Saturday, 24 December 2016

14 කොටස - මේ රටේ අනාගතයේ නියෝගයෙන්

අද මෙන්ම එ දවස ද විහාර මහාදේවිය මෙසේ කුමාරවරුන්ගේ යහන් ගබඩාව වෙතට දිව ආවාය.

දොළොස්‌ හැවිරිදි ගාමණී අබය කුමරුවෝ තම සයනය මධ්‍යයේ වකුටුවී වැතිර සිටියහ. විහාර මහා දේවියට මුලින්ම ඔහු සිය පියවි ඇසින්ම ද ඒ සමගම, ඒ දවස්‌වල ඔහුගේ සයනය අසලම තිබූ නානාරූපේක්‌ෂය හෙවත් ත්‍රිකෝණාකාරව තැබුණු දර්පණ ත්‍රිත්වයේ ත්‍රිව්ධ ප්‍රතිබිම්බයන් මගින්ද දැකගන්නට ලැබිණි.

මීට මොහොතකට පෙර පහත මාලයේ දානශාලාවේ පැවැති භික්‌ෂූන් වහන්සේ උදෙසා වූ මහා දානමය පුණ්‍යකර්මයට ඔහු ද, ඔහු මළනුවන්වූ දසහැවිරිදි තිස්‌ස ද ඉතසිතින් සහභාගිවී සිටියෝය.

දැන් මේ උදාවී පවත්නේ කාවන්තිස්‌ස රජ්ජුරුවෝ එහිදී හිටිවනම කළ මහ ඇමුතු වැඩක ප්‍රතිඵලයකි.

තුමූම රන්තැටියක්‌ අතට ගත් කාවන්තිස්‌ස රජු දන්වළඳමින් සිටින සෑම භික්‍ෂුන් වහන්සේ කෙනකු ඉදිරියටම ගොස්‌ උන්වහන්සේලාගෙන් බත් පිඩක්‌ ඉල්ලා ගත්තේය.

ඒ ඉල්ලා ගත් කිරිබත් පිඩුවලින් රන්තැටිය පිරුණු කළ රජ්ජුරුවෝ ඒ කිරිබත් කොටස්‌ තුනකට බෙදූහ. අනතුරුව එය රැගෙන පසෙකට වෙමින් තමා ඉදිරිපිටට තම ආදරණීය දෙදරුවන් කැඳවූහ.

"දරුවනි නුඹලා කිසිකලෙකත් අපගේ කුලදේවතාවුන් වූ භික්‌ෂූන් වහන්සේලා කෙරෙහි නොකළකිරිය යුතුය. ඒ බව සපථ කිරීමට මේ බත් පිඩ අනුභව කරන්න....."

රජුගේ වදන් නිමවීමට ද පෙර තිස්‌සත් ගාමණීත් ඔහු පෙන්වූ කිරිබත් කොටස ගිජු ලෙසටම අනුභව කළෝය.

රජු ඊළඟ බත් කොටස පෙන්වමින් කියා සිටියේ කිසිවිටෙකත් සහෝදරවරුන් එකිනෙකාට විරුද්ධව කටයුතු නොකරන බවට සපථකරමින් එය අනුභව කළයුතු බවය.

දෙසොහොයුරෝ නොපමාවම පිය රජුගේ එම ඉල්ලීමද ඉටු කළහ.

ප්‍රශ්නය මතුවූයේ ආක්‍රමණිකයා සමග කිසිවිටකෙත් යුද්ධ නොකරමු යෑයි සපථ කරමින් බත් ගිලින්නට නියම කළ වෙලාවේදීය. ඒ ඉල්ලීම ද බත් පිඬ ද යන දෙකම ප්‍රතික්‍ෂේප කරමින් මුලින්ම තිස්‌ස එතැනින් ඉවත්වී ගියේය.

තම අවස්‌ථාව පැමිණි කල ගාමිණී අබය ද එය ප්‍රතික්‍ෂේප කරමින් එතැනින් ඉවත්වී ගියේය.

දරුවන් විසින් බලාපොරොත්තු රහිතවම තමා අබියස පුපුරුවා හරිනු ලැබූ කැරැල්ල කාවන්තිස්‌ස තුළ එක්‌ වරම ඇතිකරන ලද්දේ විමතියකි.

ඊළඟ මොහොතේ එය ඔහු තුළ මහත් කම්පනයක්‌ ජනිත කරවනු ලැබිණ.

මගේ ආදරණීය දරුවන්ගේ මනස තුළ ඔවුනට ඔරොත්තු නොදෙන අදහස්‌ පැළපදියීම් කළෝ කවරහුද?

විහාර මහා දේවිය දෙස බැලූ කාවන්තිස්‌ස රජු එසේ ඇසුවේ නැත. එහෙත් ඒ වෙනුවට ඔහු මෙසේ කීවේය.

"යන්න ගිහින් ගාමණී අබය නැවත මෙතැනට කැඳවාගෙන එන්න"

විහාර මහා දේවිය ඉක්‌මණින්ම ගාමණී අබයගේ යහන් ගබඩාව වෙත දිව ආවේ ඒ නිසාය.

ඔහු එහි සිටියි.

එහෙත් කුමක්‌ කියන්නද කුමක්‌ විමසන්නද?

කුමරුවා සයනයේ වකුටුවී නිදන්නේය.

'පුත ගාමණී අවදිවනු' යෑයි කීමට ඈ සිත නොපෙළඹෙයි, මක්‌නිසාද ඔහු අවදිවී සිටින නිසාය.

'පුත ගාමණී නැගිට සිටිනු' යෑයි කීමට ඈ සිත නොපෙළඹෙයි. කිසිවකුත් බලාපොරොත්තු නොවූ අතිශය කුඩා කාලයකදීම ඔහු නැගිට සිටින නිසාය.

අන්තිමේදී ඈ මෙසේ කීවාය,

"මොකද මේ වකුටුවී නිදන්නෙ, නිදනවානම් හොඳට අතපය දිගහැර නිදාගන්න"

කුමරුවෝ දෙනෙත් හැරියහ.

තමන්ට සත්‍යයත් යථාර්ථයත් පමණක්‌ නොව ඒ දෙකෙහිම ඉතිහාසයත් සෙමෙන් සෙමෙන් වටහාදුන් පුද්ගලයාම දැන් තමාගෙන් යමක්‌ විමසයි.

අසීරු ප්‍රශ්නවලට රූපකවලින් පිළිතුරුදීමේ ක්‍රමය ඔහු උගත්තේ ද මෑණියන්ගෙන්මය.

ගාමණී අබය මෙසේ කීවේය.

"ගඟෙන් එතෙර ආක්‍රමණිකයෝ, මෙතැනින් එහා ගොළු මුහුද, ඉතිං මම කොහොම අත්පා දිග හැර නිදාගන්නද?"

⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆

අතීතාවලෝකනය නිමා කළ විහාර මහා දේවිය දැන් අතිශය හිතුවක්‌කාරයකුව සිටින්නාවූ ද, එහෙත් තමාට තවමත් අතිශය ලබැඳුණු දරුවා වූද දැන් පස්‌විසි විය ඉක්‌මවමින් සිටින තරුණයාගේ සයනය මත වාඩිවූවාය.

දැන් පැමිණි පරිවාර සේවිකාවන් කිහිප දෙනකුම ඇය අසල දැවටුන ද ඒ කිසිවකුත් ඇයගේ මනෝවෘතයට බාධා නොකළහ.

'ගාමණී අබය කොහි යන්නට ඇද්ද?'

නිශ්චිත පැහැදිලි අධ්‍යාත්මික ගමනක යෙදී සිටි ඔහු වෙනත් ගමනක්‌ වෙනුවෙන් මෙලොවට කැඳවාගෙන ආවේ තමා යෑයි ඇගේ සිත ඇයට දොස්‌ කීවේය.

මේ විශේෂ මනුෂ්‍ය රත්නය කවරෙක්‌ ද යන්න තමාත්, කාවන්තිස්‌ස රජුත් මහාසිව මහාස්‌ථවිරයන් වහන්සේත් අතර පමණක්‌ පවත්නා රහසක්‌ වුවද තියුණු ඉවක්‌ සහිත සතුරු බලවේග විසින් ඔහු වෙනත් ආකාරයකින් හඳුනාගෙන තිබූ සැටි ඇයට සිහිපත් විය.

අතපය හකුලා නිදාගැනීමේ සිදුවීමෙන් නොබෝ කලකට පසු චරපුරුෂයකු ගෙනා තොරතුරකින් ඇය කම්පාවට පත්වූවාය. ඉන් කියෑවුණේ ගාමණී අබය කුස දරා සිටින කාලයේ තමාට පැවතියේ යයි කියනු ලබන අපූරු දොළදුකක්‌ පිළිබඳ ප්‍රබන්ධ කරනු ලැබූ පුවතකි.

එයට අනුව එළාර රජුගේ සෙනෙවියන් අතුරින් ප්‍රධානියා වූ නන්දසාරථිගේ හිස සිඳලු කඩුව එසේ කරන්නාවූ පුද්ගලයා විසින් පිරිසිදු ජලයෙන් දෝවනය කළ යුතු විය. අනතුරුව එම ජලය එම සෙනෙවියාගේ සිඳින ලද හිසමතම හිඳ පානය කිරීම ඇයගේ අභිලාෂය වූ බව කිසිදු සිරිකිතයක්‌ නොමැතිව සඳහන් කෙරිණි.

මුල්කාලයේ දෙපාර්ශ්වය අතර කොහොමටත් සිදුවූ දුර්ගම සංග්‍රාමික ප්‍රහාර මාලාවන් කරන කොට ගෙන වරක්‌ එබඳු කණ්‌ඩායමක්‌ මෙහෙය වූ වේළුසුමන අතින් නන්දසාරථි මරණයට පත්වූ බව සැබෑවකි. එය විහාර මහා දේවියගේ ඊනියා දොළදුකකට සම්බන්ධ කොට කටකතාවක්‌ වශයෙන් ප්‍රචාරය කළ වූවන්ගේ අපේක්‍ෂාව වූයේ කාවන්තිස්‌ස රජුගේ දීප්තිමත් තරුණ පුත්‍රයා ඉතා භයානක වර්ගයේ මිනිස්‌ රකුසකු වශයෙන් ගෙනහැර දැක්‌වීම විය.

මිනිස්‌ වෙසින් උපන් රාක්‌ෂයන් (රාක්‌ෂස ගෝත්‍රිකයන් නොවේ) පිළිබඳ කතා කීපයක්‌ම ඒ කාලයේ මිනිසුන් අතර පැවති බැවින් මේ දොළදුක්‌ කතාව පිළිබඳ එතරම් විශ්වාසයක්‌ මාගම තබා රජරට මිනිසුන් අතරවත් පැවතියේ නැත. එහෙත් මාගම රජ පවුල කෙරෙහි වෛරයෙන් පසුවූවෝ ද ගාමණී අබයගෙන් අනාගතයේදී එල්ලවිය හැකි තර්ජනයකින් බියට පත්ව සිටියෝද මේ අසත්‍ය පුවත් වඩ වඩාත් ප්‍රචාරය කළහ.

ගාමණී අබයගේ වත්මන් පළා යාම ඒ සියල්ලන්ම නොමිලේ ලැබූ ජයග්‍රහණයකි. ඔවුහු ඒ සඳහා තව තවත් අපූරු කට කතාද, මිථ්‍යා කතාද නිර්මාණය කරනු ඇත.

විහාරමහා දේවියට එක්‌වරම ඉකිගසා හැඬිණ.

⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆

චිත්තල පබ්බත හෙවත් සිතුල්පව්ව තම ගමනාන්තය වශයෙන් අරමුණු කොට ගනිමින් වේගයෙන් පැමිණෙන අසරුවා කිසිදු ආභරණයක්‌ පැළඳ නොසිටියේය.

සාමාන්‍යයෙන් ඔහු විසින් මෙහෙයවනු ලබන අතිශය ජාවාධික වර්ගයේ වෙළඹක්‌ සතු වූවකු එක්‌කෝ ඉහළම රාජකීය පවුලකට අයත් විය යුතුය. නැතහොත් ඔහු ඉතාම විශිෂ්ට වර්ගයේ සෙනෙවියකු විය යුතුය. එහෙත් අසිපතක්‌වත් නොදරන මෙබඳු සෙනෙවියකු යම් අභව්‍ය චිත්‍රයකටම අයත් එකක්‌ පමණක්‌ම විය.

මේ අභව්‍ය චිත්‍රයට හේතුව අසරුවා රජසැප හැර යන්නකු වීමය.

චිත්තල පබ්බතය ඔහුට හුරුපුරුදු තැනකි. ඒ අවට වනාන්තරය ද ඒ වනාන්තරයේ විවිධ වෘක්‌ෂයන්ද,  ඒ වෘක්‌ෂයන් සේම වූ භාවනානුයෝගී භික්‍ෂූන් වහන්සේ ද ඔහු හොඳින් හඳුනයි.

අසරුවා වේගයෙන් ගමන් කරමින් සිටින්නේ ඉදිරියට යෑයි අපට බැලූ බැල්මට පෙනුන ද සත්‍ය වශයෙන්ම ඔහු ගමන් කරමින් සිටියේ පසුපසටය.

තමන් පැමිණි සසර ගමනේදී උවමනාවෙන්ම මග හැරුණු මාවතක්‌ සොයා ඔහු ආපසු එමින් සිටියේය.

එහෙත්...

"කුමාරයාණනි නවතිනු මැනවි"

තමාට ඉතා හොඳින් අසා පුරුදු ඒ කට හඬ ඇසෙන විට ගාමණී අබය සිතුල් පව්වට ඉතාම ආසන්නව සිටියේය.

තවත් වේගය වැඩිකර දැක්‌වීමට මහත් උවමනාවෙන් යුත් දීඝථුනිකා වෙළඹ පාලනය කර ගනිමින් ආපසු හැරී බලන ගාමණී තමන් ලුහුබැඳ පැමිණි පිරිස හඳුනා ගත්තේය.

නන්දිමිත්‍ර, සුරනිමල, ගෝඨයිම්භර, ථෙරපුත්තාභය තම අසුන් මෙහෙයවමින් කුමරුත් වෙළඹත් වටා වළල්ලක්‌ මෙන් ක්‍රියා කළහ.

"මොකද මාව අත්අඩංගුවට ගන්නද?"

ගාමණී විමසුවේ සැහැල්ලුවෙන් සිනාවක්‌ නඟමින් මුත් එය සරදමක්‌ හෝ විහිළුවක්‌ හෝ වූයේම ද නැත.

"මහරජතුමා ඔබ අත්අඩංගුවට ගැනීම අඩුම තරමින් වේළුසුමන සෙනෙවිතුමාටවත් පැවරුවේ නැහැ. ඒ සේරම භාරව ඉන්නේ අමාත්‍ය මහානන්ද" 

නන්දිමිත්‍ර කීවේය.

"හෝ සාම වාදියා එහෙනං දැන් ඔවුන්ගේ අවස්‌ථාව ඇවිත්..."

ගාමණී තවත් සිනා නඟමින් කීවේය.

"ඔහුට ප්‍රශ්නය ඔබ කුදලා දැමීමට මේ හදිසියේ රන් දම්වැලක්‌ තනා ගැනීමට නොහැකිවීම"

ගොඨයිම්භර කීවේය.

"අහෝ ගෝඨා ඇයි එය ඔවුනට රජරටින් ඉල්ලා ගන්න තිබුණානේ"

"රජරට රන්දම්වැල් ඔබ ගැට ගසා දැමීමට ශක්‌තිමත් නොවන බවයි ඔවුන්ගේ අදහස."

ප්‍රති වචන දීමේ රුසියකු වූ ගොඨයිම්භරද කීවේය.

"ඔබ කිසිවකුට නොදන්වා පැමිණීම අකෘතඥකමක්‌ කියා හිතන්න එපා, මට ඒකට වේලාවක්‌ තිබුණේ නැහැ."

මඳ නිහැඬියාවකට පසු ගාමණී කීවේය.

"අපි ආවේ ඔබ අත්අඩංගුවට ගන්න."

නන්දිමිත්‍ර හිටවනම කීවේය.

"කාගේ නියෝගයකින්ද? පිය රජතුමාගේ නියෝගයෙන් නම් වෙන්න බැහැ"

ගාමණී මඳ සිනාවක්‌ නඟමින් නන්දිමිත්‍ර දෙස එක එල්ලේ බලමින් කීවේය.

නන්දිමිත්‍ර කතා කළේ සැරෙනි. ඔහු මෙසේ කීවේය.

"මේ රටේ අහිංසක මිනිසුන්ගේ නියෝගයෙන්, මේ රටේ සම්ප්‍රදායේ නියෝගයෙන්, මේ රටේ අනාගතයේ නියෝගයෙන්... මේ රටේ..."

ඉන් එහාට කතා කරගෙන යැමට නන්දිමිත්‍රට හැකි වූයේ නැත.

ඔහුට හැඬිණි.

ඒ සමගම සියල්ලම නතර විණි. කුරුල්ලෝ ගුවනේ රැඳුණා හ. සුළඟ මිදුණි. බැසයන හිරු නතර වී සිත්තමක්‌ සේ පෙනිණි. අශ්වයෝ සෙල් රූ මෙන් නිශ්චලව සිටියහ.

මනුෂ්‍යයකු සතු වගකීම, මනුෂ්‍යයකු සතු අයිතිවාසිකමට වඩා බෙහෙවින් බරපතලය යනුවෙන් මෙතැන සිටි කිසිවකු තමාට කීවේ දැයි ගාමණී අබය කල්පනා කළේය. අන්තිමේදී ඔහු වෙනමම දෙයක්‌ කීවේය.

"කවුද විශ්වාස කරන්නෙ යෝධයෝත් හැඬුවාය කීවොත්.."

කිසිවකුත් එයට ප්‍රතිචාර දැක්‌වූයේ නැත.

ඊට හේතුව තමාත් මේ සියල්ලනුත් අතර මහත් 'මනෝ වාග් සංග්‍රාමයක්‌' ඇරඹී තිබීම බව ගාමණී වටහා ගත්තේය. අශ්වයන් පවා මේ මොහොතේ මිනිසුන්ගේ ආවේගයන් සහ ආවේගයන් අතර ද, භාවයන් සහ භාවයන් අතර ද, ඉංගිතයන් සහ ඉංගිතයන් අතර ද නොකඩවා සිදුවෙන්නා වූ මනෝ සංවාදයට බාධාවන හේෂාරවයක්‌වත් නොනැඟූහ.

"පළා යැමේ දිශාව වෙනස්‌ කරන්නත්, ඔබේ අත්අඩංගුවට පත්වෙන්නත් මා කැමතියි"

ගාමණී අබය දීර්ඝ වෙලාවකට පසු දිඝථුනිකා පිටෙන් බසිමින් කීවේය.

අසුන් පිටෙන් බිමට පිනු සෙනෙවියෝ ගාමණී අබය අසලට පැමිණ ඔහු දෙපතුල මත තම හිස්‌ ඔබා ආචාර කළහ.

"...නමුත් මතක තබාගන්න මා පිය රජුට විරුද්ධව අවි ඔසොවන්නේ නැහැ. ධර්මයත් ඒ ධර්මය සුරකින මේ භූමියත් විනාශ වනු දැක දැක අවි සඟවන්නේත් නැහැ. මා පළා යැමේ දිශාව වෙනස්‌ කරනවා" 

ගාමණී සෙනෙවිවරුන් නැගිටුවමින් ප්‍රකාශ කළේය.

"ඒ සඳහා අප සියල්ල සූදානම් කොට අවසානයි..." 

නන්දිමිත්‍ර මහත් සාඩම්බර විලාශයකින් කීවේය.

"කොහේද?"

"මළය රටේ"

"හෝ කඳුකරය, අපගේ ස්‌වාභාවික බළකොටුව, ඔබගේ තුරුයහන් සූදානම් කොට තබා ගන්න. කෙටි නින්දකට මිනිසකු එහි පැමිණෙනවා."

ගාමණී මහත් ප්‍රීතියෙන් අහස දෙස බලා කීවේය.

ඒ සමගම ඉඳිකටු පොදක්‌ අහසින් වැටිණි. දීර්ඝ නියං කාලයක්‌ නිමවමින් මාගම නැහැවීමට සූදානම පළ කරමින් අහස ගිගුරුවේය.

ඒ කිසිවක්‌ අමුතුවෙන් නොසලකමින් එතැන යම් සාකච්ඡාවක්‌ සිදුවිය. ඉඳිකටු පොද ලොකු බිංදු වර්ෂාවක්‌ බවට පත්වන අතර නන්දිමිත්‍රත් ගොඨයිම්භරත් ථෙරපුත්තාභයත් තමන් පැමිණි මාගම මාර්ගය ඔස්‌සේ ආපසු ගමන් කළ අතර මහත් රාජකාරියක්‌ පැවරුණු සුරනිමල, ගාමණී අබය සමග කප්පුකගාම ප්‍රදේශය හරහා වැටුණු කුඩා මාවතක්‌ ඔස්‌සේ බටහිරට ගමන් කළේය.

⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆

ගිලීමලයේ මිනිස්‌සු තද නින්දේ ගිලී සිටියහ.

සිරිපා අඩවියේ පිහිටි ගිලීමලය රාත්‍රි කාලයට ඉතාම සීතලය. සීතලට පොරවාගෙන නිදා ගන්නවුන් අවදි කරවීම අතිශය අමාරුය.

කුඩා නිවසේ නිදා සිටින්නවුන් අවදි කරවීමට තම කටහඬෙන් අපහසු වූ කල සුරනිමලයෝ අසල තිබූ ලී බඳුනකට වේගවත් පා පහරක්‌ දුන්හ. මරහඬක්‌ නඟමින් ඈතට ඇදීගිය ලී බඳුන විසින් කුඩා නිවසේ විසූවන් සියල්ලන්ම එකවර අවදිකරවන ලද්දේය.

සුරනිමලගේ ක්‍රියාවට තම නොසතුට පළකරනු වස්‌ ඔහු දෙස රවා බැලීමට උත්සාහ කරන ගාමණී අබයට එය කළ නොහැකි වූයේ දොර විවර කොටගත් නිවැසියන් කවුරුත් පාහේ එක්‌වරම ගෙමිදුලට පැමිණි හෙයිනි.

දල්වාගත් පන්දම් එළියෙන් සද්ධන්ත අශ්වයන් දෙදෙනා දුටු ඔවුන් තරමක්‌ බියපත් වූ නමුදු මහල්ලා අන්හැමටම ප්‍රථම සුරනිමලව හඳුනාගත්තේය.

"මේ අපේ සුරනිමලයානේ හපෝයි මොකෝ බං මේ?"

"මේවාට තමයි මරනින්ද කියන්නේ. මම කී සැරයක්‌ නම් නුඹලාව අවදි කළාද?"

"කවුද බොල කොල්ලෝ මේ වෙලාවට මිනිසුන්ව අවදි කරවන්නේ, හා ඒකට කමක්‌ නෑ මේ කවුද?"

"මගෙත් එක්‌ක රාජකාරියකට යන නාම්බෙක්‌ මාමණ්‌ඩි, අද අපට මෙහේ නවාතැන් උවමනයි"

අතරැඳි පන්දම් එළියෙන් වඩා හොඳින් ගාමණි අබයගේ මුහුණ පිරික්‌සූ මහල්ලා මෙසේ කීවේය.

"බොල සුරනිමලයෝ නවාතැන් විතරක්‌ ඇරං ඇද්ද? බලාපං මේ කොලූවා හොඳටම සාගින්දරේ, එහෙම නේද?"

පිළිතුරක්‌ නොදී එය අනුමත කළ සුරනිමල කලකින් දුටු තම ඥතීන්ගේ සත්කාර සාමීචී විඳිමින් ගෙපිළට පිවිසියේය. 

ඉතා ඉක්‌මනින්ම මුළුතැන්ගෙයි ගිනි දැල්වුණු අතර නිවසේ වූ සියළුම ස්‌ත්‍රීහු ඒ අවේලාවේ යුහුසුළුව ආහාරයක්‌ පිසින්නට සූදානම් වූහ.

සුරනිමල කිසිවකු නොමැති ක්‌ෂණයකින් වටපිට බලා නිවස තුළට පැමිණෙන්නැයි ගාමණී අබයට හිස නවා ඇරයුම් කළේය.

මෙතෙක්‌ හිස වෙලා තිබූ ජටාවද ගලවා දමමින් ගෙතුළට පැමිණි ගාමිණි ඉතාම පළපුරුදු ගැමියකු මෙන් පිලේ දිග ඇඳුණේය. සුරනිමල ඔහුට ඉඩදී එකත්පස්‌ විය. ගාමණි අබය ඉතාම සෙමෙන් ඔහුට මෙසේ කීවේය.

"අනවශ්‍ය ගරු සත්කාර නවත්වන්න වෙයි. මම දැන් රාජ කුමාරයෙක්‌ නොවෙයි. රාජ උදහසින් පළා යන්නෙක්‌..."


⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆


වර්ෂ 2010 අප්‍රේල් මස විසි පස්වන ඉරිදා, දිවයින ඉරිදා සංග්‍රහයෙන් උපුටාගත් මෙම මහරජ ගැමුණු සිනමා තිර රචනයේ නවකතා පරිවර්තනය දාහතර කොටස ක්‍රි.ව. 2016 ක් වූ දෙසැම්බර් මස විසි හතර වන දින පූජිත විසින් සටහන් කරන වගයි...

No comments:

Post a comment