Wednesday, 28 December 2016

27 කොටස - යුද්ධයටයි ප්‍රේමයටයි තවමත් ගැලපෙන්නේ පරණ ක්‍රමමයි

දුනු සේනාවක්‌ සහ ප්‍රහාරක පාරු සේනාවක්‌ පෙරමුණ වශයෙන් ගෙන ආරම්භ වූ ගාමණී අබය රජුගේ ප්‍රථම ප්‍රහාරය අසාර්ථක වූයේ එයට මහත් උද්යෝගයෙන් සහභාගි වූ සිය ගණනකගේ ජීවිත ද අහිමි කරමිනි.

විස්‌සෝපයෙන්ද, නොසන්සුන් කමෙන්ද තම තොල් පටවල් සැපූ ඵුස්‌සදේව, භරණ සහ මහාසෝණ දැන් මහ සෙනවි වේළුසුමන අභියස සිටියහ.

ආතති නිවාරණය පිණිස වේළුසුමනයෝ ඔවුනට බුලත් විට පිරිනැමූහ.

"මේක බොලාගේ වරද නොවෙයි......" 

ඔහු බුලත් කෙළ පහරක්‌ තම දෑඟිලි අතරින් විදිමින් කීවේය.

බුලත් සැපීමේ එතරම් පුරුදුකාරයකු නොවූ භරණ, වේළුසුමන අනුකරණය කිරීමට ගොස්‌ ඉවතලන බුලත් කෙළ තම සිරුර පුරා හලා ගත්තේය.

"ඕං දැක්‌කද? ඕක තමයි වරද"

අනික්‌ හු වේළුසුමන ප්‍රකාශ කළ දෑ අවබෝධ කොට ගත නොහැකිව, කෙළ හලාගත් භරණ දෙස ද එසේ නොවී ඉතා මනෝහර ලෙස බුලත් සපන වේළුසුමන දෙසද බැලුහ.

"ඉලක්‌කයට බුලත් කෙළ විදින්න වුණත් පොඩි පුරුද්දක්‌ තියෙන්න ඕනෑ....."

ඔහු නව බුලත් කොළයක්‌ අතට ගෙන එහි නැට්‌ටත්, අගිස්‌සත් කඩා දැම්මේය. අනතුරුව එය සතරට නවා බුලත් කොළයේ මැද සිදුරක්‌ සිටින සේ නැවුම් තුඩද කඩා දැම්මේය.

"...........නාග ලෝකයෙන් බුලත් ගෙනෙන කොට මහකෙල නාගරාජයාගේ මුඛයට අසුවෙච්ච කොටස්‌ තමයි ඒ කඩලා දැම්මේ........"

නන්දිමිත්‍ර, සුරනිමල, ථෙරපුත්ථාභය ඇතුළු අනෙක්‌ සෙනෙවිවරු ද සෙමෙන් සෙමෙන් ඒ අසලට ළංවෙමින් සිටියහ.

".....ඒ කියන්නෙ මේකයි......." 

වේළුසුමනයෝ සන්සුන්ව ද නොකඩවා ද කියාගෙන ගියහ.

"...........බුලත් කන්න කළින් අපි ඒකෙ විෂ කොටස්‌ ඉවත්කරන්න ඕනෙ. එහෙම නැතුව කෑවත් ඉතිං බුලත් කැවෙනවා තමයි, හැබැයි ඒකට කියන්නෙ මෝඩ බුලත් කෑම කියලා, අපගේ සටන් ආරම්භය මෝඩ බුලත් කෑමක යෙදිලා, මෝඩ විදිහට කෙළ ගැසුවා වගෙයි........."

සියලුම සෙනෙවිවරු ඔවුන් ඉදිරියේ සිටින, කෙතරම් වයෝවෘද්ධ වුව ද තවමත් මහා කාය ශක්‌තියෙන් යුත් සංග්‍රාමවචරයාට එක පැහැර සාවධානව සිටියහ.

"අලුත් අදහස්‌ බොහොම හොඳයි තමයි........" 

ඔහු සියල්ලන් දෙස බලා කීවේය.

"..........ඒත් යුද්ධයටයි ප්‍රේමයටයි තවමත් ගැලපෙන්නේ පරණ ක්‍රමම තමයි.........."

කිසිවකු 'ඒ කියන්නේ .....?' යැයි ඇසුවේ නැත. එහෙත් සියල්ලන්ම එසේ විමසන නිහඬ කාලයක්‌ ගතවී ගියේය.

"...............අසුවන නිසා, ඉක්‌මනටම පෙනෙන නිසා, සර්පයාගේ නැට්‌ටෙන් අල්ලාගන්නවාට වඩා ඌට අපේ ඇස්‌ ඉදිරියෙන්ම යන්න දෙන එක හොඳයි. අපි සර්පයා අල්ලගන්න ඕනෑ උගේ හිසෙන්. එය අසීරුයි තමා, නමුත් අමතක කරන්න එපා ඕනෑම අසීරු දෙයක්‌ පවතින්නේ ඒ වෙතට ළඟාවන මාර්ගය සඟවාගෙන මිස ඒ වෙතට ළඟාවෙන මාවතක්‌ නැත්තටම නැතිකොට ගෙන නොවෙයි......."

වේළුසුමන කිසිදු විටෙක යුද මණ්‌ඩල රැස්‌වීම්වලදී කතා නොකළේය. සෙනෙවි මණ්‌ඩලය තුළ සිටි වයෝවෘද්ධතම සහ වඩාත් පළපුරුදුම සටන්කරුවා වශයෙන් ඔහු කාගේත් බුහුමනට පාත්‍රව සිටිය ද, කුමන හේතුවක්‌ නිසා හෝ කිසිවකුත් ඔහුගෙන් අදහස්‌ විමසන්නට ගියේ නැත.
සත්‍යවශයෙන්ම පරණ - හොඳ මිනිසා වශයෙන් ඔහු පසෙකට කොට තිබිණ. එහෙයින්, ගාමණී අබය රජු සමඟ සම්භාෂණයේ යෙදෙනවාට වඩා විහාර මහා දේවිය සමඟ සතුටු සාමිචියෙන් ගතකිරීමට ඔහු වඩාත් යොමුව සිටියේය.

තමන්ට යමක්‌ අතපසුව තිබිණි යැයි නන්දිමිත්‍රට වහා හැඟී ගියේය.

"මාමණ්‌ඩි අපට සමාවෙන්න"

නන්දිමිත්‍ර කීවේය.

"නෑ නෑ වරදකුත් නැහැ, සමාවකුත් නැහැ........"

වේළුසුමන කීවේය.

"...........හැබැයි වරදක්‌ විය හැකි අවකාශයක්‌ නිවැරදි කරගැනීමේ අවස්‌ථාවක්‌ නම් තියෙනවා........" 

යැයි වැඩිදුරටත් කී වේළුසුමන සෘජුවම නන්දිමිත්‍ර ඇමතුවේය.

".........සතුරා දුර්වල කොට පහරදීම ඔබ හැම දෙනාම අනුමත කළ දෙයක්‌. භික්‍ෂූන් වහන්සේ පෙරමුණේ වඩිමින් පිරිත් සඡ්ජායනය කරමින් පැමිණෙන විට සතුරු පෙරමුණේ සිටින අපේ මිනිසුන් සිත් බිඳි ඉවත්වීම නිසා ඝන සතුරු පෙරමුණ බොල් දුර්වල දෙයක්‌ වන බවට ඔබ ගෙනා යෝජනාව නිවැරදියි. එහෙත්, දැන් සතුරා එය වටහාගෙන අවසන්. මෙතැන අප කළ වරද පළමු උපක්‍රමයට පසු දෙවන උපක්‍රමයක්‌ කල්පනා නොකිරීම, දෙවන උපක්‍රමයට පසු තෙවන උපක්‍රමයක්‌ කල්පනා නොකිරීම........."

⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆

නොපමාවම ගාමණී අබය රජු මුණ ගැසුණු සෙනෙවියෝ වේළුසුමනගේ අදහස්‌ මුළුමනින්ම ඔහු ඉදිරියේ තැබූහ.

"ඔහු නිවැරැදියි........" 

ගාමණී අබය රජු කීවේය.

".........ඊට පිළියම මා කල්පනාකොට අවසන්, එය තරමක්‌ අනතුරුදායක සහ අවදානම් එකක්‌........."

රජු අනතුරුව කීවේ සෘජුවම නන්දිමිත්‍රගේ දෑස්‌ දෙස බලාගෙනය.

"ඔබ යටතේ රාක්‌ෂස අංගම් පුහුණුවූ සටන්කරුවන් කොපමණ සිටීද ?"

"දෙසියයක්‌ වැනි පිරිසක්‌ මහ රජතුමනි" 

නන්දිමිත්‍ර කීවේය.

"දැන් එළඹෙමින් තිබෙන්නේ පුරපස ගෙවී අවපසයි......."

"..........එසේයි"

"ඔබේ ඒ සුවිශේෂ පිරිස දුර්ගම සංග්‍රාමික කණ්‌ඩායමක්‌ වශයෙන් සුදානම් කරනු"

"හොඳටම අන්ධකාර රාත්‍රියේ ඔවුන් කුඩා කණ්‌ඩායම් වශයෙන් මහවැලි ගං ජලය යටින් එගොඩට යනු ඇති.. ඉතිරිය මා ඔබට පැවසිය යුතු නැහැ"

"එසේයි" 

නන්දිමිත්‍ර මහත් උද්යෝගයෙන් පැවසුවේය.

⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆

මහවැලි ගඟ දෙපස 'සන්නද්ධ නිහඬ බවක්‌' දැකිය හැකි විය.

පරාජය වූ පසු ලුහුබැඳ පහරදීම අරඹන්නැයි එළාර රජු විසින් ඡත්ථට නියෝග කොට තිබුණද, ගාමණි අබයගේ ඉතිරි සේනාංක පිළිබඳව බලවත් සැකයකින් සිටි ඡත්ථ එසේ නොකළේය. 

ඒ වෙනුවට ඔහුගේ සෙබළු දිවා කාලයේ ගඟේ එහා ඉවුරේ සිටින මාගම සේනාංකවලට පෙනෙන්නට යුද සරඹවල යෙදුණහ. රාත්‍රි කාලයේදී ඔහුගේ සඳඑළි දුනුවායන් හෙවත් සඳ එළියේ ඉලක්‌ක ගන්නන් දහස්‌ ගණනක්‌ මෙහා ඉවුරට හී මානා සිටියහ.

එසේ වුවද හදිසියේ ගඟ තරණය කොට පැමිණිය හැකි ඕනෑම හදිසි ප්‍රහාරයකට දෙපසම සූදානමින් සිටියහ.

එහෙත්, දින ගණනාවක්‌ ගතවුව ද කිසිවක්‌ සිදුවූයේ නැත.

යම් විදිහයකින් ගාමණි අබයගේ සේනා විසින් මහියංගනය වටලනු ලැබුව හොත් එහි විසීම නොමනා යෑයි කල්පනා කළ චෝළ, පාණ්‌ඩ්‍ය, චේර මෙන්ම ඇතැම් සිංහල මිනිසුන්ද බොහෝ පිරිසක්‌ මේ වනවිටත් අම්බතිත්ථයට පළාගොස්‌ සිටියහ.

තම බල කොටු නගරය ජනයාගෙන් හිස්‌ වීම ඡත්ථගේ මනාපයට හේතුවූයේ නැත.

කිසිදු බියක්‌ නොවන ලෙසත්, ගෘහ වාසයන්, වෙළෙඳසල් හැරදමා අම්බතිත්ථයට යායුතු නැති බවත් මිනිසුනට දැන්වූ ඡත්ථ ස්‌ථීරවම ප්‍රකාශ කළේ ගාමණී අබයගේ සේනාවනට ගඟෙන් මෙගොඩට පැමිණීමට තමන් කිසිදු අවස්‌ථාවක්‌ නොදෙන බවය.

එහෙත්, බොහෝ මිනිසුන් කෝකටත් කියා ආපසු නොපැමිණියහ. විශේෂයෙන් දක්‌ෂිණ පථයේ සිට මෙහි පැමිණ ස්‌ථාපිත වූ ප්‍රභූවරු නොපැමිණියහ. ඔවුහු අඩුම තරමින් අම්බතිත්ථයට එසේ නැතහොත් තම ඥාතීන් වැඩි වශයෙන් සිටි ද්‍රෝණ, අන්තර්සොබ්බ, නාළිසොබ්බ, කෝට නගර වැනි ප්‍රදේශවලට ගියෝය. වඩාත්ම ධනවතුන් විජිතපුරයට හෝ අනුරාධපුරයට හෝ ගියෝය.

මේ කිසිවක්‌ නොදන්නා චන්ද්‍රයා තම අවපස ගමන උත්කර්ෂයට නඟමින් 'අමාවක අඳුරේ' සැඟවී ගත්තේය.

⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆

".....ඉඩදිය හැකි සැහැසිකම් යනුවෙන් කොටසක්‌ නැත....."

ගාමිණී අබය රජ්ජුරුවෝ නන්දිමිත්‍රට අවධාරණය කළහ.

".........කවර ජාතියකට අයත් වුවත්, ආගමකට අයත් වුවත්, කවර දෘෂ්ටියකට අයත් වුවත් නගරයේ කිසිඳු සාමාන්‍ය මිනිසකු ප්‍රහාරයට ලක්‌ නොවිය යුතුය. අඳුරේ අතුරුදහන් වුවත් ඔබ සටන් කරන්නේ ආලෝකය වෙනුවෙන් බව සිහි තබා ගත යුතුය. සියළු සතුරු මර්මස්‌ථාන විනාශ කොට හෝ අඩපණ කොට හෝ නැවත පැමිණීම ඔබගේ පිරිසේ වගකීමයි"

නන්දිමිත්‍ර මහත් උණුසුම් හැඟීමකින් යුතුව රජුගේ දෙපා වැඳ අවසර ගත්තේය.

"මේ කිම්ද නන්දිමිත්‍ර........? ඔබගේ සේනාංකයනට මිස මේ ගමන සඳහා ඔබට අවසරයක්‌ නැහැ....."

"දේවයිනි, මගේම ශක්‌ති ප්‍රමාණයෙන් කළ යුතු කොටසක්‌ ද මෙහි ඇතැයි මා සිතනවා" 

නන්දිමිත්‍ර මහත් කණස්‌සළු ලීලාවෙන් කීවේය.

"හොඳ සෙනෙවියකු යනු හොඳ සෙබළකු තමා. එහෙත්, සෙනෙවියකුගේ ශක්‌ති ප්‍රමාණය සෙබළකුගේ කාර්යයක්‌ වෙනුවෙන් වැය කිරීම නුසුදුසුයි.........."

රජ්ජුරුවෝ කීහ.

".........ඒ වෙනුවට හැම සෙබළකු ළඟම, හැම සෙබළකු තුළම ඔබ සිටිය යුතුයි. එසේම, හැම සෙබළකුම පිළිබඳ මතකයක්‌ ඔබ තුළ ද තිබිය යුතුයි. ඔවුන් පමණක්‌ නොවේ, ඔවුන්ගේ භාර්යාවන්, දරුවන්, මාපියන් පිළිබඳවඳ මතකයක්‌ ඔබ තුළ තිබිය යුතුයි........."

නිරුත්තරවූ නන්දිමිත්‍ර අසල වේළුසුමනත් සුරනිමලත් රැඳී සිටියදී ගාමණී අබය රජ්ජුරුවෝ තම සෘජුකාය මඳ අඳුරට එක්‌ කරමින් කුඩා ඇතුළු කුටියට පිවිසුණහ.

⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆

සාපේක්‍ෂව මහියංගනය විශාල නගරයක්‌ වුව ද එය අනුරාධපුරය, කල්‍යාණිය, මහාගාමය මෙන් කේන්ද්‍ර නගරයක්‌ වූයේ නැත. ඊට හේතු වූයේ එළාර ආධිපත්‍යයට යටත් වූ මුල් කාලයේ පටන්ම එය ආරක්‍ෂක නගරයක්‌ වශයෙන් සලකනු ලැබීමය.

එහි වූ ඉතා ශක්‌තිමත් බළකොටුව තුළ පාලක සෙනෙවියාගේ මන්දිරය ද, සෙබළ නිවාස පංතියක්‌ ද විය. බළකොටුවෙන් පිටත විවෘත වෙළෙඳ සැල්ද, රෝහලක්‌ ද, විවිධ සිටුවරුන්ගේ මන්දිර ද විය.
බුදුන් වහන්සේ මුල්වරට සිහළද්වීපයට වැඩම කළ ස්‌ථානය වශයෙන් සලකනු ලබන මහානාග වනයෙහි විහාරයක්‌ විය. ඡත්ථගේ ප්‍රාදේශීය පාලනය විසින් නොතකා හරින ලද එම ස්‌ථානයට සාම කාලයේදී ඉතා දුරබැහැරින් පවා වන්දනාකරුවෝ පැමිණියහ.

බොහෝ මිනිසුන්ගෙන් හිස්‌වු නගරය තද නින්දේ පසුවිය.

නගරයට තරමක්‌ ඈතින් පිහිටි ආයුධ කර්මාන්ත ශාලාවේ දිවා රෑ සේවයේ නියුතු කම්මාරයන් යකඩවලට තලන හඬ හැර වෙනත් කිසිඳු හඬක්‌ නෑසිණි.

නගරයට යොදුන් කීපයක්‌ දුරින් නැනෙනහිරට වන්නට, මහවැලි ගඟ තරමක්‌ පටු වූ ස්‌ථානයක කුඩා තොටුපළක්‌ විය. යුද්ධය ආරම්භවීමත් සමඟ සුනුවිසුණු කරන ලද මෙහි මෙහා ඉවුරේදි පවා, ඡත්ථගේ භටයෝ දිවා රෑ මුරකාවලෙහි යෙදී සිටියහ.

මුරකාවලෙහි සිටි සඳඑළි දුනුවායෝ ඉතා දක්‍ෂයෝ වූහ.

රාත්‍රි කාලයේ එහා ඉවුරේ වැනෙන ඕනෑම සතුරු ඡායාවකට පමණක්‌ නොව හදිසියකට ඇවිද යන සාමාන්‍ය මනුෂ්‍යයකුට පවා සඳ එළියෙන් ඉලක්‌කය ගත් ඔවුහු, ඒ කිසිවක්‌ නැති විටෙක සාවුන්, මුවන් පවා විද මැරූහ.

එහෙත්, සඳ එළිය නොමැති කාලය ඔවුනට මහත් අලස කාලයක්‌ විය. ඝණ අඳුර යන්තම් මකන ආකාශ එළියට හොඳින් හුරුපුරුදු දෑස්‌ ඇතිව සිටියත්, සඳ එළියට ජීවිත කාලයක්‌ම සුරු කළ ඔවුන්ගේ දෑස්‌ ආකාශ එළිය විසින් නිදි බර කරන සුළුවිය.

ඒ කෙසේ වුවත් නන්දිමිත්‍රගේ කණ්‌ඩායම් පැමිණියේ දිය යටිනි.

මුළු මනින්ම අඳුරු පාටින් සිරුරු වර්ණකොට තිබූ ඔවුහු අඳුරේ කිසිවකුට දර්ශනය නොවූව ද, යම් හෙයකින් කිසිවකුට දර්ශණය වූයේ නම් ඔවුන් රකුසන් යැයි රැවටෙනු නොඅනුමානය.

එහෙත්, නන්දිමිත්‍රගේ කණ්‌ඩායම් ඔහු විසින් රට පුරා සොයා කැඳවාගත් රාක්‌ෂසයන්ගෙන් පමණක්‌ සමන්විත වූයේ නොවේ. එහි හැම හෙළයෝම පාහේ වූහ.

තමන්ට සහ සුරනිමලට අයත් ප්‍රධාන සේනාංක කඳවුරට අමතරව වෙනම පුහුණු කඳවුරක්‌ වශයෙන් පවත්වාගෙන ගිය මෙහි වූ දෙසියයක පමණ පිරිසට රාක්‍ෂස අංගම් පුහුණු කරවූ ප්‍රධානියා වූයේද නන්දිමිත්‍ර මය.

ඊට අමතරව ඔහුගේ රජරට රහසි ගත සගයෝද මෙහි ගුරුවරු වූහ.

මුලින් සතර දෙනකු බැගින්වූ කුඩා කණ්‌ඩායම් පහක්‌ දිය යටින් පිහිනා ගොස්‌ නිරුපද්‍රිව එහා ඉවුරට ගොඩ වූවෝය.

ගසක කොලයක්‌ පෑගෙන හඬක්‌වත් නොතබා කුඩා වන තීරුව සිසාරා බලන ඔවුනට ඡත්ථගේ සුවිශේෂ සඳඑළි දුනුවායින් තබා වෙන මොකෙක්‌වත් හෝ මුණ ගැසුණේ ද නැත.

සියල්ලන්ගේ නිරුපද්‍රිත බව තහවුරු කොටගත් ඔවුහු, අනතුරුව කිසියම් තැනකදී සතර දෙනාගේ කණ්‌ඩායම් වශයෙන්ම වෙන්වී ගියහ.

හරියටම ඔවුන් විසිර ගොස්‌ හෝරාවකට පසු තවත් එබඳුම කණ්‌ඩායම් පහක්‌ මහවැලි ගඟ තරණය කොට එහා ඉවුරට යනු මහවැලි ගඟවත් නොදත්තේය.

⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆

ඉඩංගණී යන්ත්‍රයක්‌ භාරව දෙදෙනකු සිටියහ.

දුන්නක ආධාරයෙන් පහතට ඔබා, දැඩි පීඩනයකින් සිරකළ ලෑල්ලක්‌ මත තබන ලද බර ගලක්‌ දුන්නේ පීඩනය මුදා හැරීමෙන් අනතුරුව හෙණයක්‌ මෙන් සතුරන් සොයා පියාඹන්නේය.

මේ ගල් පහරවල් වදින සතුරෝ යළි නොනැගිටින්නාහ. අශ්වයෝ ආබාධිතයන්වී මද දුරක්‌ පළා යන්නාහ.

මුල් කන්ඩායම භාරව පැමිණි දාඨාසේන, ඉඩංගණී යන්ත්‍රයක්‌ කරා ගියේ තනිවමය.

ඉඩංගණී සෙබළුන්ගෙන් එකෙක්‌ නිදා සිටියේය. අනෙකා නිදි කිරමින් සිටියේය. නිදි කිරමින් සිටි පුද්ගලයා අවදිකළ දාඨාසේන ඔහු බියට පත්වන්නටත් පෙර මාරාන්තික පා පහරකින් ඔහු නිහඬ කළේය.

පා පහරේ ශබ්දයෙන් අනෙකා අවදි විය.

දාඨාසේනගේ ඊළඟ පා පහරේ ශබ්දය මුළුමනින්ම ශ්‍රවණය කරන්නට පෙර ඔහු යළි අවදි නොවන නින්දකට වැටුණේය.

අනතුරුව එළඹියේ ඉඩංගණී යන්ත්‍රයේ දුනු කපා දමන අවස්‌ථාවය.

එය කණ්‌ඩායමේ, ඒ සඳහා ආයුධ සහිත වූවකු අතින් සිදු කෙරුණු අතර අනෙක්‌ දෙදෙනා ඔවුන්ගේ ආරක්‍ෂාව සහතික කළහ.

මේ ආකාරයෙන් යන්ත්‍ර විනාශ කිරීම් සතරක්‌, පහක්‌ එකදිගට සිදු කෙරිණි. ඒ අතර 'මාර පංගම්' නමින් හඳුන්වනු ලබන වේගවත් කෙටි දුණු විශේෂය භාවිතා කරමින්, තමන් වෙතට පැමිණෙන සතුරන් කිහිප දෙනකු බිම දැමීමට ද ඔවුහු යුහුසුළු වූවෝය.

එහෙත්, ඒ සියළු වික්‍රමයන් කළ හැකි වූයේ තවත් සුළු වේලාවක්‌ පමණි.

අනතුරු හඬවන නලා හා බෙර හඬ ද, පන්දම් අතට ගත් ඡත්ථගේ සෙබළුන් රංචු පිටින් දිව එන ආකාරය ද, දැක අසා ගනිමින් දාඨාසේන තම කණ්‌ඩායමක්‌ සමඟ අසල පිහිටි හිස්‌ ගොඩනැගිල්ලක්‌ වෙතට දිව ගියේය.

"වට කරනු"

ලුහුබැඳ පැමිණියෝ කෑ ගැසූහ.


⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆

වර්ෂ 2010 ජූලි මස විසිපස්වන ඉරිදා, දිවයින ඉරිදා සංග්‍රහයෙන් උපුටාගත් මෙම මහරජ ගැමුණු සිනමා තිර රචනයේ නවකතා පරිවර්තනය විසි හත් වන කොටස ක්‍රි.ව. 2016 ක් වූ දෙසැම්බර් මස විසි අට වන දින පූජිත විසින් සටහන් කරන වගයි...


No comments:

Post a comment