Tuesday, 27 December 2016

24 කොටස - මා පළා යනවා ඔබත් පළායන්න!

තිස්‌ස කුමරුගේ සේනාංක මුහුණ දුන් බලවත් අනතුර වූයේ ගාමණී අබය රජුගේ සේනාංක හදිසියේම පසුපසින් විත් පහරදීම පමණක්‌ නොවේ. අනපේක්‌ෂිත ප්‍රහාරයෙන් වික්‌ෂිප්තියට පත් ඔහුගේ බොහෝ සෙබළු තවත් දෙවරක්‌ නොසිතා ගාමණී අබය පක්‍ෂය ගැනීමය. 

මේ සඳහා ඔවුන් පෙළඹවූ එක්‌තරා ප්‍රබල හේතුවක්‌ ද තිබිණි. ඒ ගාමණී අබය රජුට එරෙහිව තමන් සමඟ කරට කර යමින් සිටින නුහුරු නුපුරුදු අශ්වාරෝහක සේනාංකය වූ කලී රජරටෙන් සපයන ලද්දක්‌ යන නරක ආරංචියෙන් ඔවුන් සිත් කොහොමටත් නොසතුටින් තිබීමය.

මාගම දේශ සීමාවට තරමක්‌ ආසන්නයෙන්, මහියංගනයට නුදුරුව පිහිටි මහා කොට්‌ඨ නමැති එළාර සෙන්පතියා විසින් පාලනය කරනු ලැබූ අන්තර් සොබ්බ බලකොටුවෙන් එවන ලද මේ අශ්වාරෝහක සේනාංකය, මුළු මනින්ම එළාර රජුට පක්‌ෂපාතී සිංහල සෙබළුන්ගෙන් සමන්විත වූයේ විය.

තිස්‌ස කුමරුගේ පාර්ශවයෙන් භද්‍රවත් බිල්ව සහ උත්මීය සෙනෙවියාත් එළාර පාර්ශ්වයෙන් භට්‌ටාර සහ දීඝාභයත් සහභාගී වූ තරමක්‌ කල් ඇතිව කරන ලද සාකච්ඡාවක ප්‍රතිඵලය වශයෙන් ඔවුහු මෙහි පැමිණියහ.

යුද්ධය සිදුවන අතරතුරදී පළා යෑමට ඉඩ නොදී කෙසේ හෝ ගාමණී අබය ඝාතනය කරවීම ඔවුනට රජරටින් පැවරුණු විශේෂ රාජකාරිය විය.

මේ මිනිසුන්, අශ්වාරෝහකව ප්‍රහාර එල්ල කිරීමේ මනා පුහුණුවක්‌ ලැබූ, ඉතා දක්‌ෂ පිරිසක්‌ වූ බවද සැබෑය. එහෙත්, අවුස්‌සන ලද ආත්ම අභිමානයකින් සහ තමන් රවටන ලද්දේ යැයි යන කෝපයකින් සිටි පිරිසකගේ සාමූහික හැඟීම් සමඟ සටන් කිරීමෙහිලා ඔවුන් සමතුන් වූයේ නොවේ.

පිටතින් පැමිණි ගාමණී අබයගේ සේනාවන්ගෙන්ද ඇතුළත සිටිමින්ම ඔවුනට පහර දෙන තිස්‌සගේ ඇතැම් කණ්‌ඩායම්වලින්ද හෙම්බත්වූ අශ්වාරෝහකයෝ එක්‌කෝ මරණයට පත්වී අසුන් පිටින් බිමට වැටුණහ, නැතහොත් බිමට වැටී මරණයට පත්වූවෝය.

"දැන් මොකද කරන්නේ ?"

ජීවිතයේ මුල්වරට බිහිසුණු සටනකට මුහුණ දුන් සහ එය පරාජයට පත්වනු දුටු තිස්‌ස තමා අසලින් දිවයන උත්මීය සෙනෙවියා නවතා විචාළේය.

තවමත් නොවැටී සටන් කරන තම හිතවත්ම සෙබළුන් පීරා ඈත සිට තමා සොයා පැමිණෙන තිස්‌ස අමාත්‍යයා දුටු උත්මීය ද

"දැන් මොකද කරන්නේ ?" 

යැයි පෙරළා තිස්‌ස කුමරුගෙන් විචාළේය.

"මා පළා යනවා. ඔබත් පළා යන්න" 

යි හඬ නඟා පැවසූ තිස්‌ස කුමරුවෝ කඩොල් ඇතු පිටින් බිමට පැන උත්මීය පළායන දිශාවට විරුද්ධ දිශාවට පළා ගියෝය.

⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆

කෙත්වතු මැදින්ද ගැමි ගෙමිදුල් මැදින්ද හතිලමින් දිවගිය තිස්‌ස කුමරුවෝ විහාරයක්‌ දුටහ.

කුඩා වන ලැහැබක්‌ මැඳින්ද, පටු ගල්තලාවක්‌ ඔස්‌සේද පළාගිය උත්මීය මරු දුටුවේය.

ඒ ලුහුබැඳ පැමිණියකුගේ හී සරයකිනි.

ඒ, එසේ වුවද තිස්‌ස ලූහුබැඳ පැමිණියෝ ඔහු නොවිද්දහ. ඒ වෙනුවට ඔහු පිළිබඳ සියලු පවත් ගාමණී අබය රජුට සැළකළහ. ඒ අතර විහාරය වටකොට මුරකාවල් යෙදූහ.

⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆

තම කුඩා අශ්ව සේනාංකය සමඟ දෙමටමල් විහාරය අසලට පැමිණෙන රජ්ජුරුවෝ දීඝථුනිකා වෙළඹ පිටින් බිමට බටහ.

දෙමටමල් විහාර භූමියේ වැඩිමහලු භික්‍ෂූන් කිසිවෙක්‌ පෙනෙන්නට නොසිටි අතර සාමනේර භික්‍ෂූන් කීපනමක්‌ පමණක්‌ම එහි දැකිය හැකි විය.

"කෝ තිස්‌ස ?"

රජ්ජුරුවෝ එතරම් බැරෑරුම් නොවූ හඬකින් සාමනේරවරුන් විමසූහ.

කිසිවක්‌ නොදෙඩූ සාමනේරවරු රජු දැක තැතිගත්තා පමණකි.

එහෙත්, ඒ සමඟම විහාරයේ නායක ස්‌වාමීන් වහන්සේ සෙමෙන් සෙමෙන් විහාර ගෙය තුළ සිට විහාර භූමියට පැමිණෙමින් සිටියෝය.

රජු උන්වහන්සේ වැඳ නමස්‌කාර කළේය.

"සුවපත් වේවා"

භික්‍ෂූන් වහන්සේ තමා තුළ වූ තැතිගැන්ම මැඬ ගනිමින් ප්‍රකාශ කළෝය.

එසේම, සිරිත් පරිද්දෙන් විහාරය තුළට පැමිණ අසුන්ගන්නැයි උන්වහන්සේ රජුට ආරාධනා නොකළහ. ඒ වෙනුවට බිමට යොමාගත් දෙනෙත්වලින් යුතුව නිහඬව, නිසලව සිටියහ.

භික්‍ෂූන් වහන්සේ මෙතැන පවුරක්‌ මෙන් ක්‍රියා කරන්නේ යැයි ගාමණී අබය අවබෝධකොට ගත්තේය.

"කෝ මගේ මලයා ?"

අනතුරුව ඔහු නායක හිමියන්ගෙන් විමසා සිටියේ සෙමෙනි.

"මලයා ඇඳ මත නැහැ" 

නායක හිමියෝ කී සේක.

ජ්‍යෙෂ්ඨ භික්‍ෂූවකගේ සයනයක්‌ යට ගුලිවී ඇති තම සොහොයුරාගේ ස්‌වරූපය සිහියට නැඟුණු වහාම ගාමණී අබය රජුට මඳ සිනහවක්‌ පහළ විය.

කුඩා කාලයේ හැංගිමුත්තම් ක්‍රීඩාවේ යෙදෙන විට තිස්‌ස වඩාත් ප්‍රිය කළේ පිය රජුගේ සයනය යට සැඟවී සිටීමට බව ඔහුට සිහිපත් විය. තමා නොවැරදීම ඔහු සොයාගත් විට වුවද දෑතින් දෙනෙත් වසාගෙන තවමත් සයනය යටින් පිටතට නොපැමිණෙන තිස්‌ස බිය ආශ්වාදයක්‌ කර ගනිමින් ඔහේ සිටියි.

අවසානයේදී ඔහු පිටතට පැමිණෙන්නේ තමන් දැන් ක්‍රීඩාව අවසන් කරන බවට ගාමණී විසින් තර්ජනය කරනු ලැබීමෙන් අනතුරුව පමණකි.

භික්‍ෂූන් වහන්සේ 'මලයා ඇඳ මත නැතැයි' කීම ද එවැන්නකැයි රජ්ජුරුවෝ සිතූහ. ඉන් එහාට කිසිවක්‌ම නොකී සහ තවත් කිසිදු පියවරක්‌ ඉදිරියට නොතැබූ රජ්ජුරුවෝ යළිත් නායක හිමියන් පා වැඳ ආපසු හැරුණහ.

එහෙත් ඒ විහාරය ඉදිරිපිට භූමිය තෙක්‌ පමණකි.

⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆

තුවාල ලැබූ සෙබළුනට ප්‍රතිකාර කරන්නන්ද, තරමක්‌ තුවාල ලැබු සහ නොලැබූ සෙබළුන්ද දෙමටමල් විහාරය ඉදිරිපිට භූමියේ රැඳී සිටියහ.

තුවාල ලැබූවන් සතුරන් මිතුරන් වශයෙන් වර්ග නොකෙරුණු අතර එහිදී සියල්ලන්ටම හැකි සියලු ආකාරයෙන් ප්‍රතිකාර කෙරිණි.

ගාමණී අබය, තිස්‌ස අමාත්‍යයා ද සමඟ ඇවිදිමින් සතුරු මිතුරු සියල්ලන්ගේම සුවදුක්‌ විචාළේය.

ඒ අතර බරපතල තුවාල ලැබූ මහාකොට්‌ඨ සෙනෙවියාගේ අශ්වාරෝහක බලඇණියේ සෙබළෙක්‌ද සිටියේය.

"බුදු බව අත්වේවා මහ රජතුමනි"

සෙබළා අපහසුවෙන් හුස්‌ම ගනිමින් කීවේය. රාජකීය වෙදනාවරුන් කීප දෙනකුම ඔහු යළි මෙලොවට ගැනීමේ බලවත් උත්සාහයක නියැලී සිටිමුත් ඔහු මෙලොවින් සමුගැනීමට හොඳටම ආසන්නව සිටියේය.

"...............අප කමා කරන්න මහ රජතුමනි, අප කමා කරන්න මහ රජතුමනි.......අප කමා........."

සෙබළා නොකඩවා කියාගෙන යන්නට පටන් ගත්තේය.

"ඔබ හොඳින් සටන් කළා දරුවා, සතුටින් මියයන්න........."

රජ්ජුරුවෝ ඔහු සුරතින් අල්ලාගෙන කීවෝය. සෙබළා මහත් සතුටකින්ද මෛත්‍රියකින්ද යුක්‌තව තම ජීව ප්‍රාණය අත්හළේය.

"මහ රජතුමනි අන්න"

අමාත්‍ය තිස්‌ස හදිසියේම දෙමටමල් විහාර පිවිසුම දෙස බලා කීවේය.

විහාරය තුළ සිට කහ සිවුරෙන් වැසුණු සයනයක්‌ ඔසොවා ගෙන පැමිණෙන සාමනේර භික්‍ෂූන් සතර නමකි.

සයනය මත තබන ලද කහ සිවුරෙන්ම එතූ මළ සිරුරක්‌ වැන්නකි.

රජ්ජුරුවෝ තිස්‌ස අමාත්‍යයාද සමඟ ඉක්‌මන් ගමනින් දෙමටමල් විහාර පිවිසුම දෙසට ගියහ. 'මළසිරුරට' තමා පසුකොට මඳක්‌ ඉදිරියට යැමට ඉඩදුන් රජ්ජුරුවෝ මෙසේ සාමනේරයන් වහන්සේලා ඇමතූහ.

"පොඩි හාමුදුරුවනේ ඔහොම නවතින්න"

සාමනේර භික්‌ෂුහු නොපමාවම එසේ කළහ.

යම් හදිසියක්‌ නිසා සිවුරෙන් ඔතන ලද 'මළසිරුරේ' පාදයක්‌ සිවුරුකඩෙන් එළියට පැන තිබිණි. රජ්ජුරුවෝ එතැනට ගොස්‌ තුමූම එම පාදය සිවුරෙන් හොඳින් වැසූහ.

අනතුරුව 'මළසිරුර' අමතා මෙසේ කීවෝය.

"තිස්‌ස නුඹ පුදුම වාසනාවන්තයෙක්‌, අපගේ කුල දේවතාවුන්ගේ කරපිටින් ගමන් බිමන් ගිය මිනිසකු ගැන මා කවදාවත් අසා නැහැ............"

අනතුරුව වළක්‌වාගත නොහැකි සාවඥ සිනාවෙන් අවට දෙවනත් කළ ඔහු සෙමෙන් එහෙත් ගැඹුරු හඬකින් මෙසේ කීවේය.

".......තිස්‌ස අපගේ කුලදේවතාවන්ගේ මේ ගුණය හැමදාම මතක තියා ගනින්, පින්දීපන්"

සාමනේර භික්‍ෂූන් කරපිටින් මළසිරුරක්‌ මෙන් ඔතන ලද තිස්‌ස කුමරු රැගත් සයනය ගමන් ගන්නා ආකාරය දෙස සියල්ලෝම බාධා නොකොට බලාසිටියහ.

ගාමණී අබය රජ්ජුරුවන් තම පළමු යුද ජයග්‍රහණය සැමරූ ආකාරය මාගම පමණක්‌ නොව රජරට ද මවිතයට පත් කළේය.

භද්‍රවත් බිල්ව හැර (යුද පරාජයත් සමඟම ඔහු රජරටට පළාගොස්‌ තිබුණේය) රාජ උදහසට ලක්‌වූ වෙනත් කිසිවෙක්‌ තිස්‌සගේ පාර්ශවය ගත් අය අතර ගාමණී අබය රජුට සිටියේ නැත. එහෙයින් විශේෂ වශයෙන් දණ්‌ඩනයට ලක්‌ කළ යුතු අය ද යුද සිරකරුවන්ද රජුට නොසිටියහ. තිස්‌ස කුමරුවා අත්අඩංගුවට ගත යුතුය වශයෙන් වන නියෝගයක්‌ද නොපැනවිණි.

තමාට පාලනය කළ නොහැකිවූ පසුගිය කාලයේ පැවැති අභාග්‍යයන් මහත් ව්‍යසනයන් බවට පත්කර නොගැනීම පිළිබඳව විහාර මහා දේවිය තම වැඩිමහල් පුතුට තුති පිදුවාය.

තිස්‌ස වටා භ්‍රමණය වූ රජරට කුමන්ත්‍රණ පිළිබඳව කිසිවක්‌ම නොදැන සිටි ඇය ඔහුට දොස්‌ පවරන්නටත් ඔහු ආරක්‍ෂා කරගන්නටත් හැමතැනම ඔහු සෙවූවාය.

රජ්ජුරුවන් යුද්ධයෙන් මියගිය සතුරු මිතුරු සියල්ලන්ට පින්පෙත් පැමිණවීම සඳහා මහා දානමය පුණ්‍යකර්මයක්‌ සංවිධානය කළේ ඒ අතරය.

⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆

ගාමණී අබය මහ රජුත්, කතී බිසවත්, විහාර මහා දේවියත්, දස මහා සෙනෙවිවරුනුත් මාලිගයේ දාන ශාලාවේ අසුන් ගෙන සිටින මහා සංඝයා වහන්සේට මහ දන් පිළිගැන්වීමට ලහි ලහියේ සූදානම් වෙමින් සිටියහ.

ගෝධගත්ත තිස්‌ස, මහාසිව මහා ස්‌ථවීර, ගෝතම වැනි මහා හිමිවරුන් ඉදිරියේ අඳුරු පැහැති ඔවුන්ගේ පාත්‍ර සුදානමින් තිබුණි.

වේළුසුමන විසින් පිරිනැමූ ප්‍රථම බත් භාජනය අතට ගන්නා ගාමණී අබය රජුත්, තව වෑංජනයක්‌ අතට ගත් විහාර මහා දේවියත්, ඒ අනුව පිළිවෙලින් නොයෙකුත් අහර බඳුන් රැගත් රාජකීය පිරිසත් සංඝයා වහන්සේට දන් පිළිගන්වනු පිණිස පැමිණෙති.

රජ්ජුරුවෝ ප්‍රථම බත් හැන්ද ගෝධගත්ත තිස්‌ස මහතෙරුන් වහන්සේට පිළිගැන්වීමට උත්සාහ කළහ.

එහෙත්, විශ්මයකට මෙන් තෙරණුවෝ පාත්‍රය තම සුරතින් වසා සිටීම මඟින් රජ්ජුරුවන් කම්පාවට පත්කළහ.

විහාර මහා දේවිය මහාසිව මහා ස්‌ථවිරයන් දෙස බැලු අතර උන්වහන්සේ නිහඬ සිනාවකින් යුතුව තම පාත්‍රය දෙසම බලාසිටියෝය.

තමන් අනුභවයට ගන්නා ඕනෑම ආහාරයක්‌ භික්‍ෂූන් වහන්සේට මුලින්ම පූජා නොකොට මිස ආහාරයට නොගැනීමේ අප්‍රකට පිළිවෙතක්‌ නොකඩවා අනුගමනය කළ ශ්‍රද්ධා සම්පන්න සංවේදී මිනිසකුට එය දැරිය නොහැකි වේදනාවක්‌ විය.

එහෙයින්, බෙදන්නට ගත් බත් හැන්ද එසේ තබාගෙනම රජ්ජුරුවෝ සන්සුන්ව මෙසේ ඇසූහ.

"ස්‌වාමිනී මේ කිම්ද?"

"මහරජ සංඝයා ඔබෙන් යමක්‌ අපේක්‍ෂා කරති........"

තෙරණුවෝ කීහ.

"කුමක්‌ද ?"

"අප තිස්‌ස රැගෙන ආවා"

"කෝ ඒ හොරා ?"

ගාමණී අබය රජුට කියැවුණේ කෝපයකට නොවේ, මහත් සංවේගයක්‌ සමඟ ඇතිවූ සතුටකටය.

"පඩිපෙළ උඩ"

මහාසිව මහා ස්‌ථවිරයෝ තෙපළහ.

තම අත රැඳි වෑංජන බඳුන සැණකින් ඵුස්‌සදේව අතට පත්කරන විහාර මහා දේවිය ඒ කියන පඩිපෙළ කරා දිවයන්නීය.

විහාර මහා දේවිය දිව එන හඬ ශ්‍රවණය කරන තිස්‌ස සැඟවී සිටින තැනින් මෑත්ව පඩිපෙළ පහළ දෙස බලන්නේය.

පඩිපෙළ පාමුලට පැමිණි විහාර මහා දේවිය දකින්නේ තම කෙළිලොල් කුඩා පුතුගේ සුපුරුදු මුහුණ නොවේ මහත් පශ්චාත්තාපයකින් පෙළෙන අසරණයකුගේ මුහුණකි.

සියලු වැරදිවලට සමාව ප්‍රදානය කෙරෙන වාවාගත නොහැකි ශෝකයක ඉංගිතයක්‌ පළකරන තම මෑණියන්ගේ මුහුණ දකින තිස්‌ස පියවරට දෙකට පඩිපෙළ පැන ඇය වෙතට දිව ආවේය.

අනතුරුව අම්මා විසින් තම පොඩිපුතා මහත් සෙනෙහසින් වැළඳ තුරුළුකොට ගනු ලැබිණි.

කවුරුන් හෝ ඉකිබිඳින හඬ එතැන පැවතියේ සුළුවෙලාවක්‌ පමණි. එය යටපත් කෙරෙමින් එතැනට පැමිණෙන ගාමණී අබය මහරජුගේ පියවර හඬ හඳුනාගත් ඔවුන් දෙදෙනාම දෙනෙත් තරයේ වසාගත්හ.

රජ්ජුරුවෝ තම මවත්, බාල සොහොයුරාත් දෙස අනිමිස ලෝචනයෙන් බලා සිටියහ.

දස හැවිරිදි වියේ පසුවන තමාට හදිසියේ පහරක්‌දී මේ පඩිපෙළ දිගේ පළායන කුඩා තිස්‌ස ඔහුට පෙනිණි.

ඒ සමඟම ඔහු ලුහුබැඳ මේ පඩිපෙළ පියවරට දෙකට පැනයන තමා ද ඔහුට පෙනිණි.

අල්ලා ගන්නට ඔන්න මෙන්න තිබියදී මව හදිසියේම එතැනට ආවාය. තිස්‌ස විගසින් ඇය වෙතට පැන, ඇය ඇකය බදා මුහුණ සඟවා ගත්තේය. ගාමණී අබය ද කළේ දිවගොස්‌ සොහොයුරා ද වැසෙනසේ මවට තුරුළුවීමය.

'රජකු කිසිවිටෙක එසේ නොකරනු ඇතැයි' තමාටම නියෝගයක්‌ පනවාගත් ගාමණී අබය රජ්ජුරුවෝ, ඒ කුඩාකාලයේදී මෙන්ම එකවරම තම මවත් සොහොයුරාත් වැළඳගත්තෝය.

'එහෙත් රජකු කිසිවිටෙක නොහඬනු ඇතැයි' තමාට නියෝගයක්‌ පනවාගත් රජ්ජුරුවෝ අන් දෙදෙනාටම වඩා හඬින් ඉකිබින්දෝය.

බොහෝ වේලාවකට පසු ඔවුහු තම මනෝභාවයන්ගෙන් මිදුණහ.

"මට සමාවෙන්න අයියණ්‌ඩි"

තිස්‌ස කීවේය.

"කිසිම සමාවක්‌ නෑ....." 

ගාමණී අබය තම රාජවිභ්‍රමය පළකරමින් කීවේය.

"........ඔබ නැවත යන්න ඕනෙ දීඝවාපියට, මෙතෙක්‌ කළා වගේ අටුකොටු පුරවන්න ඕනේ. මිනිසුන් කුසගින්නේ තබා බණ කියන්නත් බෑ, යුද කරන්නත් බෑ........"

තිස්‌ස තම මහ රජුට හිස නමා ආචාර කරමින් නියෝගය පිළිගත්තේය.

⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆

පසුගිය කාලයේ උදාවූ සියලුම අයහපත් තත්ත්වයත් මැද භික්‍ෂූන් වහන්සේ විසින් ඉටුකරන ලද නිහඬ කාර්යභාරය ගාමණි අබය මහරජුගේ ප්‍රශංසාවට ලක්‌විය.

එහෙත්, ගෝධගත්ත තෙරුන් අමතා රජ්ජුරුවෝ තදබල දෝෂාරෝපණයක්‌ ද කළහ.

"ස්‌වාමිනී, ඔබ වහන්සේලා අද මේ කළ දේ මීට පෙර කළේ නම්, ඔව්, ඒ සඳහා ඔබ සියලු දෙනා නොපැමිණ, සත්හැවිරිදි සාමනේර නමක්‌ අප වෙත එවන ලැබූ සේක්‌ නම් වුව අර තරම් මිනිසුන් විනාශ නොවී අප අතරවූ යුද්ධය නතරවන්නට තිබුණා........"

⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆

ඉන්පසු මිනිස්‌සු වැඩිපුරම සතුටින් සිටියහ.

මිනිසෙක්‌ තව මිනිසකුගේ වහලකු හෝ දාසයකු හෝ නොවේ යැයි විශ්වාස කරන, හැම මිනිසකුගේම ශ්‍රමයට වටිනාකමක්‌ ඇතැයි විශ්වාස කරන, අමුතුම රාජ ධර්මයක ගුණ සුවඳ විඳිමින් මිනිස්‌සු සතුටින් සිටියහ.

⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆

සමහරු මහ පෝයට සිල් රැක්‌කහ. සමහරු එසේ නොකොට එදා ද වෙළෙඳාමේ ගියහ.

එහෙත්, මේ දෙගොල්ලෝම සතුටින් සිටියහ.

⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆

සතුට වනාහි පරම ධනයක්‌ බව මිනිස්‌සු භාවිතයෙන්ම වටහා ගත්හ.

⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆

සතුටින් ඉපළ ගිය පණස්‌ දහසකට අධික මහ ජනතාවක්‌ මාගම රජමාලිගා අංගනයේ පිරී සිටියහ.

ගාමණී අබය රජ්ජුරුවෝ මාලිගා සඳළුතලයේ සිට ඔවුන් අමතමින් සිටියහ.

දස මහ සෙනෙවිවරුනුත්, විහාර මහා දේවියත්, කතී බිසවත්, කුඩා සාලිය කුමරාත් ඔහු පසෙකින් සිටියහ.

"...........ධර්මය අප යුද්ධය සඳහා නොකැඳවයි......."

ඔහු කීවේය,

"...............ආක්‍රමණිකයාද අප යුද්ධය සඳහා නොකැඳවයි, ආක්‍රමණිකයා අප යුද්ධය සඳහා නොකැඳවීමෙන් තම ආක්‍රමණය අපගේ නූපන් පරම්පරා දක්‌වාද පතුරවයි. එසේ කිරීමෙන් ඔහු නූපන් පරම්පරාවන්ට ධර්මය අහිමි කරයි"

"එසේ හෙයින්, කවර වෙස්‌මුහුණක්‌ පැළඳ සිටිය ද ආක්‍රමණිකයා නතර කළ යුතුමය. ඔහු නතර කිරීමේ ව්‍යායාමයේ නම යුද්ධය නම් එය නොකර මා වෙන කුමක්‌ කරන්නද?"

"නමුත් ඔබට මා කියන්න ඕනෑ, මාගේ ඒ ව්‍යායාමය කිසි කලෙකත් රජ සැප පිණිස නොවේ. සම්බුද්ධ ශාසනයේ චිරපැවැත්ම උදෙසා පමණයි."


⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆

වර්ෂ 2010 ජූලි මස හතර වන ඉරිදා, දිවයින ඉරිදා සංග්‍රහයෙන් උපුටාගත් මෙම මහරජ ගැමුණු සිනමා තිර රචනයේ නවකතා පරිවර්තනය විසි හතරවන කොටස ක්‍රි.ව. 2016 ක් වූ දෙසැම්බර් මස විසි හත් වන දින පූජිත විසින් සටහන් කරන වගයි...

No comments:

Post a comment