Wednesday, 28 December 2016

25 කොටස - ඉරණමේ මාවත දිගේ ඔහු එනවා ශාරදා

මින් සාලිස්‌ වසරකට පෙර සිහලද්වීපයේ රාජරට්‌ඨය හෙවත් රජරට සාර්ථක ලෙස ආක්‍රමණය කොට එහි අනභිබවනීය පාලකයා වූ කාලිංග මිනිසා සාමාන්‍යයෙන් ජම්බුද්වීප දක්‌ෂිණ පථයේ සියළුම රාජ්‍යයන්ගේ සුමිතුරා විය.

එහෙත්, ඔහුගේ සුවිශේෂතම සබඳතා පැවතියේ චෝල රාජ්‍යය සමඟය.

අසේල රජු පරාජය කළ එළාරගේ මුල් ආක්‍රමණික සේනාවට චෝල, පාණ්‌ඩ්‍ය, චේර, කලභ්‍ර කාලිංග ඇතුළු බොහෝ දක්‌ෂිණ පිරිස්‌ ඇතුළත් වුවද රාජ්‍ය ස්‌ථාපිත කිරීමෙන් පසු ඔහු විසින් විවිධ වෙළෙඳ ශ්‍රේණිවලට අයත් වැඩි ජන පිරිසක්‌ ගෙන්වා ගන්නා ලද්දේ චෝල දේශයෙනි.

මීට හේතුව ඔවුන් ඔහුට වඩාත්ම හිත පක්‌ෂපාත මිනිසුන් වීමම පමණක්‌ නොවේ, නිතර එකිනෙකා සමඟ ඇවිලෙන සුළු චෝල, පාණ්‌ඩ්‍ය, චේර රාජ්‍යයන් අතර මෙකල්හි වඩාත් බලවත් වෙමින් පැවැති රාජ්‍යය චෝල දේශය වූ බැවිනි.

මේ සියල්ලටමත් එහා ගිය තවත් ප්‍රබල හේතුවක්‌ද තිබිණි. එනම් සිහලද්වීපයේ සිංහලයන් ජම්බුද්වීපයේ ආර්යාවර්තය හෙවත් උතුර සමඟ පැවැති අතිශය ප්‍රබල ඉපැරණි සබඳතා පිළිබඳව ඔහු තුළ පැවැති බියය.

අශෝක අධිරාජ්‍යය බිඳවැටීමෙන් පසු ජම්බුද්වීප උතුර සමඟ ශක්‌තිමත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සිහලද්වීප දකුණට නොතිබූ අතර මේ වනවිට බලවත්ව සිටි කාලිංග රාජ්‍යය එළාර සමඟ හෝ දකුණ සමඟ හෝ සබඳතා නොපැවැත්වීමද විශේෂයක්‌ විය.

එළාර සමඟ යුද්ධය ආරම්භ කිරීමට සියලු කටයුතු සම්පාදනය කරමින් සිටින ගාමණී අබය මේ අසල්වැසි දේශපාලනය නොතකා හැරියේ නොවේ. එහෙත්, ඒ සතුරාගේ සතුරන් සොයා ඔවුන්ගෙන් උපකාර පැතීම සඳහා නොව සතුරාගේ සහයට පැමිණෙන හදිසි විදේශ හමුදාවකට වුව මුහුණදීම සඳහා තම බලමුළු ශක්‌තිමත් කොට ගැනීමටය.

ඒ අතර ඔහු යුද්ධයේ පීඩාව ජනතාව විෂයයෙහි අවම කරනුවස්‌, ආහාර නිෂ්පාදනය දෙගුණ තෙගුණ කරවීමට අදාළ සියලු කටයුතු සූදානම් කළේය. ඒ සියල්ලෙහි වගකීම යළි යළිත් තිස්‌ස කුමරුවා කෙරෙහිම පැවරිණ.

අන්තිමේදී ඔහු එළාර රජු අමතා මෙසේ ලීවේය.

"රජතුමනි, ආක්‍රමණිකයකු සාලිස්‌ වසරක්‌ මුළුල්ලේ රාජ්‍යයක්‌ අල්ලාගෙන සිටීම රටකට බර වැඩිය.

එසේ වුවද,

දැන් ඉතින් යටත්වන්න යැයි මම ඔබට නොකියමි. ඊට වඩා ඔබට එකඟවිය හැකි දෙයක්‌ පමණක්‌ යෝජනා කරමි.

ඒ ආපසු යන ලෙසය.

එහිදී කාලිංගය ඔබ නොපිළිගන්නේ නම් හෝ ඔබගේ හිත පක්‌ෂපාතීන් සහිත චෝල දේශය, පාණ්‌ඩ්‍ය දේශය, චේර දේශය ඔබ නොපිළිගන්නේ නම් හෝ ඔබට නැවත මෙහි පැමිණිය හැකිය.

ඒ අපගේ මිතුරකු වශයෙනි.

අපි මිත්‍ර ධර්මය රාජ ධර්මයටත් වඩා අගය කරන්නෝ වෙමු. එසේම සතුරු ධර්මයන්ට මිතුරු ධර්මයන් යැයි රැවටෙන්නෝ ද නොවෙමු.

ඔබේ තීරණය ඔබගේම යහපත පිණිස වේවා!"

⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆

එළාර පෙරළා මෙසේ ලියා එවීය.

"රජමතුනි !

ආක්‍රමණිකයා යැයි ඔබ විසින් අප හඳුන්වනු ලබන අවඥා සහගත පැරණි කතාව ඔබගේ වයස තරම්ම පැරණිය.

රජකු විසින් දිනාගනු ලැබූ රාජ්‍යය ඔහුගේ ම රාජ්‍යය මිස අන් කවරක්‌ ද? මම වැසියා ඉතා සතුටින් වාසය කරන රජරට රාජ්‍යයේ මහ රජු වෙමි.

ඒ රාජ්‍යය තුළ මගේ නියෝග හැර වෙනත් කිසිවකුගේවත් නියෝග හෝ ඉල්ලීම් හෝ ක්‍රියාත්මක නොවේ.

ඟඟෙන් එතෙර සුවසේ ජීවත්වන්නැයි ඔබට යෝජනා කරනු කැමැත්තෙමි."

⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆

ගාමණී අබයට යැවූ තම පිළිතුර පිළිබඳව පමණක්‌ නොව, දකුණේ යුද සුදානම අරභයා තමන් ඕනෑම මොහොතක දක්‌වා ඇති ප්‍රතිචාර පිළිබඳවද බොහෝ සතුටට පත්විය හැකි කාරණා එළාර රජු සතුව තිබුණේය.

කිසිවිටෙක තමන්ට බරපතල යුද අභියෝගයක්‌ නොකළ කාවන්තිස්‌ස කාලයේ පවා එළාර දකුණ විශ්වාස නොකළේය. රහසින් හෝ යුද සූදානම් වීමක්‌ පිළිබඳව තමන්ට වාර්තා නොවුණු ඒ කාලයේ පවා එළාර, අනුරාධපුරයේ සිට මහියංගනය දක්‌වා වූ ඉතා දීර්ඝ ප්‍රදේශයක පැතිරුණු ආරක්‍ෂක යුද බළකොටු විසිඅටක සූදානමකින් සිටියේය.

අලුත්ම චරපුරුෂ තොරතුරුවලට අනුව වුවත් එම තොරතුරු විශ්ලේෂණය කරන විශාරදයන්ගේ වාර්තාවලට අනුව වුවත් ගාමණී අබයගේ යුද ශක්‌තිය කිසිසේත් තමා අභිබවා යා හැක්‌කක්‌ නොවේ.

යුද්ධය ආරම්භ වනවා නම්, ගාමණී අබයගේ සේනා මුලින්ම මුහුණදිය යුතු මහියංගනයම ඔවුනට අමු සොහොනක්‌ වන බවට ඡත්ථ සෙනෙවියා තමාට නිතර නිතර දන්වා එවන්නේ පුරසාරමකටම නොවන්නේ යැයි එළාර විශ්වාස කළේය.

එහෙත්, ඔහු සිටියේ නොසතුටිණි.

කර්මයක්‌ මෙන් තමන් ලුහුබැඳ පැමිණෙන අඳුරු සිතිවිල්ලෙන් ඔහු යළි යළිත් පීඩා විඳිමින් සිටියේය.

එළාර යුද මන්ත්‍රණ ශාලාවට එබෙනු කිසිවකු නුදුටුවේ එහි සිටි සියල්ලන්ම මැටි ආකෘති ගත සිහලද්වීප පැරණි සිතියම වටා රොක්‌වී සිටි නිසාය.

"ආවදෙන්........."

දීඝජන්තුගේ ගැඹුරු, විහිද යන හඬ යුද මන්ත්‍රණ ශාලාවේ සිරවී ඇති වාතය කම්පනය කළේය.

"..................ආවදෙන් මහියංගනයෙන් මෙහාට එක අඩියක්‌ එනවා බොරු, ඡත්ථ සියල්ල බලාගනියි........."

"හොඳයි මොන ක්‍රමයෙන් හරි මහියංගනයෙන් මෙහාට ආවා කියමුකෝ......"

මිත්‍ර සන්සුන්ව කීවේය.

"........මං කියන්නේ අම්බතිත්ථයෙන් මෙහාට එන්න බෑ !"

බොහෝ දෙනා මිත්‍ර පැවසූ වදන් අනුමත කළ බව පෙනිණි.

මෙබඳු අවස්‌ථාවල අවසානයට අදහස්‌ ප්‍රකාශ කිරීම භට්‌ටාරගේ සිරිතය. එසේ කිරීමෙන් ඔහු තම පාණ්‌ඩිත්‍යත්, යම් යම් දෑ කල්තබා ප්‍රකාශ කිරීමේ ශක්‌තියත් අන්‍යයන්ට අඟවා සිටින්නේය.

"නැහැ, නාළිසොබ්බ දක්‌වාම ඔහු එනවා..."

"..හැබැයි එතැන තමයි ඔහු විනාශ වන තැන......"

භට්‌ටාර පුදුමාකාර ස්‌ථීරසාර බවකින් යුතුව කීවේය.

තම ධෛර්ය වඩවා ගැනීම සඳහා හෝ එතැනට යැමට එළාරට සිතුණේ නැත.

හඬක්‌ නොනැඟෙන පරිදි ආපසු හැරුණු හේ අරමුණකින් තොරව ඉදිරියට ඇවිද ගියේය.

වීණා හඬ ඇසුණේ ඒ අතරය.

⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆

ශාරදා වීණාව වයමින් සිටියාය.

වාදනයට සමාධිගතවූ කල ඇය කාල-අවකාශ සවිඥානක බවින් මුළුමනින්ම ඉවතට යන්නීය.

මේ අබිරම් දර්ශනය දකින සහ ඒ සමඟම එම සුවිශේෂ සංගීතය විඳින කෙනකු වුව කාල-අවකාශ සවිඥානක බවින් ඉවත් කෙරෙන සුළුය.

යම් අනපේක්‌ෂිත චිත්තක්‌ෂණයකින් සිදුවූ බාධාවක්‌ කරණකොට ස්‌වකීය චින්ත ඒකාග්‍රතාව බිඳී ගිය හෙයින් ශාරදා වෙණ වැයීම හදිසියේම නතර කළාය.

ඈ තම පිය රජු දුටුවේ ඒ මොහොතේය.

"ඇයි නතර කළේ, ඔබේ වාදනය අහන්න මා කොතරම් කැමතිද?"

පිය රජුට සිනාවකින් සංග්‍ර කළ ශාරදා යළිත් වෙණ වැයීම ආරම්භ කළ මුත් තමා විසින් හඳුනාගනු ලැබූ පියාගේ සුවිශේෂී ඉංගිතයක්‌ හේතුවෙන් වාදනය එක්‌වරම නවතා මෙසේ ඇසුවාය.

"ඔබ කැළඹීමෙන්ද?"

ශාරදා සමීපයට ගිය එළාර ඇයගේ හිස අතගෑවේය.

"නැහැ, ඔබේ වීරයා අනුරාධපුරයට ඇතුළු වුණත් මා කැළඹෙන්නේ නැහැ ?"

අනතුරුව ඔහු කීවේ මඳ සිනාවක්‌ද මුවට නඟා ගනිමිනි.

"එසේ වන්නේ කොහොමද මා නම් ඉන්නේ කැළඹීමෙන්......"

ශාරදා සංවේගයෙන් යුතුව කීවාය.

"ඉරණමේ මාවත දිගේ ඔහු එනවා ශාරදා.., ඒ ගමන නතරවන්නේ විශාල බුබ්බුලාකාර චෛත්‍යයකින්........"

එළාරගේ දෑතින්ම අල්ලාගත් ශාරදා සෘජුවම ඔහුගේ මුහුණ දෙස බලමින් මෙසේ ඇසුවාය.

"ඉතින් ඔබ මොකක්‌ ද කරන්ඩ හදන්නේ ?"

"ඉරණම වෙනස්‌ කරන්න කළහැකි සෑම දෙයක්‌ම..........."

යි පවසමින් ශාරදා වෙතින් මෑත් වූ එළාර ඇයගේ සංගීත කුටියෙන් ඉවත්ව යමින් මෙසේ කීවේය.

".............මම ඔහුව නවතන්න හදන්නේ ඔහු ඉපදෙන්නටත් පෙර සිටයි මගෙ දුවේ !"

ශාරදා යළිත් මහා සංවේග ගඟුලක ගිලුණාය.

පියා තමා සමඟ ප්‍රකාශ කරන්නේ කිසිවකු හමුවේ ඔහුට ප්‍රකාශ කළ නොහැකි දේ බව ඈ දනී. ඒ ඇතැම් දේ ඔහුට ඔහු සමඟවත් ප්‍රකාශ කළ නොහැකි දේය.

කඳුළින් පිරුණු දෙනෙතින් නොව, කඳුළින් බර වූ හදවතින් යුතුව ඇය වෙණ වයමින් මෙසේ ගැයුවාය.

"ගාමණී නවතින්න
ඔබ මියෙනු ඇත

කලකිරුණු ඔහු මුහුණ
ශාපයක සලකුණකි
බිඳුණු ඔහු මුදු වදන්
දුනුදියට පෙර නිමේශයයි

හැකිළුණු දෙවුරහිස්‌
විරාමය නිමකරයි
ගාමණී නවතින්න
මම ඔබට පෙම් කරමි
ඔබේ මරණෙට වඩා

ගාමණී නවතින්න
ඉණදාසියක්‌ වෙමි
හිලව්වට සාමයේ"

⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆

"යුද මණ්‌ඩලයක්‌ ලබන පළමු ජයග්‍රහණය නම් එම මණ්‌ඩලය තුළ සතුරු චරපුරුෂයන් නොසිටීමය"

වේළුසුමන කීවේය.

"යුද මණ්‌ඩලය එකම ශරීරයකි. එහෙත් එහි සිත් දහසක්‌ ඇත......."

නන්දිමිත්‍ර කීවේය.

"යුද මණ්‌ඩලය කුඩා ශරීරයක්‌ සහිත ශක්‌තිමත් යෝධයෙකි" 

ගෝඨයිම්බර කීවේය. ඵුස්‌සදේව වෙනස්‌ම කතාවක්‌ කීවේය.

".............යුද මණ්‌ඩලය දුන්නෙන් මිදුණු හීයකි. එය සොයාගත හැක්‌කේ සතුරා මරලතෝනියක්‌ දී ඇදවැටුණු පසුව පමණකි......."

යුද මණ්‌ඩලයේ ප්‍රධානියා මහත් සතුටකින් යුක්‌තව නැගී සිටියේය.

"අපගේ නොවිසුරුණු, කුඩා සහ ශක්‌තිමත් යුද මණ්‌ඩලය පිළිබඳ ඔබ සියලු දෙනාගේම අදහස්‌ මේ යුද මණ්‌ඩලය තරම්ම විශිෂ්ටයි........"

දස මහා සෙනෙවිවරු තමන් හැරුණුකොට යුද මණ්‌ඩලයේ සිටින අනෙක්‌ එකම මිනිසා හෙවත් ගාමණී අබය රජ්ජුරුවන්ට එක පැහැර සවන් දෙමින් සිටියහ.

"...........ඔබ යටතේ සෙනෙවිවරුන් සිය ගණනක්‌ සිටිති. ඔවුන් යටතේ සුළු සෙනෙවිවරුනුත් සෙබළුත් සිටිති. මේ සියල්ලන්ම එකම වටිනා මනුෂ්‍යයන් පිරිසකි. අප ඒ බව අවංකවම විශ්වාස කරන බව ඔබ ඔවුන් සියල්ලන්ටම වටහා දිය යුතුය. එසේම ඔවුන් සටන් කරන්නේ එබඳුම වටිනා මනුෂ්‍ය සංහතියක්‌ වෙනුවෙන් බව ඔවුනට ඒත්තු ගැන්විය යුතුය. අපගේ යුද එළඹු පමණක්‌ නොව එහි ස්‌වරූපය ද වෙනස්‌ එකක්‌ බව දැන් ඔබ හැම දෙනාම දනිති. එය තිරිසන් සතුන් කෝපයට පත් වූ විට එකිනෙකාට පහර දෙන ආකාරයේ එකක්‌ නොවේ. ඒ වූ කලී යුද නොකොට නොහැකිම වූ මනුෂ්‍යයන් යුද වදිනා විලාශයය. අප සතුරන් පරාජය කරමින්ද ඔවුන් සමඟ සිටින අපගේ මිනිසුන් අප වෙතට දිනා ගනිමින්ද ජයගෙන මිස ආපසු නොහැරෙන ගමන අරඹමු......"

⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆

භික්‍ෂූන් වහන්සේ පන්සිය නමක්‌ පෙරමුණු කොටගත් ගාමණී අබය රජුගේ මහා යුද සේනාව දැන් මහාගාමයෙන් පිටත්ව කප්පුකගාමය ද කාජරගාමය ද පසුකොට ගුත්තහාලක බලා ළඟාවෙමින් සිටින්නේය යන තොරතුර ලැබෙන විට මහියංගන බළකොටුවේ ඡත්ථ සෙනෙවියා සිටියේ රාත්‍රි ආහාරය ගනිමිනි.

ගාමණි අබය ගේ ඕනෑම යුද උපක්‍රමයකට මුහුණ දෙමින් ඔහු මහවැලි ගඟෙන් එහාට ආපසු පලවා හැරීමට අදාළ සියළු කාරණා ඡත්ථ මේ වනවිටත් සුදානම් කොට තිබුණේය.

එහෙත්, මේ සැළවූ තොරතුරෙන් මුලින්ම ඔහුට හොඳටම සිනා ගියේය.

"යුද පෙරමුණේ භික්‌ෂූන් පන්සියයක්‌........?"

දෙවනුව ද ඔහුට හොඳටම සිනා ගියේය.

"යුද පෙරමුණේ භික්‌ෂූන්.......?"

එහෙත්, තෙවනුවත් සිනාවෙන්නට ගිය ඔහුට හදිසියේම යමක්‌ සිහිපත් විය.

"භික්‌ෂූන් වහන්සේලා ඔය එනවයි කියන්නේ කොහොමද?"

"අවසර, උන්වහන්සේලා පිරිත් සඡ්ජායනය කරමින් වඩින බවයි ආරංචි වෙන්නේ"

හී පොළකින් පණිවිඩ ගෙනෙන චරපුරුෂයා කීවේය.

ඡත්ථ ගේ සර්වාංගයම දැවී ගියේ ඒ මොහොතේය.

තමන් සතුව, ඕනෑම සේනාවකට මුහුණ දිය හැකි සියළු ආකාරවලින් සමන්විත දැවැන්ත සන්නද්ධ සේනාවක්‌ සිටින බව සත්‍යයකි.

එහෙත්, ඊට වඩා බිහිසුණු සත්‍යය වන්නේ ඒ සේනාවෙන් හරි අඩකටත් වඩා සිටින්නේ සිංහල බෞද්ධයන් වීමය.

පිරිත් දේශනාකරමින් පෙරමුණේ වඩින භික්‌ෂූන් වහන්සේලාට තම පෙරමුණු බලඇණිය වන, මුළුමනින්ම පාහේ සිංහලයන් සිටින දුනු සේනාංකයෙන් හී නිකුත් වේද?

රාත්‍රි අහාරය එතැනම අමතක කළ ඡත්ථ වහාම දිවගොස්‌ තම අසුපිටට පැන්නේය.

ඔහුට ඇවැසි වේගයට ගමන් නොකරන අසුට තලමින් ඔහු බළකොටු දෙරටුවෙන් පිටවෙමින් ගමන් ගත්තේ මහවැලි ගං ඉවුරේ රඳවා සිටින දුනු සේනාංකයේ ප්‍රධානියා වූ විජිත සෙනෙවි සොයාය.

රාත්‍රියේ හදිසියේ කඩාපාත්වූ තම මහ සෙනෙවියා අචාර දක්‌වා පිළිගත් විජිත ඉතාම විනීත ලෙස ඔහුගේ හදිසි පැමිණීම පිළිබඳව විචාළේය.

"නැහැ, නිකං එන්න හිතුණා"

ඡත්ථ ප්‍රකාශ කළ යුත්ත සඟවා කතා කළේය.

"මොකක්‌ හරි නරක ආරංචියක්‌ වත්ද?"

තම මහ සෙනෙවියාගේ ඉරියව් පිළිබඳව හොඳින් දන්නා විජිත විසින් නොපමාවම විමසන ලද්දේය.

"නරක ආරංචි කොහෙද? එන්න එන්නම ලැබෙන්නේ සුබ ආරංචි"

ඡත්ථ කීවේය.

"මොකක්‌ද අළුත්ම සුබ ආරංචිය?"

ඡත්ථ බඩ අල්ලාගෙන සිනාසුණේය. ඉන්පසුව පපුව අල්ලාගෙන මෙසේ කීවේය.

"අරුං ගෙ හමුදාවෙ රණබෙර නැතිලු, රණඝෝෂා නැතිලු, ඊට හපන් ඉස්‌සරහින්ම අරගෙන එන්නේ භික්‌ෂුන් වහන්සේලා ලූ......."

"අනේ සාධු !"

විජිතට කියැවිණි.

"මොකක්‌ ?"

ඡත්ථ ගුගුළේය.

තමා අතින් සිදුවූ වරද වටහාගත් විජිත සුළු සෙනෙවියා වහාම සීරුවෙන් සිට මෙසේ කීවේය.

"භික්‌ෂූන් වහන්සේ නොවෙයි, කවුරු ආවත් මම විදින එක විදිනවා........."

විජිත ගර්වයෙන් යුතුව ස්‌ථිරසාර ලෙස කියා සිටියේය. ඡන්ථයෝ ප්‍රීතියෙන් ඉපිළ ගියහ. එහෙත්, විජිත ඒ සමඟම මෙසේ කීවේය.

"ඒ වුණාට ඔබ තුමාගේ අශ්ව හමුදාවෙ ඉන්න අය වගේ නොවෙයි, මගේ උං මහ එපා කරපු එවුන් ටිකක්‌..........."

"ඒ කියන්නේ ?"

"ඒ කියන්නේ මුන්ට මේ දුනු ඊතළ බිම තියන්න මිහිඳු හාමුදුරුවෝ වඩින්න ඕනෙම නැහැනේ, යන්තම් කහපාටක්‌ දැක්‌කත් මුං දුන්න අල්ලන්නෙ නැහැ"

"මොනවා !"

⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆


වර්ෂ 2010 ජූලි මස එකොලොස් වන ඉරිදා, දිවයින ඉරිදා සංග්‍රහයෙන් උපුටාගත් මෙම මහරජ ගැමුණු සිනමා තිර රචනයේ නවකතා පරිවර්තනය විසි පස් වන කොටස ක්‍රි.ව. 2016 ක් වූ දෙසැම්බර් මස විසි අට වන දින පූජිත විසින් සටහන් කරන වගයි...


No comments:

Post a comment