Tuesday, 20 December 2016

03 කොටස - මෙය නපුර පරාජය කරන භූමියක හෙයින්..



එළාර රජ්ජුරුවෝ තමන් මෙතෙක්‌ වේලා හුන් තම පෞද්ගලික සැරසුම් මණ්‌ඩපයේ අසුනෙන් නැගී සිටියහ.


දැන් සර්වාභරණයෙන් විභූෂිතව සිටින ඔහු ඉදිරියෙන් සුළු අතවැස්‌සන් දෙදෙනකු සිටි අතර ඔවුන් විසින් විශාල ප්‍රමාණයේ කැඩපතක්‌ අල්වා සිටිනු ලැබීය.

රජ්ජුරුවෝ ඉන් තම රාජ ස්‌වරූපය සිත් සේ කිරා මැන බලා ගත්හ.

ඔහුට රාජාභරණ පැළඳ ගැනීමට සහාය වූ සේවක සේවිකාවෝ මේ වන විට තම කාර්යය අවසන් ව සිටි මුත් කාර්යභාර උසස්‌ නිලධාරියාගෙන් අවසර නොමැතිව පිට වී යා නොහැකි හෙයින් නවාගත් හිස්‌වලින් යුක්‌තව රජු ආසන්නයට ම වී සිටියහ.

මේ විවිධ වෘත්තීය මට්‌ටම්වල සේවක සේවිකාවන් පමණක්‌ නොව සන්තිකාවචරයන් නමින් හඳුන්වනු ලැබූ රජු ළඟින්ම හැසිරෙන ඔහුගේ ඉතාම කුළුපඟ නිලධාරීහු ද මේ මොහොතේ එතැන සිටියහ.

එළාරගේ රජ මාලිගය තුළත්, රාජ සභාව තුළත් නිලතල දැරූ බොහෝ නිලධාරීන් සහ සේවකයන් චෝලයන් වූවත් ඉහත දැක්‌වූ පිරිස අතරේ කිසිදු චෝලයකු නොවීම විශේෂයකි. ඒ ඔහු චෝලයකු නොවූ නිසා පමණක්‌ නොවේ. තම සන්නද්ධ චෝල සේනාව මිළදී ගත් සේනාවක්‌ ය යන්න ඔහු කිසිදු මොහොතක අමතක නොකළ නිසා ද වේ.

සන්තිකාවචරයන් හෙවත් ඔහු පාමුල හැසිරෙන්නවුන් සියල්ලෝම පාහේ ඔහු මෙන්ම කාලිංගයෝ වූහ. රජුගේ විශ්වාසවන්තයන් අතර ඉතාම විශ්වාසවන්තයන් වූ ඔවුහු රජවරු යනු මනුෂ්‍ය රූපයෙන් පෙනී සිටියද මහත් බල ඇති දෙවිවරුන්ය යන කාලිංග රාජ්‍ය සේවයට අදාළ සිතිවිල්ලෙන් කොයියම්ම විටෙක හෝ නොබිඳුණෝ ද වූහ.

ඔවුන් විසින් මෙහෙයවන ලද සුළු සේවකයෝ රජු ස්‌පර්ශ වීමේ භාග්‍යය ලද්දෝ වූහ. එහෙත් එළාර නළල මත තිලකය තැබීමේ රාජකාරිය හිමි වූයේ ඔහු අග බිසව වූ ධරත්‍රියට පමණක්‌ ම විය.

ධරත්‍රි තමා අත වූ කුඩා බඳුන් කීපයක්‌ සහිත පැතලි රන් බඳුනේ දබරඟිල්ලක්‌ රුවා එහි තුඩට තවරාගත් අපූරු සුවඳක්‌ සහිත ද්‍රව්‍යයයෙන් එළාරගේ පුළුල් නළල් තලය මත තිලකයක්‌ තැබුවාය.

ඇයට සෙනෙහෙබර කෘතඥ පූර්වක බැල්මකින් සංග්‍රහ කළ එළාර රජුගේ දෙනෙත් කැඩපත වෙත යළිත් යොමුවනු වෙනුවට යොමු වූයේ මඳක්‌ එහායින් වූ අසුනක හිඳ සිටින භට්‌ටාර හරිචන්ද්‍ර ජිමතවාහන පුරෝහිතතුමා දෙසට ය.

ජෛන පූජක වේශධාරියා ඒ මොහොතේ ද ඉතාම පිරිසිදු ශ්වේත වස්‌ත්‍රයකින් සැරසී සිටියේය. සැබවින්ම ජෛන පූජකයකු නොවූවත්, පූජක ප්‍රතිරූපකයකු පමණක්‌ ම වුවත් මෙතැන ඔහුට වෙන් කළ තැනක්‌ තිබිණි. මෙතැන පමණක්‌ නොව සමස්‌ත එළාර පරිපාලනය තුළ ම ඔහුට වෙන් වූ තැනක්‌ තිබිණි.

ඔහු කෙරෙන් වූ පමණට වඩා සුදුමැලි මලානික ස්‌වභාවයත්, ඊට නොගැලපෙන අංග චලනයත් කෙනකු තුළ යම් හාස්‍යයක්‌ මතු කළේ වුවද, ඊට සිනාසීමේ අයිතියක්‌ කිසිවකුටවත් නොමැති බව සියල්ලෝ ම දැ සිටියහ.

එහෙත් එළාර රජු එබඳු නීතියක්‌ තමාට පණවාගෙන සිටියේ නැත.

එහෙයින් භට්‌ටාර කෙරෙහි වූ එතුමාගේ ආමන්ත්‍රණය තරමක්‌ සාවඥ ස්‌ථරයකට අයත් එකක්‌ විය.

"ඔබ මගේ චානක්‍ය, ඔබ මගේ විෂ්ණු ගුප්ත, ඔබ මගේ කෞටිල්‍ය, නොසඟවා කතා කරන්න ඔබට පුළුවන්."

"ප්‍රහාරය අසාර්ථකයි" 

භට්‌ටාර නොපමාවම කීවේය.

විශ්මයට පත්වීමක්‌ හෝ කළකිරුණු බවක්‌ හෝ එළාර රජු කෙරෙන් නොවීය.

"මං දන්නවා ගුරුදේව, මගේ ප්‍රශ්නය ඒක නොවෙයි."

එහෙත් එළාර විශ්මයට පත්කිරීමේ උවමනාවක්‌ භට්‌ටාරට විය.

"බෝගස ළඟ කිසිම මරවර් සෙබලකුගේ සිරුරක්‌ නැහැ. අඩුම තරමින් එතැන සටනක්‌ සිද්ධ වෙච්ච බවට සලකුණක්‌වත් නැහැ."

විශ්මයට පත්වනු වෙනුවට එළාර කෝපයට පත්විය.

"ඒකත් මම දන්නවා ඒ කතාව ඔබ නැවත කියන්නේ අපේ සෙබළුන්ව එතැනින් අතුරුදන් කළේ මොවුන්ගේ අර තිස්‌තුන් කෝටියක්‌ දෙවියෝ ය කියල මට ඔප්පු කරවන්නද?"

"නැහැ....."

භට්‌ටාර ද කෝපයෙන් ගුගුළේය.

"නැහැ...... අපට පාලනය කරන්න බැරි එකම එක කණ්‌ඩායමක්‌ මේ අනුරාධපුරේ ඉන්නව කියල කියන්න, ඒ අය හරිම භයානක කණ්‌ඩායමක්‌ කියල කියන්න."

එළාර තම කෝපය හකුළුවා ගත්තේය.

"භට්‌ටාර හරිචද්‍ර ජිමුතවාහන ඔබ මගේ චාණක්‍ය, ඔබ මගේ විෂ්ණු ගුප්ත, ඔබ මගේ කෞටිල්‍ය නොසඟවා කතා කරන්න ඔබට පුළුවන්."

භට්‌ටාර ඉන් පසු තම තරුණ මුදු ස්‌වරයෙන් කතා කරන්නට පටන් ගත්තේය.

"මරවර්ලව බෝගස ළඟට යවලා මම ඊයේ මුළු රාත්‍රියම ගත කළේ භාණ්‌ඩාගාරයේ."

"පුදුමයි එය පොත්ගුලක්‌ නොවීත්...?"

"මට දේවානම්පියතිස්‌ස ලියපු රන්පත හම්බවුණා"

කොහොමටත් සෘජු ශරීරයකින් යුත් එළාර රඡ්ජුරුවෝ තවත් සෘජු වූහ. තමාට එසේ වනු ඔහු ද කැඩපත තුළින් දිටීය.

ඉතාම විශ්වාසවන්ත සන්තිකාවචරයන්ට ද සැරසුම් මණ්‌ඩපයෙන් පිටවන ලෙසට හේ සංඥ කළේය.

ධරත්‍රිය පමණක්‌ එහි රඳවා ගැනිණි.

"දේවානම්පියතිස්‌ස කොටවපු ශිලා ස්‌ථම්භය දුටුවාය කියන්නෙ ත් ඔබමයි. මට වෙන මොකක්‌වත් දැන ගන්න උවමනා නැහැ. මට දැනගන්න උවමනා එක දෙයයි."

"ඔව් දේවයන්වහන්ස, මහාමේඝ වනයේ ශිලා ස්‌ථම්භයේ තිබුණු කතාවම මේකෙත් තියෙනවා."

තම ශ්වේත සිවුරුපට තුළට සුරත යවන භට්‌ටාර මෙතෙක්‌ හිණතුර සඟවා සිටි කරඬුවෙන් රන්පත එළියට ගෙන එළාර වෙතට දිගු කළේය.

යම් හේතුවක්‌ නිසා එළාර එය අතට ගත්තේ නැත. තමා එසේ කළේ ඇයි දැයි කල්පනා කිරීම ඔහු පසුවට කල් තැබීය.

"රත්නමාලී කියල චෛත්‍යයක්‌ හදන ගාමණී කියල රජෙක්‌ ගැන ඕකෙත් තියෙනවා?"

ඔහු කෑගසා ඇසුවේය.

තම බිහිසුණු සොයා ගැනීම ඉදිරිපත් කිරීමට තිබූ උද්යෝගය භට්‌ටාර වෙතින් පහව යමින් තිබිණි.

"මේ පරණ අක්‍ෂර කියන්නේ ඒ කතාවම තමයි."

තම ජව සම්පන්න තරුණ මුහුණේ ලේ සිඳී යන ආකාරය දකින්නට, සුළු අතවැස්‌සන් ආපසු රැගෙන ගොස්‌ පසෙකින් තැබූ කැඩපත කරා යන්නට එළාර රජුට සිතිණි.

"ඒත්... ඉතිං භයවෙන්න මොකටද එහෙම රජෙක්‌ තියා කුමාරයෙක්‌වත් මේ අහල පහළ රාජධානියක නැහැ. කාවන්තිස්‌සගෙ පුතාගෙ නම දීඝාභය."

තමා තුළ වූ තැතිගැන්ම භට්‌ටාරට හැඟුණේ නම් අපරාධයකැයි එළාරට සිතිණි. භට්‌ටාරගේ කතාව ඇත්තය. මේ මනඃකල්පිත අනාවැකිවල සඳහන් ආකාරයේ රජකු හෝ කුමාරයකු හෝ දකුණේ කිසිම රාජ්‍යයක නැත. මාගම ද නැත. කල්‍යාණියේ ද නැත. ගිරි නුවර ද නැත. සෝම නුවර ද නැත. තම පරණ ස්‌වාමියා වූ කාලිංග ධාරවේල මහ අධිරාජ්‍යයාගේ අණසක යටතේ පවතින අල්ලපු දක්‍ෂිණ පථයේ කිසිම යටත් රාජ්‍යයක ද නැත.

එහෙත් භට්‌ඨාරගෙන් අසන්නට ඔහුට ප්‍රශ්නයක්‌ තිබිණි. 

පුදුමයකට මෙන් ඒ ප්‍රශ්නය නැගුවේ ධරත්‍රියය.

"දීඝාභය කියන්නේ කාවන්තිස්‌සගේ වෙන බිසවකගේ දරුවෙක්‌. අග බිසවට දරුවන් නැහැ නේද?"

"නැහැ"

භට්‌ටාර කීවේ ලැබෙන එකකුත් නැහැ වැනි ස්‌වරයකිනි.

අනතුර පහ වී යන ලකුණු යන්තම් දුටු වහාම අනතුර පහ වී ගියේ යෑයි විශ්වාස කරන සාමාන්‍ය මිනිසුන් සේම එළාර රජුජුරුවෝ ද මෙහිදී සැනසුම් සුසුමක්‌ හෙලූහ.

ආක්‍රමණිකයකු වශයෙන් පැමිණ මෙහි සියලුම දෑ අත්පත් කර ගැනීමට පෙර එළාර වරක්‌ මෙහි පැමිණ සිටියේය. ඒ තමන් සේම කාලිංග වාණිජ්‍යයන් දෙපළක්‌ වූ සේන සහ ගුත්තික දෙබෑයන් මෙම භූමිය අත්පත් කොට ගෙන රාජ්‍ය කරන කාලයේ ය. ඛාරවේල මහ රජුගේ චරපුරුෂ සේවයෙන් ඉවත් වී වෙළෙඳ නාවුකයකු වීමත්, අනතුරුව වෙළෙඳ නාවුක නායකයකු වශයෙන් රට රටවල සංචාරය කිරිමත් එකල්හි ඔහුගේ ජීවිතය විය. ඒ ජීවිතය සතුටින් ද නිදහසින් ද පිරී තිබුණේය. අද එය නොසතුටින්ද, නොඉවසිල්ලකින් ද පිරී තිබෙයි.

ඔහු භට්‌ටාරට මෙසේ කීවේය.

"ගුරු භට්‌ටාර මේ රටේ මිනිස්‌සු වගේම, උන්ගෙ හිටපු රජවරුත් හරිම කතන්දරකාරයො.

මේ සේරම ල කටින් කට අරන් ආව කතන්දර සමහර වෙලාවට අපව භය කරවනවා. ඒත් මම කතන්දරවලට කැමතියි. මං ගැනත් කතන්දර හැදෙනවාට මං කැමතියි.

ගුරු භට්‌ටාර ඔබ මගේ චාණක්‍ය, ඔබ මගේ විෂ්ණු ගුප්ත, ඔබ මගේ කෞටිල්‍ය, ඒත් මේ රටේ මිනිස්‌සු ගැන තවමත් ඔබට නොතේරෙන දෙය මම කියන්නම්. මෙය නපුර පරාජය කරන භූමියක්‌ වශයෙන් ඔවුන් තුළ තිබෙන විශ්වාසය සුළු කොට තකන්න එපා.

මොවුන් කිසිවිටෙක කඩුවෙන් අවනත කරගත නොහැකියි. ධාර්මික බවෙන් පමණක්‌ම අවනත කර ගත හැකියි...."

රජුගේ ස්‌වරයේ යම් බිඳීමක්‌ සිදුවනු භට්‌ටාරටත් ධරත්‍රියටත් දැනිණි.

"ගුරු භට්‌ටාර, ඔබ මගේ චානක්‍ය කියන්න. මහලු අසේල ඝාතනය කිරීමේ පාපය සේදී යැම සඳහා මා කෙතරම් හැඬිය යුතුද? මා ආක්‍රමණිකයකු නොව ධාර්මික මනුෂ්‍යයකු බව කීම සඳහා මොවුන් කෙතරම් නම් සංඛ්‍යාවක දෙපා නැමදිය යුතුද?"

භට්‌ටාර හරිචද්‍ර සැබෑ තීර්ථකයකු (ජෛන සාධුවරයකු) නොවන බව දැන දැනම එළාර ඔහුගේ තීර්ථ ශ්‍රාවකයකු වශයෙන් කටයුතු කිරීම මුලදී ධරත්‍රියට මහත් ගැටලුවක්‌ විය. එහෙත් එය වූ කලී මේ අති සමීප දෙමිතුරන් නියෑළී සිටින රාජ්‍යසව්‍යාජයට (උපක්‍රමික රාජ්‍ය පාලනයට) අතිශයින්ම අදාළ කාරණාවක්‌ බව තේරුම් ගැනීමට ඇයට එතරම් කාලයක්‌ ගත වූයේ නැත.

බොහෝ දෙනා දැන නොසිටිය ද බොහෝ දෙනාට දැන ගැනීමට ඇති ඉඩකඩ වසා තැබුවද, තමන් කවුදැයි යන්න මේ දෙමිතුරෝ කොයි කලෙකවත් අමතක නොකළහ. නව යොවුන් වියේදී ම තමන් නියෑළී එක්‌තරා සුවිශේෂී වෘත්තියක පළපුරුද්ද හැම කල්හිම ඔවුන් කෙරෙහි විය. ඒ නම් සත්ත්‍රී චරපුරුෂයන් වශයෙන් විටෙකත්, සංචාරක චරපුරුෂයන් වශයෙන් තවත් විටෙකත් ඛාරවේල අධිරාජ්‍යාට කළ සේවය තුළ ඔවුන් ලැබූ පළපුරුද්දය. තම කාර්යයන් ඛාරවේල වෙනුවෙන් ඉතාම ශූර ලෙස ඉටු කළ දෙමිතුරෝ ඒ කාලයේ කෞටිල්‍ය පඬිවරයාගේ අර්ථශාස්‌ත්‍රය ද මනා කොට හැදැරූහ.

චාණක්‍ය විෂ්ණුගුප්ත ආදී වෙනත් නම් වලින් ද හඳුන්වනු ලබන කෞටිල්‍ය වූ කලී ක්‍රි. පූර්ව තෙවන සියවසේ භාරතයේ මහා බලසම්පන්න රජකු වූ චද්‍රගුප්ත ගේ රාජ්‍ය උපදේශකයා ය. මගධ පාඨලිපුත්‍රයෙහි නන්දි රාජවංශය පරාජය කොට එය අත්පත් කොට ගැනීමට චද්‍රගුප්තට සහාය වූ ප්‍රාඥයා වූයේ ඔහුය.

එළාර මහත් අභිරුචියෙන් භට්‌ටාර කෞටිල්‍යයට සමාන කරන්නට ගන්නා උත්සාහය තුළ හැමවිටම නොකියා කියෑවුණේ තමා චද්‍රගුප්ත අධිරාජයාය යන එළාරගේ අදහසම බැවින් ඉන් ඔහු ලබන සතුටට බාධාවක්‌ කරන්නට භට්‌ඨාර කිසි විටෙක කල්පනා කළේ නැත.

රන්පත එයට හිමි කරඬුව තුළ රුවමින් භට්‌ටාර මෙසේ කීවේය.

"කලබල නොවනු මැනවි. හෙටින් පස්‌සේ මේ මුළු රටේම මිනිස්‌සු, ඒ කියන්නේ මෙහෙත් මාගමත් කල්‍යාණියේත් හැම තැනකමත් මිනිස්‌සු ඔබේ ධාර්මිකකම ගැන කතා කරාවි. ඔබේ නිහතමානීකම ගැන කතා කරාවි."

"මේ මුළු භූමියම මා අතට පත්වන දිනය තෙක්‌ම මා හැම තිස්‌සෙම තැතිගන්වන මාගම රාජධානියත් මා අතට පත්වන දිනය තෙක්‌ම?"

"ඊටත් පසුවත්"

භට්‌ටාර සිනාසී කීවේ තම සැලසුම් කවරේද යන්න පිළිබඳව විමසිය යුතු නැතැයි යන ඉඟිය ද ඉදිරිපත් කරමිනි.

"කොහොමද ඒක කරන්නෙ කියල මම අහන්නෙ නැහැ. ඔබ එය කරන බව මා දන්නවා. ඔබ ඉතාම ශ්‍රේෂ්ඨ තොරතුරු පතුරුවා හරින්නෙක්‌ බව මා දන්නවා."

"මේ දූපත්වාසීන්ගේ මිථ්‍යා කතාවලට තවත් බයවෙන්න එපා. මෙහි සියලුම මිථ්‍යාවන් මේ වගේ රන් කරඬුවල දමා සඟවා තබා ගන්න. ගාමණි නමැති රජෙක්‌ ගැන පවත්නා විහිළුවට හොඳටම හිනාවෙන්න."

එළාර භට්‌ටාර දුන් කරඬුව සුරතට ගෙන එය ධරත්‍රිය අතට දෙයි.

දැන් ඔහු රාජ්‍ය සභාවට යා යුතුය.

"ගාමණී කියන්නෙ රජෙකුගේ නමක්‌ නොවෙයි විහිළුවක නමක්‌"

භට්‌ටාර ඉතාමත් සැහැල්ලුවෙන් ප්‍රකාශ කරනුයේ සැරසුම් මණ්‌ඩපයෙන් පිටතට යන එළාරට හොඳටම ඇසුණේය.

⋆     

සිදුවීම් නිදිගත විය. එළාර රජතුමා පිළිබඳ වීරාභිවාදනයන්ගෙන් ද එතුමාගේ යුක්‌තිගරුක භාවය සහ ගුණගරුක බව අරභයා වූ නිමක්‌ නැති කට කතාවලින් ද පිහිටි රටේ දවස්‌ ගෙවී ගියේය. මේ කතා රුහුණු රටට පැමිණියේ තවත් එකතු කරන ලද අලංකාරයන්ද සමගය. වෙළෙන්දෝත් චරපුරුෂයෝත් මේ කතාවලට අත්තටු සවි කළහ. මේ ක්‍රියාවලිය නිසාම ජනප්‍රිය කතාකාරයන් බවට පත් වූ වෙළෙන්දෝ ද චරපුරුයෝ ද සිටියහ.

එළාර රජුගේ සයනය අසල එල්ලා තිබෙන යුක්‌තියේ ඝාණ්‌ඨාරයට අදාළ කඹයේ කෙළවර අනුරාධපුර රජවාසලේ දොරටුව අසල එල්ලා තිබෙන බව පිහිටි රටේ ගව මහීෂාධීන්ට දැනුම් දුන්නේ කවුදැයි ප්‍රශ්න කළ කොලු ගැටයකු ඒ පාප කර්මය නිසා පොළාව පළා අපායට ගිය පුවතක්‌ ද ඒ සමගම අසන්නට ලැබුණේය.

මේ සියලු විප්‍රකාර මැද හරියටම මාස නවයක්‌ ගෙවී ගියේය.

⋆     

මහත් කරුණාර්ක රශ්මියක්‌ විහිදුවමින් මෙන් විහාරමහා දේවිය ශාලව තුළට පිවිසියාය.

කුඩා සිනිඳු පිළියෙන් ඔතන ලද නව දිනක්‌ වයසැති සිඟිත්තා ඇයගේ ළමැදට ද දෙඅත් අතරට ද තුරුළු වී සිටියේය.

සේවිකාවන් කීපදෙනකුම ඇය පරිවාරයේ සිටියත් ඒ කිසිවකුට සිඟිත්තා ඔසොවා ගැනීමට අවස්‌ථාවක්‌ නොලැබී ඇති බව ඔවුන්ගේ නොඉවසුම් සහගත සෙනෛහස පිරුණු මුහුණු කියාපෑවේය.

භික්‍ෂුන් වහන්සේ පිරිසක්‌ සෙත් පිරිත් සජ්ඣායනය ආරම්භ කළ අතර, විහාරමහා දේවිය මහත් ප්‍රවේශමෙන් සිඟිත්තා තරුණ කාවන්තිස්‌ස රජු දෝතට පත් කළාය. අනතුරුව ඇය ද එතැන සිටින අන් සියලු ප්‍රභූවරුන්, කුමාරිකාවන්, රාජ්‍ය නිලධාරීන්, සෙනෙවිවරුන් මෙන් බිම වාඩුවූවාය.

මේ ඉරියව්ව හැඳින්වෙන්නේ මෙහෙණින් වහන්සේලා වාඩිවන ඉරියව්ව නමින් වේ.

සෙත් පිරිත් සජ්ඣායනය නිමා වූ අතර ත්‍රිපිටක තිස්‌ස මහස්‌ථවිරයන් වහන්සේ පුවක්‌ මල් කිනිත්තකින් පිරිත් පැන් මඳක්‌ ඉස සිඟිත්තා දෙස බලා සිටියෝ ය.

විහාර මහා දේවිය මහාසිව මහාස්‌ථවිරයන් දෙපා තෙවරක්‌ නමැද නැගී සිටියාය.

කිසිවකු කතාවක්‌, ශබ්දයක්‌ නොකළ අතර ඒ පුදුම නිහඬතාව බිඳිමින් ශබ්ද පුරවනු ලැබුයේ බ්‍රාහ්මණ වේශයෙන් සිටි නැකත් ඇදුරන් කීපදෙනකු සෙමෙන් සෙමෙන් සිදුකිරීමට පටන් ගත් සාකච්ඡාවෙනි.

කාවන්තිස්‌ස රජ්ජුරුවෝ තමා අසල සිටි වයෝවෘධ ප්‍රභූවරයෙකුගේ කනට කොට යමක්‌ කීහ.

නැකත් ඇදුරෙක්‌ තම කටහඬ අවදි කළේය.

"දේවයන්වහන්ස, කුමාරයාට යෙදෙන නම ගාමණී විය යුතුය."

"ගාමණි" 

රජ්ජුරුවෝ එයම ප්‍රතිරාවය කළහ.

"ගාමණි..... ග්‍රාමණි...... ඒ කියන්නේ ග්‍රාමයේ නායකයා කියන එක. ප්‍රදේශයේ නායකයා කියන එක. ඒක අපට බොහෝම හුරු නමක්‌..... කමක්‌ නැහැ. නමුත් මගේ පියා ගෝඨාභයගේ නමේ කොටසකුත් එයට එකතු වෙන්න ඕනෑ."

මහාසිව මහා ස්‌ථවිරයෝ එකල්හි මෙසේ කීහ.

"ඒ කියන්නේ කුමාරයාගේ නම ගාමණී අභය" 

නැකැත් ඇදුරා එයට විරුද්ධ විය.

"අභය යන්න නොයෙදෙයි."

"මොකද නොයෙදෙන්නේ ගාමණී අභය කියන එක කදිමයි."

ස්‌ථවිරයෝ එකහෙළා ප්‍රකාශ කළෝය.

නැකැත් ඇදුරන් කිසිවෙකුත් මහා ස්‌ථවිරයන් ගේ අදහසට විරුද්ධ යමක්‌ ප්‍රකාශ කිරිමට උත්සාහ නොකළෝය.

එහෙයින් ඔවුහු ගෝඨාභය රජු කෙරෙහි තමන් තුළ පැවැති අකමැත්ත වහාම සඟවා ගත්තෝය.

"ගාමණී අභය"

විහාර මහා දේවිය යළිත් රජු වෙතින් තමා අතට පත් සිඟිත්තා සෙමින් සිපගනිමින් රහසින් මෙන් ඔහුට කොඳුළාය.

ඇය තවත් සෙමෙන් ඇසෙන නො ඇසන ස්‌වරයෙන් යළිත් මෙසේ කීවාය.

"මහරජ ගාමණී"

⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆



වර්ෂ 2010 ජනවාරි තිස් එක් වන ඉරිදා, දිවයින ඉරිදා සංග්‍රහයෙන් උපුටාගත් මෙම මහරජ ගැමුණු සිනමා තිර රචනයේ නවකතා පරිවර්තනය තෙවන කොටස ක්‍රි.ව. 2016 ක් වූ දෙසැම්බර් මස විසි වන දින පූජිත විසින් සටහන් කරන වගයි...


No comments:

Post a comment