Monday, 26 December 2016

20 කොටස - රාජ කුමාරවරු බොරු කිව්වට ගොවියෝ බොරු කියන්නේ නැහැ

කළු මැණිකේ කුඹුරට පියමං කරන වේගයෙන්ම රන්මැණිකේ ගාමණී අබය වෙත දිව ආවාය.

තම සොහොයුරිය විසින් සිදු කරනු ලැබූ උපාලම්භයෙන් හිද්දලයාගේ සිත බෙහෙවින් රිදුණේ යැයි ඇයට හැඟිණි.

"අනේ ඔය කතා හිතට ගන්ඩ එපා අයියණ්‌ඩි. ඔහොම තමා අක්‌කණ්‌ඩිගෙ හැටි.........."

ජීවිතයේ ප්‍රථමවරට ගැහැනියක නිසා රිදුම් දුන් හදවතින් යුත් හිද්දලයා රන්මැණිකේ දෙස බලා ව්‍යාජ සිනහවක්‌ පෑවේය.

ඔහුට ම අවබෝධ වී, ඔහු විසින්ම ඒ සිනහව පහකරගන්නාතුරුම නිහඬව සිටි රන්මැණිකේ හිද්දලයාගේ හිත හදන්නට උත්සාහ කළාය.

"අක්‌කණ්‌ඩි, අයියණ්‌ඩිට බොහොම ලෙන්ගතුයි මම දන්නව ඒක............"

ඇය තම වදන් අවසන් කිරීමට පෙර හිද්දලයා මෙවර ඇය ඇමතුවේය.

"කතී........."

බොහොමයක්‌ ගැමියනට නම් දෙකක්‌ විය. උපන් නැකතට අනුව ගමේ වෙදරාළ විසින් තබනු ලැබූ නමත්, පසුව නිවසේ හෝ ගමේ හෝ වැඩිහිටියන් විසින් සුරතලයට තබන ලද නමත් යන ද්වය අතරින් ගැමියා බොහෝවිට භාවිතා කළේ දෙවනු කී නමය.

කිසියම් හේතුවක්‌ නැතිවම වුව ද මුලපටන්ම හිද්දලයා විසින් රන්මැණිකේ අමතන ලද්දේ ඇයගේ සැබෑ නමෙන්මය.

ඔහු මීට පෙර ඕනෑ තරම් තම නමින් තමා අමතා ඇති බව ඇයට අමතක නැත. එහෙත්, ඔහු මේ මොහොතේ කළ ඇමතුමේ කිසියම් විශේෂ බවක්‌ වූ හෙයින් ඒ නිසා පහළ වූ තිගැස්‌සමක්‌ ද ඇය තුළ විය.

"කතී, මේ ලෝකේ හැම මිනිහෙක්‌ම උපදින්නේ තනිවම යි, ඒක ඔහුට කවුරුහරි සිහිපත් කොට දෙන එක බොහොම වැදගත්, ප්‍රශ්නෙකට තිබුණේ කළු ඒක කිව්වේ නොගැලපෙන වෙලාවක වීමයි"

හිද්දලයා මුවින් ඉඳහිට මෙබඳු මහා බරපතළ වදන් පිටවෙන බවනම් ඇය දනී. එහෙත්, ඔහු තම වාක්‍ය අවසන් කරමින්.......

"ඇත්ත මම ඉතිං ඉබාගාතේ ආව කෙනෙක්‌ තමයි"


යනුවෙන් පැවසීම ඇයට වාවාගත නොහැකි කරුණක්‌ විය. තුන්සිතකින්වත් ප්‍රකාශ කරන්නට නොසිතූ එහෙත්, යටි සිතේ අගාධයේම තැන්පත්ව තිබූ යමක්‌ කිසිදු බන්ධනයකින් හා මර්දනයකින් තොරව එළියට ඇද දමන්නට ඒ ආවේගය ඇයට හොඳටම ප්‍රමාණවත් විය.

"අයියණ්‌ඩි මට ඉබාගාතේ ආව කෙනෙක්‌ නොවෙයි. අයියණ්‌ඩිට මං ඉන්නවා. අයියණ්‌ඩි මට රජෙක්‌......"

"රජෙක්‌ ?"

ඌරුපැළැස්‌සේ වාසයට ආ දා පටන් හිද්දලයා මේ තරම් තිගැස්‌සුණු අවස්‌ථාවක්‌ තවත් නැත.

"ඔව් මටනං ඔබ රජෙක්‌........."

රන්මැණිකේ යළිත් කීවාය.

මේ ඉතාම සාමාන්‍ය මිනිසුන් රජෙක්‌ යැයි කියන්නේ කවර අන්දමේ මිනිසකුට විය හැකි දැයි හිද්දලයා කල්පනා කළේය.

"මොකද ඔය තරම් කල්පනා කරන්නේ ?"


රන්මැණිකේ ඇසුවාය.

"නෑ මං මේ කල්පනා කළේ මිනිහෙකුට රජෙක්‌ වෙන්න කොච්චර අමාරුවුණත් රජෙකුට මිනිහෙක්‌ වෙන්න කොච්චර ලේසිද කියලා" 


හිද්දලයා කීවේය.

"මයේ අම්මණ්‌ඩියේ හිතේ තියෙන ලොකුකම"

දෙදෙනාටම සිනා ගියේය. එහෙත් එය වැඩි වේලාවක්‌ නොපැවතිණ. කවුදෝ අමුත්තකු ඔවුන් සිටි දෙසට පැමිණෙමින් සිටි නිසාය.

අහිංසක ගැමියකුගේ විලාශයක්‌ පාමින් ඉදිරියට පැමිණෙන මිනිසා නිරෝගීව වැඩුණු උස, මහත සිරුරකට හිමිකම් කියන්නෙකි. රෙදි කඩකින් වැසුණු ශක්‌තිමත් දඟ යුගද, නිරාවරණ දණහිස්‌ යුගලට පහලින් පෙනෙන දෙපාවල ගොප් මස ද ඔහු නිරන්තරවම බර ඉසිලීමේ අභ්‍යාසයේ යෙදෙන්නකු බව ප්‍රකට කෙරෙන්නේය.

හිද්දලයා විසින් දුරසිටම ඔහු හඳුනාගත්ත ද අමුත්තාට නම් එක්‌වරම එසේ කරනු නොහැකි විය. කොටගේපිටියේ ද ඌරු පැළැස්‌සේ ද ගැමියන්ගෙන් දැනගත් තොරතුරු ඔස්‌සේ තමන් මේ පැමිණ ඇත්තේ වැරදි පුද්ගලයෙක්‌ අසලට දැයි සිතෙන තරමටම වෙනස්‌වී ඇති ඒ මුහුණ අභියස ඔහු දුර්මුඛ විය.

"මයේ අයියණ්‌ඩි"

හිද්දලයා අමුත්තා ඇමතුවේය. ගොවි කොල්ලකුගේ මුවින් මුත් මහත් රාජ විභ්‍රමයක්‌ සහිතව නැගුණු සුපරුදුරු හඬ ශ්‍රවණය කළ අමුත්තා ප්‍රකාශ කළ නොහැකි සතුටකින්ද ආවේගයකින්ද ගල්ගැසුණු බවක්‌ පෙනිණි.

එහෙත් ඔහු කෙසේ හෝ මෙසේ කීවේය.

"මහ රාවණා දෙවි හාමුදුරුවන්ට පින්සිද්ධ වෙන්ඩ මේ ඉන්නේ අපේ මලයා. කකුල් කඩුත්තුව හැදෙනකම් සෙව්වා සෙව්වා, අනේ මලේ උඹට මොකද මේ උනේ"

"මොනව වෙන්ටද, බලාපං මේ යායම මම තනියෙම කළේ"

හිද්දලයා කීවේ ආඩම්බරයෙනි.

අමුත්තා සැබෑ පුදුමයෙන්ම වෙල්යාය නිරික්‍ෂණය කළේය. ඒ නිසාම ඔහුට තම ඇස මුණට ඉනූ කඳුළ ද තරමක්‌ සඟවා ගනු හැකිවිය.

"කතී යන්ඩ, මම මේ මාව හොයාගෙන ආව අයියණ්‌ඩි එක්‌ක හෙමින් ගෙදර පැත්තට එන්නං"

අමුත්තා දෙස පුදුමවී බලාසිටි රන් මැණිකේ හිද්දලයාගේ කීමට අනුව නිවස බලා දිව ගියාය. හිද්දලයාගේ වැඩිමහල් සොහොයුරාට ආගන්තුක සත්කාර, සංග්‍රහ පිරිනැමීමට දැන් තමන් ඇතුළු පවුලේ සියල්ලන්ම සුදානම් විය යුතුය.

⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆

"දෙවියෝ බුදුවන්ඩ අර කීවේ ඇත්තද? මේ යායම තනියෙම කොළා කිව්වෙ?"

"රාජ කුමාරවරු බොරු කිව්වට ගොවියෝ බොරු කියන්නේ නැහැ"

ගාමණී අබය කුමරුවෝ නන්දිමිත්‍රගේ උරහිසින් තදින් අල්ලා ගනිමින් කීවෝය. නන්දිමිත්‍රයෝ සුසුමක්‌ හෙලුහ. නිහඬව සිටියහ. යළි සුසුමක්‌ හෙලුහ. අවසානයේදී මෙසේ කීවෝය.

"............ඇත්ත, රාජ කුමාරුවරු බොරු කියනවා විතරක්‌ නොවෙයි, බොරුවෙන් රජවෙන්ඩත් හදනවා"

"මොකක්‌ද ඒ හරුපෙ ?"

ගාමණී අබය ඇසුවේය.

"සමහර ප්‍රභූවරුන්ටයි, අමාත්‍යවරුන්ටයි තිස්‌ස කුමාරයාව රජකමට ගේන්න ඕනෙ වෙලා"

ගාමණී අබයට සිනාගියේය.

"මගේ මලණ්‌ඩිව?"
ගාමිණී අබය තිස්‌ස කුමරුවාට කෙතරම් සෙනෙහසක්‌ දක්‌වන්නේ ද යන්න නන්දිමිත්‍ර දනී, එහෙත් දැන් මේ වටින් ගොඩින් කතා පවත්වන වේලාවක්‌ නොවේ.

"කුමාරයාත් ඒ ගැටයට අහුවෙලා මගෙ හිතේ"

නන්දිමිත්‍ර කෙළින්ම කීවේය.

"ඔහු රජකමට සුදුස්‌සෙක්‌ තමා........."
ගාමණී ගැඹුරු කල්පනාවකට පසු කීවේය.

"...නමුත් මා සිටිද්දී මිනිසුන් පිළිගනීවිද ඔහුව?"
"අමාත්‍යවරු කරන ප්‍රචාරය තමයි තිස්‌ස කුමාරයා රජවුණොත් රටේ යුද අවධානමක්‌ නැහැ කියන එක"
ගාමණී අබයට නන්දිමිත්‍රගේ එවදන් එතරම් පැහැදිලි වූයේ නැත.

"ඒ කියන්නේ......?"
"ඒ කියන්නෙ ඔහු එළාර රජු සමඟ යුද කරන්නේ නැහැ. එතකොට දෙගොල්ලෝම තම තමන්ගේ වැඩක්‌ බලාගෙන දැහැමින් සෙමෙන් රට බෙදාගෙන පාලනය කරනවා කියන එක............ මා හිතන්නේ ඒවා මහරජුගේ හෝ දේවියගේ අදහස්‌ නම් නොවෙයි"

ගාමණී යළිත් කල්පනාවට වැටුණේය. නන්දිමිත්‍ර ඒ කල්පනාවට බාධා කළේ නැත. ඔහු ඇළ වක්‌කඩෙන් ඇසෙන ජලයේ ශබ්දයට සවන් දෙමින් සිටියේය.

බොහෝ වේලාවකට පසු ගාමණී අබය නන්දිමිත්‍රගෙන් මෙසේ ඇසුවේය.

"සාමාන්‍ය මිනිස්‌සු මොකද කියන්නේ?"

"එය දැනගත නොහැකියි, කෙසේ වුවත් විහාර මහා දේවිය ඔබ ඉක්‌මනින්ම කැඳවා එන්නටයි අප එවුයේ"

"මා නැවත නොපැමිණෙ බව මෑණියන්ට පවසන්න නන්දිමිත්‍ර"

නන්දිමිත්‍ර තිගැස්‌සී ගාමණී දෙස බැලුවේය. ගාමණී නිහඬවම නන්දිමිත්‍ර පසුකොට පටු නියර දිගේ ඉදිරියට ගියේය. එහෙත්, ඔහු දැන් දැන් තවත් යමක්‌ ප්‍රකාශ කරනු ඇතැයි අපේක්‍ෂාවෙන් නන්දිමිත්‍ර ඔහු පසුපස ගියේය.

⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆

"......මා නැති ටිකට පිය රජුගේ අමාත්‍යවරුන්ගේත් ප්‍රභූවරුන්ගේත් මගේම සොහොයුරාගේත් ප්‍රාර්ථනය එය නම් මා තව දුරටත් නොසලකාම සිටිනු මැනවි."

"....යුද්ධය යනු මගේ විනෝදය නොවෙයි"

"යුද්ධයෙන් ජනිත කෙරෙන රුධිරයත් වේදනාවත්, සුසුමත් මා නොදන්නවා නොවෙයි"

"එහෙත්, අප මුහුණදී සිටින්නේ ජාතියක්‌ විනාශ කළ හැකි ශූර සටකපට ආක්‍රමණිකයකුට නම් ඔහු සමඟ පවත්වන සාමය ඔහුගේ ආක්‍රමණයේම කොටසක්‌ බව ඔය සර්වාභරණයෙන් සැරසුණු බඩතඩියනට නොතේරෙන්නේ මන්ද?"

"අනාගත මාගම රාජ්‍යයේ ප්‍රාර්ථනය ඒ ව්‍යාජ සාමය නම් ඒ රාජ්‍යයේ පාලකයා මා නොවන බව දැන ගන්න........"

නන්දිමිත්‍රත්, සුරනිමලත් අත ගාමණී අබය විසින් එවන ලද සංදේශය කියවා අවසන් කළ විහාර මහා දේවිය එය සඟවා තබා සීමැදුරු කවුළුව වෙතට ගියාය.

බලවත් ප්‍රශ්නයක්‌ පැමිණි කල්හි මෙතැනට පැමිණ තනිවම කල්පනා කිරීම ඇයගේ සිරිතය.

⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆

ඒ මහා ශබ්ද පූජාවට හේවිසි, දවුල් වැනි බෙර වර්ග ද හොරණෑ. රන් සින්නම්, රිදී සින්නම්, සක්‌ සින්නම් වැනි නළා වර්ග ද සිය ගණනක්‌ විය.

කාවන්තිස්‌ස රජ්ජුරුවෝ කොඩි පතාක සේසත්, මුර ආයුද පරිවාරයක්‌ මැදින් සෙමෙන් ඉදිරියට ගමන් කළහ. ඔහුගේද විහාර මහා දේවියගේ ද හිස්‌ රන් වියනකින් සෙවන ලද්දේ විය.

මහානන්ද ඇතුළු අමාත්‍යවරුනුත්, දස මහා සෙනෙවිවරුන් ඇතුළු වෙනත් සෙනෙවිවරුනුත් ඒ සමඟම ඔවුන් පිටුපසින් පැමිණියහ.

ඒ වනවිටත් සිතුල්පව්වෙන් තිස්‌සමහාරාමයෙන් පමණක්‌ නොව සිහලද්වීපයේ බොහෝ ප්‍රදේශවලින් ද සපැමිණි භික්‍ෂූන් වහන්සේලා මහා පිරිසකගෙන් මහාදුග්ගල චෛත්‍යයේ සලපතල මළුවත් අවට භූමියත් පිරී පැවතිණ.

සලපතල මළුවට සම්ප්‍රාප්ත වූ රාජකීයයෝ නායක හිමිවරුන් ප්‍රධාන මහා සංඝරත්නයට දණ්‌ඩ නමස්‌කාර කළහ.

අනතුරුව නායක හිමිවරුන් සමඟ වචනයක්‌ දෙකක්‌ කතාකළ රජ්ජුරුවෝ තමා මහත් ආශාවෙන් නිමකළ මහාදුග්ගල චෛත්‍යය දෙස එකපැහැර බලා සිටියෝය.

ඉක්‌බිතිව එළඹියේ චෛත්‍යය මුදුනේ ආවරණයවී පවත්නා ශෛලමය ඡත්‍රය නිරාවරණය කොට (මේ කාලයේ චෛත්‍යවල කොත් කැරැල්ල වෙනුවට තිබුණේ ශෛලමය කුළුණක සවිකළ දැවයෙන් හෝ ගලින් හෝ කළ ඡත්‍රයකි.) චෛත්‍යය මහා සංඝයා වහන්සේට පූජා කිරීමය.

අවට පිරී සිටි මහා ජනකායගේ සාදු කාරය මැද, රජ්ජුරුවෝ රන් ආලේපිත ලණුවක ආධාරයෙන් ඡත්‍රය නිරාවරණය කළහ. ඒ වනවිටද මහා සංඝයා වහන්සේ පිරිත් සඡ්ජායනය ආරම්භ කොට තිබුණේය.

මහ සඟනට සිවුපස පූජා කිරීම් ආදී කටයුතුවලින් පසු චෛත්‍ය පූජා මහෝත්සවය නිමාවිය. සාමාන්‍යයෙන් උත්සවයක්‌ අවසන්වූ සැණින්ම එතැනින් නික්‌ම යැම රජුගේ සිරිත වූ නමුදු ඔහු එදා එසේ කළේ නැත.

රජ්ජුරුවෝ තවමත් සලපතල මළුවේ අතුරන ලද රාජකීය පලසේම වාඩිවී බුබ්බුලාකාර මහ දුග්ගල චෛත්‍යය දෙසම බලාසිටියෝය.

කිසිවකුත් ඔහුට බාධාවන කිසිදු හඬක්‌ නොනැගු අතර මුළු දර්ශනයම මොහොතකට නිසල චිත්‍රයක සිරි ගත්තේය.

"වේළුසුමන"


රජ්ජුරුවෝ තමන්ට ඉතාම සමීප ජ්‍යෙෂ්ඨතම සෙනෙවියා ඇමතූහ.

රජු ඉදිරියට පැමිණි වේළුසුමන සෙනෙවියා ඔහුට හිසනමා ආචාර කොට එකත්පස්‌ විය.

"ගාමිණී අබය ගේ සියලුම සෙනෙවිවරුන් මා ඉදිරියට කැඳවන්න"


වේළුසුමන මෙන්ම රජු සෙමෙන් කී දේ ශ්‍රවණය කළ සියල්ලන්ම මවිතයට පත්විය. මක්‌නිසාදයත් ගාමිණි අබය කුමරුන්ගේ පළායැමේ පටන් මේ දක්‌වාම රජු ප්‍රසිද්ධියේ ගාමණි අබය ගේ නම සඳහන් කළ වෙනත් කිසිදු අවස්‌ථාවක්‌ නොවූ නිසාය. නන්දිමිත්‍ර ඇතුළු සෙනෙවිවරුන් තවමත් ගාමණී අබයගේ පරිවාර කණ්‌ඩායමක්‌ වශයෙන් ඔහු විසින් පිළිගන්නා බව ඒ ප්‍රකාශයෙන් තහවුරු වූ නිසාය.

මොහොතකින් වේළුසුමන ද ඇතුළු දස මහ සෙනෙවිවරු වැඳ නමස්‌කාර කරමින් රජු ඉදිරියේ පෙනී සිටියහ.

නිහඬව රජු අසලම වාඩිවී සිටින විහාර මහා දේවියගේ දෙනෙත් සෘජුවම තමන් වෙත එල්ලවී තිබෙන ආකාරය නන්දිමිත්‍ර ඒ අතරම දුටුවේය.

"ඇයි ගාමණී මා බලන්නට නොඑන්නේ?"


රජු සියල්ලන් සිසාරා බලමින්, එහෙත්, දෙනෙත් අවසාන වශයෙන් නන්දිමිත්‍ර අසල නතර කරමින් විමසීය.

රජු විමසන යමකට පිළිතුරු නොදී සිටීමේ සිරිතක්‌ මේ කිසිවකු අතර කිසිවිටෙක නොපැවතිය ද මේ මොහොතේ සියල්ලන් වෙතින්ම එය කඩවී ඇති වගක්‌ පෙනිණි.

"ඔහු මා බලන්නට ආවත් නැතත් මට නුඹලාගෙන් ඉල්ලීමක්‌ කරන්න තියෙනවා..........."


සෙනෙවියෝ දැන් වඩාත් තම සාවධාන බව දැක්‌වූහ.

"..............ඔහු තමා අනාගත රජතුමා, ඔහු තමා රට මුදවා ගන්නා වීරයා, ඔබ හැමකල්හිම ඔහුට පක්‌ෂපාත විය යුතුයි..........."


තමන්ට තරමක්‌ ඈතින් සිටි සාමාන්‍ය ජනතාවට එය ඇසුණේ කෙසේදැයි රජු ආසන්නයේම සිටි සියල්ලන්ම මවිතට පත්කරමින් යළිත් මහා සාධුකාරයක්‌ නැඟිණි.

"මහරජ ගාමණී"


උද්වේගය ඉවසාගත නොහැකිවූ කවුදෝ මිනිසකුගේ හඬක්‌ ද ඒ අතරම නැඟිණි.

රජ්ජුරුවෝ හැරී මිනිසුන් දෙස බැලුහ.

උද්වේගය ඉවසාගත නොහැකිව ද, එහෙත් මහා ප්‍රීතිඝෝෂාවක්‌ කරනු නොහැකිව ද වෙව්ලන තොල්පටවල්වලින් සහ දිළිසෙන මුහුණුවලින් යුත් මිනිසුන් දොහොත් මුදුන් බැඳ රජුට කෘතඥතාව දක්‌වනු පෙනිණ.

මිනිසුන්ගෙන් බෝවී ගිය ආවේගයෙන් මඬනා ලද රජ්ජුරුවෝ විහාර මහා දේවිය දෙසට හැරුණහ.

ඇය තම සුපුරුදු සන්සුන් මඳසිනාව පෑවා පමණකි.

"දේවී මා එය දැන සිටියා........"


විහාර මහා දේවිය මහත් සෙනෙහසකින් කාවන්තිස්‌ස රජුගේ සුරත තම දෝතින්ම අල්ලා ගත්තාය.

සුරනිමල කිසිවකුට නොදැනෙන පරිදි නන්දිමිත්‍රගේ පිට තදින්ම කෙනිත්තුවේය.

".............දේවි මා එය දැන සිටියා, ඔහු තමා මේ සිහල ද්වීපයේ මිනිසුන්ගේ හදවතේ රජතුමා, එහෙත්........"


රජ්ජුරුවෝ අනතුරුව මඳක්‌ තම හඬ උස්‌ කරමින් කතා කළේය. ඒ දස මහා සෙනෙවිවරුන්ටය.

".............තිස්‌ස සහ ගාමණී අතර කුමන හේතුවක්‌ නිසා කුමන හෝ ගැටුමක්‌ ඇතිවුව හොත් ඔබ කිසිවකුත් ඒ කිසිවකුගේ පක්‍ෂයක්‌ නොගත යුතුයි"


"එසේමයි ස්‌වාමිනී"


සෙනෙවියෝ රජුට යළිත් හිස නමා ආචාර කරමින් එක හඬින්ම කීවෝය.

අනතුරුව රජු තම සුරත ඔසොවා තමා අසලටම පැමිණෙන්නැයි නන්දිමිත්‍රට සංඥා කළේය. ඒ දුබල, සැලෙන අතට මෝහනය වූවාක්‌ මෙන් නන්දිමිත්‍ර රජු සමීපයටම පැමිණ දණින් වැටුණේය.

රජ්ජුරුවෝ ඔහු කණට කර මෙසේ කීවෝය.

"මා හැර, නුඹලා සියල්ලන්ම ඔහු සැඟවී සිටින ස්‌ථානය දන්නා බව මා දන්නවා........" 


තමා නන්දිමිත්‍රට රහසින් පවසන දේ විහාර මහා දේවියටද හොඳින් ඇසෙන බව ප්‍රත්‍යක්‍ෂ කර ගනු වස්‌ රජු මොහොතක්‌ නන්දිමිත්‍රගේ කණින් මෑත්වී විහාර මහා දේවිය දෙස බැලීය.

".....එහෙත්, රජරට රාජධාණියේ කිසිවකුත් එය නොදැනගත යුතුයි.  නුඹලා සියලුම දෙනා ඔහුගේ ආරක්‍ෂාව පිළිබඳව වගබලාගත යුතුයි. ඔහුට කියනු, මා ඔහු එනතුරු..........."


දැඩි ලෙස හැඟීම්බරවීම නිසා රජුට ඉන් එහාට කිසිවක්‌ කියාගත නොහැකි විය.

අන්තිමේදී තම කඳුළු පිසදමමින් රජ්ජුරුවෝ මෙසේ කීවෝය.

"..............නැහැ, කිසිවක්‌ කිවයුතු නැහැ"


⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆

කිසිවකුත් කිසිවක්‌ නොකියාම තව වසර හතක්‌ ගෙවී ගියේය.


⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆

මිනිසුන්ට හුරුපුරුදු වූ තරමක යුද ආතතියත්, ඉඳහිට සිදුවූ යම් යම් ගැටුමුත් හැරුණු කොට ඒ කාලය තුළ විශේෂ දෙයක්‌ සිදුවූයේ නැත.


⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆

මාගමදී, 'දුෂ්ට ගාමණී' නමින් ගාමණී අබය පිළිබඳව දුෂ්ට ප්‍රචාරයක්‌ ගෙනයැමට උත්සාහ කළ ප්‍රචාරක චර පුරුෂයකු අල්ලාගත් මාගම වැසියෝ ඔහු පිටිතල හයා බැඳ රජවාසලට ඉදිරිපත් කළහ.


⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆

පහරදීම නිසා ඔහුගේ දතක්‌ කැඩී තිබිණ.


⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆

අධික නියඟයකින් රාජ්‍ය ද්වයේම වැව් සිඳි ගියේය.

⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆

අධික වර්ෂාවකින් රාජ්‍ය ද්වයේම ගංගා සහ වැව් පිටාර ගලා ගියේය.

⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆

කෝපයට පත් මිනිසකු විසින් බල්ලකු සපාකනු ලැබිණි.


⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆

මේ අස්‌වනු නෙළන සමයයි.

මහත් ජය අස්‌වැන්නක්‌ ලැබූ ආඩම්බරයෙන් සිනාසෙන මහ වෙල්යායේ ගොවි ගෙවිලියෝ බැලු බැලූ අත ගොයම් නෙළති.

ගෙවිලියන්ගේ ඕසේ ගායනයෙන් යතුරු ගැහු ලියද්ද එකම රසගුලාවකි.

ගොවි ගෙවිලියන් අතර සිටින කළු මැණිකේත්, පිංගුවාත් ඔවුන්ගේ කුඩා දරු දෙදෙනාත් ගොයම් නෙළීමට හවුල්ය.

එක දිගට ගොයම් කපා මොහොතක විවේකයකට මහ නියරට ගොඩවන හිද්දලයා මහ ගොවි රාළ, තමා වෙතට දිව එන පස්‌ හැවිරිදි තරමේ සුරතල් සුරුබුහුටි දරුවා දෑත්වලින් ඉහළට ඔසොවා පපුවට තුරුළු කොට ගත්තේය.

"සාලිය....."


රන් මැණිකේ ඔහු පසුපස දිව එමින් සිටියාය.


⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆

වර්ෂ 2010 ජූනි මස හය වන ඉරිදා, දිවයින ඉරිදා සංග්‍රහයෙන් උපුටාගත් මෙම මහරජ ගැමුණු සිනමා තිර රචනයේ නවකතා පරිවර්තනය විසි වන කොටස ක්‍රි.ව. 2016 ක් වූ දෙසැම්බර් මස විසි හය වන දින පූජිත විසින් සටහන් කරන වගයි...

No comments:

Post a comment