Monday, 26 December 2016

21 කොටස - කතී

"අන්න අපේ මහ ගොවිරාළ ගොඩ ගියා. අපිත් යමු එහෙ නං"

ගොවියෙක්‌ කීවේය.

දැනට කලක පටන් ගොවියන් විසින් හිද්දලයා අමතනු ලබන්නේ මහ ගොවිරාළ වශයෙනි. සාමාන්‍යයෙන් ඉතාම ශූර ගොවියකුට වුවත් ගැමියන් ලෙහෙසියකට 'මහ ගොවිරාළ' යන ගෞරව අභිධානය පිරිනමන්නේ නැත. 'මහ ගොවිරාළ' යනු ගොවියන්ගේ නොනිල නායකයාය. බිම් නැඟීමේ පටන් කුඹුරු ගොවිතැනට අදාළ සියළු කටයුතුවල විශාරද භාවය ද ඒ විශාරද භාවය තුළින් මතු කෙරෙන පෞරුෂය ද විසින් පමණක්‌ම ගොවි බිමේදී නායකයන් බිහිකරනු ලැබේ.

කුඩා සාලිය කරමත තබාගත් හිද්දලයා, සාලිය ලුහුබැඳ පැමිණි රන්මැණිකේ ද සමඟ ගම හාමිනේ ඇතුළු ගැමි කාන්තාවන් රාසියක්‌ විසින් ඇඹුල සුදානම් කෙරෙමින් තිබෙන මහ නුගය යටට ගියේය.

එතැන බිම ඇණ තබා වාඩිවී සිටින මහ ගමරාළ දුටු සැණින් සාලිය, හිද්දලයා තුරුලෙන් බිමට පැන මහ ගමරාළගේ පිටුපසින් දිවැවිත් ඔහුගේ කරේ නැංගේය.

"අප්පච්චියේ මෙහෙම හුරතලයක්‌............." 

කී මහ ගමරාළ තම මුණුබුරු සිඟිත්තා කරින්ගෙන නැගී සිටින අතර රන්මැණිකේ හිද්දලයාට සුපුරුදු පැන් කොතලය පිරිනැමුවාය.

හිද්දලයා හිස උඩට හරවා පැන් කොතලයෙන් මුවට පැන් වත්කර ගත්තේය. ඇඹුල අනුභව කිරීම සඳහා වෙනත් අය රැස්‌වනතුරු එසේ කිරීම ඔහුගේ සිරිතය.

එහෙත්, අද ඒ සිරිත අනුගමනය කිරීමට නොහැකිවන තරමටම, කිසිදිනෙක සිදු නොවූ පරිද්දෙන් ජලය හිද්දලයාගේ ඉස්‌පොල්ලේ ගියේය. දැවී ගිය නාසයෙන්ද, වළක්‌වාගත නොහැකි කැස්‌සකින්ද පීඩා විඳි හිද්දලයාගේ දෙනෙත්වලින් කඳුළු ද පැන තිබිණි.

⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆

බලවත් අප්‍රාණික තත්ත්වයේ පසුවූ කාවන්තිස්‌ස රජ්ජුරුවන් අතින් වෙදැදුරා පිරිනමා තිබූ බෙහෙත් කුසලානය බිම වැටිණ.

එය, ඒ තුළ තිබූ බෙහෙත් ද්‍රාවණය හැමතැනම විසිරුවමින් පෙරළී ගියේය.

වහාම ඉදිරියට නැඹුරු වූ විහාර මහා දේවිය විසින් රජු වත්තම් කරගනු ලැබිණි.

රජුගේ යහන් ගබඩාව තුළ සහ ඒ අසල පිරී සිටින අමාත්‍යවරු ද, වෙදැදුරෝ ද බ්‍රාහ්මණයෝ ද මහාසිව මහාස්‌ථවීරයන් ඇතුළු භික්‌ෂූන් වහන්සේ ද නිහඬවම සිටියහ.

ඒ නිහැඬියාව එතැන සිටි සියල්ලන් නොසන්සුන් කළ නිහැඬියාවක්‌ විය.

රජ්ජුරුවෝ ඒ උමතු නිහඬ බවින් මුසපත් නොවූහ.

ඔහු තම සිත යම් සමාධියක පිහිටුවා ගැනීමට උත්සාහ කරමින් සිටියේය.

ඊට අත්‍යන්ත සහායක්‌ වෙමින් මහාසිව මහාස්‌ථවීරයෝ පිරිත් සඡ්ඣායනයක්‌ ආරම්භ කළහ. ඊට සවන්දී සිටි කාවන්තිස්‌ස රජුට වැඩිවෙලා නොගොසින්ම මහත් චිත්ත ඒකාග්‍රතාවකට පැමිණෙනු හැකි විය.

ඒ සමාධි ගතවූ සිතින් ඔහු බොහෝ දේ අත්හළේය. ප්‍රථමයෙන්ම ඒ රජකු වශයෙන් ඔහු තුළ පැවැති දේශපාලන මමායනය විය. දෙවැනිව ඒ මනුෂ්‍යකු වශයෙන් ඔහු තුළ පැවැති මමායනය විය.

ඒ අත්හල වහාම ඔහුට ඔහු පෙනිණි. ස්‌වසං විත්තියකින් ඔහු තමන්ටම සාවධානවී සිටියේය.

එහිදී, ඔහු දකින 'ඔහු' ශ්වේතවර්ණ වස්‌ත්‍රයකින් සැරසී සිටියේය. එහිදී, ඔහු දකින 'ඔහු' වටා සුදු පැහැති ආලෝකයක්‌ විය.

ඔහු කණගාටුවෙන් නොසිටියේය. ඔහු සතුටින්ද නොසිටියේය. එහෙත්, ඔහු මහත් සැහැල්ලුවකින් සිටියේය.

තව මොහොතකට පසු තමා නිමග්න වූ අන්තර් ව්‍යවර්ථනයෙන් මිදුණු රජ්ජුරුවෝ හිස ඔසොවා විහාර මහා දේවිය දෙස බැලුහ.

"දේවි........ග......ගාමණී...."

ඉහ අත් බැඳගත් අවට සිටියවුන් නැගූ විලාපය ඔහුට නෑසිණි.

⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆

සම්පූර්ණයෙන්ම ගොයම් කපා කොල ගොඩගසා ඇති මහා වෙල්යායේ කොල්ලෝ කුරුට්‌ටෝ විවිධ ක්‍රීඩාවල යෙදී සිටියහ.

ලියැදිවල කරල් ඇහිඳින කාන්තාවක්‌, දෙදෙනෙක්‌ද දැකිය හැකිවූ අතර මිනිසුන් සමහරෙක්‌ තන්හි තන්හි එළාගත් පැදුරු මත. මහත් විවේක සුවයක ආශ්වාදය භුක්‌ති විඳිමින් සිටියහ.

තම උකුල මත හි තබා තද නින්දක වෙලී සිටින හිද්දලයා දෙස මහත් සෙනෙහසින් බලමින් සිටින රන්මැණිකේ සෙමෙන් ඔහුගේ හිස අත ගෑවාය.

කුඩා සාලිය ද ඒ අසලම තනිවම ක්‍රීඩා කරමින් සිටියේය.

සාලිය හිද්දලයාගේ කපාපු පළුවක්‌ යැයි යන ගැමියන්ගේ කීම කෙතරම් නම් සත්‍යයක්‌ දැයි රන්මැණිකේට මේ දැන්ද සිතිණ.

සියළුම වෙල්යායන් හි දැන් ගොයම් කපා අවසන්ව ඇතත් ඇතැම් වෙල්යායකට තවම ගොයම් උප්පිඩි කරන දවස (ගොයම් මිටි ඇදීම කරන දවස) උදාවී නැත. එහි තේරුම තවම ඒ සඳහා සමහරකුගේ නැකත උදාවී නැත යන්න මිස අනෙකක්‌ නොවේ.

ඒ අතරතුර ලබන අදිසි විවේකය වෙල්යායන් හරහා හමා එන සීතල සුළඟ ආස්‌වාදය කරමින් හා නිදහසේ ඔහේ ගතවෙන්නට හරිමින්, ගොයම් කැපුණු තම කුඹුරුවල ලැග සිටින්නට බොහෝ ගොවියෝ කැමතියහ.

හදිසියේම කොල්ලෝ කුරුට්‌ටෝ ද ගම්වාසීහු ද මහ කලබලයකින් මෙන් වෙල්යාය හරහා පුසුල්පිටිය විහාරය පැත්තට දිව ගියහ.

මාස්‌වෙල අග්ගහකැලේ හරහා ගම්මානයට පැමිණෙන එක්‌ මාර්ගයක්‌ වැටී තිබුණේ පුසුල්පිටිය විහාරය අසලිනි.

කළු මැණිකේ ද තම දරු දෙදෙනා රැගෙන සෙස්‌සන් පසුපස දිවයමින් සිටියාය. ඒ රන්මැණිකේ සිටි තැනට නුදුරිණි.

"අක්‌කණ්‌ඩි මොකද මේ කලබලේ ?"

රන්මැණිකේ ඇසුවාය.

"ගම්පැත්තට පෙරහැරක්‌ එනවලු"

කළු මැණිකේ කීවේ නොනැවතී දිවයන අතරමය.

"පෙරහැරක්‌ ?"

රන්මැණිකේ තමන්ටම කොඳුරා ගත්තාය.

කොත්මලා නිම්නයේ ඇතැම් රජමහා විහාරයක පුන්‍යකර්ම මහෝත්සවයන් පවත්වන අවස්‌ථාවල ධාතුන් වහන්සේලා වැඩමවන පෙරහැර ඇය දැක තිබේ.

එහෙත්, ඒ සාමාන්‍යයෙන් රාත්‍රි කාලයේය. මේ සවස්‌ කාලයේ පුසුල්පිටිය විහාරය පැත්තට පැමිණෙන පෙරහැර කුමක්‌ විය හැකිද?

රන්මැණිකේ හිද්දලයාගේ සවන් පතක්‌ වෙතට වඩාත් නැඹුරු වූවාය.

"මේ ඇහුණද ?"

"ම්.....ම්..."

නින්දෙන් අවදිවනු අකමැති හිද්දලයා කෙඳිරි ගෑවේය.

"ගමට පෙරහැරක්‌ එනවලු, අපිත් යමුද බලන්න"

හිද්දලයාට ඒ පිළිබඳව නිනව්වක්‌ නැත. ඔහු එවර හොඳටම හරිබරි ගැසී නිදාගත්තේය.

තවත් ගැමියන් රොත්තක්‌ එතැනින් දිව යමින් සිටියහ.

"ඒයි හිද්දලයා මහ ගොවිරාල, මොකද උඹල යන්නේ නැද්ද පෙරහැර බලන්න ?"

"රන්මැණිකේ, අශ්වයොත් එනවලු බං"

"රාජකීය පෙරහැරක්‌ලු"

එසේ දිවයන්නෝ ඔවුන් අමතා කීහ. එහෙත්, සෙලවුණේ හිද්දලයා නොවේ.

කටකාර කුරුම්බියා දිව ගියේ අවසානයටය.

"මැණිකේ මේ පැත්තටලු පෙරහැර එන්නේ, නැගිටල වරෙන් උඹලගෙ මිනිහව රජකමට ගන්ඩ වත්ද දන්නේ නෑ...."

කුරුමිබියගේ ඝාණ්‌ඨාරයක්‌ බඳු කටහඬ නිසා හෝ ඈ කිව් 'කට කැඩුණු කතාව' නිසා හෝ හිද්දලයාගේ නින්ද කැඩිණි.

රන් මැණිකේ ඒ අවසරයෙන් හිද්දලයා ඇමතුවාය.

"හැමෝම යනවා, අපිත් යමුද? අශ්වයොත් එනවලු, පොඩි එකාට අශ්වයො පෙන්වන්නත් හැකිනේ........"

"අශ්වයෝ......?"

සිරුරේ තෙහෙට්‌ටුව පිස දමන කදිම නින්දේ යළිත් වෙළෙනු රිසි හිද්දලයා පළා යැමට සැරසෙන නිදි දෙව්දුවගේ සුරතින් අල්ලා ගන්නා ආකාරයට රන්මැණිකේ ගේ සුරත අල්ලා ගනිමින් ද යළි නින්දට වැදෙමින්ද විචාලේය.

"ඔව් පෙරහැරක්‌ලු........අශ්වයොත් එනවලු..........ඒක රජ පෙරහැරක්‌ලු........අනේ අපිත් යමුද ඒක බලන්න"

රන්මැණිකේ තම අවසන් වැකි ප්‍රකාශ කරන විට හිද්දලයා සියළු ආකාරයෙන්ම අවදිවී සිටියේය.

එහෙත්, කුඩා සාමනේර භික්‍ෂුවකගේ සිවුරක නැවුම් පඬූ පුසුඹකින් ඔහු නැහැය කිතිකැවීයැම වළක්‌වන්නට ඒ අවදිවීම සමත්වූයේ නැත.

"කතී යන්ඩ මේ දරුවත් එක්‌ක"

ගාමණී ඉතා මුදු ලෙස රන් මැණිකේට කීවේය.

රන්මැණිකේ නැගිට සාලිය වෙතට ගොස්‌ ඔහුද රැගෙන පැමිණ යළි පැදුරේම වාඩිවූවාය.

"අර මොකද ?"

හිද්දලයා ඇසුවේය.

"එහෙනං, මටත් ඕන ඇති පෙරහැරක්‌ නෑ"

හිද්දලයා කිසියම් මවිතයකින් මෙන් රන්මැණිකේ දෙසත් සාලිය දෙසත් බලාසිටියේය. අනතුරුව මහත් සෙනෙහසින් යුතුව ඔවුන් දෙදෙනා වැළඳ ගත්තේය.

⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆

ඔබ පෙරහැර බලන්නට නොගිය හොත් පෙරහැර ඔබ බලන්නට ඔබ ළඟට පැමිණෙන්නේ යැයි කතාවක්‌ ගැමියන් අතර නැත.

එහෙත්, ගැමියන් මවිතයෙන් මවිතයට පත්කරමින් පෙරහැර ගැමියන් ළඟට පැමිණුනා පමණක්‌ නොව ගැමියන්ගේ දෙපා අතරින් රිංගා යතුරු ගැහූ ලියද්ද වෙතටද පැමිණියේය.

එහි අර්ධයකටත් වඩා වැඩි කොටසක්‌ වෙල්යාය අසල මාර්ගයේ නතරව තිබු අතර, ඉතිරි කොටස කෙහෙල්වල, උඩුවක, දෝවිට, මඩකුඹුර, වීරපහුලෑව, දුනුකේදෙණිය, කුරුම්පිටිය වැනි ප්‍රදේශවල ග්‍රාමණී වරුන්ද, කොටගේපිටිය ගම් ප්‍රධානියාවූ ඌරුපැළැස්‌සේ මහගමරාළද පිරිවරාගෙන යතුරුගැහූ ලියද්දේ ගොයම් කඳුවලටද හානියක්‌ නොවන පරිද්දෙන් ඉදිරියට පැමිණෙමින් තිබුණේය.

වරින් වර සිහි විසඥවෙමින් වැටෙන ඌරුපැළැස්‌සේ මහගමරාළ වත්කම් කොට ගැනීමටත්, අවශ්‍ය ප්‍රථමාධාර වරින්වර ලබාදීමටත් යොදවන ලද රාජ්‍ය සුළු අතවැසියන් දෙදෙනෙක්‌ද ඒ සමගම විය.

නන්දිමිත්‍ර, සුරනිමල වේළුසුමන ඇතුළු සියලුම දසමහා සෙනෙවිවරුන් පිරිවරාගත් සහ සුවිශ්ෂ රාජාභරණවලින් සැරසුණු සන්නද්ධ සේනාංකයක්‌, ඉදිරියෙන්ම පැමිණි අමාත්‍යවරුන් ඇතුළු රාජ්‍ය නිළධාරීන්ට පසු පසින් විය.

මේ කිසිවක්‌ ගණනකට නොගෙන තවමත් තමන් සමඟ පැදුරේ වාඩිවී සිටින හිද්දලයා දෙස බැලු රන්මැණිකේ දස වැනි වරටත් මෙසේ කීවාය.

"අනේ දුවමු"

"දැන් ඉතින් මට තවත් දිවගොස්‌ බේරෙන්න විදිහක්‌ නැති හැඩයි කතී"

රන්මැණිකේත් සාලියත් අධික බියකින් සළිතව හිද්දලයාගේ සිරුරේ එල්ලී සිටියහ.

ප්‍රථමයෙන්ම හිද්දලයා වෙතට දිව පැමිණි මහ ගමරාළ ඔහු ඉදිරියේ දොහොත් මුදුන්දී වැඳ වැටුණේය.

එහෙත්, ඔහුට යමක්‌ ප්‍රකාශ කළ නොහැකිවූයේ ඔහු ඒ සමඟම යළිත් සිහි විසඥවූ නිසාය.

"අප්පච්චි ගැන බලන්න" 

හිද්දලයා කිසිදු වෙනසක්‌ නොවූ හඬකින් රන්මැණිකේට ප්‍රකාශ කළ මුත් මුසපත්වී සිටි ඇයට එය ඇසුණේ නැත.

ඊළඟ මොහොතේ, පැමිණි මුළු පිරිසම හිද්දලයා ඉදිරියේ දණ ගැසූහ.

අනතුරුව නැගී සිටි විවිධ රාජ්‍ය නිලධාරීහු තම අනාගත රජු අබියස තමන් විසින් සම්ප්‍රදායිකව අනුගමනය කළයුතු සියළු පුරස්‌ක්‍රියා (මූලික චාරිත්‍ර) දැක්‌වූහ.

ගාමණී අබය ඉදිරියට ඉන් පසුව පැමිණියේ නන්දිමිත්‍රය.

"........ දේවයන් වහන්ස, සිංහල රාජ්‍ය විසින් නොකඩවා පවත්වාගෙන එනු ලබන චාරිත්‍ර වාරිත්‍ර ප්‍රකාර ඔබ වහන්සේට මෙසේ දැනුම් දීමට අපට සිදුවී තිබේ, මාගම රාජධානිය ඔබ වහන්සේගේ පැමිණීම බලා සිටියි. ඉවසා වදාරන්න ගාමණී අබය මහ රජ්ජුරුවන් වහන්ස"

"මගේ පියා ?"

ගාමණී බිඳුණු හඬින් විමසීය.

"උන්වහන්සේ නිවන් පුරට යන මඟට සැපත් වුණා........"

ගාමණී අබය නැගී සිටියේය. සාලිය ඔහුගේ දෙපා තරයේ වැළඳ සිටි අතර රන්මැණිකේ තවමත් හුන්තැනම හිඳ හිස පහතට නවා සිටියාය.

කඳුළු පිරුණු දෙනෙත්වලින් යුතුව සියල්ලන් සිසාරා බැලූ ගාමණී අබය කුමාරයෝ මෙසේ කීහ.

"ඒ මගේ පියා විතරක්‌ නොවෙයි, ඒ මගේ මුත්තාත්, මුත්තාගේ මුත්තාත් මගේ මුළු පරම්පරාවත් යන සියල්ලයි.........."

"එසේය, මහරජ තුමනි" 

එතැන සිටි අමාත්‍යවරු කිහිප දෙනෙක්‌ම පිළිවදන් දුන්හ.

සියල්ලෝම ඊළඟට කුමක්‌ වන්නේ දැයි ගල්ගැසී බලා සිටියහ.

මෙතැන් පටන් සියල්ල තීරණය කරනු ලබන්නේ වැවුණු රැවුලෙන් සහ කඩා වැටුණු දිග කොණ්‌ඩයෙන් යුතු, මේ පුදුම ගොවියා විසිනි.

"තාකි"

ගාමණී අබය හිටි හැටියේම ඌරුපැලැස්‌සේ තම පැරණිම අහිතවතා සහ හිතවතා ඇමතුවේය.

ගොපල්ලා වෙව්ලමින් පැමිණ ගාමණීට ආචාර කළේය.

"නුඹගේ වස්‌ දණ්‌ඩ පිඹිනු"

තාකි වෙව්ලමින් එහෙත් මිහිරි ස්‌වර මවමින් වස්‌දණ්‌ඩ වාදනය කළේය. එහි තියුණු නාදය අවට සීතල කඳු මුදුන් සිසාරා, පැතිර ගියේය.

මඳ වේලාවක්‌ නිහඬව එයට සවන් දුන් ගාමණී අබය අනතුරුව තම දෑත් ඉහළට ඔසොවා සියළුම ගැමියන්ට ආචාර කළේය.

"නුඹලා මා රැක බලා ගත්තා විතරක්‌ නොවෙයි......." 

ඔහු කීවේය.

"..........නුඹලා මට ඉගැන්නුවා නායකයකු වන හැටි, නුඹලා මට ඉගැන්නුවා නායකයකු ජීවත්වන හැටි, නුඹලා මට ඉගැන්නුවා නායකයකු ඉගෙනගන්නා හැටි........."

අනතුරුව ඔහු, භීතියෙන් ත්‍රස්‌තව සිටින කළු මැණිකේ දෙසට හැරී මඳ සිනහවක්‌ පෑවේය.

"..........දෙවියනේ ආදරය මේ තරම් මිහිරි වේදනාවක්‌ කියා මට ඉගැන්වූයේ නුඹලායි, කුසගින්න ජීවයේ උත්පාදක ශක්‌තියක්‌ කියා මට ඉගැන්වූයේ නුඹලායි, එහෙත් මා දැන් නුඹලාගෙන් සමුගෙන යා යුතුයි. මම නුඹලාට නමස්‌කාර කරනවා, පින් දෙනවා......."

මිනිස්‌සු දරාගත නොහැකි ශෝකයෙන්ද ප්‍රීතියෙන්ද ඔල්වරසන් නැගුවෝය.

කුමරු අභියසට මනාව සරසන ලද දීඝථුනිකා වෙළඹ කැඳවාගෙන එනු ලැබිණි.

වෙළඹගේ මුහුණ ආදරයෙන් සිපගත් ගාමණී අබය ඇයගේ ගෙලට සෙමෙන් පහර කීපයක්‌ දී තමා ඇය පිටට නැගීමට සුදානම් බව දන්වා සිටියේය.

රන්මැණිකේ තවමත් මුහුණ බිමට හරවා ගෙන පැදුරේම වාඩිවී සිටියාය. සාලිය ද මෙවර ඇය වෙතට විත් ඇයට තුරුළුව සිටිනු පෙනිණි.

"පුතණ්‌ඩි..."

සියල්ලන්ගේම විශ්මයත් කුතුහලයත් මධ්‍යයේ ගාමණී තම අතිජාත පුත්‍රරත්නය ඇමතුවේය. අනතුරුව ඔහු වෙත තම සුරත දිගුකළ හේ තමා වෙතට පිම්මේ දිව ආ සුරතලා උඩට ඔසොවා වඩා ගත්තේය.

"කතී..."

අනතුරුව ගාමණී අබය විසින් අමතන ලද්දේ තම ගොවි භාර්යාවටය. ආදරයෙන් තමා බැඳ දැමූ සහ මෙහෙයවූ ගොවි ගැහැණියටය.

මෙතැනදී චාරිත්‍රමය අධිකාරය හිමි රාජ්‍ය නිලධාරීන් අතර යම් කසුකුසුවක්‌ මතුවිණි.

"කුමාරයාණන්ට අප උපදෙස්‌ දියයුතු බවයි මා හිතන්නේ, ක්‌ෂත්‍රිය කුමරියක්‌ මිස සාමාන්‍ය ගැහැණියක්‌ කොහොමද අභිෂේක කරන්නේ............"

"නෑ මං හිතන්නේ ඇය කැඳවන්නේ අන්තඃපුරයට විය හැකියි"

"එසේනම් කමක්‌ නෑ. නමුත් අමතක කරන්න එපා මොහු මහා හිතුවක්‌කාර මිනිහෙක්‌......."

අසම්පූර්ණවූත් රහසිගත වූත් රාජ්‍ය චාරිත්‍ර විධි පිළිබඳ මුණු මුනු මැද ගාමණී අබය කුමරුන් විසින් කතී ද සාලිය ද වෙළඹ පිට නංවා ගනු ලැබිණි.

".........මේ, අන්තඃපුරයට වෙන්ඩ බෑ. අන්තඃපුරයට මෙහෙම ගෙනියනවද?"

කම්පාවට පත්වූ රාජ්‍ය නිලධාරියකුට කියැවිණි.

ඔහුට ද වඩා කම්පාවූ අමාත්‍යවරයකු මේ පිළිබඳව නන්දිමිත්‍ර සෙනෙවියාගෙන් විමසා සිටියේය.

නන්දිමිත්‍ර කිසිවක්‌ නොකියා නිහඬව සිටි අතර අමාත්‍යවරයා ඔහු පසුපස යමින් යළිත් මෙසේ කීවේය.

"මනුස්‌සකම වෙනම දෙයක්‌, නමුත් රාජ චාරිත්‍ර වාරිත්‍ර වෙනම දෙයක්‌, විජය කුමාරයා කුවේණියව අතහැරියේ ද්වේශයට ද, නැහැ එතුමා ජම්බුද්වීපයෙන් කුමාරිකාවක්‌ ගෙනාවේ ද්වේශයට ද නැහැ, ඒ තමා රාජධර්ම, රාජ චාරිත්‍ර වාරිත්‍ර"

නන්දිමිත්‍ර මෙවර අමාත්‍යවරයා පසෙකට කැඳවා ඔහුගේ කණට කර මෙසේ කීවේය.

"නුදුරු දිනෙකම මේ අභිෂේක ලබන්න යන්නේ අපේ රජවරුන් අතරින් කෙනෙක්‌ නොවෙයි, රජවරුන්ගෙත් රජෙක්‌. ඔහුගේ මිනිස්‌කම ඔහුගේ රාජ ධර්මයයි, ඔහුගේ රාජ ධර්මය ඔහුගේ මිනිස්‌ කමයි.........."

නන්දිමිත්‍ර අනතුරුව කිසිවකුට නොදැනෙන සේ ද, තරමක්‌ රිදෙන සේ ද අමාත්‍යවරයාගේ බඩතුරෙන් අල්ලා මෙසේ කීවේය.

".............මින්පසු මෙබඳු උලව් ප්‍රශ්න මතුනොකිරීමට ඔබ වගබලාගත යුතුයි. කාලයක්‌ මගේ විනෝදාංශය මිනිසුන් දෙකට ඉරීම බව ඔබ මේ තරම් ඉක්‌මනින් අමතක නොකළ යුතුයි......."

"එසේයි.. එසේයි..."

ප්‍රකාශ කළ අමාත්‍යවරයෝ අනතුරුව සුපුරුදු තේජස්‌ලීලාවෙන් යුක්‌තවම පෙරහැරේ ගමන් කළහ.

⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆

වර්ෂ 2010 ජූනි මස දහතුන් වන ඉරිදා, දිවයින ඉරිදා සංග්‍රහයෙන් උපුටාගත් මෙම මහරජ ගැමුණු සිනමා තිර රචනයේ නවකතා පරිවර්තනය විසි එක් වන කොටස ක්‍රි.ව. 2016 ක් වූ දෙසැම්බර් මස විසි හය වන දින පූජිත විසින් සටහන් කරන වගයි...

No comments:

Post a comment