Saturday 24 December 2016

13 කොටස - මම බිත්ති අමතමි, ද්වාරවලට ද පණිවිඩය යා යුතුයි

"එය ප්‍රහාරයක්‌ නොවේ. ම්ලේච්ඡ නොපනත්කමක්‌"

ගාමණී අබය මාලිගා මධ්‍යයේ සිට කෑගැසුවේය.

තැතිගත් සේවක සේවිකාවන් ඉක්‌මනින් ඔබ මොබ ගිය අතර, කුමරුන් නොදුටුවා සේ සහ ඔහුගේ ගර්ජනය නොඇසුණා සේ ඒ අසලින් ගමන් කරන්නට යෙදුණු වයෝවෘද්ධ අමාත්‍යවරයෙක්‌ දෙදනෙක්‌ අහෝ මා මේ මොහොතේ මෙතැනට පැමිණියේ කුමන කරුමයකට දැයි වශයෙන් කල්පනා කළෝය.

"නොපනත්කම් දෙස වකුටුවී බලව්"

ගාමණී අබය යළිත් ගුගුළේය. මෙවර ඔහුගේ හඬ අසන්නට පහත මාලයේ කිසිවකුත් නොවූහ. එක්‌කෝ ඒ ඔහුගේ කෝපය ඉදිරියට පැමිණීමට කිසිවකුත් නිර්භීත නොවූ නිසා විය යුතුය. නැතහොත් මේ ප්‍රකෝපකාරී හැසිරීම සැළවන කාවන්තිස්‌ස රජු විසින් කුමරුවා විෂයෙහි ගන්නා ක්‍රියාමාර්ගය සියැසින් දැකගැනීමට කිසිවකු තුළ මනාපයක්‌ නොතිබූ නිසා විය හැකිය. එසේ වුව ද දෙදෙනෙක්‌ ඔහු ඉදිරියේ ප්‍රාදූර්භූත වූහ.

අයෙක්‌ නන්දිමිත්‍රය. අනෙකා ථෙරපුත්තාභය ය. නන්දිමිත්‍ර පිළිබඳව ගාමණී අබය තුළ විශේෂ ලැදියාවක්‌ තිබිණි. ථෙරපුත්ථාභය පිළිබඳව ඊට අමතරව වූ ගෞරවයක්‌ද ඔහු තුළ විය. කෝට පර්වතය අසල කිත්තිගාමගේ ප්‍රධානියා වූ ථෙරපුත්ථාභයගේ පියා කෝටපබ්බත විහාරයේ මහාසුම්ම මහස්‌ථවිරයන් වහන්සේගේ දායකයෙක්‌ විය. කාවන්තිස්‌ස රජුගේ ද අවසරය ඇතිව ගිහිගෙය හැරගොස්‌ මහාසුම්ම තෙරුන් සෙවනේ පැවිදි වූ ඔහු විදසුන් වඩා රහත් වූයේ යෑයි කියනු ලැබේ. මුළු මහත් මාගම රජ මාලිගය උන්වහන්සේ කෙරෙහි පැවැති ගෞරවයෙන් බිඳක්‌ හැම විට ම උන්වහන්සේගේ පුත්‍ර රත්නය වූ ථෙරපුත්ථාභය සෙනෙවි කෙරෙහි ද පැවතිණි.

ඔවුන්ගේ දර්ශන මාත්‍රයෙන්ම ගාමණී අබය කුමරුවෝ තරමක්‌ සන්සුන් වූහ. එහෙත් ඔහු හිසෙහි ඇවුළුණු කෝපය ද , ඔහු හදවතෙහි ඇවුළුණු ශෝකයද තවම නිවී ගොස්‌ තිබුණේ නැත.

"මේ කුමන රාජ්‍යයක්‌ද?..... මට කියන්න මේ ඉවසීමද? මේ උපක්‍රමශීලි වීමද? මේ පනින්නට පෙර සිතා බැලීම ද? නැතහොත් ශේෂ්ඨ භාවයේ වේශයෙන් පැමිණෙන නිවටකමද?..."

සෙනෙවිවරු දෙදෙන ඉතාම යටහත් පහත් ලෙස තමන් කුමරුවා එතැනින් ඉවතට කැඳවාගෙන යැමට පැමිණි බව හැඟවූහ.

"මා මේ අමතන්නේ බිත්තිවලට බව සැබැයි. එහෙත්, ද්වාරවලට ද මේ පණිවිඩය යා යුතුයි"

"පුතා"

විහාර මහා දේවිය කලබලයෙන් එතැනට පැමිණියාය. ගාමණී අබය ඇය නොදුටුවාක්‌ මෙන් ඉවත බලා සිටි අතර ඔහු වේගයෙන් හුස්‌ම ඉහළ පහළ ගන්නා ශබ්දය මාලිගයේ බිත්ති තුළ පවා තැති ගැන්මක්‌ ඇති කළේය.

ඒ හැර වෙන කිසිදු හඬක්‌ නොනැඟිණි. කිසිවකුදු විසින් තම තමන්ගේ හඬ අවදි නොකෙරිණී.

විහාර මහා දේවිය තම හඬ අවදි කළාය. එය මවකගේ හඬකට වඩා මහා රාජණියකගේ හඬක්‌ යෑයි සෙනෙවිවරුන් දෙපළටම සිතිණි.

"පුතා යමු"

මොහොතක්‌ම වූ පමාවකින් පමණක්‌ම පසු ගාමණී අබය විහාර මහා දේවිය සමඟ එතැනින් පිටව ගියේය.

ගල් ගැසී නතරව සිටියෝ යළිත් ගමන් කරන්නට වූහ. යළිත් මාලිගය තුළ පැතිරී යන සාමාන්‍ය භාවය තුළ ගිලෙමින් නන්දිමිත්‍රත්, ථෙරපුත්තාභයත් ඉදිරියට පය එසවූහ. එහෙත් ඔවුන්ගේ හදවත් මහා අඳුරු බරකින් සිරවී තිබිණි.

⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆

මහියංගන ප්‍රහාරය නැතහොත් ගාමණී අබය හඳුන්වන විදිහට 'මහියංගන නොපනත්කම' කාවන්තිස්‌ස රජු පමණක්‌ නොව එළාර රජු ද බලාපොරොත්තු වූවක්‌ නොවේ. එහෙත් ඡත්ථට විරුද්ධව හෝ ඡත්ථ එවැනි දෑ සඳහා පොළඹවන භට්‌ටාරට එරෙහිව හෝ කිසිදු ආකාරයක විනයානුකූල ක්‍රියාමාර්ගයක්‌ නොගැනීම මඟින් එළාර රජ්ජුරුවෝ තම රාජොපායනයට මහත් හානියක්‌ සිදුකර ගත්හ. එසේම, ඊට අවශ්‍ය ප්‍රමාණයේ කෝපයක්‌ ප්‍රකාශ නොකිරීම මගින් කාවන්තිස්‌ස රඡ්ජුරුවෝ ද තම රාජොපායයනට මහත් හානියක්‌ සිදුකර ගත්හ.

මේ අපිරිසිදු සහ අපැහැදිලි නිහඬතාව මධ්‍යයේ සිදුවූ එකම දෙය නම් බියටපත් රජරට ජනතාව කවර හේතුවකටවත් මහවැලි ගඟෙන් මෙහාට පැමිණීමට උත්සාහ නොකිරීමය.

එය මහත් ජයග්‍රහණයක්‌ වශයෙන් රජරට රාජ සභාවට දැක්‌වූ භට්‌ටාර ඒ පිළිබඳව වන සතුට කිසිදු චකිතයකින් තොරව භුක්‌ති විඳින්න යැයි එළාර රජුට ද දැන්වීය.

එහෙත්, මේ විශ්වයේ සිදු වූ සමහර ක්‍රියාවන් වෙනුවෙන් පැන නැගුණු ප්‍රතික්‍රියාවන් නිතරම ඉතිහාසයේ ගමන සකසමින් සිටි බව ඒ කිසිවකුත් දැන සිටියේ නැත.

⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆

සුරනිමල මඳක්‌ ගසට සිරව සිටියේ නන්දිමිත්‍රගේ ශක්‌තිමත් දිගහරිනු ලැබූ සුරත ඔහුගේ පපුව හරිමැද ආක්‍රමණය කරනු ලැබ තිබූ නිසාය.

මඳ වශයෙන් අඳුර මැකූ තරු එළියෙන් සුරනිමලට නන්දිමිත්‍රගේ මුහුණත් ඒ අසලම සිටගෙන සිටින ථෙරපුත්ථාභයගේ මුහුණත් ඔවුනට වඩා කොට ගෝඨයිම්භරගේ මුහුණත් පැහැදිළිව පෙනිණ.

"සුරනිමලයෝ මම රාක්‌ෂසයෙක්‌. අපි කාශ්‍යප බුදුහාමුදුරුවන්ගෙනුත් බණ අහපු පරම්පරාවක්‌. අපි සොබා දහමේ දහම ආරක්‌ෂා කරන අය. එසේ කිරීමෙන් නරකාදියට යන්න වුණොත් නරකාදියට වුණත් යන අය. ඒ නිසා තේරුම් ගනිං මම කරන්නේ රාජ්‍ය සේවයක්‌ විතරක්‌ නොවෙයි"

සුරනිමල තම ශක්‌තිමත් සුරතින්, දැන් හොඳටම ග්‍රහණය ලිහිල්වූ නන්දිමිත්‍රගේ සුරත අල්වා ගත්තේය.

"නුඹ දුටු දවසේම මා තේරුම් ගත්තා නුඹ නම් මොකෙක්‌ නමුත් ඉතාම නරක වර්ගයේ වළස්‌ තඩියෙක්‌ බව. හරි දැන් ඉතිං මේ රහස්‌ කතාවේ තේරුමට බැහැපං"

"මාලිගාව ඇතුලේ ඉක්‌මනින්ම නරක දෙයක්‌ වෙන්න පුළුවන්"

"අපි ඉන්නකං?"

"එහෙම දෙයක්‌ නොවෙයි බං, ගාමණී අබය කුමාරයා රටෙන් පැනල යන්න පුළුවන් කියලයි නන්දෙ කියන්නෙ" 

ථෙරපුත්තාභය කීවේය.

"මොකක්‌ද ඒ කතාවෙ තේරුම?"

"ගාමණී අබය මොන හේතුවක්‌ නිසාවත් පිය රජතුමාට විරුද්ධව අවි ඔසොවන වර්ගයේ මනුෂ්‍යයෙක්‌ නොවෙයි"

නන්දිමිත්‍ර හැඟුම්බරව කීවේය.

"ඒක මම දන්නවා, එයා මහ අමුතු පුදුම අහිංසක මනුෂ්‍යයෙක්‌. උඹලාට මතක ඇති එදා සටන් පුහුණු කඳවුරේදී අර අස්‌ඛලිතයා හොඳටම තුවාල වුණා"

සියල්ලෝම එකවරම මෙන් 'ඔව්' යෑයි කීවෝය.

"අස්‌ඛලිතයාගේ මුළු සනුහරේටම දැන් සලකන්නෙ කුමාරයා"

"වෙන්න පුළුවන්...."

නන්දිමිත්‍ර කීවේය.

"..........මට දැනෙනවා කුමාරයා ඉන්නෙ පුදුම කලකිරීමකින්. කොයි මොහොතක හරි ඔහු අප සේරම අතහැරලා යන්න ඉඩ තියෙනවා කියලා මට හිතෙනවා" 

නන්දිමිත්‍ර ඊළඟට ප්‍රකාශ කළේ අවධාරණයෙනි.

"අපිට මොකක්‌ද කරන්න පුළුවන්?" 

සුරනිමල ඇසුවේය. එහෙත් සියල්ලෝම නිහඬව සිටියහ.

"ඉතින් අපට පුළුවන්ද කුමාරයා පැනල යනවනං ඒක නතර කරවන්න?"

"බැහැ..." 

නන්දිමිත්‍ර කීවේය.

"........අපට පුළුවන් කුමාරයාට පැනලා යන්න උදව් කරන්න"

අනතුරුව ඔහු සුරනිමලගේ කනටම කර කීවේය.

සුරනිමලට සියල්ල වැටහුණේ දැන්ය. සත්තකින්ම මීළඟට නැගෙන ප්‍රධාන ප්‍රශ්නයට ඔහුට පිළිතුරක්‌ තිබේ.

"අම්මපා නුඹලා කොහොමද කඳුකරේ මගේ නෑදෑයො ගැන දන්නෙ?"

"මිනිස්‌සු රා බීපුවහම පුරසාරම් දොඩවන එකේ හොඳක්‌ තියෙනවයි කියන්නෙ ඕක තමයි බං"

මෙතෙක්‌ නිහඬව සිටි ගෝඨයිම්භර ප්‍රකාශ කළේ සියල්ලන්ම සිනාගන්වමිනි.

⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆

අමාත්‍යවරුන්ගේ කරුණාවත් උපදේශත් කාවන්තිස්‌ස රජුට ගෙනාවේ මහත් හිරිහැරයකි. රජරට රාජ්‍යයේ ප්‍රකෝප කිරීම් හමුවේ වුව රජු ඉවසීමකින් කටයුතු කිරීම මහත් සේ අගය කළ ඔවුහු යම් සාම සාකච්ඡාවක්‌ සඳහා රජරටට නියෝජිතයකු යෑවීම පිළිබඳව ද රජුට යෝජනා කළෝය. එය එකහෙළා ප්‍රතික්‌ෂේප කළ රජු කියා සිටියේ තමන් ආක්‍රමණිකයා සමඟ කිසිදු කොන්දේසියකට නොඑළඹෙන බවය. එළාර රජුට සාමය අවශ්‍ය නම් තමන් ප්‍රකෝපකරන ක්‍රියාවලින් ඔහු වැළකී සිටිය යුතු බව කාවන්තිස්‌ස රඡ්ජුරුවෝ වැඩිදුරටත් කියා සිටියහ.

රජුගේ අවධානය වෙනතකට යොමුකරනු වස්‌ ඇතැම් අමාත්‍යවරයෙක්‌ මෙහිදී උත්සාහ කළේ ගාමණී අබය කුමරුගේ හැසිරීම රාජ්‍ය ප්‍රශ්නයක්‌ වශයෙන් මතුකරලීමටය. අවසානයේදී සියලුම ප්‍රශ්නවලට වඩා ඉහළින් මතු කෙරුණු එම ප්‍රශ්නය විසින් රජු හොඳටම හෙම්බත් කරනු ලැබුවේය. එහි ප්‍රතිඵලය වූයේ රාජ්‍ය නියෝගයක්‌ වශයෙන් ගාමණී අබය එක්‌තරා දිනෙක රජු අබියසට පැමිණවීමය.

"මා තිස්‌ස දිගාමඬුල්ලට යෑව්වා, ඔහු එහි වැඩ..........."

කාවන්තිස්‌ස ගේ කෝපයට ඉඩ දෙමින් ගාමිණී නිහඬවම සිටියේය.

"ඔබ සිතන්නේ මා සේනාවක්‌ සූදානම් කොට ඔබ මේ හදිසියේ අනුරාධපුරය වැටලීමට යෑවිය යුතු බවද?"

"අනන්නය දක්‌වා කල්තැබූ ඔබේ රට බේරා ගැනීමේ උවමනාව, එය කිසිදා ඉටු නොකරන බව මා දන්නවා"

රජ්ජුරුවෝ ඉවසුම් නොදෙන කෝපයකින් දැවුණහ.

"අනාගත රජුගේ හැසිරීම ඔය නොවෙයි ගාමණී, රාජ්‍යයකට රජෙක්‌ මිසක්‌ හිතුවක්‌කාර කොලුගැටයෙක්‌ අවශ්‍ය නැති බව මතක තබා ගන්න."

ගාමණි තවත් යමක්‌ පැවසීමට උත්සාහ කළද රජ්ජුරුවෝ,

"පිටවයනු!" 

යැයි නියෝග කළහ.

ගාමණි අබය කුමාරයෝ එය නියෝගයක්‌ වශයෙන් පමණක්‌ නොව තම ජීවිතයට දුන් සංඥාවක්‌ වශයෙන්ද ගත්තෝය.

⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆

"..........අපගේ අහිංසක වැසියන්, ළමා ළපටින් නැවත නැවත ඝාතනය කරමින් ආක්‍රමණිකයා වියරුව හැසිරෙන විටද නිහඬව සිටීම රාජ්‍යත්වය නම් මම ඒ රාජ්‍යත්වය පිළිකුල් කරමි.........."

ක්‍රි. පූ. දෙවන සියවසට අයත් සිංහල අක්‌ෂරවලින් ඉතා ව්‍යක්‌ත ලෙස සටහන් කරන ලද ගාමිණි අභයගේ සංදේශය කියවමින් සිටින විහාර මහා දේවියගේ දෙනෙත් කඳුළින් තෙත්විණි. ඇය නොකඩවා කියෑවූවාය.

"................මෑණියෙනි, හුදු යුද සංවිධානය පමණක්‌ම කරමින් කෛරාටික ආක්‍රමණික සතුරාට එරෙහිව යුද නොවැද සිටීමේ පිය රජතුමාගේ රාජ්‍ය ප්‍රතිපත්තිය සමඟ මම යළිත් වාද නොකරමි. එහෙත් එය පිරිමි වැඩක්‌ නොව ගැහැනු වැඩක්‌ බව මම කියමි........"

⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆

රාජ්‍ය නිලධාරියකු විසින් රැගෙන ආ විල්ලුද කොට්‌ටයක්‌ මත තබන ලද ඇත් දළින් තැනූ පෙට්‌ටියක්‌ දෙස කාවන්තිස්‌ස රජ්ජුරුවෝ එකපැහැර බලාසිටියහ.

මේ ඔහු ත්‍යාග පිළිගන්නා අවස්‌ථාවක්‌ නොවේ, එහෙත්, මේ ත්‍යාගය වූ කලී ගාමණි අබය ගෙනි.

"ගිරි නුවරට යැමට පෙර ගාමණී මට ත්‍යාග එවලා......."

ඔහු තමා සමඟ සතුටු සාමීචියේ යෙදෙන අමාත්‍යවරුන් අමතා ප්‍රකාශ කළේය.

අමාත්‍යවරුද රජු සතුටු කිරීමට තමන්ගේ සතුටත්, නොඉවසිල්ලත් අප්‍රමාදවම පළකළහ. තව මොහොතකින් විවෘත කෙරෙන ඇත් දළ පෙට්‌ටිය තුළ තිබෙන දෑ කුමක්‌ වුවද ඒ දුටුවහාම තම ප්‍රාර්ථනය දැක්‌වීමටත් කුමරාට ප්‍රශංසා කිරීමටත් ඔවුහු තම මුඛයන් සූදානම් කොට තබාගත්හ.

ගාමිණී අබය පිළිබඳව තම අමාත්‍යවරුන් තුළ පවත්නා නොපැහැදීම දැන සිටි රජ්ජුරුවෝ එය වෙනස්‌ කිරීමටද මෙය කදිම අවස්‌ථාවකැයි අහිංසක ලෙසම කල්පනා කළෝය.

"අමාත්‍යවරුනි, දැන් ගාමණි අබය බොහෝම හොඳයි, කීකරුයි, නැකැත් ඇදුරන් කීවේ ඔහුගේ පැවැති නුහුගුණ ඔහු ගතකළ අපල කාලය නිසා සිදුවූවක්‌ බවයි........"

"සෙනසුරා මහ නරකයා, විෂ්ණු දෙවියන්ටත් බටකොල කැව්ව කියනවනේ........"

අනෙක්‌ අමාත්‍යවරුන්ට පෙරාතුව හොඳ උදාහරණයක්‌ රජු ඉදිරියට දමා ගැනීමේ සතුට භුක්‌ති විඳිමින් අමාත්‍ය භූතිකාමයෝ ප්‍රකාශ කළහ.

සියල්ලෝම එකම 'හ්ම්' නාදයකින් එය අනුමත කළ අතර ඒ සමගම රජු විසින් තම දෑතින්ම ඇත්දළ පෙට්‌ටිය විවර කරනු ලැබිණි.

පෙට්‌ටිය පිරී තිබුණේ රන් ආභරණ වලිනි. මේ රන් ආභරණ මොනවාදැයි මුලින්ම කිසිවකුට පැහැදිලි වූයේ නැත. එහෙත් ඒවා එකින් එක එළියට ගන්නා රජුගේ මුහුණට මහා අන්ධකාරයක්‌ ගෙනෙමින්ද අමාත්‍යවරුන්ගේ මුහුණු සංත්‍රාසයෙන් අකුලවමින්ද ඒ සියල්ල ස්‌ත්‍රී රන් ආභරණ බව එතන සිටි කාට වුව පසක්‌ කෙරිණි.

"ඉවත්ව යනු"

රජු තමා ඉදිරියේ සිටින රාජ්‍ය නිලධාරියාට නියෝග කොට ඔහු ඉවතට යෑවීය.

අනතුරුව ඔහු සෙමෙන් සෙමෙන් ගාමණි අබය එවූ ස්‌ත්‍රී ආභරණ නැවත ඇත්දළ පෙට්‌ටිය තුළටම දැමුවේය.

තමා මේ මුහුණදී සිටින අපහසුතාව කෝපය ද, ලඡ්ජාව ද, කළකිරීම ද යන්න තේරුම්ගැ නීමට ඔහු මොහොතක්‌ උත්සාහ කළේය. එහෙත් ඒ සමඟම ඒ සියල්ල යටපත් කරමින් තම චිත්තාභ්‍යන්තරය තුළ නැගෙන සියුම් බිය ද ඔහු නොපමාවම හඳුනාගත්තේය.

ගාමණී අබය යනු තම ශරීරයේ කොටසක්‌ පමණක්‌ නොව තමන්ට එරෙහිව නැගෙන දේශපාලන බලවේගයක්‌ ද වන්නේය යන හැඟීමද ඔහුට මෙහිදී ප්‍රථම වරට ඇතිවිය.

"අමාත්‍ය මහානන්ද"

රජ්ජුරුවෝ සියල්ලන් තැතිගන්වමින් උස්‌ හඬින් කතා කළෝය.

අමාත්‍ය මහානන්ද පමණක්‌ නොව සියලුම අමාත්‍යවරු දණින් වැටී හිස්‌ පහතට නැඹුරුකොට ගත්හ.

"දුෂ්ට ගාමණී රන්දම්වැලකින් බැඳ සිපිරිගෙයි දමනු!"

ඉන්පසු මොහොතක්‌ එතැන නොරැඳුණු රජ්ජුරුවෝ පිටව ගියහ.

⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆

තම සියලු සේවකයන් මෙහෙයවාත් සොයාගත නොහැකිවූ ගාමණි අබය වෙනුවෙන් කඳුළු සලන්නට වූ විහාරමහා දේවිය යළිත් ඔහු තමා වෙත එවන ලද සන්දේශය කියෑවූවාය.

"............තව මොහොතකින් එළඹෙන පිය රජුගේ කෝපය විසින් කෙරෙන නියෝගය මම දනිමි. එහෙත්, මෑණියෙනි මම එයට යටත් නොවෙමි.........."

ඇය වඩාත් තැති ගැන්වූ සන්දේශයේ කොටස එය නොවේ, මෙයය.

"..................මම රජ මාලිගයෙන්ද, රජසැපෙන්ද පලායමි. මා එසේ කරනුයේ නැවත පැමිණ රජ සැප ලබා ගැනීම සඳහා නොවන බව මේ ලෝකයේ දන්නා එකම පුද්ගලයා අම්මායි. ඔබට තෙරුවන් සරණයි"

රාජකීය යහන් ගබඩාවෙන් එළියට පැමිණි විහාර මහා දේවිය මෙතෙක්‌ කිසිදු දිනෙක මාළිගය තුළ දක්‌නට නොතිබුණු අමුතු කලබලයක්‌ දුටුවාය.

වෙනදා එතරම් දැක පුරුදු නැති රාජ පුරුෂයන් පිරිසක්‌ අවි අමෝරාගෙන ඔබ මොබ ගමන් කරමින් සිටි අතර සාමාන්‍යයෙන් මාළිගයේ ආරක්‍ෂාව භාර සෙනෙවියා වූ වේළුසුමන කණස්‌සලු ලීලාවෙන් පසෙකට වී සිටිනු පෙනිණි. නන්දිමිත්‍ර හෝ වෙනත් ගාමණි අබයගේ සෙනෙවිවරුන් කිසිවකුත් දක්‌නට නොසිටියෝය.

ගාමණි අබය ගේ යහන් ගබඩාව අසල කිසියම් ගාලගෝට්‌ටියකි. විහාර මහා දේවිය ඉක්‌මන් ගමනින් එතනැට පැමිණියාය. ඇය දුටු එතැන සිටි අමුතු රාජ පුරුෂයෝ ඇයට හිසනමා ආචාර කොට එකත් පස්‌ වූ අතර පැමිණි වේගයෙන්ම, විවෘත වී තිබුණු ගාමණිගේ යහන් ගබඩාවට පිවිසෙන ඇයට ඒ තුළ බලාපොරොත්තු සුන්වූ ස්‌වභාවයෙන් සිටින මහානන්ද අමාත්‍යවරයාත් ඔහුගේ සෙබළුන් කීප දෙනකුත් දක්‌නට ලැබුණේය.

"මේක ගාමණී කුමාරයාගේ යහන් ගබඩාව"

විහාර මහා දේවිය කීවේ කෝපයෙනි.

"සමා අවසර දේවීන් වහන්ස, රාජ නියෝගය කුමාරයා සිර බාරයට ගන්න"

මහානන්ද ඉතාමත් යටපත් පහත් ලෙස කීවේය.

"කෝ ඉතිං සිරභාරයට ගත්තද?"

"කුමාරයා පළා ගිහින්"

"එහෙනං මොන උලව්වක්‌ද මේක ඇතුළේ කරන්නේ.. පිටව යනු"

විහාර මහා දේවිය නියෝග කළාය.මහානන්දද ආපසු හැරී තම සෙබළුනට එම ස්‌වරයෙන්ම 'පිටව යනු' යෑයි නියෝග කළේය.සියල්ලන්ද, ඔවුන්ගේ ඝෝෂාවද ඉවත්ව ගිය කල විහාර මහා දේවිය මෙතෙක්‌ වසා සිටි දෙනෙත් විවර කළාය.

තම පුතුන් දෙපළගේම සයනයන් ඈ සිටි තැනට එක එල්ලේ පෙනෙයි.දෙදෙනාම දැන් මෙහි නැත. විහාර මහා දේවිය සෙමෙන් සෙමෙන් ගාමණි අබය කුමරුන්ගේ සයනය වෙතට පිය නැඟුවාය.මීට වසර ගණනාවකට පෙර මහ රජුත් තමාත් මහත් විශ්මයකට පත්කළ සිදුවීම මෙහිදී යළිත් ඇය ඉදිරියේ මැවිණි.


⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆

වර්ෂ 2010 අප්‍රේල් මස දහ අටවන ඉරිදා, දිවයින ඉරිදා සංග්‍රහයෙන් උපුටාගත් මෙම මහරජ ගැමුණු සිනමා තිර රචනයේ නවකතා පරිවර්තනය දහ තුන්වන කොටස ක්‍රි.ව. 2016 ක් වූ දෙසැම්බර් මස විසි හතර වන දින පූජිත විසින් සටහන් කරන වගයි...


No comments:

Post a Comment