Wednesday 28 December 2016

30 කොටස - තව ඉතිරිව තිබෙන්නේ එක සිහිනයක්‌ පමණයි

"කළු ගලක්‌ ඇතුලට රිංගනවාට වඩා එය සුණුවිසුණු කොට දැමීම පහසු නැද්ද?"

තවමත් මුවින් නොබැණ පසුවන නන්දිමිත්‍ර අමතමින් ගෝඨයිම්බර යළිත් විචාළේය.

"ඒ දෙකම පහසු නැහැ......"

නන්දිමිත්‍ර ප්‍රකාශ කළේ ඉදිරියේ දිස්‌වන විජිතපුර බළකොටුව වෙතින් තම දෑස්‌ ආපසු නොගෙනමය.

"කළහැකි පහසුම දෙය තමා අප මේ කරමින් පසුවන්නේ, බළකොටුව වටකොට එය හුදෙකලාවේ ගිල්වා දැමීම. එහෙත්, හුදෙකලාවට ඉඩදී කාලය නාස්‌ති කිරීම සමහරවිට එළාර රජුට දක්‌ෂිණපථ ආධාර සේනා ගෙන ඒමට රුකුලක්‌ විය හැකියි"

"එසේනම්, අපි මෙතෙක්‌ කළා වගේ කෙසේ හෝ මේ බළකොටුවත් බිඳ දමමු........."

ගෝඨයිම්බර උද්යෝගයෙන් උණුසුම් වූ තම සිරුරේ දෙඋරහිස්‌ එක්‌වරම ඔසොවමින් කීවේය.

⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆

එදින සවස ගාමිණී අබය මහරජු ප්‍රධාන කොට ගනිමින් යුද මණ්‌ඩලය රැස්‌වීමට නියමිත ව තිබුණේය.

⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆

හදිසියේම, සාම දූතයන් සේ පෙනෙන දෙදෙනෙක්‌ පැමිණියෝය. එහෙත්, ඒ විජිතපුර බළකොටුව තුළින් නොවේ.

සුදු අසකු පිට නැඟුණු එකකු අත සුදු ධජයක්‌ තිබුණු අතර, දුඹුරු පැහැ අසකු පිට පැමිණි අනෙකා අත සංදේශයක්‌ විය.

වේළුසුමන මහ සෙනෙවි අබියසට පමුණුවනු ලැබූ ඔවුහු තමන් එළාර රජුගේ නිල රාජ දූතයන් නොවන බව මුලින්ම කියා සිටියහ.

"එසේනම් නුඹලා කවුරුද බොලව් ?"

වේළුසුමනයෝ පිළිවිසීයහ.

"අපි ශාරදා කුමරියගෙන් ගාමිණී අබය මහ රජ්ජුරුවන් වහන්සේට සංදේශයක්‌ රැගෙන ආමු"

මවිතයට පත්වුව ද වේළුසුමන ඒ බව නොපෙන්වීමට වග බලා ගත්තේය.

තමන් අනුරාධපුරයේ සිට රහස්‌ මඟකින් පැමිණ මල්වතු ඔය පැන කුලත්ථවාපියට ළඟා වූ බවත් එතැනින් රට්‌ඨමාලාපබ්බතය හරහා කලාඔය දිගේ පැමිණ විජිතපුරයට ළඟා වූ බවත් ඔවුහු කීහ.

වේළුසුමනයෝ අයාගත් මුවින් යුක්‌තවම සංදේශකරුවන් ගාමිණී අබය මහරජු ඉදිරියට පැමිණවූහ.

සංදේශය භාරගත් රජ්ජුරුවෝ එය දිගහැර කියෑවීමට පෙර පණිවිඩකරුවන් ඇමතූහ.

"............අනුරාධපුර නගරය තුළ ආහාර හිඟයක්‌ පවතීද ?"

"නගරය පලා ආ සහ පලා එමින් සිටින ජනතාවගෙන් පිරී ගිහින්, ඒ නිසා හදිසියේ උදා වූ ආහාර හිඟයක්‌ තිබෙනවා. එළාර රජතුමා ඒ නිසා ධාන්‍ය නීතිය ක්‍රියාත්මක කොට තිබෙනවා මහ රජතුමනි"

දෙදෙනා අතරින් නොපැකිලිව කතා කරන්නා කීවේය.

"යුද්ධයක්‌ පවතින වෙලාවක ආහාර සුරක්‌ෂිතභාවය ඉතා වැදගත්........"

රජ්ජුරුවෝ මඳ කනස්‌සලු ස්‌වභාවයකින් කීහ.

".............තොපගේ රජතුමා ගත් ක්‍රියාමාර්ගය නිවැරදියි, ඒත් එය කුඩා දරුවන් විෂයෙහි එතරම් තදින් ක්‍රියාත්මක නොවිය යුතුයි......."

තමන් 'හ්ම්' ගෑ යුත්තේ කොයි රජුට දැයි සිතාගත නොහැකි වු දූතයෝ බිම බලා ගෙනම සිටියහ.

රජ්ජුරුවෝ සංදේශය කියවන්නට පටන් ගත්හ.

ඉතා ව්‍යක්‌ත ලෙස මාගධී භාෂාවෙන් ලියෑවුණු ගාථාවලින් යුක්‌ත වූ එහි අර්ථය මෙසේය.

"මහ රජතුමනි,

මේ ලෝකයේ ඒක පාර්ශ්වීයව කළ හැකි ඇතැම් දේ අතර ඉතා වැදගත් කාරණා ද්වයක්‌ තිබේ.

එකක්‌ යුද කිරීමය, අනෙක ආදරය කීරිමය.

ඒක පාර්ශ්වීයව යුද කිරීම යනු ආක්‍රමණය කිරීමය. එහෙත්, ඒක පාර්ශ්වීයව ආදරය කිරීම යනු ආක්‍රමණය කිරීමක්‌ නොවේ.

මම කිසිදිනෙක මා නො දුටු කිසි දිනෙක මට ළංවිය නොහැකි ඔබට ආදරය කරමි. ඒ යම් දිනක ඔබගේ බිසවක්‌ බවට පත්වීමේ සිහිනයකින් නොවේ.

මහ රජතුමනි, ඉතාම සත්‍යය නම්, සාක්‌ෂාත් කොට ගැනීමේ හෝ අත්පත් කොට ගැනීමේ හෝ අරමුණු නොමැතිවත් මිනිසුන් විසින් ආදරය කරනු ලැබීමය.

මේ සංදේශය කියවා ඔබ අප ආක්‍රමණය කිරීම නතර කරන්නේය යන බොළඳ සිතිවිල්ලක්‌ මට නැත.

මා මෙය ඔබට එවන්නේ, ක්‍රමයෙන් රජරටට ළඟාවන ඔබගේ සේනාවන් වෙතින් අප මරණයට පත්වීමට පෙර මෙය ප්‍රකාශ කළ යුතු නිසාය.

සාමාන්‍යයෙන් මරණයට පත්වූවනට ඔවුන්ගේ මරණය පිළිබඳ ආරංචිය නොලැබේ. ඒක පාර්ශ්වීයව, අප්‍රකාශිතව ආදරය පුදන්නන්ට ද තමන්ගේ ආදරයට කිසි විටෙක ප්‍රතිචාරයක්‌ නොලැබේ. එහෙත්, මරණයෙන් මතු ජීවිතය පවතින්නා සේම එය ද නොනැසී පවතියි.

මහ රජතුමනි, මෙය උපක්‍රමයක්‌ ලෙස හෝ ආයාචනයක්‌ ලෙස හෝ නොසලකනු මැනවි. ප්‍රකාශ කළ යුතු සත්‍යයක්‌ එය ප්‍රකාශ නොකොට නොසිටිය හැකි අවසාන සීමාවේ සිට ප්‍රකාශ කිරීමක්‌ වශයෙන් පමණක්‌ සැලකුව මැනවි.

පිළිතුරක්‌ අපේක්‍ෂා නොකරමි.........."

රජ්ජුරුවෝ ඇවිලී ගිය කරුණාවකින් යුක්‌තව පණිවිඩකරුවන් දෙස බැලුහ.

"නුඹලා අපගේ ආගන්තුක සත්කාර භුක්‌ති වින්දෝද ?"

"එසේය, මහ රජතුමනි"

ඔවුහු එකහඬින් කීහ.

"මඳ දිනක්‌ නවතිව්, මෙයට පිළිතුරක්‌ තිබේ"

රජ්ජුරුවෝ හුනස්‌සෙන් නැගිට වෙනත් රාජකාරියකට ඇතුළු ගැබට ගියහ.


⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆

උරෙයියූර් රාජ මාලිගය ඉදිරියේ පවත්නා විශාල බිම් කඩෙහි මහා චෝළ සේනාවක්‌ රැස්‌ව සිටියහ.

චෝල රාජ චිහ්නය වූ නපුරු ව්‍යාඝ්‍ර මුහුණ සහිත ධජ පතාක ඒ සේනාවේ තැනින් තැන ලෙළදෙමින් තිබුණේය.

අධික සොම්නසක්‌ විසින් ජනිත කරනු ලැබූ උත්තේජනය හේතුවෙන් සිහලදීප රජරට රාජ්‍යයෙන් පැමිණි දූතයා වූ දේවර්ෂී ඒ ඉදිරිපිට කඳුළු පමණක්‌ නොව සෙම් සොටුද වගුරවමින් සිටියේය.

සියල්ලන්ගේම මහා ප්‍රීති ඝෝෂාව මධ්‍යයේ චෝල මහ රජු මාළිගා සඳළු තලයේ පෙනී සිටියේය. ඔහු අසල මහ සෙනෙවි භල්ලුකද වෙනත් සෙනෙවිවරුද වූහ.

ලෙළ දෙන ව්‍යාඝ්‍ර ධජපතාක දෙසම බලමින් සිටි දේවර්ෂී හිස ඔසොවා ආපසු හැරී මාලිගා සඳළුතලය දෙස බැලුවේය.

"සිහල ද්වීපය බලා යන මාගේ වීර සෙබළුනි........"

රජුගේ ආමන්ත්‍රණය පමණකින්ම සෙබළු යළිත් ප්‍රීති ඝෝෂා කළහ.

"..........නුඹලා යන්නේ පාරාදීසයකට.........."

පෙරටත් වඩා ප්‍රීති ඝෝෂාව දැඩි විය.

"............ඒ පාරාදීසය අප අපේ හිතවත් රජුට ලබාදිය යුතුය. ඔහුට තිබෙන බාධා ඉවත් කළ යුතුය. නුඹලාට ඔහුගෙන් ත්‍යාග ලැබෙයි........."

යළිත් වා තලය ප්‍රීති ඝෝෂාවෙන් ඇළලිණ.

".............මටත් ඒවායින් පොඩි තෑග්ගක්‌ ගෙනෙන්න"

ප්‍රීති ඝෝෂාව සමඟ මහා සිනා හඬක්‌ ද පැතිරිණි.

ඊළඟට සේනාව ඇමතූ එම සේනාව භාර මහ සෙනෙවියා වූ භල්ලුක මෙසේ කීවේය.

"ඔව් අපි අපේ මහ රජතුමාට ගේනවා තෑග්ගක්‌. එළාර රජතුමාට රජරට බේරාදී ඒ මහා පාරාදීසයෙන්. කොටසක්‌ අපි අපේ රජතුමාට ගේනවා"

(මේ කාලයේ සිහලද්වීපය සැලකුණේ ජම්බුද්වීපය තරම්ම විශාල රටක්‌ වශයෙනි) 

⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆

"ශාරදා කුමරිය,"

ගාමණි අබය රජ්ජුරුවෝ ලියා තිබුණේය.

"අප්‍රකාශිතව ආදරය කරන්නන්ගෙන් සේම, අප්‍රකාශිතව සතුරුකම් කරන්නන්ගෙන්ද මිදී සිටීමට මනුෂ්‍යයන්ට නොහැකිය.

වාසනාවකට ඔබේ පියරජතුමා මගේ සැඟවුණු සතුරකු නොවේ. දැන් ඔබ ද මට සැඟවුණු ප්‍රේමයක්‌ ඇති තැනැත්තියක්‌ නොවේ.

ඔය ද්වයටම මුහුණදීමට මට හැකිය.

එහෙත් ඔබේ අපූරු ප්‍රේමය සමඟ යුද වැදීම මට අපහසුය. එහිදී මම පරාජය භාරගෙන පළායමි. ජාතික සටනේ දී මම ඔබගේ පිය රජතුමා පරදවමි. එය යුක්‌ති ධර්මය විසින් සහ මේ රට විසින් මට පැවරූ කාර්ය භාරය බැවිණි. කුමරිය, ඕනෑම ආක්‍රමණිකයකු අවසානයේ දී මේ රට තුළ දී මුහුණ දෙන පරාජය නමැති සිදුවීමට ඔබේ පියා ද මුහුණදී සිටියි. එය ඉක්‌මනින්ම ඔහුට අවබෝධ වේවා. ඔහු සතු විශාල නාවුක බලයේ පිහිටෙන් ඔහුට ආපසු යැමට සිතක්‌ පහළ වේවා"

ශාරාදා වෙතින් ලැබුණු ගාමිණී අබය රජුගේ සංදේශය එළාර රජු තරමක්‌ කෝපයට පත් කළේය.

"මට හොරන්, රාජ්‍යයට හොරෙන් දුෂ්ට ගාමණීට සංදේශයක්‌ යෑව්වා මදිවාට, ඔහුගේ පෙළඹවීමෙන් මට පළා යන්නට යෝජනා කරන්නට තරම් නිර්භීත වූයේ කොහොමද?"

ශාරදා නිහඬවම ද බිමට යොමාගත් දෙනෙත් වලින් යුතුවම ද සිටියාය.

".....සතුරකු විෂයෙහි වුවත් ඔබ තුළ උපන් සෙනෙහසට මා ගරු කළා, ඊට ඔබ දක්‌වන සැලකිල්ලද මේ....?"

"පියාණනි මට සමාවන්න?" 

අවසානයේදී එළාර රජුගේ දෙපතුල් අල්ලා වැඳ වැටුණු ශාරදා කීවාය.

ඔහුට ඒ මොහොතේ සිහිවූයේ අස්‌රියට යටවී මියගිය තම පුතුය.

"නැගිටින්න"

එළාර ශාරදාට කීවේය.

"....... සමහරවිට අප පරදින එකක්‌ නැහැ. චෝළ සේනාව අපගේ ආධාරයට පැමිණෙන බව සහතිකයි. ඒ නැතත් මා ආපසු හැරෙන්නේ නෑ ශාරදා. මා පළා යන්නේ නැහැ ශාරදා. මින්මතු එබඳු යෝජනා නොගෙනනු...."

ශාරදාගේ කුටියෙන් පිටව යන්නට ගිය එළාර ආපසු හැරී ආවේය.

".... රාජකීයයන් කියන්නේත් මනුෂ්‍ය කොට්‌ඨාශයකට තමා. ඔවුන්ගේ කුස ගින්න අතරත් සාමාන්‍ය මිනිසුන්ගේ කුස ගින්න අතරත් කිසිදු වෙනසක්‌ නෑ තමා. ඔවුන්ගේ පිපාසය අතරත් සාමාන්‍ය මිනිසුන්ගේ පිපාසය අතරත් කිසිදු වෙනසක්‌ නෑ තමා. එහෙත් ඔවුන්ගේ හැඟීම් පවා දේශපාලනයට සම්බන්ධයි. එහෙයින් හැඟීම්වලින් පවා ප්‍රවේශම් වෙනු"

⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆

තෙවන පරිඛාවට අරක්‌ගෙන සිටි දහස්‌ ගණනක රජරට සේනාංකයක වූවන් මරා දමමින් හෝ පළවා හරිමින් හෝ සටන් ආරම්භ කළ නන්දිමිත්‍රගේ සහ සුරනිමලගේ සේනාංක විජිතපුර බලකොටුවේ දකුණු දොරටුව අසලට පැමිණියෝය.

ඊට සමාන්තරවම මහාසෝණ, ගෝඨයිම්බර, ථෙරපුථ්තාභය යන සෙනවිවරුන්ගේ සේනාංක සෙසු දොරටු වටලෑහ.

බලාපොරොත්තු වූ පරිදිම මාගම සේනාවන්ට එය ඉතා දුෂ්කර සහ කාඨෝර ආරම්භයක්‌ විය.

මේ සෑම සේනාංකයක්‌ම බලකොටු පවුරේ උඩ සිට එවන ලද හී සර වරුසාවන්ට ද ඉඩංගණී යන්ත්‍ර ප්‍රහාරයන්ට ද ගිනිබෝල ප්‍රහාරයන්ට ද දරුණු ලෙස ගොදුරු වූයේ විය.

එසේ වුවද සෙබළෝ දැවැන්ත ගස්‌ කඳන්, විශාල සක්‌ මත රඳවා ලෝහයෙන් තනන ලද දොරටු දෙසට තල්ලු කිරීම අත් නොහළහ.

මෙම ගස්‌ කඳන් වලින් එල්ල වූ ප්‍රහාරවලින් බලකොටුවේ ලෝහ දොරටු හෙණ වැදුණු කලෙක මෙන් දෙදරන්නට වූ නමුදු ඒවා කැඩෙනු බිඳෙනු තබා සෙළවුණේවත් නැත. සිදුවූ එකම දෙය නම් මේ කාර්යයේ යෙදුණු සියලුම ප්‍රහාරක සේනාංකවල සෙබළුන් දහස්‌ ගණනින් මිය යාමය.

වහාම පසුබසින ලෙසට ගාමණී අබය රජ්ජුරුවෝ කඩොල් ඇතු පිට සිට අණ කළහ.

තම ඇත් හමුදාවෙන් තෝරාගත් ඉතාම ශක්‌ති සම්පන්න සහ නිර්භීත හස්‌තීන් කන්ඩායමක්‌ සමඟ රජු තෙමේම ඉදිරියට පැමිණියේය. එහෙත්, නන්දිමිත්‍ර රජු වළකා එම හස්‌තීන් කණ්‌ඩායම තම භාරයට ගත්තේය.

අනතුරුව නන්දිමිත්‍ර විසින් මරු විකල්ලෙන් මෙන් මෙහෙයවන ලද හස්‌තිහු ලෝහ දොරටු සමඟ ඔට්‌ටු වූවෝය.

එහෙත්, බල කොටුවෙහි වූවෝ එබන්දකට සූදානම්ව සිටියහ.

ඔවුහු ඒ සියලු හස්‌තීන් මතට ගිනියම් කළ යකඩ ගුලි ද, කකාරන ලද ඉටි ද දැමුවෝය.

හස්‌තීන් මරහඬ තලමින් පළාගිය අතර කඩොල් ඇතු පමණක්‌ එය නොතකා නොකඩවාම දකුණු දොරටුවේ ගල් රාමුවට පහර දුන්නේය. බලකොටුවෙහි වූවෝ ඌ පිටට ලෝදිය වත් කළහ.

කඩොල් ඇතුට එය කිසිසේත් ඉවසිය හැක්‌කක්‌ වූයේ නැත. ඌ තම දුම් දමන පිටෙන් ආපසු හැරී දිවගොස්‌ දිය අගලට පැන්නේය.

ලෝහ දොරටුවට කිසිදු හානියක්‌ සිදු නොවුන ද කඩොල් ඇතුගේ ප්‍රහාර නිසා දොරටු රාමුව ඉරිතලා තිබෙනු දුටුවේ නන්දි මිත්‍රය.

ගාමණී අබය රජුගේ උපදෙස්‌ පරිදි වහාම ප්‍රතිකාර සඳහා යොමුකරවන ලද කඩොල් ඇතුගේ සන්නාහ ඇඳුම පිට ඊළඟ මොහොතේ මී හරක්‌ සම් සතක්‌ අතුරන ලද්දේය. ඒ සියල්ල නිම වනතුරු ස්‌වේච්ඡාවෙන්ම කඩොල් ඇතු අසල සිටි රජ්ජුරුවෝ ඌට කෑගසා මෙසේ කීහ.

"කණ්‌ඩුල කෙසේ හෝ දොර බිඳ දමනු"

කීදේ වැටහුණාක්‌ මෙන් කඩොල් ඇතා රජු දෙස මොහොතක්‌ බලා සිටියේය. ඊළඟ මොහොතේ තරමක්‌ සෙමෙන් ආපසු හැරුණේය. අනතුරුව ඌ තමන් මතට ලෝදිය පතිත කරවනු ලැබූ දකුණු දොරටුව වෙතටම යළිත් වේගයෙන් දිව ගියේය. නන්දිමිත්‍ර ප්‍රධාන සෙබළ මුළුවක්‌ ඌ පස්‌සේ ගියේය.

යළිත් කැකෑරෙන යකඩ ගිණි බෝල, ගල් ප්‍රහාර, හී ප්‍රහාර පැමිණියේය. කඩොල් මෙවර කෑගැසුවේ ඒවායෙන් වන පිඩාවට නොවේ. ක්‍රමයෙන් බිඳෙන ගල් දොරටු රාමුව ඌ තුළම මහත් උත්තේජනයක්‌ ඇති කළ නිසාය.

අවසානයේදී මහ හඬක්‌ නංවමින් දකුණු දොරටුව බිඳවැටිණි.

කඩොල් ඇතු ප්‍රධාන නන්දිමිත්‍රගේ සහ සුරනිමලගේ සේනාංක ඒ සමඟ විජිතපුර මහ බලකොටුවට ඇතුළු වූහ.

⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆

සියල්ලෝම බිඳ වැටී සිටියහ. 

"තව ඉතිරිව තිබෙන්නේ එක බල කොටුවක්‌ පමණයි..."

භට්‌ටාර සෙමෙන් කීවේය.

"නැහැ තව ඉතිරිව තිබෙන්නේ එක සිහිනයක්‌ පමණයි"

එළාර කීවේය.

"මහේල නුවර පිළිබඳව විශ්වාසය තබන්න එපා. පළායන්න..."

එළාර, භට්‌ටාර දෙස හැරී බැලුවේ කෝපයෙනි.

භට්‌ටාර ඒ කෝපය එතරම් සැලකිල්ලට නොගෙන ඉතිරිය සම්පූර්ණ කළේය.

"... වෙන මොනවා පිළිබඳ විශ්වාසය තබන්න ද, චෝල දේශයෙන් එනවා කියන භල්ලුකගේ තොරතුරකුත් තවම නැති කොට....."

"දැන් අප ඉක්‌මනින් පළා යා යුතුයි...."

"කොහේටද?"

එළාර ඇසුවේ සාවඥ ලීලාවෙනි.

"....එක්‌කෝ චෝළ දේශයට, නැත්නම් අප පැමිණි කාලිංගයට, පසුව පැමිණ සංවිධානය වී මේ උලව්ව නැවත අල්ලාගන්න අපට පුළුවන්"

"මා විශ්වාස කොට මෙහි පැමිණි චෝළයන් පාණ්‌ඩ්‍යයන්, චේරයන්, පල්ලවයන්, කලභ්‍රවරුන් අනතුරේ හෙලා මා පළායන්ට? භට්‌ටාර ඔබ මගේ විෂ්ණු ගුප්ත මිස අසුබ ගුප්ත නොවනු. භල්ලුක ගේ සේනා ළඟ ළඟම පැමිණෙයි. ඒ සේනා පැමිණ අප බේරා ගනියි..."

භල්ලුකගේ සේනා එසේ පැමිණෙන බවට කිසිදු තොරතුරක්‌ නොමැතිව එළාර පවසන වදන් භට්‌ටාර තුළ මහත් නොසන්සුන්කමක්‌ ඇති කළේය.

'මේ මොන උලව් උමතු විශ්වාසයක්‌ද?' ඔහුට සිතිණි. 

එහෙත් ඔහු එසේ කීවේ නැත.

"කාවේරි ගංගාව පැත්තෙන් චේර සේනාවකුත් එනවා" 

එළාරට ඔහේ කියෑවිණි.

⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆

වර්ෂ 2010 අගෝස්තු මස පහළොස් වන ඉරිදා, දිවයින ඉරිදා සංග්‍රහයෙන් උපුටාගත් මෙම මහරජ ගැමුණු සිනමා තිර රචනයේ නවකතා පරිවර්තනය තිස් වන කොටස ක්‍රි.ව. 2016 ක් වූ දෙසැම්බර් මස විසි අට වන දින පූජිත විසින් සටහන් කරන වගයි...

No comments:

Post a Comment