Thursday, 22 December 2016

07 කොටස - සතුරා සිහිනයක්‌ සේ පැමිණියහොත්..

"ඔබට වැරදුණා මිත්‍රයා!...."

මහළු අසේල රජු ඉතා අපහසුවෙන් වචන එකතු කරමින් කතා කළේය.

අන්තෝ ඉන්ද්‍රඛීලය නමින් හඳුන්වනු ලබන ඇතුළු පවුරේ එළිපත්ත ප්‍රදේශයේ කිසියම් තැනක ඔහු ඇද වැටි සිටියේය. පිහිටි රට සිංහල රාජ්‍යයේම ඇද වැටීම සනිටුහන් කරමින් සිය ගණනක්‌ සිංහල සෙබළු අන්තෝ ඉන්ද්‍රඛීලය පුරා ඇද වැටී සිටිය හ. එළාරගේ සේනාංක විසින් සියල්ල තමන්ගේ පාලනය යටතට පත්කොට තිබූ අතර යටත් නොවන්නන් ඝාතනය කෙරෙන හඬ ද, ඔවුන්ගේ විලාපදීම් සහ ශාප කිරීම් හඬ ද තවමත් නොකඩවා ඇසෙමින් තිබිණි.

කදායුදම් නමැති චෝල සෙනවියාගේ මාරක අසිපත් පහරින් සිදුවූ තුවාලයෙන් නොකඩවා ගලන රුධිරයෙන් තෙත්වූ තම පපු පෙදෙස දෙස මොහොතක්‌ බලා සිටි අසේල රජ්ජුරුවෝ, තමා ඉදිරියේ සිටින ඔහු තවමත් නොහඳුනන එළාර නමැති යුද නායකයාට යළිත් මෙසේ කියන්නෝය.

"ඔබට වැරදුණා යුද්ධයකට නුසුදානම් සාමකාමී මිනිසුන්ගේ රාජ්‍යයක්‌ ඉක්‌මනින්ම අත්පත්කොට ගැනීමේ සතුට ඔබ ඉහින් කණින් භුක්‌ති විඳින බව පෙනෙනවා. නමුත් මතක තබාගන්න මෙය ඔබට වැරදීමක්‌..."

"නැහැ මා හිතන්නේ නැහැ අපට වැරදීමක්‌ සිදුවුණා කියලා.."

එළාර ඉක්‌මනින්ම කීවේය. අනතුරුව වඩා සන්සුන් ලෙසත්. සිනාමුසුවත් මෙසේ කීවේය.

"රජතුමනි, ඔබලා මත්ස්‍ය න්‍යාය නොදැන සිටියාට අප කුමක්‌ කරන්නද? මෙය බලවතාට අයත් ලෝකයක්‌, මෙහි කුඩා මත්ස්‍යයා ලොකු මත්ස්‍යාගේ ගොදුරක්‌. ලොකු මත්ස්‍යා ඊටත් වඩා ලොකු මත්ස්‍යාගේ ගොදුරක්‌. ලොකු මත්ස්‍යා සංක්‍රමනිකයෙක්‌, මොකද ඔහුට ඔහු සිටින තැන හැමවිටම කුඩා වැඩියි."

"නමුත් මේ කුඩා මත්ස්‍යයෝ වෙනස්‌.." 

අසේල ද කෙසේ හෝ සිනාවක්‌ නඟාගනිමින් කීවේය.

".... ඇත්ත, මෙය සංක්‍රමණිකයන් සනාථ කරන භූමියක්‌ තමා, නමුත් කියන්න කනගාටුයි මෙය ආක්‍රමණිකයන් අනාථ කරවන භූමියක්‌..."

අසේල එය ප්‍රකාශ කළේ ඉතාම අපහසුවෙනි. උගුරෙන් මතුවන ගොර ගොර හඬ මැදිනි.

පරාජිතයාගේ දාර්ශනික වැකිවලට සවන්දීමේ අවශ්‍යතාවක්‌ ඒ මොහොතේ තවත් එළාරට නොතිබිණි.

"ඔබට මාළිගය තුළට යැමට අවශ්‍යද?" 

ලේ වැකි සිරුර සහිත රජතුමාගේ මුහුනේ සිනාව වියෑකී ගිය හෙයින් එළාර ඔහු වෙත නැඹුරුව ඇසුවේය. එහෙත්, ඒ වන විටද අසේල රජු වෙනත් ගමනක්‌ නික්‌ම ගොස්‌ තිබිණි.

⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆

"එච්චර දුරක්‌ යන්න විදිහක්‌ නැහැ. මං හිතන්නෙ පඳුරු බිඳගෙන සතෙක්‌ පස්‌සෙන් එහා පැත්තට යන්න ඇති.."

කලබලවී රජු සොයන අතරේ දීඝජන්තු කීවේය. ඔහුටද වඩා කලබලවී සිටි මිත්‍ර අසුට සන් කරමින් ඌ කුඩා වළකින් ඉවතට පැන්නීය.

"මාත් මේ හිතුවෙ ඒක තමයි. හැබැයි එහෙම ගිහින් නං ඒක වස වැරැද්දක්‌."

"ඒ මොකද?"

දීඝ ජන්තු ඇසුවේය

"ඔය පැත්තෙ තමයි අර ශීලාස්‌ථම්භය තියෙන්නෙ."

"ඉතිං?"

"රජතුමාට පැරණි බ්‍රාහ්මීය අක්‌ෂර කියවන්න පුළුවන්."

"රජතුමා ඒ බ්‍රාහ්මීය අක්‌ෂර කියෙව්වොත් නැවත එතුමාගේ හිත රිදෙයි කියල ද මිත්‍ර කියන්නෙ, එහෙම නැත්නම් එතුමා බයවෙයි කියල ද මිත්‍ර්‍ර කියන්නෙ.?"

එකම කණ්‌ඩායමක්‌ වශයෙන් සහ රජුගේ අතිශය විශ්වාසවන්ත සෙනෙවිවරුන් වශයෙන් සේවයේ නියුතුව සිටිය ද දීඝජන්තුලා තමාව තවමත් පරීක්‍ෂා කරන්නේ යෑයි මඳ කෝපයක්‌ මිත්‍ර තුළ පහළවිය.

"රජතුමාගේ හැඟීම් ගැන මම මගේ භාර්යාව එක්‌කවත් කතා කරන්නේ නැහැ"

ඔහු කීවේ අනවශ්‍ය කතා අවසන් කරන අටියෙනි. එහෙත් දීඝජන්තු ද අතහැරියේම නැත.

"කපටි මිනිසුන්ගේ දියුණුවේ සීමාවක්‌ නැහැ කියනවනේ."

ඒ රුදුරු ඇනුම්පදය විහිළුවක්‌ වශයෙන් ලබාගැනීමට තීරණය කළ මිත්‍ර, ඒ සමඟම ශිලාස්‌ථම්භය දෙස එක පැහැර බලා සිටින එළාර රජුගේ සෘජු දේහය දුටුවේය. 

එක මොහොතකට මිත්‍රටත් දීඝජන්තුටත් දෙදෙනාගේ මුහුණට මුහුණ බැලිණි. ඊළඟ මොහොතේ ඔවුහු අසුන්පිටින් බැස සෙමෙන් සෙමෙන් රජු පිටුපසට ගමන් කළහ.

"අවසර අපි හැමතැනම සොයනවා" 

මිත්‍ර කීවේය.

එළාර ඔවුන් දෙස හැරී නොබැලූ අතර සෙල්ටැඹ කෙරෙහිම යොමු වූ දෙනෙත් ඉන් ඉවත්කර ගත්තේද නැත.

"ඔබ වහන්සේ බර කල්පනාවක?" 

කියා පැවසීමට මිත්‍රට සිදුවූයේ ඒ නිසාය.

එහෙත්, ඒ නිසා හෝ තම ඉරියව්ව වෙනස්‌ කළේ එළාර නොවේ. නමුත් ඔහු මෙසේ කීවේය.

"ඔව්.... එකම එක දෙයක්‌ ගැන.."

මිත්‍ර හෝ දීඝජන්තු හෝ ඒ කුමක්‌දැයි රජුගෙන් විමසුවේ නැත. ඔවුහු රජු සෙල් ටැඹෙන් මිදී තමන් දෙසට හැරෙන තුරු තවත් ශිලාස්‌ථම්භ දෙකක්‌ මෙන් බලා සිටියෝය.

"මිත්‍ර දීඝ අර මිය ගිය ගෝනාට පණ දිය හැකි නම් මා දැන් එය කරනවා..."

රජ්ජුරුවෝ හිටිවනම ප්‍රකාශ කළහ.

ඒ සමඟම රජු සොයා පැමිණි අනෙක්‌ අසරුවෝ ද ඒ අසලට පැමිණෙමින් සිටියෝය.

මරණයට පත්කරන ලද ගෝනා පොල්ලක ආධාරයෙන් කර තබාගත් තිදෙනා පමණක්‌ මඳක්‌ ඈතට වී සිටියහ.

එළාර නිහඬවම තම අසුපිටට නැංගේය. ඔහු පිළිතුරක්‌ බලාපොරොත්තුව සිටියේ යෑයි කිසිවකුත් කල්පනාකොට තිබුණේ නැත.

"මොකද මා කියන දේට නිහඬ... රජෙකුට නැතත්, මිනිසකුට එබඳු සිතුවිලි පහළ විය නොහැකිද?"

රජුගේ කතාබහට සම්බන්ධ විය යුතු හොඳම අවස්‌ථාව මිත්‍රට වඩා දැනසිටියේ දීඝජන්තුය.

"එහෙමයි, දේවයන් වහන්ස මිනිසකුට එහෙම සිතිවිලි එන්න පුළුවන්."

සියල්ලෝම අසුන්ගේ ලැසි ගමන් විලාසවලින් එතැනින් ඈත් වෙමින් සිටියහ.

අනතුරුව මාළිගාව දෙසට වේගයෙන් අසුන් මෙහෙයවන අතර වුවද මිත්‍රට නම් එළාරගෙන් විමසන්නට ප්‍රශ්නයක්‌ තිබුණේය.

"ඔබ වහන්සේ යම් දෙයකට භයවෙලාවත්ද?" 

යන්නයි ඒ.

එහෙත් ඔහු එය කිසිදාක ඇසුවේ නැත.

⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆

මාගම රජ මාළිගයට කප්පුකගාමයේ සිට පැමිණිය යුතු කාජරගාම, මහාගාම ප්‍රධාන ගුරු මාර්ගයේ ස්‌වකීය ජවාධික වෙළඹ වූ දීඝථුනික මෙහෙයවමින් හැල්මේ පැමිණෙන සිහින්දෑරි උස තරුණයා ගාමණී අබයය. ඔහුගේ වේගයට ආසන්න විය නොහැකි බැවින්, මඳක්‌ ඔහු පසුපසින් අසුන් මෙහෙයවමින් වේගයෙන් පැමිණෙන්නන් සිව් දෙනකි.

එකකු තරුණ තිස්‌ස කුමාරයන්ය. අනෙක්‌ තිදෙන නම් තවම සේනාංක භාර නොමැති, එහෙත් ගාමණී අබය යටතේ සේවයේ නියුතු භරණ, කංචදේව, ලභිය වසභ යන සෙනෙවිවරුය.

ගාමණී අබය අධික ලෙස කෝපයට පත්ව සිටියේය. ඒ කෝපයේ තරම වටහාගෙන සිටි වෙළඹ ඒ කෝපයටත් වඩා වේගයකින් තම අසරුවා ඉදිරියට ගෙන යමින් සිටියාය.

කොහොමටත් අසුන් ධාවනයේ අති ශූරයකු වූ ගාමණී අබය ස්‌වකීය සොහොයුරු තිස්‌ස ද සමඟ භාෂා ශාස්‌ත්‍ර හදාලේ මාගම සිට යොදුන් කීපයක්‌ දුරින් පිහිටි චිත්තල පබ්බත (සිතුල්පව්ව) ආරාමයේ කාශ්‍යප සහ උපාලි යන පණ්‌ඩිත තෙරුන් වහන්සේලාගෙනි. මේ අධ්‍යයන සමයේදී ඔවුන් හැසිරුණු විලාසයන්, රාජ කුමාරවරුන් හෝ සාමාන්‍ය ප්‍රභූ කුමාරවරුන් හෝ හැසිරුණ විලාසයන්ට වඩා චාම් තැන්පත් එකක්‌ විය. එසේම, මාගම රජමාළිගය තුළ හෝ මහානාගකුල යම්කිසි ස්‌ථානයක හෝ පැවැති සටන් කලා පන්තිවලදී ඔවුන්ගේ සාමාන්‍ය හැසිරීම ද ඊට වඩා වෙනස්‌ එකක්‌ වූයේ නොවේ.

එහෙත්, සටන් කලා ශිල්ප හැදෑරීමේදී ඔවුන් සතුව තිබූ විනය ඔවුන් විසින්ම අභිබවා ගිය අවස්‌ථා තිබිණි. විශේෂයෙන්ම කඩු ශිල්ප හැදෑරීමේදී ගාමිණී අභය දැක්‌වූ සමත්කම් විටෙක ඔහුගේ ව්‍යාජ ප්‍රතිමල්ලවයන් අනතුරට පත්කරන තරමේ ඒවා විය.

දුනු ශිල්පය, තෝමර ශිල්පය, අලි ඇතුන් මෙල්ලකිරීම ඔවුන් පිට යැම ආදිය මැනවින් උගත් කුමරුවන් අවසානයේ යොමුකරවන ලද්දේ ආත්මාරක්‌ෂක රහස්‌ සටන් ක්‍රම ඉගෙන ගැනීමටය.

ක්‌ෂත්‍රිය කුමාරවරුන් රාක්‌ෂස අංගම් ඉගෙන නොගත්තේ යෑයි මෙකල ප්‍රචලිත මතයක්‌ විය. එහි සැබෑම අරුත නම් රාක්‌ෂස සටන්කරුවන් ක්‌ෂත්‍රිය කුමාරවරුනට වුව රාක්‌ෂස අංගම් නූගැන්වීමය.

එහෙත්, ඔවුනට දේව අංගම් ඉගැන්වීමට දේව ගෝත්‍රික සටන් ආචාරීන්ද, නාග ගෝත්‍රිකයනට ආවේනික රහස්‍ය සටන් ක්‍රමයක්‌ ඉගැන්වීමට නාග සටන් ආචාර්යවරුන්ද ඉදිරිපත් වූහ.

නාගයකු පහර දෙන ආකාරයෙන් පහරදී සතුරා අඩපණ කොට ඔහුගේ මරු නිලවලට දැත් - දෙපා වලින් හෝ නවාගත් දණ - වැලමිටිවලින් හෝ පහර දීම එහි විශේෂ ලක්‌ෂණය විය.

රාක්‌ෂස අංගම් ශිල්පයේද මේ ලක්‌ෂණ පැවතියත්, නාගයන් සතුවූ සටන්ක්‍රමය තමනට වඩා ඉතාම සියුම් වූත් අභිරහස්‍යමය වූත් සටන් ක්‍රමයක්‌ බව රාක්‌ෂසයෝ දැන සිටියහ. රාක්‌ෂස සටන් ක්‍රමය තුළ සතුරා සැණෙකින් ඉරා දැමෙන අතර නාගයකු සමඟ සටන් කළ අයකු දින කිහිපයකට පසුව වුවද මරණයට පත්විය හැකිය. එබැවින් දේව අංගම් කරුවකු වේවා, රාක්‌ෂස අංගම් කරුවකු වේවා, යක්‌ෂ ගෝත්‍රික සටන්කරුවකු වේවා, නාග සටන්කරුවකු සමග සටනට පැමිණියේ ඉතාම කලාතුරකිනි.

කලක්‌ ඉතා බලසම්පන්න ගෝත්‍රයක්‌ව පැවැති යක්‌ෂයන් තමන් ගෝත්‍ර බලයෙන් පිරිහෙන කාලයේ වුව නාගයන් සමඟ සම්බන්ධ නොවීමට නාගයන් සම්බන්ධයෙන් පැවැති මේ අදහස්‌ ද බලපාන්නට ඇතැයි මෙකල විසුවෝ කල්පනා කළහ. නාගයන් මුළුමනින්ම පාහේ බෞද්ධයන් වීමත්, යක්‌ෂයන් අතිබහුතරයක්‌ එසේ නොවීමත්, ඔවුන් එකිනෙකා සමග පයුරුපාසානයක්‌ නොපැවැත්වීමට හේතුවක්‌ වී යෑයි දැක්‌වෙන අදහසට එම අදහස බාධාවක්‌ නොවේ යෑයි කුමාරවරුනට පැහැදිලි කළේ ධාරාංග නාග සටන් ආචාර්යවරයාය.

මේ තවමත් ඉතිහාසයේ අරුණෝදයයි. මුලින්ම හුදු ගෝත්‍ර සමාජවලින් සුසැදි සිංහලද්වීපය (ඊට පෙර - තාම්‍රපණ්‌නිය) මේ වනවිට එසේ නොවූ බව පෙර කියෑවිණි. එහෙත්, තම ගෝත්‍ර අනන්‍යතාවෙන් මිදෙනු නොකැමැති කොටස්‌ සුළු සුළු කණ්‌ඩායම් වශයෙන් තවමත් සිටියහ. ඔවුන්ගේම මුතුන්මිත්තන් එක්‌වී නිර්මාණය කළ සිංහල රාජ්‍යය තුළ එසේ සිටීම ඔවුන්ගේ කැමැත්ත වූ බැවින් 'අමු සිංහලයන් වෙයව්' යෑයි කිසිවකුගෙන් ඔවුනට තර්ජනයක්‌, ඉල්ලීමක්‌ තබා ආයාචනයක්‌වත් කෙරුණේද නැත. කිසිවකුට රාජ්‍යයේ ආගම වූ බෞද්ධාගම වැළඳගන්නා ලෙසට බල කෙරුණේ ද නැත. එය මේ ලෝකයේ එක්‌තරා ප්‍රඥවන්ත මිනිසුන් කොටසකගේ අතට පත් ජීවිත පාඩමක්‌ වශයෙන් අත්නොහැර පැවැතිණි. එය රාජ්‍යයත් වැසියාත් අවබෝධයෙන් යුතුව එක්‌කළ බන්ධනය වූ අතර, හටගත හැකි සියලුම අගතීන්ගෙන් මිදෙන ආකාරය පිළිබඳව රාජ්‍යයටත් වැසියාටත් කියාදෙන ඉටුමිතුරාද විය.

රැවටීම, බලහත්කාරය, හෝ තැති ගැන්වීම එහි පිළිකුල් කටයුතු සේ සැලකුණු බැවින් කිසිවකුට එය වැළඳගන්නා ලෙසට බල කෙරුණේ ද නැත. එහෙයින් බ්‍රාහ්මණ ආගමිකයෝ ද, ජෛන ආගමිකයෝ ද, හිරු, සඳු, ග්‍රහතරු දෙවියන් වශයෙන් තවමත් ඇදහූ රාක්‌ෂසයෝ ද චිත්තරාජ, කාලවේල, කාමදේව වැනි තම ඉපැරණි දෙවිවරුන් තවමත් පිදු යක්‌ෂ ගෝත්‍රිකයෝ ද මෙහි පූර්ණ ආගමික නිදහසක්‌ භුක්‌ති විඳිමින් ජීවත් වූහ.

ආගමික වශයෙන් තබා නෂ්ඨාවශේෂ ගෝත්‍ර වශයෙන් හෝ ඔවුනට බාධාවක්‌ නොතිබිණි. එහෙත්, දැන් පළමුවරට එවැන්නක්‌ සිදුව තිබෙයි. මාගම සිට අනුරාධපුරයට වෙළෙඳාමේ ගිය නාග ගෝත්‍රික කණ්‌ඩායමක්‌ එහි දී අමු අමුවේ මරාදමා තිබේ. මෙය බරපතළ කරුණකි. ඔවුහු මාගම පුර වැසියෝය.

රාජ සභාව පැවැත්වෙමින් තිබිණි. 

යම් කටයුත්තකට කප්පුකගාමයට ගිය ගාමණී අභය ඇතුළු පිරිසට අනුරාධපුර ප්‍රහාරයේ තොරතුරු ලැබෙන විට කාවන්තිස්‌ස රජුට ද එම තොරතුරු ලැබී තිබීම ඊට හේතුවය.

ජ්‍යෙෂ්ඨ පුත්‍රයා හෙවත් ඔටුන්න හිමි කුමාරයා වශයෙන් ඇතැම් අවස්‌ථාවල ගාමණී අබයට ද රාජසභා නියෝජනයක්‌ තිබිණ. එහෙත්, ඇතැම් කාරණා සම්බන්ධයෙන් පැවැත්වෙන රාජ සභා සැසිවලදී තම වැඩිමහල් පුතා ඒ සඳහා සහභාගි කරවා ගැනීමට කාවන්තිස්‌ස රජතුමා කැමති වූයේ නැත. ඒ ඕනෑවට වඩා හිතට එකඟව කතාකරන මිනිසුන් සමඟ දීර්ඝකාලීන දේශපාලන සැලසුම් සකස්‌ කළ නොහැකි බව ඔහු අත්දැකීමෙන් දැන සිටි නිසාය.

මේ එබඳු දවසකි. 

කොහේදෝ ගොස්‌ සිටි ගාමිණී අබය හදිසියේම ආපසු පැමිණ සිටී.

අද රාජසභාවට ඇතුළුවීමට රාජ කුමාරවරුන්ට අවසර නැතැයි දෝවාරිකයාත් ඔහුගේ මුර සෙබළනුත් විසින් දැන්වූ කල ගාමිණී තුළ වූ කෝපය නිම්හිම් නැති විය. ඔහු දෝවාරිකයාට බැණවදිමින් රාජසභා ද්වාරය අසල ඔබ මොබ ඇවිද්දේය. 'අනේ ඉතිං ඒකට මං මක්‌කරන්න දැයි' වශයෙන්වන බැල්මකින් දෝවාරිකයා තිස්‌ස කුමාරයා දෙස බලාසිටියේය.

තව මොහොතකින් සිදුවිය හැකි දෙය ඉවෙන් මෙන් වටහාගත්, කොරගසමින් ඇවිදින කංචදේව ගාමණී අබයට මෙසේ කීවේය.

"පුතා"

කාවන්තිස්‌ස රඡ්ජුරුවෝ අසුන් සිව් දෙනකු රැහැන් පටවලින් ඇද නවත්වාගන්නා ආකාරයෙන් තම කෝපාවේගය මැඩ පවත්වා ගත්හ.

"මොකද?"

"පිහිටි රටට වෙළෙඳාමේ ගිය අපේ වැසියන් සියල්ලන්ම ඝාතනය කරලා"

ගාමණී අබය, රජුට සියලු ආචාර දක්‌වා අනතුරුව කීවේය.

"රාජසභාව ඒ ගැන දන්නවා. මේ සාකච්ඡාව ඒ පිළිබඳවමයි...." 

කාවන්තිස්‌ස රජු සන්සුන්ව කීවේය. එහෙත්, ඔහු ඊළඟ ටික කීවේ සන්සුන්ව නොවේ.

".... ඔබට මා යළිත් රජ කුමරකුගේ රාජ්‍ය තාන්ත්‍රික භාවය උගැන්විය යුතුද? මගේ ප්‍රශ්නය එයයි."

"රටේ අහිංසක මිනිසුන්ව මැස්‌සන්, මදුරුවන් සේ ඝාතනය කෙරෙන කොට, රාජ්‍යය බිහිසුණු තර්ජනයකට ලක්‌වී තිබෙන කොට අප රාජ්‍ය තාන්ත්‍රික සිරිත් විරිත් පමණක්‌ ආරක්‌ෂා කිරීමේ ඵලය කුමක්‌ද?"

"කට" 

කාවන්තිස්‌ස රජතුමා ගුගුළේය.

විහාර මහා දේවිය වහාම අසුනින් නැගී රජුට ආචාර කොට ගාමණී අබය වෙතට පැමිණියාය. කිසිවකුට නොඇසෙන එහෙත්, ගාමණී අබයට පමණක්‌ ඇසෙන හඬකින් ඈ මෙසේ කීවාය.

"මේ තමා කෙතරම් උගැන්වුවත් ඔබ නූගන්නා දේ."

"මොකක්‌ද?"

"ඔබ විසින් කෝපය පාලනය කළ යුතුවා මිස, කෝපය විසින් ඔබ පාලනය කිරීමට ඉඩනොදිය යුතුය කියන එක."

විහාර මහා දේවිය තවත් මොහොතක්‌ හෝ එතැන නොරැඳී පිටව ගියාය.

සන්සුන්වන ගාමණී, පිය රජු ඉදිරියේ දණින් නැමී ඔහුට යළිත් ආචාර දැක්‌වූයේය.

රජ්ජුරුවෝ එය ගණනකට නොගෙන තමා මෙතෙක්‌ කරමින් සිටි ආකාරයට රාජ සභාව ඇමතූහ.

".... අමාත්‍යවරුනි, සෙනෙව්වරුනි, සතුරා කඩුවක්‌ සේ පැමිණෙන විට ඔබට ද කඩුවක්‌ සේ ඉදිරිපත්ව එයට මුහුණ දිය හැකියි. සතුරා සේනාවක්‌සේ පැමිණෙන විට ඔබට ද සේනාවක්‌ සේ ඊට මුහුණ දිය හැකියි. එහෙත්, සතුරා සුළඟක්‌ සේ පැමිණිය හොත් ඔබ ඊට මුහුණ දෙන්නේ කෙසේද? සතුරා සිහිනයක්‌ සේ පැමිණිය හොත් ඔබ ඊට මුහුණ දෙන්නේ කෙසේද?"

නිහඬතාව පවා ලෝකයට බිහිව ඇත්තේ මිනිසාට වද දීමට ය යනුවෙන් කල්පනා කිරීමට ගාමණී අබය පොළොඹවන අන්දමේ නිහඬතාවක්‌ ඊළඟට පැතිර ගියේය. එහෙත්, මේ නිහඬතාවේ අයිතිකරුවා වෙනදාට වඩා ඉක්‌මනින් ශබ්ද පිරවීය.

".... අමාත්‍යවරුනි, සෙනෙවිවරුනි ඔබ ද සුළඟක්‌ වන සැටි උගත යුතුයි නොවේ ද, ඔබ ද සිහිනයක්‌ වන සැටි උගත යුතුයි නොවේ ද?"

ගාමණී අබය නැගිට යළිත් ආචාර කොට රාජ සභා ශාලාවෙන් පිටව යන ආකාරය දෙස කිසිවෙක්‌ නොබැලූහ.

ඒ රජු යමක්‌ නොසලකා හරින්නේ නම් ඒ දෙය නොසලකා හැරීම රජ මාළිගයේ කුළුණුවල පවා සිරිත වූ නිසාය.


⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆


වර්ෂ 2010 පෙබරවාරි විසි අට වන ඉරිදා, දිවයින ඉරිදා සංග්‍රහයෙන් උපුටාගත් මෙම මහරජ ගැමුණු සිනමා තිර රචනයේ නවකතා පරිවර්තනය හත්වන කොටස ක්‍රි.ව. 2016 ක් වූ දෙසැම්බර් මස විසි දෙවන දින පූජිත විසින් සටහන් කරන වගයි...

No comments:

Post a comment