි මේ"

ඉක්‌මනින් ම මාගමට ගිය තිස්‌ස තම මවු බිසව හෝ මුණනොගැසී මුලින්ම මුණගැසුණේ ගාමණී අබයගේ සේනාංකාධිපතිවරුන් ය.

තිස්‌ස කුමාරයා අභියසට කැඳවන ලද දස මහ සෙනෙවිවරු ඔහුට මහත් උවමනාවෙන් සවන් දුන්හ.

ඔහු යම් වේලාවක්‌ ඔවුන් අමතා කතා කළේය. ඒ කෙතරම් වේලාවක්‌ ද යත් ගොඨයිම්බරත්, ඵුස්‌සදේවත් නින්දට වැටී තරගයට මෙන් ගොරවන්නට පටන් ගන්නා තෙක්‌ තරම්වූ වෙලාවකි.

තිස්‌ස ආපසු හැරී දීඝවාපියට ගියේ කෝපයෙනි.

"මුං හැසිරෙන්නෙ හරියට අයියණ්‌ඩිව මු හංගාගෙන ඉන්නව වගේනේ"

ඔහු තම අශ්වාරෝහක කණ්‌ඩායම සමඟ ආපසු එන අතර තම අශ්වයාට කීවේය. අශ්වයා කිසිවක්‌ කීවේ නැත.

⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆

ගොපල්ලා නියම ගොපල්ලකු ද නැද්ද යන්න නිශ්චිතවම තීරණය කරනු ලබන්නේ අන් කවරකු විසින්වත් නොව එම ගොපල්ලාගේ ම ගවයන් විසින් සේ ම, ගොවියා නියම ගොවියකු ද නැද්ද යන්න නිශ්චිතවම තීරණය කරනු ලබන්නේ ද අන් කවරකු විසින්වත් නොව ඔහු වැඩ කළ කුඹුරුම විසිනි.

කුඹුරු වැඩ බොරුවට කළ නොහැක. කුඹුරට බසින්නාගේ දෙපා කුඹුරේත්, හිස අර ඉහළ ඇළපත් වැටට එහායින් පෙනෙන සිසිල් සෙවණේත් පිහිටිය නොහැක. කොටින්ම ගතින් මෙන්ම සිතින් ද ඔහු ගොවියකු විය යුතුමය.

ඒ සඳහා ගොවිතැන නමැති විශ්මය ජනක විශ්ව වේදය ඔහු විසින් හදාරනු ලැබිණි. එහෙත්, ඊට අදාළ සංස්‌කෘතියේත්, ජීවිතයේත් සංරචකයක්‌ වන තුරුම ඔහු හොඳ ගොවියකු වශයෙන් පිළිගනු නොලැබිණි.

හිද්දලයා වශයෙන් කවුරුන් විසිනුත් මුවපුරා අමතනු ලැබූ ගාමණී අබය කුමරුවෝ සෙසු ගොවියන් සමඟ කුඹුරට බැස අඬහැර පාමින් ද, ඕසේ අදිමින් ද විශාල කුඹුරු යායන් ගොනුන්ගෙන් මැඬවූහ.

නියරේ වැවී ඇති නිරිහැල්ල ගසා දැමීමේ පටන්, හරියාකාරව නියර බඳින ශාස්‌ත්‍රය ද, කැට පොඩිකොට පෝරු ගෑම ද, සී සෑම ද, ගොයම් කැපීම ද ගොයම් පෑගීම ද ඔහු එකසේ දැන සිටියේය.

මහ ගමරාළගේ අවසරය පිට ගාමණී කොටගේපිටිය ආසන්නයේ පිහිටි මුඩුබිමක්‌ තනිවම කෙටුවේය. වැඩිකල් නොයවාම එය ලියැදි ගණනාවකින් සුසැදි කුඹුරක්‌ විය. ගැමියෝ ඒ කුඹුරේ කටයුතුවලට ආහ. කාර්යශූර වූත්, මහත් කැපවීමකින් යුක්‌තව කටයුතු කරන්නාවූත් තරුණ ගොවියා අන්තිමේදී ගමේ සෙසු තරුණයන්ගේ ආදර්ශය බවට පත්විය.

⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆

උතු කුඹුරක්‌ වශයෙන් ගැමියන් විසින් හඳුන්වනු ලැබූ තම සාරවත් මඩ සහිත කුඹුරේ හිද්දලයා මඩ කොටමින් සිටියේය.

පිංගුවා පැමිණියේ තනිවමය. හෙල්මලු ක්‍රමයට සකස්‌ කෙරෙන හිද්දලයාගේ ලියැදිවල නියර එතරම් පළල් නැත.

පිංගුවා වටපිට බලා නියර තුනක්‌ එක්‌කෙරෙන ස්‌ථානයක හෙවත් තුනැත්තක ඇන තබා ගත්තේය.

"හිද්දලයා මලණ්‌ඩි"

"මොකද?"

හිද්දලයා තම කෘෂිකාර්මික භාවනාවෙන් නොමිදෙමින් විමසුවේය.

"උඹ වගේ ගොවිතැනේ සූරයෙක්‌ අහල ගම් හතකවත් නැහැ කියලයි ගම්මු කියන්නේ"

"වරුණාව එපා. ආ කාරණේ කියාපං"

එහෙත් ඉන්පසු පිංගුවා වෙතින් හඬක්‌ නොනැඟිණ.

තම කාර්යයේ දිගටම නිමග්නව සිටි හිද්දලයාට මෙතැන අතරමඟ නැවතුණු සංවාදයක්‌ පැවැති බව සිහිපත් වූයේ තරමක්‌ වෙලා ගිය පසුවය. මඳ විවේකයක්‌ ලබා ගැනීමේ අපේක්‍ෂාවෙන් ද යුතු හේ උදැල්ල පසෙක තබා අමුඩ කෙටියෙන් දෑත්වල දහදිය ද පිසදමමින් තුතැත්ත මත ඇන තබා සිටින පිංගුවා වෙතට හැරුණේය.

පිංගුවාගේ දෙනෙත්වල කඳුළුය. (නිතර සිනාසෙන්නෙක්‌ නොවෙතත් ඔහු හඬන්නෙක්‌ ද නොවේ.)

ගාමණී, එහෙත් ඒ ගැන නොවිමසා වෙන දෙයක්‌ විමසුවේය.

"උඹලගෙ කුඹූරු වැඩ ඉවරද?"

පිංගුවා පිළිතුරක්‌ දුන්නේ නැත. ඔහුට මහ විශාල දෙයක්‌ කීමට උවමනාය. එහෙත් ඉතාම කුඩා දෙයක්‌වත් නොකියවෙයි.

කළු මැණිකේ පිංගුවා සමඟ ප්‍රේම සම්බන්ධයක්‌ පැවති බව ගාමණි අබය දැන නොසිටියේ නොවේ. එහෙත් ඔහුගේ අවබෝධය වූයේ එය එතරම් ගැඹුරු සබඳතාවක්‌ නොවූ බවය.

මුල් කාලයේ වූ ගැටුමෙන් පසුව පිංගුවා හිද්දලයාට එතරම් මුහුණ නොදුන්නත් තමා කෙරෙහි වූ වෛරයක්‌ පිංගුවාට තිබුණේ නැති බව හිද්දලයා හොඳාකාරවම දැන සිටියේය.

විවිධ කෘෂිකාර්මික කටයුතුවලදී පිංගුවා ද හිද්දලයාට අනේක වාරයක්‌ තම ශ්‍රම සහාය දක්‌වා තිබේ. හිද්දලයා ද අනෙක්‌ ඕනෑම ගැමියෙකුට මෙන්ම පිංගුවාට ද පෙරළා තම ශ්‍රම සහාය දක්‌වා තිබේ.

බොහෝ කාලයක්‌ මතු නොකෙරුණු ප්‍රශ්නයක්‌ දැන් මතු කෙරෙන්නේ කුමක්‌ නිසාද?

පිංගුවා තවමත් කතා නොකරයි.

හැම මිනිසකුටම තමන්ගේ ප්‍රශ්න තවත් කෙනෙකුට ප්‍රකාශ කිරීමේ හැකියාවක්‌ නොමැති බව හිද්දලයා දැන සිටියේය.

එහෙයින් ඔහු කරුණාවෙන් පිංගුවාගෙන් මෙසේ ඇසුවේය.

"මොකෝ බං?"

"වෙසක්‌ පෝයම දෙකක්‌ ගෙවිලා ගියා"

පිංගුවා අපහසුවෙන් කීවේය.

"අර මොකටද?"

"බහදීපු එකියක්‌ අද එයි අද එයි කියලා බලාන හිටියට"

පිංගුවා තම සම්පූර්ණ ආදර කතාවම පුදුමාකාර එක වාක්‍යයකින් හිද්දලයා අභියස දිග හැරියේ එසේය.

ආවේගයෝ කාව්‍යම නොසොයත්, ආවේගයෝ ගීතම නොසොයත්, ඒවා ඇතැම් විට මුග්ධයකු මුවතුළ වුව මසුරන් වටිනා වදන් බිහිකරනු හැකිය. 

පිංගුවා යනු මුග්ධයකු ද නොවේ.

ඔහු ගොපල්ලෙකි. ගොසාමියෙකි. ගොවියෙකි. ගැමියෙකි. ඒ හැමටම වඩා ආදරවන්තයෙකි.

බහදීපු එකිය කවුදැයි යන්න දැන දැනම හිද්දලයා මෙසේ ඇසුවේය.

"කවුදැ"

"කවුද ඉතින් කළු මැණිකේ මිසක්‌"

හිද්දලයාගේ සිත මොහොතකට මහත් මාත්සර්යයකින් පිරී ගියේය. කළු මැණිකේ තමා හැර අන් කිසිවකුට අයිති නැතැයි ඔහුට සිතිණි. ඊළඟට ඔහු තමා සමඟම තර්ක කළේ පිංගුවාට කළු මැණිකේ නොගැලපෙන බවය. පිංගුවා තමන්ට නොගැලපෙන තමනට නොතරම් ස්‌ත්‍රී සිරුරක්‌ ප්‍රාර්ථනා කරයි. තමන්ට අයත්, තමන්ටම ගැලපෙන ඒ සිරුර මේ නොගැලපෙන්නාට භාරදිය යුතුද?

'මූ මෙතැනින් එළවා දමන්නට ඕනෑ' යි ඔහුට සිතිණි. එහෙත් ඔහු එවැන්නක්‌ කීවේ හෝ එයට සරිලන ආකාරයකින් හැසිරුණේ හෝ නැත.

කළුමැණිකේත්, රන් මැණිකේත් හිද්දලයාට මුත්තෙට්‌ටුව රැගෙන පැමිණෙමින් සිටිනු දෙදෙනාම දුටහ.

ඒ අව්අස්‌සේ හිද්දලයා පිංගුවාගෙන් මෙසේ ඇසුවේය.

"උඹට අයියන්ඩි, කළු මැණිකේ නැතුවම බැරිද?"

පිංගුවා වාවා ගත නොහැකි හඬකින් 'බැහැ' යි කීවේය. අනතුරුව තම පපුව මත අත තැබූ ඔහු යන්තම් මෙසේ කියා ගත්තේය.

"පපු කැනති කකියනවා"

කළු මැණිකේත් රන් මැණිකේත් දැන් ළඟ ළඟම පැමිණියහ.

"උඹ දැන් පලයං අයියණ්‌ඩි. මම ඕක සුවකර දෙන්නම්"

පිංගුවා නැගිට යුවතියන් පැමිණෙන නියර දිගේම ගොස්‌ යුවතියන්ට පැමිණීමට බාධා නොකරනු වස්‌ කුඹුරු ලියද්දකටම බැස ගමන් ගන්නා ආකාරය දෙස හිද්දලයා බලා සිටියේය.

⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆

අසුන් දෙදෙනකු පිට පැමිණෙන නන්දිමිත්‍රත් සුරනිමලත් අතර අසරුවකු නොමැතිව පැමිණෙන ගාමණී අභයගේ දීඝථුනිකා වෙළඹද වුවාය.

දැන් ඔවුන් ඉදිරියෙන් තරමක්‌ ඈතින් පෙනෙන්නේ දෙහදු කඩුල්ලය.

ඒ වෙත ගමන් නොකරන සෙනෙවිවරු වෙළඹ ඳ කැඳවාගෙන ඒ අසල වූ වන ලැහැබට ඇතුළු වූහ.

"නෑයින් දැක්‌කොත් ගිනි විච්චුම්බරයයි. ඉක්‌මනට ගොසින් කුමාරයා කැඳවාගෙන එන්න"

සුරනිමල නන්දිමිත්‍රට කීවේය.

⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆

හිද්දලයා අහර කිස නිමා කොට නැගී සිටියේය.

මහත් සෝබර ලීලාවෙන් තම හිස දෙදණ මත ඔබා සිටින කළු මැණිකේ වෙතට ළං වන හිද්දලයා තම දබරඟිල්ල ඇයගේ නිකටට තබා හිස එසවුවේය.

රන් මැණිකේ හිස්‌ අහර බඳුන් එකලාසයක්‌ කරමින් සිටියාය.

"පිංගුවාට බහදුන් බවක්‌ මට නොකීවේ ඇයි?"

කඳුළු බිඳුවක්‌වත් නොතිබුණ ද කළු මැණිකේ ගේ දෙනෙත් දිළිසිණි.

ඇය කෝපයට පත්ව සිටියාය.

"හිද්දලයාට මං එපාද?"

එය කිසිසේත් හිද්දලයා බලාපොරොත්තු වූ ප්‍රශ්නයක්‌ නොවීය.

තමා විනිශ්චය ආසනයෙන් බිමට ඇද දමා විත්තිකරුවා විනිශ්චය ආසනයට නැග සිටියි.

"හිද්දලයාට මං එපාද?"

කළු මැණිකේ මෙවර තරමක්‌ සැරෙන් හිද්දලයා ඇමතුවාය.

"අනුන්ට අයිති දෙයක්‌ බලෙන් අයිතිකර ගන්න කෙනෙක්‌ නෙවෙයි මං"

හිද්දලයා ඇත්තටම සහ අසරණවම කීවේය.

"නියම පිරිමිකම කියන්නේ තමන්ට උවමනා දේ බලයෙන් හරි අයිතිකරගන්න එකටයි"

කළු මැණිකේ ගේ වාග් ප්‍රහාරයට හිද්දලයා පමණක්‌ නොව රන් මැණිකේ ද තිගැස්‌සුණාය.

හිද්දලයා පුදුමයට පත්විය.

'මේ ඇයද?' ඔහු මොහොතකට තමාගෙන්ම අසා ගත්තේය.

පුදුමයට මෙන් ඔහු සටනක්‌ නොමැතිවම පරාජයට පත්ව සිටියේය. පුදුමයකට මෙන් ඉඳහිට ඔහු වෙලාගන්නා මහා කළකිරීම කොහේදෝ සිට දිවැවිත් ඔහු වැළඳ ගෙන සිටියේය.

"මා සිතා සිටියේ ඔබ කී දේ අනිත් පැත්ත"

හිද්දලයා දුක්‌මුසු සිනාවක්‌ මුවට නගා ගනිමින් කීවේය.

"කළු......" 

අනතුරුව ඔහු ගැඹුරු හඬකින් කළු මැණිකේ යළි ඇමතුවේය.

"කළු.. මා ආදරයට පරිත්‍යාගය, මෛත්‍රිය එකතු කරන්න කැමති කෙනෙක්‌. නමුත් ඔබ එයට රැවටීම එකතු කරන්න කැමති කෙනෙක්‌"

කළුමැණිකේ තවත් කෝපයට පත් වූවාය.

"ඔය ලොකු පණ්‌ඩිත කතා අහන්න මට වුවමනා නැහැ. හිතේ ඇති දැන් ලොකු මිනිහෙක්‌ කියලා. හිඟන්නෙක්‌ වගේ ඉබාගාතේ ඇවිල්ල හාමතේ වැටිච්ච හැටි දැං අමතකයි වගේ"

තවත් ඉවසාගත නොහුණු තැන රන්මැණිකේ කළු මැණිකේ ඉදිරියට පැන්නාය.

"අක්‌කණ්‌ඩි මොනවද මේ කියවන්නේ?"

කළු මැණිකේ ආපසු හැරී පිටව ගියාය. ඒ යන අතර තවත් වදන් හීසර රැසක්‌ සතර අත විද ගියාය.

"අපෙන් කාල, අපෙන් හැදිල දැන් අපට බණ කියන්නත් එනවා."


⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆

වර්ෂ 2010 මැයි මස තිස්වන ඉරිදා, දිවයින ඉරිදා සංග්‍රහයෙන් උපුටාගත් මෙම මහරජ ගැමුණු සිනමා තිර රචනයේ නවකතා පරිවර්තනය දහ නව වන කොටස ක්‍රි.ව. 2016 ක් වූ දෙසැම්බර් මස විසි හය වන දින පූජිත විසින් සටහන් කරන වගයි...


No comments:

Post a Comment