Thursday, 29 December 2016

අවසාන කොටස - ආරණ්‍ය වාසය සංසාර ගමන තරම් දුෂ්කර නැහැ

තවමත් සටන සිදු නොවීමෙන් ගතවී යන කාලය නරඹන්නන් කිසිවකු තුළ අලස බවක්‌ ඇති කළේ නැත. කුමකින් කුමක්‌වේදෝ යන දෙගිඩියාවෙන්, දෙපාර්ශ්වයේ වූවන් පමණක්‌ නොව ඈතින් පෙනෙන ගහ කොළද, හමායන සුළඟද ගල්වී තිබුණේය.

"ඔබ යම් අපහසුවකින් ද?"

ගාමණී අබය රජ්ජුරුවෝ පමණ ඉක්‌මවා යන නිහැඬියාව බිඳිමින් ශබ්ද පිරවූවෝය.

එය ශ්‍රවණය කළ එළාර රජ්ජුරුවෝ තම ආත්ම ප්‍රත්‍යවේක්‌ෂණයෙන් මිදුණහ.

අනතුරුව තම සුරත පහළට දිගුකළ ඔහු තෝමර සපයන යුද සහායකයා වෙතින් තම තෝමරය ලබා ගත්තේය.

එකෙණෙහි ම මහත් ඔල්වරසන් නාදයක්‌ පැතිරිණි.

මාළිගය තුළ තම මහලු මවට තුරුළුව සිටින ශාරදා ඈතින් ඇසුණු ඔල්වරසන් හඬින් තිගැස්‌සුණාය.

ඊට මොහොතකට පසු තවත් ඔල්වරසන් හඬක්‌ නැගී ආවේය.

දැන් දෙරජුන් අතම තෝමර තිබේ. ඇත්තු නොඉවසිල්ලෙන් තම ඉදිරි දකුණු පාදවලින් බිම සාරති.

"ගාමණී, ඔය ඇත් පැටවාද රැගෙන ආපසු යනු ............"

එළාර හදිසියේ මතුකරගත් ගර්වයකින් යුතුව කීවේය.

ගාමණී අබය කිසිවක්‌ කීවේ නැත. එහෙයින්, එළාර යළිත් වරක්‌ යමක්‌ කීවේය.

"මම ඔබේ මරණයෙන් පසු මගේ ආධිපත්‍යය මුළු රුහුණේද පතුරවමි..........."

ප්‍රතිචාර වශයෙන් වහසි බසක්‌ දෙඩවීමට ගාමණී අබයට සිතුණේ නැත.

ඒ වෙනුවට ඔහු මෙසේ කීවේය.

"මා, ඔබ මියගිය පසු මෙතැන ඔබ වෙනුවෙන් දාගැබක්‌ තනනවා"

එළාර රජ්ජුරුවෝ එපමණකින්ම තම 'වහසි සටන' නැවැත්වූහ. (බොහෝ ද්වන්ධ යුද්ධ වලදී පහර දීමට කුරුමානම් අල්ලන අතර, එකිනෙකා පරයා හුවමාරු කොට ගන්නා වහසි බස්‌ වහසි සටන නමින් හැඳින්වෙයි) සත්‍ය වශයෙන්ම ඔහු මේ වන විටද ගාමණී අබය කෙරෙන්, තමන් කුපිත කරවන ප්‍රකාශයන් නිකුත්වීමේ ආසාව අතහැර දමා තිබුණු මුත්, මහත් කරුණා පරවශ ස්‌වරයකින් සිදුවුණු එබඳු ප්‍රකාශයක්‌ බලාපොරොත්තු වූයේ නැත.

අවෛරය සටනකට උත්තේජනයක්‌ නොසපයයි.

මෛත්‍රී පූර්වක මන්දස්‌මිතය කෝපය සඳහා ශක්‌තියක්‌ නොසපයයි.

උදාවෙමින් පවත්නේ සටනක්‌ සිදු නොවීමේ පෙරමඟ ලකුණුද?

සටනක්‌ සිදුනොවීම ම ගාමණී අබය ලබන ජයග්‍රහණයක්‌ යැයි එළාර රජුට හදිසියේම කල්පනා විය.

ඔහු මරණයට පත්කිරීමෙන් තමන් මෙතෙක්‌ ලද සියලු පරාජයන් පෙරළා දැමිය හැකිවෙයි.

එළාර රජු පර්වත හස්‌තියාද තම සිරුරේ කොටසක්‌ සේ ගෙන දීර්ඝ සුස්‌මක්‌ ගත්තේය. මේ නිවැරදි ආශ්වාස කිරීම මඟින් උරසැතක්‌ (පපුව ආරක්‍ෂා කරන ලෝහ වැස්‌මක්‌) පැළඳි ඔහුගේ උරසද එහි පහළ කොටස්‌ සහ ප්‍රාචීරය ද මඳක්‌ පිම්බිණි. යළි දීර්ඝ ප්‍රශ්වාස කිරීම මගින් ඒවා හොඳින් හැකිළිණි.

මේ වූකලී ශූර සටන් ශිල්පියකු සටනක්‌ සඳහා තම සිරුරේ සියලු ශක්‌තීන්ද මනසේ ඒකාග්‍රතාවද එක ලක්ෂ්‍යකට සුසර කරන ආකාරයය.

එය දැක දැක වුවද ගාමණී අබය රජු කෙරෙන් තවමත් එබඳු ශාරීරික සූදානමක්‌ දැකිය හැකිවූයේ නැත.

එහි රහස අනුමාන කළ නන්දිමිත්‍ර හැර, අනෙකුත් සෙනෙවිවරු සියල්ලෝම කලබලයට පත්වූවෝය.

"රජ්ජුරුවන් වහන්ස ගෙරියාට පහර දෙනු"

තවත් ඉවසාගත නොහැකි ගෝඨම්යිම්බර කෑගැසුවේය.

එහෙත්, ඒ සමඟම පෙරළා කෑගැසුවේ එළාර රජුය.

සත්‍ය වශයෙන්ම එය කෑගැසීමක්‌ නොව ඔහු තම හස්‌තියාට දුන් ප්‍රබල විධානයක්‌ විය.

අනතුරුව මැවුනේ නාලාගිරි ඇතා සිහිපත් කරවන තරමේ ලොමු දැහැගැන්වෙන දසුනකි.

දූලි අවුස්‌සමින් පැමිණි පර්වත හස්‌තියා තම හොඬය ඔසොවා තමාට වඩා කුඩා කඩොල් ඇතාගේ හිස මතට පහරක්‌ දෙන ගමන්ම උගේ ගෙල පෙදෙසට දෙදළින් ඇනීමට ද උත්සාහ කළේය.

අනතුර ඉක්‌මනින්ම වටහාගත් කඩොල් ඉක්‌මනින් හැරී මාරක දෙදළ ප්‍රහාරය වැළැක්‌වූ නමුත් පර්වතයාගේ හොඬවැල් ප්‍රහාරය ඌට රිදෙන්නට වැදුණේය.

කෝපයෙන් ගිනියම් වී සිටි දැවැන්ත 'මිග' හස්‌තියාල, රාජ ඇතාට තමාට සිදුවන්නේ කුමක්‌දැයි වටහාගන්නට අවස්‌ථාවක්‌ දුන්නේම නැත. ඌ ඊළඟ මොහොතේ කළේ තම දකුණු ඇලයෙන් කඩොල් ඇතු පස්‌සෙන් පස්‌සට තල්ලුකොට ගෙන යැමය.

ගාමණී අබය රජුට උදාවූ ඒ බිහිසුණු අවදානම් මොහොතේ එළාර රජු තම කිසි දිනෙක නොවැරදුණු තෝමර ප්‍රහාරය, ගාමණී රජුගේ හදවතම ඉලක්‌ක කොට එල්ල කළේය.

මුළු මහත් ජන සන්නිපාතයක්‌ වෙතින්ම එකවර 'ආහ්' යන හඬක්‌ නැඟුණේය.

ඒ, එළාර වෙතින් මිදී පැමිණි තෝමරයේ වේගයට නොවේ.

මෙතෙක්‌ මහත් අලස ලෙස පැවැති ගාමණී අබය සිරුරේ වූ වේගවත් ක්‌ෂණික ක්‍රියා පිළිවෙතටය.

දෙපා, තිර ලෙසම පසුපසට රූටන කඩොල් මත නොසැලී තිබිය දීම, දුන්නක්‌ මෙන් පසුපසට නැමුණු ගාමණී අබය රජු තම නාසයට සුළං පොදක්‌ එක්‌ කරමින් ගිය තෝමර ප්‍රහාරය වැළැක්‌වූයේය.

ඒ සමඟම නැඟුණු මහත් ජය ඝෝෂාව නිසා ගාමණී අබය රජු කඩොල් ඇතාට වේගයෙන් කෑගසා කීවේ කුමක්‌දැයි කාටවත් ඇසුණේ නැත.

සියල්ලන්ම දුටුවේ වටයක්‌ කරකැවී පර්වත ඇතුගේ පීඩනයෙන් මිදෙන කඩොල්, හස්‌තියෙකුට අයත් සටන් විලාසයකින් නොව, බිහිසුණු සිංහයකුට අයත් සටන් විලාසයකින් තම දෙපා ඔසොවා පර්වතයා වෙතට පැන පහර දෙන ආකාරයය. ඒ වනවිටද එළාර රජු තම දෙවන තෝමරය ලබාගෙන තිබුණේය.

එහෙත්, කඩොල් තම තියුණු දෙදළින් පර්වත ඇතුගේ ගෙලෙහි වම් ප්‍රදේශය සිදුරු කළේ ඒ අතරය.

මරහඬ නඟන පර්වත ඇතා ආපසු හැරෙන්නට පෙර තම දෙවන තෝමර ප්‍රහාරය එවන්නට එළාර සූදානම් විය.

එහෙත්, ඊට ක්‌ෂණයකට පෙර විශ්මය ජනක වේගයකින් පැමිණි සීතල යමක්‌ තම උරසැත ද දෙකඩ කරමින් සිරුර විනිවිද යනු ඔහුට දැනුණේය.

මහත් ජය ඝෝෂාවක්‌ අවටින් ගිගුම් දිණි.

තවමත් තම පපුව හරහා කිඳා බැසුණු තෝමර නිසා වූ වේදනාව නොදැනුණු එළාර රජ්ජුරුවෝ කුමක්‌ සිදුවන්නේදැයි වටහා ගැනීමට අවට සිසාරා බැලූහ.

තමා පාවෙන්නාක්‌ මෙන් දැනෙන බවද, සමබරතාව ගිලිහෙමින් පවතින බවද ඔහුට අවබෝධවන අතරේ, පර්වත හස්‌තියා මුලින්ම උගේ ඉදිරිපස දෙපා නවමින් ඉදිරියට වැටුණේය. අනතුරුව ඌ එළාර රජු වම් පසට පෙරළා දමමින් දකුණු ඇලයට පෙරළී ගත්තේය.

ජයග්‍රහණයෙන් ඔද වැඩුණු සේනාවන්ගේ කන්බිහිරි කරවන ඔල්වරසන් සහ ප්‍රීති ඝෝෂා මධ්‍යයේ කඩොල් ඇතු පිටින් බිමට බට ගාමණී අබය රජ්ජුරුවෝ මොහොතක්‌ ඌ දෙසබලා සිට උගේ සොඬය සිප ගත්තේය.

අනතුරුව ඔහු සෘජුවම බැලුවේ බිම ඇද වැටී සිටින එළාර රජු දෙසය.

කිසිවකුට තමා සමීපයට නොපැමිණෙන ලෙසට හා සන්සුන්වන ලෙසට හස්‌ත සංඥා දැක්‌වූ ගාමණී අබය, සෙමෙන් සෙමෙන් එළාර වෙතට ගියේය.

තරමක්‌ වේදනා බර ස්‌වභාවයකට ආසන්නව මුත් මෙවර මෛත්‍රී පූර්වක මන්දස්‌මිතයක්‌ පැවතියේ එළාර මුහුණේය.

තෝමරය ගලවා දමන්නැයි ඔහු ඉතා පැහැදිළි හඬකින් ඉල්ලා සිටියේය.

එහෙත්, එසේ කළ සැණින් ඔහු මරණයට පත්වන්නේ යැයි සිතූ ගාමණී ඒ සඳහා පැකිලුණේය.

"නැහැ එසේ වන්නේ නැහැ" 

ඔහුගේ සිතැඟි වටහාගත් එළාර කීවේය.

ගාමණී අබය රජුගේ නියෝගය පරිදි නන්දිමිත්‍ර විසින් ඉතා ප්‍රවේශමෙන් එළාර ළෙහි ඇනී තිබූ තෝමරය ගලවා දැමුණු අතර එළාර රජු සුන්බුන්වී එල්ලා වැටෙමින් තිබූ උරසැත තෙමේම ගලවා දැම්මේය.

ඒ වෙහෙසකර ක්‍රියාව විසින් ඔහු බෙහෙවින් අඩපණ කෙරිණි.

එළාර වෙත නැඹුරුවීමට මොහොතකට පෙර අවට සිසාරා බැලූ ගාමණී අබය රජ්ජුරුවෝ එක හස්‌ත සංඥාවකින්ම මහ ජය ඝෝෂාවන් නතර කළහ.

"එක අණයි....."

එළාර කීවේය.

ගාමණී අබයට එය පැහැදිලිව ඇසුණේ නැත. එළාර රජු වෙතට වඩාත් නැඹුරු වූ ගාමණී අබය ඔහු ප්‍රවේශමෙන් වත්තම් කොට තම උකුලට ගත්තේය.

"එක අණයි........සියල්ල නිහඬයි..."

එළාර සෙමෙන් එහෙත් පැහැදිලිව කීවේය. ගාමණී අබය මුහුණට මඳ සිනාවක්‌ නැගිණි.

"......ඔබ හරිම ලස්‌සන මනුෂ්‍යයෙක්‌"

ගාමණී අබය මඳක්‌ විලියෙන් රත්වුණු මුහුණින්ද, හොඳටම තෙත්වූ දෙනෙතින්ද එළාර දෙස බලා සිටියේය.

"..............මේ පවුර ඇතුලේ සිටින්නේ බයෙන් තැතිගත් මිනිස්‌සු......."

එළාර ආයාසයෙන් කීවේය.

"...............ඔවුන් මා විශ්වාස කොට මෙහි ආ මිනිස්‌සු, ඔවුන්ගේ ගේ දොර, වෙළෙඳ සැල්, අඹුදරුවන්..........ඔවුන්ගේ දෙවිවරුන්............."

"ඒ කිසිවක්‌ විනාශ වන්නේ නැහැ. ඒ කිසිවකුට කිසිවක්‌ අහිමි වන්නේ නැහැ........."

ගාමණී අබය කීවේ එළාර සුරත තම සුරතින් දැඩිව ග්‍රහණය කොට ගනිමිනි.

".......එක අණයි, ඒ අණින් එහෙමද?"

එළාර තම මහත් සේ දැල්වුණු දෙනෙතින් යුතුව ගාමණී අබය විචාළේය.

"අණින් පමණක්‌ නොවෙයි........"

ගාමණී කීවේය.

".............මා ඔබේ අවමංගල්‍ය කටයුතු මහා ගෞරවාලංකාරයකින් සිදුකරනවා රජතුමනි. එයින් කියැවෙන අදහස්‌ දෙකක්‌ තිබෙනවා." 

"එකක්‌, ඔබ කෙරෙහි මා තුළ පවතින ගෞරවය"

"අනෙක, මා ඔබට එසේ ගරු කරනවා නම් ඔබගේ ජනතාවට මගේ ජනතාවගෙන් කිසිදු හිරිහැරයක්‌ සිදුනොවිය යුතුයි යන අදහස..........."

මුල්වරට එළාර දෙනෙතින් කඳුළු ගංගාවක්‌ ගලා ආවේය. මරණාසන්න අපහසුව නිසා පමණක්‌ නොව දැඩි චිත්ත වේගය නිසා ද ඔහුට කතා කර ගැනීම අපහසු විය.

"......මා කාලය නාස්‌ති කළා කියා හිතනවා.........."

ඔහු කෙසේ හෝ කීවේය.

".......සිව් සාළිස්‌ වසරක්‌ මුළුල්ලේ මට ඔය දර්ශනය ඉගෙන ගන්න තිබුණා......."

අනතුරුව ඔහු කීවේ ඉතාම පැහැදිළි හඬකිනි.

"අපත් තවම එය උගෙන අවසන් නැහැ......."

ගාමණී අබය රජ්ජුරුවෝ කීහ.

"ඊළඟ වාරයේවත් එය උගෙන අවසන් කරන්නයි මගේ අදහස.... ඔබත් එසේ කිරීමට උත්සාහ කරන්න....."

එළාර මහා සෙනෙහසකින්ද මහා මෛත්‍රියකින්ද ගාමණී අබය වැළඳගත්තේය.

"මගේ දියණියගේ වීරයා ඔබයි"

එළාර රජ්ජුරුවෝ ඉන්පසු කිසිවක්‌ නොකීහ. සෝ සුසුම් හෝ සැනසුම් සුසුම් හෝ නොහෙළුහ.

එහෙත්, අපමණ සැනසුමක්‌ ද විරාමයක්‌ ද, ප්‍රාර්ථනාවක්‌ ද ඔහු දෙනෙතේ සටහන්ව තිබෙනු, සීරුවෙන් ඔහු නිසල සිරුර බිම හොවන ගාමණී අබය දුටුවේය.

⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆

ඉක්‌බිති ගාමණී අබය,

ඒ රජුගේ දේහය වැටුණු තන්හි සක්‌විති පෙරහැරින් අලංකෘත කොට සරසන ලද කුළුගේ සහිතව ආදාහන කරවීය.

එතැනට පැමිණ තමා උදෙසා වාදනය කරනු ලබන තූර්ය වාදන නවත්වා, එම ස්‌ථානය පැදකුණු කොට ගරුසිත් උපදවා, එහි ගඳමල් පුදා, ලක්‌දිව සියලු රජදරුවෝ ම විසින් කරන ලද පරිදි ම කෙරෙත්වා, යි එම ස්‌ථානයේ රාජාඥා පිහිටුවීය.

(වංසත්ථප්පකාසිනී, අකුරටියේ අමරවංශ නාහිමි, හේමචන්ද්‍ර දිසානායක පරිවර්තනය, පිටු 384)

⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆

ස්‌වකීය මුතුන් මිත්තන්ට අයත් ඉපැරණි අනුරාධපුර රජ මාළිගයේ වෙසෙන දෙවනපිය ගාමණී අබය මහ රජ්ජුරුවෝ එළාර දේහයට දැක්‌වූ අධික ගෞරවය දැඩි මානවවාදී ක්‍රියාවක්‌ සේම, දැඩි දේශපාලනමය ක්‍රියාවක්‌ ද වූයේය.

ඒ කරණ කොට අනුරාධපුර මහා වෙළෙඳ නගරයේ වූ එළාරට හිතපක්‌ෂපාතී කිසිදු පුරවැසියකු හෝ සංක්‍රමණිකයකු හෝ වදනකිනුදු නොරිදවන ලද්දේය. ඔවුන්ගේ වාසස්‌ථානයකින් ඔවුන් පලවා නොහරින ලද අතර තමන් පදිංචිව සිටි ඕනෑම තැනක ඔවුහු සනාථයෝම වූහ.

රජුට ද්‍රෝහි වූවන් අල්ලා ගැනීම සඳහා වූ නියෝගයක්‌ නොතිබුණ ද භට්‌ටාරත්, මිත්‍ර සෙනෙවිත් අතුරුදහන්ව සිටියහ.

පුදුමයකට මෙන් ශාරදා පිළිබඳවද ඉන්පසු කිසිදු තොරතුරක්‌ වාර්තා වූයේ නැත.

⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆

භාවමිශ්‍ර නමැති කවියෝ මෙසේ කීවෝ ය.

"භට්‌ටාර කියන්නේ විදේශ කුමන්ත්‍රණයයි, මිත්‍ර කියන්නේ දේශද්‍රෝහිකමයි, ශාරදා කියන්නේ ආදරයයි"

"ඉතින් ඔය තුන්ගොල්ලම පැනල ගිහිල්ලනේ" 

කොක්‌හඬලා සිනාසුණු අයකු කීවේය.

"කවදාහරි ඔවුන් ආපසු එයි........."

හඬනඟා කී භාවමිශ්‍ර, තමාට පමණක්‌ ඇසෙන සේ මෙසේ කියා ගත්තේය.

"...........මේ කපේ දී බැරිනම් ඊළඟ කපේ දී හරි"

⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆

ශාරදා පිළිබඳව කෙසේ වෙතත් භට්‌ටාර සහ මිත්‍ර සම්බන්ධයෙන් වූ තවත් කටකතාවකින් කියැවුණේ වයඹ දෙසට පලාගිය ඔවුන් ඉදිරියට පැමිණෙන භල්ලුකගේ සේනාවන්ට එක්‌වී ඇති බවය.

⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆

වේගයෙන් ඉදිරියට පැමිණි භල්ලුකගේ සේනාංක අනුරාධපුරයට යොදුන් කීපයක්‌ දුරින් පිහිටි කෝලම්බහාලක ගමේ කඳවුරු බැඳගත්තේය.

එතැනට ගොස්‌ ඔහු පරාජය කොට දැමීමට සෙනෙවිවරුන් අතර තරගයක්‌ පැවති අතර ඒ සඳහා අවසර ලැබුණේ ඵුස්‌සදේවගේ සේනාංක වලටය.

එළාර පරාජය වී මියගිය බව දැන දැනත්, ආපසු හැරී නොයා භල්ලුක හැල්මේ අනුරාධපුරය දෙසට පැමිණීමේ එක්‌තරා සුවිශේෂ අර්ථයක්‌ තිබිණි.

එනම්, තමන් අනුරාධපුරය වැටලූ කළ, ඒ තුළ සිටින තම රටේ වැසියන් ගාමණී අබය රජුට එරෙහිව කැරළි ගසා තම සේනාවට එක්‌වන්නේය යන විශ්වාසයය.

එහෙත්, අනුරපුර වැසි කිසිදු සංක්‍රමණිකයකු තුළ එබඳු අදහසක්‌ නොපැවති අතර ඵුස්‌සදේවගේ සේනා, භල්ලුකට එරෙහිව යුද වදිනු සඳහා දක්‌ෂිණ දොරටුව අසල තැනෙමින් තිබෙන එළාර ස්‌මාරක චෛත්‍යයට ද ගරු සත්කාර කෙරෙමින්ම ඒ සඳහා ගමන් කරන ආකාරය දෙස පමණක්‌ ඔවුහු මවිතවී බලා සිටියහ.

භල්ලුක ද ඔහුගේ සේනා ද ඵුස්‌සදේවගේ සේනාංක විසින් බලවත් පරාජයකට ද විනාශයකට ද පත් කෙරිණි.

සටනේදී භල්ලුක මියගිය අතර යන්තම් නැවත පලායැමට වරම් ලැබුවෝ පරාජයේ වේදනාව පමණක්‌ නොව තවත් විශේෂ තොරතුරක්‌ද චෝළ රජු වෙත ගෙන ගියහ.

"මහා බිහිසුණු බලවත් අධිරාජයෙක්‌ දැන් සිහලද්වීපය පාලනය කරයි. ඔහු සමඟ යුද වැදීම සිය දිවි නසා ගැනීමක්‌ වැනිය. එළාර රජු උපක්‍රමයකින් මරා දැමූ ඔහු අනුරාධපුර නගරයේ වූ සියලු දක්‌ෂිණ පථ ජනතාව සංහාරය කොට ඇත්තේය"

"මේ පිළිබඳව ලෝක පාලක දෙවියන්ට පැමිණිලි කරනු හැර වෙන කළ හැකි අන් යමක්‌ නැත. එසේ කිරීමේ වුවද ඵලක්‌ ඇතැයි සිතිය නොහැක්‌කේ මේ මිත්‍යාදෘෂ්ටිකයන් ලෝක පාලක දෙවියෙක්‌ හෝ බ්‍රහ්මයෙක්‌ ගැන හෝ විශ්වාස නොකරන නිසාය"

⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆

මහාසිව මහා ස්‌ථවිරයන් වහන්සේ සාමාන්‍යයෙන් විහාර ගෙයින් පිටතට නොපැමිණෙති.

අධිකව මහලු බවට පත් තමන්ගේ සිරුර පාලනය කොට ගැනීමට මහත් ආයාසයක්‌ දැරීමට උන්වහන්සේට සිදුවීම ඊට එකම හේතුවය.

එහෙත්, සාමනේර භික්‍ෂුවකගේ ද ආධාරය ඇතිව දැන් උන්වහන්සේ සෙමෙන් සෙමෙන් විහාර බෝමළුව වෙත ඇවිද යන්නෝය.

මේ අසීරු පාද යාත්‍රාව, තමන් සමඟ ගමන් ගන්නා කිසිදු ආභරණයක්‌ නොපැළඳි සහ ශ්වේත වර්ණ ඇඳුමකින් සැරසුණු, පහළට යොමුවුණු දෑස්‌ සහිත කාන්තාව නිසාය.

"..........මහරජතුමා ඔබේ අදහසට විරුද්ධ නොවන බව මා නම් දන්නවා........"

"පුතා ඒ පිළිබඳව කැමැත්ත පළ කළා ස්‌වාමිනී"

මහා ස්‌ථවිරයෝ තම ගමන නතර කොට ඈ දෙසට හැරුණහ. ඒ වූකලී මීට අඩසියවසකට පමණ පෙර තමන් මෙසේ ඇවිද අවුත් නතර වූ තැනම විය.

"දේවිය, ආරණ්‍ය වාසය ඉතා දුෂ්කරයි"

"මා දන්නවා ස්‌වාමිනී........"

සුදුවත හැඳි කත කීවාය.

".......එහෙත්, එය මේ සංසාර ගමන තරම් දුෂ්කර නැහැ......."

මහා ස්‌ථවිරයෝ මඳ සිනා පහළ කළහ.

අද එදා මෙන් දැඩි සුළඟක්‌ හමා ආවේ නැත. එහෙත් මඳ සුළඟට වැනෙන බෝපත්වල හඬ ඇයට එදා මෙන්ම අද ද ඇසිණි.

බෝපත්..............

⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆

දැන් සිදුවීම නොව 'සිදුවීමේ සිදුවීම' ලියා රඟ දක්වන්නැයි
පස්වන සියවසේ සිට
කාලය හරහා අපට පණිවුඩ එවූ
මහානාම මහා ස්ථවිරයන් වහන්සේගේ ශ්‍රී නාමයට
මහරජ ගැමුණු පිළිගැන්වෙන්නේය.

ඒ සඳහා අපට උපකාර කල

සියලු මනුෂ්‍යයන්ට ද
අමනුෂ්‍යයන්ට ද
සොබා දහමට ද
අපගේ ගෞරව ස්තුතිය හිමිවේ.

- ජයන්ත චන්ද්‍රසිරි


⋆ 
⋆ ⋆ ⋆ ⋆ ⋆


හුදිජන පහන්සංවේගය පිනිස ජයන්ත චන්ද්‍රසිරි නම් වු ඒ අසහාය කලාකරුවා විසින් රචිත මහරජ ගැමුණු සිනමා තිර රචනයේ නවකතා පරිවර්තනය මෙතෙකින් නිමා වේ.


වර්ෂ 2010 සැප්තැම්බර් මස පස් වන ඉරිදා, දිවයින ඉරිදා සංග්‍රහයෙන් උපුටාගත් මෙම මහරජ ගැමුණු සිනමා තිර රචනයේ නවකතා පරිවර්තනය අවසන් කොටස ක්‍රි.ව. 2016 ක් වූ දෙසැම්බර් මස විසිනව වන දින පූජිත විසින් සටහන් කරන වගයි...

No comments:

Post a comment