Sunday, 25 December 2016

18 කොටස - ආදරය පිරිසිදු ජලයේ පාටය

වික්‍රම පාන්නට නොගොස්‌, එල්ලවූ කෙවිටිපාර කාගෙනම හෝ ඉවසුවානම් කෙතරම් හොඳද යන්න හිද්දලයාට කල්පනාවූයේ දැන්ය.

තම පිට මතින් රූටා බිම ඇද වැටෙන මිනිසාට වෙන අනතුරක්‌ නොවෙනු වස්‌ ඥානවන්ත ගවයන් එකෙල මෙකෙලවී මඳ ඉඩහසරක්‌ ලබා දුන්න ද ඒ නිසාමම පිංගුවාගේ සට්‌ටම් හොඳටම සැරෙන් බිම ඇනිණ.

පරෙයියන්ගල තැන්නේ නිල් තණ පළසට පින්සිඳුවන්නට කොන්ද නොකැඩී බේරුණු පිංගුවා මඳ හුස්‌ම ගැනීමේ අපහසුවෙන් මෙන් කට ඇර බලාසිටි අතර ඔහුගේ ඕනෑම දෙයකට පැමිණෙන සුමිතුරා දැන් ඔහු උන්නාද මළාද නොබලා 'ගොපලු දෙවියන්' පසුපසට වැටී සිටියේය.

දෝත් හිස්‌ මුදුනේ තබාගෙන මුනින් තලාවී වැතිර සිටින තාකි මන්තරයක්‌ ජප කරන්නාක්‌ මෙන් මෙසේ කියාගෙන ගියේය.

"අනේ බලු ගැත්තන්ට අනුකම්පා කරන්න දෙවියනේ, ඔබ වහන්සේ සමහර කාලවලදී නාඳුනන අමුත්තෙක්‌ විදිහට මෙහෙම ගං ගෙවල්වලට එනවා කියලා අපි අහල තිබුණා.... ඒ වුණාට අපි........."

"නැගිටපං මනුෂයෝ, මම දෙවියෙක්‌ නොවෙයි........."

සැඟවී අප්‍රකටව සිටිය යුතු කෙනකු හදිසියේම දෙවියකුවීම කෙතරම් නම් භයානක දෙයක්‌ දැයි අමුතුවෙන්ම කල්පනා කිරීමට හිද්දලයාට අවශ්‍ය වූයේ නොවේ. සියල්ල යළිත් සාමාන්‍ය කරණය කොට ගැනීම ඔහුගේ ඉක්‌මන් අවශ්‍යතාව විය.

"අල්ලපං අරකව, අපි ඔහුව වෙදරාළ ළඟට අරං යං......."

හිද්දලයාගේ ඉල්ලීම අනුව තාකිද වහාම පිංගුවා නැඟිටුවීමට ඉදිරිපත් විය. එහෙත් ඔහුගේ දෙනෙත් එල්ල වී තිබුණේ හිද්දලයා දෙසටමය.

"මොකද අයියණ්‌ඩි බොලා මම දිහා තවමත් පුදුමයෙන් බලන්නේ ?"

"අපරාදෙ මලයා ගොපලු දෙවියෝ නොවුණේ" 

තාකි ඇත්තටම කීවේය.

නැගී සිටි පිංගුවා තාකිව තල්ලුකර දැමූ අතර ඔහු මුහුණ නොබලාම හිද්දලයාට මෙසේ කීවේය.

"අමාරුවක්‌ නෑ. මට ඇවිදින්නට පුළුවන්"

මහත් අසීරුවෙන් අඩි තබමින්ද විසිවෙමින්ද අපහසුවෙන් ගමන් කිරීමට උත්සාහ කරනා පිංගුවා හිද්දලයා තුළ මහත් ශෝකයක්‌ ඇති කළේය. එහෙයින්, හිද්දලයා ඔහු අත් නොහළේය, තව දුරටත් ඔහු වත්තම් කොටගෙන තරමක්‌ ඈතින් තිබූ ගසක්‌ මුලටම රැගෙන ගියේය.

"අමාරුවක්‌ නෑ මට ඇවිදින්න පුළුවන්" 

පිංගුවා යළිත් කීවේ හිද්දලයාගේ සිත තවත් වේදනාවට පත්කරවමිනි.

සාමාන්‍යයෙන් ඉක්‌මනින් දෙනෙත් තෙත්වන මිනිසුන් රාගයට ආසන්නය, එසේම, මෛත්‍රියට ද ආසන්නය. ඔවුහු යහමින් ආදරය ඉල්ලා සිටින්නෝ ද යහමින් ආදරය පුද දෙන්නෝ ද වෙති.

ගාමිණී අබය කළු මැණිකේට ආදරය කළේය.

ආදරය යනු මහ පුදුමාකාර අත්දැකීමකි. වර්ණයෙන් එය පිරිසිදු ජලයේ පාටය. එහෙත් සියලුම වර්ණයන් එතුළ තිබේ. එය අල්ලාගත නොහැකිය. එහෙත්, සියළුම අල්ලා ගැනීම් ඒ තුළ තිබේ. එය මහා සැනසුමකි. එහෙත්, එය ඒ තරමටම මහා සිර ගෙයකි.

මිනිසුන්ට ගැහැණුන් මුණගැසුණු පමණින් හෝ ගැහැණුන්නට මිනිසුන් මුණගැසුණු පමණින් හෝ මේ පුදුම මානසික තත්ත්වය නිර්මාණය වන්නේ නැත.

මාගම රජමාලිගය තුළදී ගාමිණී අබයට අපමණවත් ගැහැණුන් මුණගැසී තිබේ.

නොයෙකුත් අමාත්‍යවරුන්ගේ ද, සිටුවරුන්ගේ ද, වෙනත් ප්‍රභූවරුන්ගේ ද දියණියන් ඔහු දකින රිසියෙන්ම පමණක්‌ බොහෝවිට තම වැඩිහිටියන්ද කැටුව මාළිගයේ විවිධ උත්සවවලට ආහ.

මේ සුකොමල ප්‍රභූ කුල කුමරියන් ඔහු තුළ කාම තෘෂ්ණාවන්ද, අනුරාගයන්ද ඇති නොකළා නොවේ. එහෙත්, තම සිත කීරි ගස්‌වන හඬක්‌ ඒ කිසිවකුගෙන් ඔහුට ඇසී තිබුණේ නැත. තම සිත යම් ලාලසාවකට, නොඉවසිල්ලකට පත්කරන සිනහවක්‌ ඒ කිසිවකු වෙතින් ඔහු දැක තිබුණේ නැත. තම සිත සිය කැමැත්තෙන්ම ලබාගන්නා වේදනාවකට උරුමකරුවකු කෙරෙනත තම සිත තමා නොදැනුවත්වම වෙලාගන්නා ඊර්ෂ්‍යාවකට උරුමකරුවකු කෙරෙන රූපයක්‌ ඔහුට මුණගැසී තිබුණේ නැත.

සාමාන්‍යයෙන් රාජ කුමාරයකුට බිසවක්‌ හෝ බිසෝවරුන් හෝ ලැබීමේ සම්ප්‍රදාය අතරත් ඉහත කී සුවිශේෂ මනෝභාවයන් අතරත් එතරම් සම්බන්ධයක්‌ නැත. බොහෝ විට සිදුවන්නේ රජ කුමරුවාගේ රාජ අභිෂේකයට දින නියම කෙරෙන විටම ඔහුට වඩාත්ම උචිත බිසව හෝ බිසෝවරුන් කවරේද යන්න ද රාජ්‍යයේ ඉහළම අය විසින් තීරණය කරනු ලැබ තිබීමය.

මීට හේතුව නම් රජු අභිෂේක ලැබීමෙන් පසු ක්‌ෂත්‍රිය කුළ කුමරියක්‌, රජු විසින් තම අග බිසව වශයෙන් අභිෂේක නොකළහොත් ඒ අභිෂේක මංගල්‍යය අසම්පූර්ණ දෙයක්‌ වශයෙන් සැලකෙනු ලැබීමය.

එහෙයින්, රාජානුප්‍රාප්තික රජ කුමරුවාට හැමවිටම තම සහකාරිය කවරෙක්‌ද යන්න, ඔටුන්න, වල්විදුනාව, මඟුල්කඩුව, ශ්වේතඡත්‍ර්‍රය, නළල්පට, රන්මිරිවැඩිසඟල වැනි තම රාජ කකුධ භාණ්‌ඩ තරමටම වැදගත් විය.

එහෙත් පළා එනතුරුම තමන්ට නිශ්චිතව ඉදිරිපත් කෙරුණු එබඳු කුමරියක්‌ පිළිබඳ යෝජනාවක්‌ හෝ හැඟීමක්‌ හෝ ඔහු සතුව නොවීය.

දැන් ඔහුට එබන්දියක්‌ සිටී. එහෙත්, ඒ ක්‌ෂත්‍රිය කුල කුමරියක්‌ නොවේ, කුඹුරේ මියරේ දහදිය හලන ගෙවිලියකි.

අතිශය දුෂ්කර සහ තීරණාත්මක පළාඒමේදී ඔහු මෙවැන්නක්‌ අපේක්‍ෂා කළේ නැත.

ඔහු අපේක්‍ෂා කළේ කිසිදු අපේක්‍ෂාවක්‌ නැති ජීවිතයකි.

මෙතෙක්‌ අනුගමනය කළ ධර්මයේ ආරක්‌ෂකයාගේ භූමිකාවෙන් ඔහු ධර්මය සරණයන්නාගේ භූමිකාවට පරිවර්තනය වෙමින් සිටියේය. මේ ක්‌ෂුද්‍ර ලෞකික බාහිර සමාජයෙන් මුළුමනින්ම වෙන්වෙමින් මහේක්‌ෂ අලෞකික අධ්‍යාත්මික විශ්වයට ඇතුළුවීම ඔහුගේ අරමුණ වූයේය.

ඒ අධ්‍යාත්මික විශ්වයට පිවිසුණු මිනිසා හැම අතින්ම නිදහස්‌ය. ඔහු යටත් කළ නොහැක. සිරගත කළ නොහැක. ඔහු සිරගත කිරීමට උත්සාහ කිරීම හස්‌තිරාජයකු කුඩා මැටි බඳුනක දැමීමට ගන්නා උත්සායයක්‌ වැනි හෙයිනි.

ගාමිණී අබය සිතුල්පව්ව බලා ගමන් කළේ ඒ ප්‍රාර්ථනාවෙනි. එහෙත්, මෙවර ද එය වෙනස්‌ කරනු ලැබිණි. (මීට පෙර ඒ ගමන් මඟ වෙනස්‌ කරන ලද්දේ විහාර මහා දේවිය විසින්ය යන්න ඔහු නොදැන සිටියේය) මෙවර ඒ වෙනස කරන ලද්දේ නන්දි මිත්‍ර සහ පිරිස විසිනි.

එසේ වුවද තම පිය රජතුමාගේම සොයාගැනීම් වූ ඒ විශිෂ්ට මිනිසුන් විසින් 'කෙසේ හෝ ජයගනිමු' යැයි කිසිවිටෙකත් ඔහු නොපොළඹවන ලද්දේය.

ඒ නැතද, පියා රාජ්‍යත්වයේ සිටිනතුරු ඔහුට එරෙහිව කැරලි ගැසීමේ හෝ රාජ්‍ය අල්ලා ගැනීමේ හෝ 'බලලෝභී දේශපාලන සිතක්‌' ඔහුට සිහිනෙන්වත් පහළ වූයේ නැත.

ඒ වෙනුවට දෙගොල්ලන් විසින්ම සියල්ල කාලයට භාරදී තිබිණ.

'ඒ කාලය තුළ ජීවිතය' ඔහු අළුත්ම මිනිසකු බවට පත්කොට තිබිණ.

ඒ මිනිසා තම ජීවිතය පටන්ගත්තේ ගොපල්ලකු වශයෙනි. ඔහු එහි තම රාජකාරියේ යුතුකම වගකීම තුළ කැපවී ක්‍රියා කළේය. වැඩිකල් නොගොස්‌ මුළු කොටගේපිටිය ප්‍රදේශය තුළ පමණක්‌ නොව ඒ අවට ගම්මානවලටද සිටි හොඳම ගොපල්ලා වූයේ ඔහුය.

ගව පාලනය සම්බන්ධ සියලු කටයුතු පිළිබඳවද, කිරි ප්‍රමුඛ පස්‌ගෝරස පිළිබඳවද සියලු කාරණා - කාරණා උගත් ගාමණී අබය කූණා නැමැති වයෝවෘද්ධ ගැමියාගෙන් ගවරෝග සඳහා යන්ත්‍ර පිළිස්‌සුම් කරන සැටිද උගත්තේය.

දිවා රෑ නොබලා මේ කටයුතුවල නිමග්න වීම මගින්ද, පෝෂ්‍යදායි ගැමි ආහාර අනුභවයෙන්ද ඔහු තවත් ශක්‌තිමත් වූ නමුදු නිරන්තර අව්රස්‌නයට නිරාවරණය වීම මගින් ඔහුගේ ඡවි වර්ණය අඳුරු දුඹුරු පැහැයට හැරුණේය.

මුහුණ පුරා වැඩුණු රැවුල ද, මනාව නොපීරන ලද දිගු හිසකෙස්‌ ද ඔහු, ඔහුටවත් හැඳිනිය නොහැකි තත්ත්වයට පත්කෙරිණි.

එහෙත්, ගැමියෝ දැන් ඔහු තමන්ගේම කෙනකු බවට පත්කොටගෙන සිටියහ. ඒ කොතරම්දයත් ඔහු අහසින්පාත්වූ මිනිසකු බව මුල්කාලයේ තැන තැන දෙඩවූ පිංගුවාට පවා ඒ බව අමතකව තිබුණේය.

මේ සියලු කාරණ - නොකාරණ මැද කළුමැණිකේගේත් ඔහුගේත් ආදර අන්දරය රූක්‌ෂ ගසක්‌ මෙන් ලියලා වැඩී ගියේය.

⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆

දෙවසරක්‌ම ගතවුවද ගාමණී අබය පිළිබඳ කිසිදු තොරතුරක්‌ මාගමට ද රජරටට ද නොමැති විය.

එහෙත්, ඔහු පිළිබඳව වූ කතාබහේ අඩුවක්‌ මේ රාජ්‍ය ද්වයේම නොපැවති අතර රජරට චරපුරුෂයෝ රජරට තුළ ද, මාගම රාජ්‍ය තුළ ද තමන් රාජකාරියේ නියැලුණු ඕනෑම ප්‍රදේශයක්‌ තුළද ගාමණී අබය 'දුෂ්ට ගාමණී' වශයෙන් නාම ගැන්වීම මහජයට සිදුකරගෙන ගියහ.

කටකතාවල ශක්‌තියත් බලයත් පිළිබඳව පුදුම විශ්වාසයකින් සිටි භට්‌ටාර තම මෙහෙයුමේ සාර්ථකත්වයෙන් මහත් ප්‍රමෝදයට පත්ව සිටියේය.

ඔහු වඩාත් සතුටට පත්වූයේ තම රාජ්‍යය තුළම, තම රජුගේ මාලිගය තුළම වූ සමහර ගැහැණුන් මිනිසුන් තුළ තිබූ ගාමණී අබය පිළිබඳ ප්‍රසාද ජනක තත්ත්වයන් දැන් තම ඇස්‌පනාපිටම බිඳ වැටෙණු දුටු නිසාය.

"පියාටත් දුෂ්ට ගාමණී වුණා නම්, අපට කොහොමට හිටියිද?"

"යුද පිපාසිතයෙක්‌"

"තොලොංචිවෙලා ගිය එක හොඳයි. ඔහු බලයට ආවොත් රටම ලේ විලක්‌ වෙයි"

එහෙත්, තමනට කර්ණ රසායනයක්‌ වූ ඇසෙන කෙරෙන එබඳු රසවැකි ආශ්වාදනය කිරීමේ චිත්තප්‍රීතියට ඊතළයක්‌ වැදුණු දවසක්‌ භට්‌ටාරට උදාවූයේය.

"න හරාමි
න භඤාජාමි
අරා සිංඝාමි වාරිජං"

සුරුපී ශාරදා ගයමින් සිටියාය.

සිංහල, චෝල, සංස්‌කෘත, උරියා, මාගධී යන භාෂා හොඳින් ප්‍රගුණ කොට සිටි ඇය වඩාත් ප්‍රියකළ භාෂාව වූයේ මාගධීය.

යන්තම් ගැටවර වියට එළඹෙද්දී තම හිතුවක්‌කාර කමට අස්‌රියක්‌ පැදවීමට ගොස්‌ රථයේ මෙහෙයුම් අසුන සහ අසුන්ගේ පස්‌සා ගාත් අතරින් බිමට වැටී, එම රථයේම රෝදයට ගෙල හසුවී ඉතාම ඛේදනීය ලෙස මියගිය තම සොහොයුරා වෙනුවෙන්ද ඇය තමා විසින් තනාගත් මාගධී ගීත ගායනා කළාය.

මහත් කම්පාවට පත් තම මනස මහත්සේ සුවපත්කළ ශාරදා, කුඩා කල කළ ගායනා එලාර රජුට තවම මතකය.

එහෙත්, දැන් තරුණවියට එළඹ සිටින ඇය පෙරමෙන් ගායනය හා සංගීතය පිළිබඳව එතරම් උනන්දුවක්‌ නොදක්‌වයි.

චෝළ, පාණ්‌ඩය රාජ්‍යවල කුමාරවරුන් ශාරදා පිළිබඳව දැන සිටි අතර ඇය තම බිසව හෝ බිසවක්‌ කරගැනීමේ අපේක්‍ෂාවෙන් ඔවුන් විසින් එළාර රජුවෙත එවන ලද සංදේශ ගණනාවකි. තම දියණියට මහත්සේ ඇළුම් කළ එළාර ඒවාට පිළිතුරු යැවීමට එතරම් ඉක්‌මන් වූයේ නැත.

දක්‌ෂිණපථ රජමාලිගයකට යැවීමට පෙර තවත් හොඳින් ගීත ගායනා කිරීමට උගෙන ගන්නැයි එළාර ඇයට කීවේය.

ඇය ඒ ඉල්ලීම හොඳින් ඉටුකළාය.

සංගීතයත්, ගායනයත් හොඳින් ප්‍රගුණ කළ ඇය හොඳින් ගැයුවාය. මේ, ඇයගේ ගී ගායනයක්‌ ඇසීමට විශේෂ ප්‍රභූ පිරිසක්‌ රජරට රජ මාලිගයේ පහළ සභා ශාලාවට රැස්‌වූ මොහොතය.

"න හරාමි
න භඤාජාමි
අරා සිංඝාමි වාරිජං"

ඇය ගයන්නී, ඇය අසා තිබූ මාගධී ගාථාවකි.

වස්‌දණ්‌ඩක්‌ ප්‍රධාන සංගීත නාදය කොටගත් පැරණි දක්‌ෂිණ පථ සංගීත රිද්මයකට අනුව ඇය ගැයූ කුඩා ගීතයේ නිමාව සමඟම එය අසා සිටි සියල්ලන්ගේම අත්පොළසන් හඬත්, ප්‍රීති නාදයත් පැතිරිණි.

තම බිසව වූ ධරත්‍රිය ද සමඟ දැඩි සොම්නසකින්ද, අවධානයකින්ද යුතුව ගීතය ශ්‍රවණය කළ එළාර රජ්ජුරුවෝ අනතුරුව තම දියණිය වෙතට පැමිණ ඇය වැළඳ ගත්තෝය.

එකල්හි අවට ප්‍රීති නාදය තවත් එසවිණි.

සියල්ලන්ම සන්සුන් වූ කළ රජ්ජුරුවෝ සභා ශාලාව සිසාරා බැලූහ.

"මාගධී බසින් ඇය ගැයූ මේ ගීතයේ අර්ථය යමෙක්‌ දනීද?"

ගායනය රස විඳි මුත් බොහෝ අය ගීතයේ අර්ථය නොදැන සිටියහ.

එහෙයින් සභා ශාලාවේ දැඩි නිහඬ බවක්‌ පැතිරිණි.

කිසිවකුත් පිළිතුරු දීම සඳහා ඉදිරිපත් නොවන බව සියල්ලන්ටම අවබෝධ වූ මොහොතේ භට්‌ටාර ඉදිරිපත් විය.

"රැගෙන නොයමි
නො නෙළමි
දුරක හිඳ සිඹිමි"

භට්‌ටාර එහි අර්ථය පැහැදිළි කළේය.

එළාර රජ්ජුරුවෝ සතුටින් ඉපිල ගියහ. ඔහුට අනුව එතැන සිටි සියල්ලෝ ද සතුටින් ඉපිල ගියහ. එළාර මෙසේ කීවේය.

"එය කදිම ගීතයක්‌ මගෙ දුවේ. කියන්න මේ කා ගැනද? උරියාවෙන් මෙහි පැමිණි කුමාරයෙක්‌ ගැනද?"

සියල්ලෝම මහත් උනන්දුවෙන් ඇයගේ පිළිතුර වෙත සාවධාන වූහ.

"නැහැ"

"...අරා සිංඝාමි වාරිජං... දුරක හිඳ සිඹිමි..."

ප්‍රතිරාවය කළ එළාර ශාරදාගේ හිස සිප ගනිමින් මෙසේ ඇසුවේය.

"...එහෙනං මගෙ දුවේ මේ කා ගැනද?"

"දුෂ්ට ගාමණි අබය ගැන"

ශාරදා නොපැකිළව කීවාය.

එක්‌වරම මුළු සභා ශාලාවම ගල්ගැසුණාක්‌ මෙන් වූ අතර මිත්‍ර, දිඝජන්තු ඇතුළු සෙනෙවිවරු ද අමාත්‍යවරු ද ඔවුන්ගේ භාර්යාවෝ ද තමන් ආශ්වාස කළ වාතය ප්‍රශ්වාස නොකළහ.

එළාරට පුරුද්දට මෙන් බැලූනේ භට්‌ටාර දෙසය. එහි කිසිදු මවිතයක්‌ හෝ වෙනයම් හැඟීමක්‌ හෝ නොපැවතිණි.

'ඔබ මට මේ පවසන්නේ කුමක්‌ද? ඇය තුළ මෙබඳු හැඟීමක්‌ පවතින බව ඔබ දැන සිටියාද භට්‌ටාර?'

එළාර රජු භට්‌ටාර ගෙන් එසේ ඇසුවේ නැත. එහෙත්, එසේ ඇසීමට ගතවන මුළු වෙලාවම ඔහු භට්‌ටාර ගේ මුහුණ ඉදිරියේ ගත කළේය.

අනතුරුව ඔහු සියල්ලන්ගේ සන්ත්‍රාසය සිඳුවමින් සැහැල්ලූ ලෙස සිනාසුණේය.

"කාවන්තිස්‌ස රජ්ජුරුවන්ගේ රන්දම්වැල රට පුරාම හොයන මිනිහා, එළාර රජ්ජුරුවන්ගේ රාජපුරුෂයෝ රට පුරාම හොයන මිනිහා..."

රජු සතුටට පතත්ව සිටින්නේ ද නොසතුටට පත්ව සිටින්නේ ද වටහාගත නොහැකි පිරිස්‌ එයට කිසිදු ප්‍රතිචාරයක්‌..., අඩුම තරමේ තමන් සෙලවෙන විට නැගෙන ශබ්දය තරමේ ප්‍රතිචාරයක්‌ වත් නොදැක්‌වූහ.

"න හරාමි
න භඤාජාමි
අරා සිංඝාමි වාරිජං"

යනුවෙන් තෙමේද ගැයූ එළාර භට්‌ටාරත්, මිත්‍රත් වෙත නැඹුරුව ඉතාම සෙමෙන් මෙසේ කීවේය.

"ඔහු ඝාතනය නොකළ යුතුයි. සැඟවී සිටින තැනකින් ජීවග්‍රහයෙන් මාවෙත ගෙන ආ යුතුයි"

රජ්ජුරුවෝ පිටය ගියහ.

ධරත්‍රිය ද, ශාරදා ද ඒ අනුව පිටව ගියහ.

සභා ශාලාවේ වූවෙන්ගේ මුණු මුණුව නැගෙන්නට වූ අතර භට්‌ටාර සෙමෙන් මිත්‍ර වෙතට හැරුණේය.

"දුෂ්ට ගාමණී අපේ ගැහැණුන්ගේ වීරයෙක්‌ කළේ නුඹලායි" 

"ඒ කොහොමද?" 

මිත්‍ර පිළිවිසියේ නොසන්සුන්වය.

"මෙතෙක්‌ ඔහු සොයා ඝාතනය කරන්නට නුඹලා අසමත්වීමෙන්"

⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆

කාවන්තිස්‌ස රජ්ජුරුවෝ පැමිණියහ. 

ඔහු සමඟ පැමිණි සන්තිකාවචරයන් කීප දෙනකු රාජකීය යහන් ගබඩාවේ දොරටුව අසලදී ඔහුට ආචාරකොට ඔහුගෙන් සමුගෙන ගියෝය.

රජ්ජුරුවෝ යහන් ගබඩාව තුළට පිවිසියහ.

දුක්‌මුසු කල්පනාභරිත මුහුණට මඳ සිනාවක්‌ නඟා ගනිමින් විහාර මහා දේවිය ඇය වාඩිවී සිටි සයනයෙන් නැගී සිටියාය.

ඇය අසලට පැමිණි රජ්ජුරුවෝ ඇය සුරතින් අල්ලා ගත්හ.

අනතුරුව සයනයේම යළි ඇය වාඩි කරවමින් තෙමේ ද එහි වාඩිගත්තෝය.

දැන් කලක පටන්ම ඔහු තමන්ට යමක්‌ කීමට තතනන බව විහාර මහා දේවිය දැන සිටියාය. ඒත් කොයි මොහොතකවත් ඒ කුමක්‌දැයි විමසීමට ඇය නොසිතුවාය.

දීර්ඝ සුසුමක්‌ හෙළා වුව ලය සැහැල්ලූ කර නොගත් කාවන්තිස්‌ස මෙසේ කීවේය.

"මා ගාමණි නිතර සිහිනෙන් දකිනවා"

විහාර මහා දේවිය කිසිවක්‌ නොකීවාය. හැඬෙන්නට ගිය හෙයින් ඇය කෝකටත් සළු පටක්‌ සුරතට ගෙන මුව අසල තබා ගත්තීය.

"ඔහු හොඳින්ද?"

ඒ ප්‍රශ්නයෙන් විහාර මහා දේවිය තිගැස්‌සුණේ නැත.

ගාමණී අබය කොහි සිටින්නේ ද කුමක්‌ කරන්නේ ද යන්න තමා මුල පටන්ම දන්නා බව කාවන්තිස්‌ස රජුට රහසක්‌ නොවන බව විහාර මහා දේවිය දන්නීය.

එහෙත්, ගාමණී අබය සොයා ඔත්තු සේවාවන් යොදවමින්ද, රාජ පුරුෂයන් යොදවමින්ද මහා කලබගෑනියක්‌ කරන කාලයේද ඔහු තමාගෙන් මෙබඳු පැනයක්‌ නොවිමසූ බව ඇයට මතකය.

විහාර මහා දේවිය මෙසේ කීවාය.

"ඔව්"

"ආරක්‌ෂාව?"

"සොබා දහම ඔහු ආරක්‌ෂා කරනවා"

"සොබාදහම ද, දහම ද?"

"ඒ දෙකම"

දෙදෙනාම තම දෙනෙත් වල පිරුණු කඳුළු එකිනෙකාගෙන් සැඟවූහ.


⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆

වර්ෂ 2010 මැයි මස විසි තුන් වන ඉරිදා, දිවයින ඉරිදා සංග්‍රහයෙන් උපුටාගත් මෙම මහරජ ගැමුණු සිනමා තිර රචනයේ නවකතා පරිවර්තනය දහ අට වන කොටස ක්‍රි.ව. 2016 ක් වූ දෙසැම්බර් මස විසි පස් වන දින පූජිත විසින් සටහන් කරන වගයි...

No comments:

Post a comment