Saturday 24 December 2016

16 කොටස - ඔබ ධාර්මික එළාර ඔහු දුෂ්ට ගාමණි

දෙනෙත් විවර කළ ගාමණී අබය මඳක්‌ එසවී, තම අර්ධ බාහුවල රැඳෙමින් වටපිට බැලුවේය. තවමත් පහව නොගිය අප්‍රාණික බවත් කුසයෙන් දැල්වී එන ගිනි ජාලාවත් විසින් ඔහු තරමක්‌ ව්‍යාකූල කොට තිබිණ.

ඔහුට එක්‌වරම සිහිපත් වූයේ සුරනිමලවය.

"කෝ ඔහු?"

ගාමණී කාගෙන් හෝ ඇසුවේය.

ඒවාට පිළිතුරු දීමට කරදර නොවුණු ගම මහගේ ඔහුට කුඩා හාල් කැඳ බඳුනක්‌ පිරිනැමුවාය.

"මේක බීපං දරුවා..............බොලා සාගින්දරේ නේද?"

ගාමණී කන බොන අතරම හිස වනා ඇය කීදේ අනුමත කළේය.

"මං කිව්වේ හාමත් වෙලා කියලා......."

කළු මැණිකේ දෙස බලා කිව් ගමමහගේ ඉක්‌මනින්ම බොකුටු බඳුනකට බත් බෙදන්නට වූවාය. මේ කිසිවකට සම්බන්ධ නොවූ කළුමැණිකේ චුම්බක පාෂාණයකට ඇළුණු යකඩයක්‌ සේ ගාමණී අබය දෙසම එක පැහැර බලාසිටියාය.

වෑංජන කීපයක්‌ සමඟ ලැබුණු උණු බත් බඳුන කුමරුවා කුඩා කල පටන් පුරුදු පුහුණු කරනු ලැබූ සියලුම සංයමයන් බිඳ දැමූ අතර, ඔහු ආහාර අනුභව කරන්නට වූයේ ඉතා වේගයෙනි. එහෙත්, ඉතා උණුසුම් සහ මඳක්‌ කුම්මායම් වූ බත (මඳක්‌ බෙරිවූ බත) ඊට නොසරිලන වේගයකින් අනුභව කරන්නට යැමේ ප්‍රතිඵලය වූයේ කුමරුන්ගේ අතත් කටත් දෙකම පිළිස්‌සීයැමය.

ස්‌ත්‍රීහු සිනාසුන හ.

ලජ්ජාවට පත් කුමරුවෝ අහර ගිලීම නතර කළහ. ඔහුට ඉක්‌මනින්ම ඉල්පැන් (සීතල ජලය) බඳුනක්‌ පිළිගැන්වූ ගමමහගේ මෙසේ කීවාය.

"අනේ දරුවෝ උණු බත් කන්නේ මෙහෙමයි. ඉස්‌සෙල්ලාම හෙමින් හෙමින් බත් ගුලියක්‌ දෙකක්‌ තනාපං. ඒක මෙහෙම පසෙකින් තබාපං. ඊට පස්‌සෙ අර මුලින්ම තනපු බත්ගුලිය සෙමෙන් සෙමෙන් කාපං....."

ඊට මුළුමනින්ම අවනත වූ ගාමණී අබය ඇය කී ලෙසටම මහත් සංයමයකින් යුතුව බත් ගුලි කරන්නත්, අනතුරුව ඒවා සෙමෙන් සෙමෙන් අනුභව කරන්නත් වූයේය. මෙම ක්‍රියාවලිය විසින් ඔහුගේ සියලුම මතකයන් යළිත් සීඝ්‍රයෙන් ප්‍රතිෂ්ඨාපනය කෙරුණු අතරම තමන් ආරම්භ කරන්නට යන යටිබිම්ගත ජීවිතය පිළිබඳ ස්‌වයංභූ ඥානයක්‌ ද පහළ කරන ලද්දේ විය.

"නුඹ කවුද, කොහෙන්ද ආවේ?" 

ගම හාමිනේ දැන් ප්‍රශ්න නඟන්නට පටන් ගත්තාය.

සියල්ලටම නොපැකිළව පිළිතුරු දුන් ගාමණී අබය ප්‍රකාශ කළේ තමන්ගේ නම 'ගුත්තා' බවය.

⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆

"ගුත්තා? ගුත්තා නොවෙයි ඒකා නම් මහ හිද්දළයෙක්‌" (හිත දැඩි එකෙක්‌) 

පමාවී මුත්තෙට්‌ටුව රැගෙන පැමිණි ගමමහගේගේත්, කළු මැණිකේගේත් අපූරු කතා ප්‍රවෘත්තියට සවන් දෙමින් ආහාර අනුභව කරන මහ ගමරාළ ප්‍රකාශ කළේ කොක්‌හඬ තලමිනි.

"ඈ බොලං අද උදේ ගිලීමලෙන් පිටත් වෙලා මද්දහන වෙනකොට පයින්ම මේ පළාතට එන්ඩ මේකා තවත් සුරනිමලයෙක්‌ වෙන්න එපා යෑ"

ඕනෑම දුර ගමනක්‌ ඉතා අසාමාන්‍ය වේගයකින් පයින් ගමන්කොට, කිසිදු වෙහෙසක්‌ නොමැතිව, නිරුපද්‍රිතව, ඉක්‌මනින්ම යළි පැමිණීම මඟින් සුරනිමල මාගම රාජධානිය පමණක්‌ නොව තම නෑසියන්ගේ ගම්මාන වල ද මහත්සේ ප්‍රසිද්ධියක්‌ ඉසිලූ පුද්ගලයෙක්‌ විය.

මෙහි පැවති උත්ප්‍රාසය නම් මේ පැමිණි අමුත්තාගේ කතා ප්‍රවෘත්තියට ද සුරනිමල සැබෑ ලෙසම සම්බන්ධවී සිටි බව මේ කිසිවකුත් හාන්කවිසියක්‌වත් නොදැන සිටීමය.

⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆

"ඔහොම මහ විශ්වකර්ම වේගයකින් යන්ඩ එන්ඩ පුළුවන් මේ ලෝකේ එකම ජගතා තමයි සුරනිමලයා......"

තමා සමඟ රාත්‍රි ආහාර ගනිමින් මහ ගමගෙය තුළ සිටින ගාමණි අබයගේ මුහුණ ඉතාම පරික්‍ෂාකාරීව බලමින් මහ ගමරාළ කීවේ මහ හඬිනි.

ගුත්තා නමැති හදිසියේ කඩාපාත්වූ අමුතුම තරුණයකු පිළිබඳව ගම මහගේත් කළුමැණිකේත් ගෙනා තොරතුරු ගමරාළ තුළ පහළ කළේ කුතුහලයක්‌ පමණක්‌ නොවේ.

කලක්‌ තිස්‌සේ ඔහු තම වැඩකටයුතුවල සහායට තමන්ගේම කියා තරුණයෙක්‌ සොයමින් සිටියේය. ගමේ කා සමඟත් ගමරාළ ඉතා සමීපව ඇසුරු කළ නමුදු තම වහළය යට තබා ගැනීමට තරම් ඔහු සිත්ගත් එකදු තරුණයකු ගමේ සිටියේ නැත. පියවි ඇසින් දකින්නට පෙරම ගම හාමිනේ විස්‌තර කළ තරුණයාගේ දේහ ලක්‍ෂණ ඔහු තදින්ම සිත්ගත්තේය.

මේ කරන විස්‌තරයට අනුව ඔහු කාගේ නිවසකින් පළා එන්නකු වුවද, සුවිශේෂ ගුණාංග සංගත මිනිසකු විය යුතු යැයි මහ ගමරාළ කල්පනා කළේ සිය කම්බස්‌ කෝටුවෙන් සෙමෙන් වසු දරුවන්ට තලන අතරමය.

පියාණන් විසින් හිද්දලයා යනුවෙන් නම් කරනු ලැබූ අපූරු තරුණයා පිළිබඳව තම නැගණිය වූ රන්මැණිකේට වැඩිදුරටත් විස්‌තර කරනු ලැබුයේ කළුමැණිකේ විසිනි. මේ වැඩිදුර විස්‌තරය තුළ වැඩිදුර යන කතාවක්‌ ද තිබිණි.

"අක්‌කණ්‌ඩිගෙ වැරැද්ද ඉතිං කෙනෙක්‌ව දැකපු පමණින්ම ඒ කෙනා ගැන හිත යන එක තමයි.........."

කළු මැණිකේ තුළ පවත්නා උද්දාමයට සමච්චල් කරමින් රන්මැණිකේ කීවාය.

"මගෙ හිත ගියා නෙවෙයි මං හිතන්නෙ, එයාගෙ හිත මගෙ ළඟට ආවා"

කළු මැණිකේ කීවේ තරමක්‌ නොරිස්‌සුම් ස්‌වරයකිනි.

"ආවා නං ඉතිං ආව විදිහටම හිතට ආපහු යන්න කියන්නේ නැතුව මොන එහෙකට ද පැල පදියම් කොර ගත්තෙ"

"කවුද පැල පදියම් කර ගත්තෙ........." 

කළුමැණිකේ මෙතෙක්‌ තමන් උච්චාරණය නොකළ ස්‌වරයකින් හඬ අවදිකරමින් කීවාය.

"...........ඒ මිනිහා ආදරයෙන් හාමත් වෙලා හිටියෙ. මම ඔහුට ආදර කැඳ ටිකක්‌ දුන්නා...."

කළු මැණිකේ ගේ සරදමින් පුංචි මැණිකේ නැඟු සිනහව මුළු මහත් රක්‌ගල කුඹුරුයාය පුරාම පැතිරී ගිය අතර එය නතර කෙරුණේ ගම මහගේ ගේ තර්ජනාංගුලියෙනි.

සිනහව නතර කෙරුණ ද යුවතියෝ තම රහස්‌ බස්‌ දෙඩුම නතර නොකළෝය.

"ඒ වුණාට අක්‌කණ්‌ඩි දැන් පිංගුවා අය්යණ්‌ඩිට මොකද කියන්නේ?"

"ඒක නං ප්‍රශ්නයක්‌ තමයි..........." 

කළු මැණිකේ බෙහෙවින් කල්පනාභරිත වූවාය. අනතුරුව බොහොම සෙමෙන් මෙසේ කීවාය.

"......අපේ වැරැද්ද තමයි ටිකක්‌ අහංකාර කමට ඉන්නේ නැතුව කවුරු හරි අඬපු හැටියේ කඳුළු පිහිදන්න යන එක, අන්තිමට නියම අයිතිකාරයා අපව හොයාගෙන එනකොට අපි වෙන කාටහරි අයිතිවෙලා"

දුටු සැණින් හිද්දලයා පිළිබඳව හිත වැටුණු කළු මැණිකේ ද, ඔහු පිළිබඳව මනා කුතුහලයකින් යුත් රන් මැණිකේ ද, තමන්ටම කියා කීකරු ගෝලයකු, අන්තේවාසිකයකු සොයමින් වෙහෙසුණු මහ ගමරාළ ද, වටහාගත නොහැකි පුත්‍ර ස්‌නේහයකින් මඩනා ලද ගම හාමිනේ ද දැන් ඒ හිද්දලයා සමඟ රාත්‍රි ආහාර ගනිමින් සිටින්නෝය.

ගමරාළ විසින් සපයන ලද උණුසුම්, වියළි, පිරිසිදු අළුත් ඇඳුමකින් සැරසී සිටින හිද්දලයා ද ඔවුන් සමඟ දැන් සුළු ප්‍රමාණයක්‌ වෙන්නට ආහාර ගනිමින් සිටියි.

සුරනිමල ගැන බොහෝ දේ කියූ මහගමරාළ අන්තිමේදී ගාමණි අබය දෙසට හැරී මෙසේ ඇසුවේය.

"හිද්දලයා, උඹ දන්නවාද සුරනිමලයාව?"

ගාමණි තමන් එවැන්නෙක්‌ නොදන්නා බව දැක්‌වීමට හිස දෙපසට වැනුවේය.

ගමරාළට තරමක්‌ කේන්ති ගියේය.

"ඈ යකෝ මොකෙක්‌ද උඹ? උඹ මේ ලෝකෙ දෙයක්‌ දන්නේ නැති ඉලංදාරියෙක්‌ නෙ. සුරනිමල කියන්නේ ගාමණි අබය කුමාරයාට ඉන්නව කියන යෝධයෙක්‌. අතක්‌ මේ තරම් ඇති, කකුලක්‌ ඇති උඹ තරම්, ආයෙ මහමේරුවට යන්නට කීවත් ගිහින් දවසෙන් එනවලු......"

ගාමණි තමන් විශ්මයට පත්වූ බව පෙන්වීමේ ඉංගිතයක්‌ පමණක්‌ පළ කළේය.

"අපෙත් නෑයෝ" 

ගමහාමිනේ කීවේ ආඩම්බරයෙනි.

රන් මැණිකේත්, කළු මැණිකේත් එකිනෙකා දෙස බලා නිහඬවම සිනාසුනහ.

"ගාමණී කුමාරයා ගැන කීවත් අම්මා කියයි අපේ නෑදෑයෝ කියලා....." 

රන්මැණිකේ කළු මැණිකේගේ කණට කෙඳුරුවාය.

"අනේ ඒ නෑකමෙන් කාරියක්‌ නෑ......."

ගමරාළ නොසතුටකින් මෙන් කීවේය. අනතුරුව ඔහු ඉතාම හෘදයාංගම ස්‌වරයකින් හිද්දලයාට මෙසේ කීවේය.

"දෙමව්පියෝ නැත කියලා ආයෙ ඉබාගාතේ යන්නට උවමනා නැහැ. බතක්‌, බුලතක්‌ කරගෙන ඔන්න ඔහේ මෙහාට වෙලා ඉඳපං"

රන්මැණිකේ, කළු මැණිකේ වේගයෙන් කෙනිත්තුවාය.

⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆

"දුෂ්ට ගාමණී පළාගිහින්"

භට්‌ටාර කීවේ මැඬගත් උද්වේගයකිනි.

"කවුද දුෂ්ට ගාමණී?"

එළාර විමසුවේ භට්‌ටාර මේ සඳහන් කරන්නේ කවුරුන් පිළිබඳවද යන්න නොදැන නොවේ,

'දුෂ්ට' යනුවෙන් භට්‌ටාර භාවිතා කළ විශේෂණය පිළිබඳව වූ කුහුල නිසාවෙනි. 

මාගම රාජධානියේ රාජකීය චරිත අතරින් තමන්ට අතිශයින් පසමිතුරු චරිතය ගාමණී අබය බව එළාර විසින් හඳුනා ගනු ලැබූයේ ගාමණී අබය ඉපදෙන්නටත් පෙරය.

එළාරට අනුව ගාමණී අබය යනු ඔහුගේ පෞද්ගලික සතුරකුගේ නාමයක්‌ වූයේ නොවේ. එය ඔහුගේ දේශපාලනයට මුළුමනින්ම පසමිතුරු දේශපාලන සම්ප්‍රදායක නාමය විය. එය ඔහුගේ රාජ්‍යසව්‍යාජයට මුළුමනින්ම ප්‍රතිවිරුද්ධ රාජ්‍ය සම්ප්‍රදායක නාමය විය.

තමා පූර්ණ පාලකයකුය යන වගට සැකයක්‌ එළාරට තිබුණේ නැත. එහෙත්, තමා පූර්ණ රජෙක්‌ නොවේ යෑයි හැඟීමක්‌ හැමවිටම ඔහු තුළ පැවතියේය. පූර්ණ රජකු බවට පත්වීමට නම් රාජ්‍යය කිසිදු සැක සංකාවකින් තොරව තම සිහසුනට යටත් බල ප්‍රදේශයකට අයත් එකක්‌ විය යුතුය යන නිවැරදි කණස්‌සල්ලෙන් ඔහු පෙළුණේය. රජරට රාජ්‍යය එළාරට කිසිදු සැක සංකාවකින් තොර අනවදානම් බලප්‍රදේශයක්‌ වූයේ නැත. තමාත් භට්‌ටාරත් ඇතුළු බුද්ධි මණ්‌ඩලයක ශූර අවධානයත් සුපරික්‌ෂාකාරී බවත් නොතිබෙන්නට එය ඕනෑම කාලයක මාගම රාජ්‍යය තුළ ගිලීයන්නට ඉඩකඩ තිබිණි.

ඔහු ප්‍රාර්ථනා කළේ ඔහු දැන සිටි මහා රජතුමා වූ කාලිංගයේ ඛාරවේල සතු අන්දමේ රාජ්‍යයකි. සමස්‌තයම තම අණසක යටතේ පවත්නා භූමියකි. පරිණත රාජ්‍යයක්‌ වන්නේ එබඳු රාජ්‍යයක්‌ය යන්න එළාරගේ ඇදහීම විය. 

එසේම, පරිණත රාජ්‍යයක්‌ යනු විශ්මය ජනක ද්වන්ද ශරීරයක්‌ බවද ඔහු හොඳින්ම දැන සිටියේය.

ඒ මෙසේය,

මේ ලෝකයේ සියලුම රාජ්‍යයන් ලෞකික විය. එහෙත්, ඒ සියලුම ලෞකික රාජ්‍යයන්ගේ පදනම වූයේ අලෞකික දර්ශණයකි. එළාර හඳුනාගන්නා සිංහල රාජ්‍යය ද ඊට වෙනස්‌ වූයේ නොවේ. එහෙත්, සිංහල රාජ්‍යය අනුදකින අලෞකික දර්ශණය අතරද, ඔහු දන්නා වෙනත් ඕනෑම අලෞකික දර්ශණයක්‌ අතර ද මහත් වෙනසක්‌ පැවතිණි.

සිංහලයෝ සියලු දේ අනිත්‍ය යැයි විශ්වාස කළෝය.

එසේම දෙව් බව තබා මිනිස්‌ බවවත් ඔවුන්ගේ අවසාන ප්‍රාර්ථනාව නොවීය. ඔවුහු නිර්වාණය නමැති සියල්ලම අහෝසි කෙරෙන සුවිශේෂ තත්ත්වයක්‌ විශ්වාස කළෝ වූහ. එහෙයින්, මැරෙන ඉපදෙන බව පිළිගත් වෙනත් ඕනෑම දර්ශණයක්‌ ඇදහූවන්ට වඩා ඔවුහු අමුතුම සත්ත්ව පිරිසක්‌ වූහ.

පැවැත්ම අහෝසි කොට ගැනීම යන කාරණය ඇතැම්විට තමන්ට නොපෙනෙන දුරක පවතින්නක්‌ වුවද, ඒ කෙරෙහි නිසැකවම එල්බගෙන සිටීම මගින් ඔවුහු ඊට අදාළ දිවි පෙවතක්‌ ද, සංස්‌කෘතියක්‌ ද, ශිෂ්ටාචාරයක්‌ ද ගොඩනගා ගත්හ.

ඒ නව සංස්‌කෘතිය සහ ශිෂ්ටාචාරය රැක ගැනීමට අදාළ රාජ්‍යයත්, රාජ්‍ය සම්ප්‍රදායත් ගොඩනැඟුවෝ අසේලලාගේ මුත්තනුවන් වූ දේවානම්පියතිස්‌ස මහ රජ්ජුරුවෝය.

සේන - ගුත්තිකලා සේම තමන්ද මැද්දට පැන ඛණ්‌ඩනය කරන්නට උත්සාහ කළේ ඒ සම්ප්‍රදාය බව ඔහුට අමතක නැත. ඒ සම්ප්‍රදාය මුලිනුපුටා නොදමා මේ මනරම් භූමිය, මහා වෙළෙඳ තොටමුණ මුළුමනින්ම අත්පත්කොට ගත නොහැකි බව එළාර හොඳින් ප්‍රත්‍යක්‌ෂ කළ කරුණක්‌ විය.

අධිෂ්ඨානශීලි බුද්ධිමත් මිනිසකු වූ ඔහු තම ඉක්‌මන්කාර දේශපාලන සගයන්ට වඩා හැමවිටම දුරදිග බලන්නකු විය.

එහි ප්‍රතිඵලය වශයෙන් තමාට එරෙහි කිසිදු ප්‍රතිවිරෝධයක්‌ තම රජරට රාජ්‍ය බල ප්‍රදේශය තුළ ඔහු විසින් නිර්මාණය කොට නොගන්නා ලද්දේය.

යම් දිනෙක මුළු දිවයිනම වසඟයට ගෙන, තම ඥති හිතවතුන් සහිත ජම්බුද්වීප දක්‌ෂිණ පථයේ රාජ්‍යන් සමඟ සහජීවනයෙන් වාසය කිරීම ඔහුගේ එකම ප්‍රාර්ථනය විය.

එහෙත්, ඒ සඳහා ඔහු යුද වැදිය යුතු වූයේ සතුරු ආයුධ සහ සතුරු මිනිසුන් සමඟ පමණක්‌ නොවීමය, ඔහුට තිබුණු ප්‍රශ්නය.

ඔහුට ශිෂ්ටාචාරයක්‌ සමඟ ද, සංස්‌කෘතියක්‌ සමඟ ද ඒ මතින් අනුප්‍රාණය ලැබූ සිතිවිලි අවකාශයක්‌ සමඟ ද සටන් කරන්නට සිදුවිණි.

ගාමණී අබය යනු ඒ සියල්ලේ නියෝජනය විය.

සත්‍ය වශයෙන්ම මේ බලවේගවලට විරුද්ධව සටන් කරන්නන් විසින් ගාමණී අබය, දුෂ්ට ගාමණී වශයෙන් නම් කළ යුතු වූයේ මීට පෙර නොවේ දැයි එළාර කල්පනා කළේය.

"කාවන්තිස්‌ස රජතුමා මේ හිතුවක්‌කාර මිනිසා සමඟ කොයිතරම් කෝපයකින් සිටිනවා ද කියනවා නම්, ඔහු තමා කියා තිබෙන්නෙ, ඔහු දුෂ්ට ගාමණී කියල..."

"කෝපයට පත් පියෙක්‌ තම පුතාට බැණ වැදුණු වදනකින් අපට තිබෙන ප්‍රයෝජනය මොකක්‌ද?"

එළාර තම සුපුරුදු සන්සුන් භාවයෙන යුතුවම විමසුවේය.

"මේ රජරට රාජ්‍යයේ සිටින සමහරුන් තුළත් ගාමණි අබය පිළිබඳව තිබෙන ගෞරවය ආදරය ඔබ දන්නේ නැහැ..."

"හොඳයි, සියල්ල දන්නා ඔබ මට කියනු විෂ්ණු ගුප්ත.............."

මෙතෙක්‌ භට්‌ටාරට පිටුපා සිටි එළාර රජ්ජුරුවෝ මඳ කෝපයකින් යුක්‌තව ද ඉක්‌මන් විලාශයකින් යුක්‌තව ද භට්‌ටාර ඉදිරියට හැරුණාහ.

".........ගාමණී අබය, දුෂ්ට ගාමණී යෑයි නාම ගැන්වීමෙන් ඒ ගෞරවය, ආදරය මැඬලිය හැකිද?"

"ඇයි බැරි, ඔබ ධාර්මික එළාර ඔහු දුෂ්ට ගාමණී"

සිංහල රාජ්‍යයේ සැඟවුණු සහ බිහිසුණු සිතිවිලි අවකාශයට විෂ පෙවූ සුළඟක්‌ යවන සැටි ද, එය ගම් නියම්ගම් සිසාරා යන සැටි මතු නොව කාලය සිසාරා යන සැටි ද නරඹමින් මොහොතක්‌ ගතකළ එළාර භට්‌ටාරට මෙසේ කීවේය.

"එය ප්‍රයෝජනවත් භට්‌ටාර, එය ප්‍රයෝජනවත්..."

එළාර ගේ ප්‍රශංසාව ගණනකට නොගත් භට්‌ටාර මාගම රාජ්‍යය අරභයා වන තමා සතු තොරතුරු එළාර හමුවේ තවදුරටත් ඉදිරිපත් කළේය.

"අමාත්‍ය මහානන්ද චරපුරුෂයකු අත වැදගත් තොරතුරක්‌ එවා තිබුණා"

"පවසන්න"

"ඔවුන් විශ්වාස කරන්නේ දුෂ්ටගාමණී ජම්බුද්වීපයට පළාගොස්‌ ඇති බවයි"

"දක්‌ෂිණ පථයට නම් වෙන්න බැහැ. එහි සියලුම රාජ්‍යයන් සමඟ අප පවත්වන සබඳකම් ඔහු දන්නවා"


⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆

වර්ෂ 2010 මැයි මස නවවන ඉරිදා, දිවයින ඉරිදා සංග්‍රහයෙන් උපුටාගත් මෙම මහරජ ගැමුණු සිනමා තිර රචනයේ නවකතා පරිවර්තනය දහසය වන කොටස ක්‍රි.ව. 2016 ක් වූ දෙසැම්බර් මස විසි හතර වන දින පූජිත විසින් සටහන් කරන වගයි...

No comments:

Post a Comment