Thursday, 29 December 2016

31 කොටස - මට ශ්‍රේෂ්ඨ සතුරකු මුණගැසී තිබෙනවා

දකුණේ සේනාවන් වහාම පලවා හැර, අනුරාධපුරය තුළට ක්‍රමයෙන් හැකිලෙමින් පවතින රජරට රාජ්‍යය මුදාගනු සඳහා දීඝජන්තු මහ සෙනෙවියාගේ බෑණා වූ භල්ලුක ප්‍රධාන කොටගත් මහාචෝළ සේනාවක්‌ පැමිණෙමින් සිටින බව සත්‍යයක්‌ නමුදු, චේර සේනාවක පැමිණීම භ්‍රමයක්‌ පමණක්‌ බව භට්‌ටාර සේම එළාර රජුද දැන සිටියේය.

කිසි දිනෙක හිස්‌ වචන නොකී මිනිසා හිස්‌ වචනද දොඩවන්නට පටන්ගෙන ඇතැයි යන්න භට්‌ටාර තිගැස්‌මට පත්කළේය.

භට්‌ටාරගේ සිතැඟි වටහාගත් හෙයින් රජු මන්දස්‌මිතයකින් යුතුව ඔහු දෙස හැරී බැලුවේය.

"මොකෙක්‌වත් අප බේරා ගැනීමට එන්නේ නැහැ. මෙතැන් පටන් සටන් මෙහෙයවන්නේ මා විසින්මයි"

"මොනවා ඔබ සටන් බිමට යනවා ?"

"මීට බොහෝ කාලයකට පෙර මේ භූමිය අල්ලා ගැනීමේ දී ඔය මොන සෙනෙවියකුවත් මට සිටියේ නැහැ භට්‌ටාර. සැබෑ යුද භටයාත් සැබෑ සෙනෙවියාත් යළි යුද බිමට පැමිණෙන බව සියලු සේනාංකවලට දන්වනු"

භට්‌ටාර එය ප්‍රචාරය කොට යැවූයේ මෙසේය.

"දැන් සියල්ල හරි. නිහඬව සියලු නොපනත්කම් ඉවසා සිටි ව්‍යාඝ්‍රයා අවදිව සිටියි."

"එළාර රජ්ජුරුවෝ සටනට පිවිස සිටිති. සියල්ලෝම එක්‌ව අනුරාධපුරය රැකගැනීමට සැරසෙව්!"

⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆

යුද සන්නාහයෙන් සැරසී, මේඝ වර්ණ උද්‍යානයට එක්‌ රොක්‌වූ තම පෞද්ගලික සේනාංකය ද ඇතුළු සියලු සේනාංක පිරික්‌සමින් දැවැන්ත පර්වත ඇතා මත නැගී ගමන් කරන එළාර රජු දැකීම සත්‍යය වශයෙන්ම රජරට සෙබළුන් තුළ මහත් චිත්ත ධෛර්යයක්‌ ඇති කළේය.

පර්වත ඇතා යනු 'මිග' යනුවෙන් හඳුන්වනු ලැබූ හස්‌තීන් වර්ගයට අයත් හස්‌ති රාජයෙකි. රාජ ඇතුන් යනුවෙන් හඳුන්වනු ලබන හස්‌තීන් වර්ගයට අයත් 'කඩොල්' ඇතාට වඩා ඌ උසය. පෙනුමින් දැඩිය. ඉක්‌මනින් කෝපවන සුළුය. උන් තරමක්‌ ධෛර්යයෙන් හීන බැව් ද පළපුරුදු ඇත්ගොව්වෝ කීවෝය.

එහෙත්, කිසිසේත් පරාජය නොපිළිගන්නා ධෛර්ය සම්පන්න මිනිසෙක්‌ ඌ පිට නැගී සිටියේය.

කාලිංගයේ ඛාරවේල රජුගේ සන්නද්ධ සේනාවකත්, ඔහුගේ ම චරපුරුෂ සේනාවකත් දක්‌ෂ සෙබලකු වශයෙන් කලක්‌ සේවය කළ මේ මිනිසා දැන් වයෝවෘධයකු වුව ද නොවැහැරුණු සිරුරින් යුක්‌ත වූයේ විය. තවමත් අවවර්ණයට නොපත් පැහැපත් ඡවි වර්ණයකින් යුක්‌ත වූ ඔහු උස්‌ සිරුර එක්‌කෝ නිතර අභ්‍යාසයේ යෙදෙන නර්තන ශිල්පියකු සිහිපත් කළේය. නැතහොත් නිතර අභ්‍යාසයේ යෙදෙන සටන් ශිල්පියෙකු සිහිපත් කළේය.

සියලු දෙනාගේ ප්‍රීතිඝෝෂා මධ්‍යයේ තම ප්‍රියතම දඩයම් ආයුධය වූ තෝමරය විශ්මය ජනක වේගයකින් කරකවා මනෝමය ප්‍රතිවාදියකු සමඟ සටනක යෙදෙන ආකාරයක්‌ ප්‍රදර්ශනය කළ හේ අවසානයේ එය මේඝවර්ණ උද්‍යානයේ අඹ ගසකට හරි ඉලක්‌කය බලා එල්ල කළේය.

ඉලක්‌ක ගත වූ තෝමරය අඹ ගස සළිත කළ අතර එහි රුධිරය මෙන් අඹ කිරි වෑස්‌සිණි.

ඔහු සෙබළුන් අමතා මෙසේ කීවේය.

"මාගේ සෙබළුනි, දුෂ්ට ආක්‍රමණිකයා අපගේ නිදහස්‌, යුක්‌ති ගරුක රාජ්‍යය අසලටම ළඟා වෙමින් සිටී. අපි යුගාන්ත සාගරය මෙන් ඔහු මත කඩා වදිමු. අපි යුගාන්ත මේඝය මෙන් ඔහු ලුහු බැඳ යමු......"

සෙබළු සැබවින්ම යුගාන්ත මේඝය මෙන් වූ මහා රණඝෝෂාවක්‌ නැගූහ.

⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆

"අපට ඕනෑවටත් වඩා අවි ආයුධ තිබෙනවා......" 

අවසාන යුද මණ්‌ඩල රැස්‌වීමේදී මිත්‍ර කියා සිටියේය.

"නමුත් දැන් සේනාව අඩුයි" 

ඉතිරිය සම්පූර්ණ කළේ මත්තා නැමති සෙනෙවියාය.

"මුළු මහත් රජරට ජනතාවම රාජ්‍ය සුරැකීම පිණිස අපගේ සේනාවලට එකතු විය යුතුයි."

දීඝජන්තු කීවේය.

"දරුවන් සහ ස්‌ත්‍රීන් හැර"

තම සිතැඟි ප්‍රකාශ කළ දීඝජන්තු දෙස බලමින් පැවසූ එළාර රජු අනතුරුව සියල්ලන් සිසාරා බලා මෙසේ කීවේය.

"මම ම මිනිසුන්ට ඒ බව කියන්නම්"

⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆

විජිතපුරයෙන් පසු ප්‍රධාන මට්‌ටමේ බළකොටුවක්‌ තිබුණේ මහේල නුවරය. ඒ අතර පැවැති ගිරිය නමැති චෝළ සෙනෙවියා විසින් පාලනය කරනු ලැබූ ගිරිලක නුවර වූයේ බළකොටුවක්‌ නොවේ, එය උපස්‌ථායක සේනාවන් සඳහා වූ යුද කඳවුරක්‌ විය.

එහෙත්, ගිරිය ගේ භටයෝ ඉදිරියට ඇදෙන ගාමණී අබය සේනාවන් ප්‍රමාද කරනු පිණිස, මාරාන්තික සටනකට එළඹිය හ. මහේල නුවරින් හෝ අනුරාධපුරයෙන් හෝ කිසිදු සහායක්‌ නොලබමින් ගිරිය දෙදිනක්‌ම මාගම සේනා සමඟ සටන් කළේය.

අවසානයේ දී, එසේ ගිරිය කඩා ගෙන අණදීමේ තේරුමක්‌ නැති බව වටහාගත් ඔහු පණ බේරාගත් සුළු කණ්‌ඩායමක්‌ සමඟ සුරනිමලගේ සේනාංකයට භාර වූයේය.

⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆

මහේල නුවර ඇද වැටීම ඉර - හඳ මෙන් සහතික වූවක්‌ විය.

වේගයෙන් ඉදිරියට ඇදෙන නන්දිමිත්‍රගේ සේනා මහේල නුවර වටලෑමට ඔන්න මෙන්න තිබියදී පණිවිඩයක්‌ ලැබිණි.

"මහ රජතුමාගෙන්"

නන්දිමිත්‍ර තමන්ටම කියාගනිමින් හසුන දිගහැරීය.

"මහේල නුවරින් අනුරාධපුරය දෙසට මහ විශාල ජනතාවක්‌ තවමත් පළා යමින් සිටින බව සැලයි. ඔවුන් සියල්ලන්ම පළාගොස්‌ අවසන් වනතුරු මහේල නුවර නොගනු.........."

නන්දිමිත්‍ර මෙබඳු මොහොතකදී ගෝඨයිම්බර මෙන් නොසන්සුන්ව එහා මෙහා ඇවිද්දේ නැත. ඔහු යම් උපදේශයක්‌ පතා ථෙරපුත්තාභය මුණ ගැසුණේය.

"යුද ජයග්‍රහණ මහ රජතුමා ප්‍රමෝදයට පත් නොකරයි. කැපෙන හිස්‌ ගණන වැඩි වීම ඔහුගේ අමන්දානන්දයට හේතු නොවෙයි. යුද බිමේ තුවාල ලබන සතුරාටද, මිතුරාට සේම ප්‍රතිකාර කරන රජෙකු ගැන ඔබ මින් පෙර අසා තිබේ ද නන්දිමිත්‍ර? යුදමය වාසි අවාසි කුමක්‌ වෙතත්, මේ පුදුම ශ්‍රේෂ්ඨ මිනිසාගේ සිතුවිලිවල සීමාවෙන් එහාට එක පියවරක්‌වත් ඉදිරියට නොතැබීමට මෙතෙක්‌ අප අනුගමනය කළ පිළිවෙතම තව දුරටත් අනුගමනය කරමු"

එහෙත්, නොකඩවා දින කිහිපයක පහරදීමකින් බිඳ හෙළිය හැකි මහේල නුවර, යුද කර්මයට අදාල නැති මානුෂික හේතුන් මත ඔහේ තිබෙන්නට හැරීම රජු හැර සමස්‌ත යුද මණ්‌ඩලය තුළම ප්‍රශ්නයක්‌ මතු කළේය. ස්‌වකීය චරපුරුෂ සේවාවෙන් නන්දිමිත්‍ර ලද තොරතුරක්‌ද මෙහිදී ප්‍රශ්නය තවත් තීව්‍ර කළේය.

එයින් කියැවුණේ එක්‌ ආධාරක චෝළ සේනාවක්‌ උතුරේ ජම්බකෝල පට්‌ටනයට ළඟා වන අතරම තවත් චෝල සේනාවක්‌ දකුණේ ඝෝඨපබ්බත නාවුක තොටුපළට සම්ප්‍රාප්ත වන බවය.

ඝෝඨපබ්බතය ඒ ආසන්න කිරින්ද මෙන් සාමාන්‍ය නාවුක තොටුපළක්‌ පමණක්‌ පැවැති ස්‌ථානයක්‌ නොවේ. තරමක්‌ සුවිසල් නාවුක තොටුපළක්‌ ද සහිත නාවුක නගරයක්‌ වූ එය ඉතා සුප්‍රකට වෙළෙඳ නගරයක්‌ ද විය. දක්‌ෂිණ පථ වෙළෙන්දෝ කොහොමටත් ඕනෑම කාලයක එහි ආහ, ගියහ.

තමන් රජරට රාජ්‍යයේ හදවතට (අනුරාධපුරයට) ආසන්නයේ කඳවුරුලා යුදයට ඉසඹුලමින් පමාවන අතරේ, චෝළ හමුදාවක්‌ දකුණට කඩාවැදීම ජයග්‍රහණය කරා සීඝ්‍රයෙන් ළඟාවන යුද්ධයේ ඉරණම මුළුමනින්ම වෙනස්‌ කරන්නක්‌ විය හැකිය.

එහෙත්, රජුට ඒ සඳහා ද පිළිතුරක්‌ විය.

තොටුපළ ආරක්‍ෂාව පිණිස කළ්‍යාණියේ රඳවා සිටින සේනාවලින් කොටසක්‌, තමන් දකුණේ මහානාගකුල රඳවා පැමිණි සේනාවක්‌ සමඟ එක්‌කොට ශක්‌තිමත් මහා සේනාංකයක්‌ බවට පත්කරන මෙන් ගාමණී අබය රජ්ජුරුවෝ සෙනෙවි මණ්‌ඩලයට නියෝග කළහ.

සියලුම ගිණිකොන තොටමුණවල ආරක්‍ෂාව පිළිබඳව වගබලා ගන්නැයි දීඝවාපියේ සිටින තිස්‌ස කුමරුන්ට පණිවිඩ යැවිණි.

ඔය අව් අස්‌සේ අපේක්‍ෂා කළ කිසිදු අමුතු නපුරක්‌ සිදුනොවී සිව් සක්‌ම ගතවී ගියේය.

ජයග්‍රාහී ගාමණී අබය සේනාවෝ මහේල නගරය පරාජය කළා පමණක්‌ නොව අනතුරුව එහි නොරැඳී අනුරාධපුරය දක්‌වා යන මඟට පිවිස සීඝ්‍රයෙන් ඉදිරියට ද ඇදුණහ. තව නොබෝ දිනකින් මුළු මනින්ම නිදහස්‌වීමට නියමිත එකම සිහලද්වීප රාජ්‍යයක්‌ පිළිබඳ බලාපොරොත්තුවේ වා රැළි වලින් දිවයිනේ මුළු මහත් වාතලයම පිරීයන්නට විය.

ඒ තොරතුරත් සමඟම අනුරාධපුර නගරයේ හැර සිහලද්වීපයේ සතරදිග් භාගයේම ආරාම වල ඝන්ඨාර හැඬවෙන්නට වූ අතර රට වැසියෝ ගාමණී අබය රජුටත්, ඔහුගේ සේනාවන්ටත් සෙත්පතා බෝධි වන්දනාදී පුණ්‍ය කර්මවලට එක්‌වූවෝය.

⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆

එහෙත්, අනුරාධපුරය තැති ගැන්මෙන්ද දුකෙන් සහ සංකාවෙන්ද වෙලී තිබුණේය.

නගරය ආරක්‍ෂා කරන අවසාන මහා සංග්‍රාමය සඳහා එහි පිරී ඉතිරී සිටින සියලුම තරුණ සහ වැඩිහිටි ජනයා එක්‌විය යුතු යැයි එළාර රජු නියෝගයක්‌ පැණවීය.

විශේෂ වශයෙන් චෝළ, පාණ්‌ඩ්‍ය, චේර, කලභ්‍ර, කාලිංග වැනි දක්‌ෂිණ පථයෙන් මෙහි පැමිණ සිටි පිරිස්‌ ඒ සඳහා සිය කැමැත්ත පළ කළද ඔවුන් අතරින් වුව බොහෝ දෙනා මල්වතු ඔය ඔස්‌සේ මහානාමමත්ථකය පැත්තට සහ මහාතිත්ථය පැත්තට පළාගියහ.

අනුරාධපුරයට කොටුවී සිටි සිංහලයෝ ද බොහෝ පිරිසක්‌ පළා ගියහ. එහෙත්, ඒ උතුරු දෙසට නොව ගාමණී අබය සේනා පැමිණෙන පෙරමඟටය.

නගරයෙන් හෝ ප්‍රදේශයෙන් පිටවී යැම තහනම් කොට තිබුණ ද පළායන්නෝ ඒ සඳහා ඕනෑ තරම් රහස්‌ මාර්ග විවෘත කොට ගෙන සිටියහ.

එළාර යුද මණ්‌ඩලය මෙහිදී මුහුණ දුන් බරපතල ගැටලුව වූයේ අනිවාර්ය වශයෙන් යුද්ධයට බඳවා ගැනීමට සිටි මහජන සංඛ්‍යාවක්‌ තමනට ටිකෙන් ටික අහිමිවීම පමණක්‌ නොවේ, සිංහල සේනාංකවලට අයත් ඉතා පළපුරුදු හා දක්‌ෂ යුද සෙබළුන්ද සමහරෙක්‌ පළායන ජනතාව අතර සැඟවී පළා යෑමය.

ඔවුන්, ඉදිරියට පැමිණෙන ගාමණී අබය සේනාවන් සමඟ එකතුවීම නොවැළැක්‌විය හැකිය.

ඒ කෙසේ වුවත් පෙර මඟට පළා ආ විශාල පිරිසක්‌ අතරින් සමහරකු ගාමණී අබය රජු ඉදිරියට පමුණුවනු ලදහ. පළා එන ඕනෑම කෙනකුට පැනින්, බතින්, බුලතින් සංග්‍රහ සත්කාර ලැබූ ඔවුහු රජුට මෙසේ කීවෝය.

"මහ රජතුමනි, නගරයේ වෙළෙඳ සැල් සියල්ලම පාහේ අයත්ව තිබෙන්නේ චෝළ, පාණ්‌ඩ්‍ය, චේර, කාලිංග මිනිසුන්ට. ඔවුනුත්, මහියංගනයේ සිට විටින් විට පළා ආ ඔවුන්ගේ ඥාතීනුත් ඒවායේ පිරී සිටිනවා. සමහරු දැනටමත් මහාතිත්ථය පැත්තට පළාගියත් බොහෝ අය එසේ පළා ගොස්‌ නැහැ......."

"ඒ මොකද?"

"සිව් සාලිස්‌ වසරක්‌ මුළුල්ලේ උපයාගත් ධනය හැරදමා යැමට අකමැති නිසා විය හැකියි. මෙය ඔවුන් කිසිදා නොසිතු තත්ත්වයක්‌"

රජ්ජුරුවෝ අනුරාධපුරය පිළිබඳව මිනිසුන්ගෙන් ලබාගත් තොරතුරුත්, චරපුරුෂයන්ගෙන් ලබාගත් තොරතුරුත් සසඳා බැලුවෝය.

එළාර රාජ්‍ය පාලනය ආරම්භයේදීම මෙහි පැමිණ පැල පදියම් වූ දක්‌ෂිණ පථ වෙළෙඳ ප්‍රජාවන් ඉතාම ඉක්‌මනින් අනුරාධපුර මහා වෙළෙඳ නගරයේ වෙළෙඳ ආධිපත්‍ය තම සුරතට ගෙන තිබුණා පමණක්‌ නොවේ. එතැන් පටන් උතුරට ජම්බකෝලපට්‌ටනය දක්‌වා ද දකුණින් මහියංගනය දක්‌වා ද තම වාණිජ බලය තහවුරු කොට ගෙන සිටියෝය.

දැන් අනුරාධපුර නගරයේ කොටුවී සිටින්නේ යුද්ධයේ ආරම්භයේ පටන් ක්‍රමයෙන් හැකිලී ගිය මෙම වෙළෙඳ ආධිපත්‍යමය. ක්‍රමයෙන් පළාගොස්‌ අනුරාධපුරයේ නතර වූ එම වෙළෙඳ ප්‍රජාවමය.

තමන් අනුරාධපුරයට පහරදුන් වහාම ඉඩ කඩම් අහිමිව ගිය සහ මෙම වාණිජ ආධිපත්‍ය නොරිසි දේශියයන් අතින් ඔවුන් සමූල ඝාතනයකට ලක්‌වීම වළකනු නොහැකිය.

එළාර සහ ඔහුගේ සීමිත සේනාංකයන් විනාශයට පත්වීමත් සමඟ සිදුවන ඒ මහා රුධිර ගංගාව වැළැක්‌විය යුතු යැයි යන බලවත් අධිෂ්ඨානයක්‌ ඔහු කෙරේ විය.

එහෙත්, යුද්ධය යනු යුද්ධය බවත්, ඒ තුළ තමන්ට ඇවැසි මානව ගුණධර්ම සුරැකීම ඉතාම දුෂ්කර කරුණක්‌ බවත් ගාමණී අබය මුලපටන්ම දැන සිටියේය. ඒ එසේ වුවද ආරම්භයේ පටන්ම ඔහු යුද්ධය පවත්වාගෙන ආ යුක්‌ති සහගත විලාසය විසින්ම මෙවර ද ඔහුට ඒ සඳහා දැනුමක්‌ සපයන ලද්දේය.

මිනිසා පිළිබඳව හැඟීමෙන් බර මිනිසාට ලැබෙන දැනුම, ඔහු විසින් ප්‍රඥාවක්‌ බවට පත්කරනු ලබයි.

ගාමණී අබය මහ රජුගේ අණින්, එක පහරින් අනුරාධපුරය බිම දමනු වස්‌ හැල්මේ පැමිණි, ජයග්‍රාහී මාගම සේනාවෝ එක්‌වරම නවතන ලදහ. ඒ වනවිට ඔවුහු සුන්දර කාසපබ්බත ප්‍රදේශය තරණය කරමින් සිටියහ.

⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆

විශ්මයෙන් ඇළලී ගිය ස්‌වකීය අතිශූර සෙනෙවි මණ්‌ඩලය ඉදිරියට ගාමණී අබය රජ්ජුරුවෝ සැහැල්ලු සිනාවක්‌ නඟමින් පැමිණියහ.

නන්දිමිත්‍රත් සුරනිමලත් විසින් ඒ වන විටද තමන් ඉදිරියට පැමිණෙන මහ රජු වෙනුවෙන් කදිම නුග ගස්‌ සෙවනක අසුනක්‌ සූදානම් කොට තිබුණේය.

රජ්ජුරුවෝ සෙමෙන් ගොස්‌ එහි හරිබරි ගැසී වාඩි වූවෝය.

ථෙරපුත්තාභය හැර අනෙකුත් සියලුම සෙනෙවිවරු, සඟවාගත් නොඉවසිල්ලෙන් දෙනෙත් දල්වා එක පැහැර රජු දෙස බලා සිටියහ.

රජ්ජුරුවෝ යොදුන් කිහිපයක්‌ දුරින්, තමන් පැමිණෙනතුරු බලා සිටින මහා ජයග්‍රහණය පිළිබඳව කිසිවක්‌ කතා නොකළහ.

සිව් සාලිස්‌ වසරකට පසු සිහලද්වීපය එකම ධජයක්‌ යටතට පත්වීම පිළිබඳවද කිසිවක්‌ කතා නොකළහ.

"මේ ඉතා වැදගත් කාලයක්‌ සෙනෙවිවරුනි..........මේ පොසොන් සමයයි.........."

"එසේයි"

සෙනෙවිවරු කීහ.

"මිහිඳු මහ රහතන් වහන්සේ අප සිහලද්වීපයට වැඩම කළ සමයයි........"

"එසේයි" 

සෙනෙවිවරු යළිත් කීහ.

මඳ වෙලාවක්‌ නිහඬව සිටි රජු එක්‌වරම අසුනෙන් නැගිට තමන් සිටින වට පිටාව හොඳින් නිරීක්‍ෂණය කළේය.

"හොඳින් සවන් දෙනු. මට ඔයක්‌ ගලන ශබ්දයක්‌ ඇසෙනවා."

"එසේය, මහ රජතුමනි මේ අසලින් ගලන මාමිණියා නම් ඔයක්‌ තිබේ"

"අප මෙතැන වැවක්‌ තැනිය යුතුයි, ඒ වැවේ නම පොසොන් යනුවෙන් විය යුතුයි"

අනතුරුව රජු නොසන්සිඳුණු කුතුහලයෙන් අන්ත අසරණ බවට පත් තම සෙනෙවිවරුන් දෙස සෘජුවම බලමින් මෙසේ කීවේය.

".............අනුරාධපුරය වටලනවා මිසක්‌ අප එයට පහර දෙන්නේ නැහැ. මගේ උත්සාහය එය ලේ විලක්‌ වීම වැළැක්‌වීමයි. මා එළාර රජතුමාට ද්වන්ධ සටනකට ආරාධනා කළා......."

සෙනෙවිවරු සියල්ලෝම ඉහළට ගත් හුස්‌ම යළිත් පහළට නොදැමුවෝය.

"...........මෙය ක්‍රීඩාවක්‌ නොවන බව මා දන්නවා. යම් හෙයකින් එම ද්වන්ධ සටනින් මා පැරදුණොත් අප මෙතෙක්‌ අසීරුවෙන් ලබාගත් සියලුම ජයග්‍රහණ අහෝසිවන වගත් මා දන්නවා..........."

සෙනෙවිවරු තවමත් හුස්‌ම පහළට නොදැමූහ.

"නමුත් මා පරාජය වන්නේ නැහැ සෙනෙවිරුනි, මා එක වරම යුද්ධයත් මනුෂ්‍යත්වයත් ජයගන්වා"

⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆

බිඳ වැටුණු බලකොටු ප්‍රදේශවලින් නොකඩවා පළා ආ විවිධ මිනිසුන්, ගැහැණුන් හා ළමුන්ගෙන් මෙන්ම ඉතිරිව සිටින අනුරාධපුර වැසියන්ගෙන්ද මාළිගා අංගනය පිරී තිබුණේය.

එළාර රජ්ජුරුවෝ ඈතට විහිද යන තම ගැඹුරු හඬින්, සඳළු තලයේ සිට ඔවුන් අමතමින් සිටියහ.

"ආක්‍රමණික දුෂ්ට ගාමණී, ඔහු දකුණේ සිට මෙහි පැමිණ මාගේ රාජ්‍යය ආක්‍රමණය කළ කෙනකු වුවත්, එක කාරණාවක්‌ නිසා මා ඔහුට ගරුකරනවා..............."

"...........මාගේ රටවැසියනි, කොතරම් හැකියාවක්‌ තිබියදී වුවත් ඔහු අප වට කොට පහර දෙන්නේ නැහැ........."

මාළිගා අංගනයේ ඉතිරී පැතිරී සිටි ජනතාව එක්‌වරම නැංවූ මහා සැනසුම් සුසුමක ශබ්දය අවට වාතලයට එක්‌වූයේ සමුද්‍ර ඝෝෂාවක හඬ නංවමිනි.

"..............මට කිසිකලෙක ශ්‍රේෂ්ඨ මිතුරන් මුණගැසී නැහැ, එහෙත්, මට ශ්‍රේෂ්ඨ සතුරකු මුණගැසී තිබෙනවා.............ඔහු තමා ගාමණී අබය.........."

එළාර රජු කීවේය.

විශ්මය ජනක නිහඬතාවකින් සහාය වෙමින් මිනිස්‌සු ඔහුට සවන්දී සිටියහ.

"...........මා මින් පසු ඔහුට දුෂ්ට ගාමණී යැයි කියන්නේ නැහැ. ඔබත් යළි කිසිදිනෙක එසේ නොකිව යුතුයි........ එය අප විසින් ඔහුට ආරෝපණය කළ දුෂ්ට නමක්‌ පමණයි........."

සඳළුතලය පිටුපස මාලිගා බරාඳයේ රැස්‌ව එළාර රජු වැසියා අමතන ආකාරයට සවන් දෙන රාජකීයයන්, උසස්‌ නිළධරයන්, සෙනෙවිවරුන්, සහ අමාත්‍යවරුන් අතර ශාරදා ද ධරත්‍රිය ද සිටියෝය.

ශාරදා තම දෙනෙතට ඉනූ ඉතාම උණුසුම් කඳුල සළු පොටින් පිස ගත්තීය.

රජු ඊළඟට මෙසේ කියනු ඔවුනට ඇසුණේය.

".............ගාමණී අබය රජතුමා මහා ලේ වැගිරීම වැළැක්‌වීමට මට ද්වන්ධ සටනකට ආරාධනා කොට තිබෙනවා. ඒ සටනින් එක්‌කෝ ඔහු මියයයි. නැතහොත් මා මියයයි. එහෙත් ඔහු පවසන පරිදි ඒ නිසා අප කිසිවකු හෝ සමඟ මනුෂ්‍යත්වය මිය නොයයි......"

⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆

වර්ෂ 2010 අගෝස්තු මස විසි දෙවන ඉරිදා, දිවයින ඉරිදා සංග්‍රහයෙන් උපුටාගත් මෙම මහරජ ගැමුණු සිනමා තිර රචනයේ නවකතා පරිවර්තනය තිස් එක් වන කොටස ක්‍රි.ව. 2016 ක් වූ දෙසැම්බර් මස විසිනව වන දින පූජිත විසින් සටහන් කරන වගයි...

No comments:

Post a comment