Wednesday 21 December 2016

06 කොටස - අර්ධ නාගයන් ඔබ සාදරයෙන් පිළිගන්නවා!

ගාමණී අබය කුමරුගේ ප්‍රශ්නය මේ දැන් වහාම පිළිතුරු අපේක්‍ෂාවෙන් නගන ලද්දක්‌ නොවූවත් ඊට යම් ප්‍රමාණයක පිළිතුරක්‌ දීමේ අභිරුචියක්‌ නන්දි මිත්‍රට තිබිණි.

ඇත්ත වශයෙන්ම තමන්ට මේ සිතිවිල්ල ලබා දෙන ලද්දේ සොළොස්‌ හැවිරිදි වියේ පටන්ම තමන් පසු පස පැමිණි, තවමත් හරිහැටි නොහඳුනන මිනිසුන් කණ්‌ඩායම විසිනි. ඔවුන් තම ජීවිතයට සිදු කොට තිබූ බලපෑම කොතරම්ද යත්, එය නන්දිමිත්‍ර තම මිත්‍ර මාමණ්‌ඩි යටතේ එළාර රජතුමාට කළ සේවය අතහැර යැම කෙරෙහි හෝ ආකර්ෂණීය තරුණ මිනිසකු වශයෙන් අනුරාධපුර පුරවැසියන් අතර පැවැති පිළිගැනීම අත හැරයැම කෙරෙහි හෝ පශ්චාත්තාපයක්‌ ඇති කරනු නොලද්දේය.

අනුරාධපුරයට මඳක්‌ ඈත - උපතිස්‌සග්‍රාම ප්‍රදේශයේ කුඩා ගොවි ගෙදරක රඳවනු ලැබූ ඔහු රැකබලා ගනු ලද්දේ ද ඒ රහසිගතයන් විසින්ම ය. තම ජීවිත අරමුණ උගන්වන ලද්දේ ද අන්තිමේදී තමා කාවන්තිස්‌ස රජු වෙතට එවන ලද්දේද ඒ රහසිගතයන් විසින්මය.

"නන්දි මිත්‍ර මිත්‍රය.." 

ගාමණී අබය කුමාරයෝ මහත් සමීප ලෙස නන්දිමිත්‍ර ඇමතූහ. 

"අපට නම් එය උගැන්වූ කෙනකු හිටියා."

එකෙණෙහි ම ඔවුන් රැඳි සිටි ස්‌ථානය අසල වූ දැවැන්ත ද්වාරය විවර විය. විහාර මහා දේවිය පරිවාර සේවිකාවන් කීප දෙනකු සමග ඒ පරිශ්‍රය වෙතට පිවිසියාය. සිල්ලෝම එකත්පස්‌ව ඇයට හිස නමා ආචාර කළ අතර නන්දිමිත්‍ර කළ ආචාරය දණින් නැමී කළ එකක්‌ විය.

"පිහිටි රටින් ආව අලුත්ම වීරයා දකින්නයි ආවේ"

"මෑණියන් ගැන මම දැන් යමක්‌ කීවා විතරමයි"

ගාමණී කීවේය.

"ඕ...... එහෙනම් මම දැන්ම මැරෙන එකක්‌ නැහැ........"

යි ගාමණී අබය දෙස බලා කියු ඇය අනතුරුව සෘජුවම නන්දි මිත්‍ර දෙස බැලූවාය.

"දරුවා ඔබ නන්දිමිත්‍ර"

"එහෙමයි දේවීන් වහන්ස"

නන්දිමිත්‍ර තමන් අපමණවත් අසා දැන තිබූ දකුණේ සුප්‍රකට කාන්තාවල හදිසියේ සම්මුඛවීමෙන් ඇති වූ විස්‌මය විඳගනිමින් කියා සිටියේය. ක්‍රමයෙන් මැදිවිය කරා ළඟා වෙමින් සිටිය ද ඒ බව ප්‍රකට කරන මොනම ලක්‌ෂණයක්‌වත් ඇය කෙරෙන් නොවීය. ඇතැම් විටෙක ඈ තම පුළුල් නළල් තලයේ රැළිනංවයි. ඒ ඉතාම තියුණු කාරණාවක්‌ අවධාරණය කරන කල්හිය.

"ඔබේ එක්‌වීම ගෞරවයක්‌" 

ඈ එසේ නළල රැලි නංවා කීවාය.

නන්දිමිත්‍ර යළිත් හිස නමා මුවින් නොබැණ සිටියේය.

විහාර මහා දේවිය මුළු පරිශ්‍රයම ඒකාලෝක කරන සිනහවක්‌ නඟමින්, නිහඬව සිටින වේළුසුමන සහ සුරනිමල දෙසට හැරුණාය.

"වේළුසුමන, සුරනිමල, ප්‍රවේශමෙන් මේ රාක්‌ෂස අංගම් කාරයෙක්‌, කවුද රාක්‌ෂස අංගම් කාරයෝ කියන්නේ, රාවණා පරම්පරාවෙන් පැවත එන හටන් කාරයෝ. සටනකට ආවොත් ආයේ ඉතිං අලි ඇතුන්ටවත් මේ අය නවත්තන්න බැහැ. ඒ තරම් භයානකයි."

සුරනිමල එය පිළිගැනීමට උනන්දුවක්‌ දක්‌වන ඉංගිතයක්‌ පළ කළ අතර, වේළුසුමන මුහුණේ කිසිදු වෙනසක්‌ පළ නොවිණි. ඔහු ඈනුමක්‌ යෑවීමේ උවමනාවකින් පසුවිය.

ගාමණි අබයත්, තිස්‌ස කුමරුවාත් මවගේ ප්‍රකාශයෙන් සතුටක්‌ වින්ද බව පෙනිණි.

"එය පුරසාරමක්‌ නොවෙයි. මා විශ්වාස නැත්නම් දවසක මොහු සමග සටනට කඩොල් ඇතු යොදවා බලන්න."

විහාර මහා දේවිය තමන්ට කළ ගෞරවයට තමන් යමක්‌ ප්‍රකාශ කළ යුතුම යෑයි නන්දිමිත්‍රට සිතිණි. ඔහු මෙසේ කීවේය.

"නමුත් අපගේ දේවීන් වහන්ස, අලි ඇතුන්ට නොහැකි වූවත් රාක්‌ෂසයන් නතර කිරීමට නාගයන්ට, අර්ධ නාගයන්ට පුළුවන්"

නන්දි මිත්‍රගේ ප්‍රතිඋත්තරය විහාර මහා දේවිය සතුටට පත් කළ බව පෙනිණි.

ඈ පිටව යන අතර මෙසේ කීවාය.

"අර්ධ නාගයන් ඔබ සාදරයෙන් පිළිගන්නවා."

⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆

භට්‌ටාර වේගයෙන්, මාළිගයේ පහළ මාලයට දිව ආවේය. ඔහු කෙතරම් නොසන්සුන්ව එය සිදු කළේද යත්, ජෛන පූජක ප්‍රතිරූපකයකු වශයෙන් හෝ ඔහු විසින් රැක ගත යුතු විලාශයක්‌ ඒ නිසා ඒ මොහොතේ ඔහු කෙරේ නොරැඳිණි. ඔහුට යම් පණිවිඩයක්‌ රැගෙන ගිය පණිවිඩකරුවන් දෙදෙනෙක්‌ද ඔහුගේ වේගයට සරිලන වේගයකින් ඔහු පසු පසින් දිව ආහ.

හදිසියට සම්බන්ධ කොට ගත හැකි කිසිදු රාජ්‍ය නිලධාරීයෙක්‌ පහළ මාලයේ නොසිටියේය. 

තවත් මොහොතක්‌ පමා නොවුණු භට්‌ටාර ද්වාරාරක්‌ෂකයන් දෙදෙනකු විසින් රැකවල්ලා සිටින දැවැන්ත ද්වාරයක්‌ අසලට ගියේය.

ඔහුගේ පැමිණීම පමණෙකින්ම ද්වාරාරක්‌ෂකයන් විසින් එය විවර කරනු ලැබිණි.

තරමක්‌ විශාල ශාලාවේ ඒ මොහොතේ සම්මනත්‍රණයක්‌ පැවැත්වෙමින් තිබිණ. ඒ, නව වෙළෙඳ තොටමුණු කීපයක්‌ පිළිබඳව සහ ඒවායේ ආරක්‌ෂාව පිළිබඳවය.

එතැන සිටි අමාත්‍යවරුන් කීප දෙනා ද, සෙනෙවිවරුන් දෙදෙනා ද, දමෙඩයන්  (සමුද්‍ර වෙළෙඳාමේ යෙදුණු විශේෂ වෙළෙඳුන් පිරිසකි), යුත්කැමියන් හෙවත් අයබදු එකතු කරන නිලධාරින් කීප දෙනා ද, ශාලාවට ඇතුළු වූ භට්‌ටාර දුටු සැණින් හුනස්‌නෙන් නැගිට සිටියහ. දෙඅත් එක්‌කොට ඔහුට ආචාර කළහ. භට්‌ටාර එය ගනණකට නොගෙන සෙනෙවියන් දෙදෙන දෙස බලා කෑගැසුවේය.

"නගරයට ඇතුළු වී සිටින නාගයන් වනසනු"

සෙනෙවි පාණිමුත්තට භට්‌ටාරගේ වදන් එක්‌වරම වැටහුණේ නැත. දික්‌අබාගල බලකොටුවේ කාලයක්‌ම සේවය කළ කාලිංගයකු වූ ඔහු දීඝජන්තු මහ සෙනෙවි විසින් රජ මාලිගයේ සේවය සඳහා කැඳවා දැන් වැඩි කාලයක්‌ නැත.

"නාගයන්.. මොන නාගයන්ද?

පාණිමුත්ත භට්‌ටාරගෙන් විමසුවේය. 

පාණිමුත්තගේ නොදැනුම භට්‌ටාරට යක්‌ෂයා ආරූඪ කළේය. ඔහු තම සුරතින් නාගයකු ගමන් කරන ආකාරය අනුකරණය කරමින් මෙසේ කීවේය.

" නෑ.... අර නිකං මේ මෙහෙම මෙහෙම ගිහින් පුෂ් ගාන එවුන්"

ශාලාව තුළ මොහොතක තකතීරු නිහැඬියාවක්‌ පැවතිණි.

භට්‌ටාර ඉක්‌මනින් ශබ්ද පිරවුයේය. 

"මෝඩයා මාගමින් ආව දුර්ගම සංග්‍රාමික නාග ගෝත්‍රික කණ්‌ඩායමක්‌ නගරයේ සැරිසරනවා."

(දුර්ගම සංග්‍රාමික කණ්‌ඩායමක්‌ යන්නෙහි අර්ථය හදිසියේ පහරදී පලායන කණ්‌ඩායමක්‌ යන්නය. මෙකල්හි දෙපාර්ශ්වය සතුවම මෙබඳු කණ්‌ඩායම් පැවතිණි. එහෙත්, මේ මොහොත වන විට එබඳු කණ්‌ඩායම් වල ක්‍රියාකාරිත්වය දෙපාර්ශ්වය විසින්ම නතරකොට තිබිණි.)

"දුර්ගම සංග්‍රාමික කණ්‌ඩායමක්‌? තරහා අවසර මේ තොරතුරු ඔබට දුන් චරපුරුෂයන් කවුද අපට නම් එහෙම තොරතුරක්‌ නැහැ."

චරපුරුෂ කටයුතු පිළිබඳව කිසියම් ප්‍රමාණයක අධීක්‌ෂණ වගකීමක්‌ සහිත පාණිමුත්ත කීවේ අවංකවමය.

"නුඹලාගේ චරපුරුෂයෝ ඒ තොරතුරු නුඹලාගේ මළ සිරුරු වලට ලබා දෙයි. දන්නවා ද ඇවිත් ඉන්න කණ්‌ඩායම, විදුලි කොටන එළියෙන් හී විදින අක්‌ෂණ වේදීන්, බොහෝම ඈතටත් හරිම ඉලක්‌කය ගන්නා වාලවේදීන් හඬ එන ඉලක්‌කයට විදින ශබ්ද වේදීන්........."

සියල්ලන්ම තම තොරතුරු දැක්‌වීම රසවත් කතාවක්‌ මෙන් සවන්දී සිටීම ද භට්‌ටාර තුළ හදිසි කෝපයක්‌ ජනිත කළේය. එහෙයින් ඔහු දුනුවායන් පිළිබඳ තම විස්‌තර වර්ණනා නවතා එක්‌වරම මෙසේ විචාළේය.

"කෝ රජතුමා?"

ඊට පිළිතුරු දුන්නේ අමාත්‍යවරයකු වූ මට්‌ටකය.

"නරක අවස්‌ථාවක්‌, රජතුමා දඩ කෙළියේ ගිහින්"

රජු කෙරෙහි වුව කෝපය පිට කළ හැකි මේ ලෝකයේ එකම මිනිසා වුයේ භට්‌ටාරය. 

එහෙයින්, ඔහු පරුෂ වචනයක්‌ කියනු වෙනුවට ඒ ස්‌වරයෙන් මෙසේ ඇසුවේය. 

"කොයි උලව්වකද?"

"මේ ළඟට, මහාමේඝ වනයට"

සිනහවත් කෝපයත් මිශ්‍ර බෙරිවූ මුහුණකින් භට්‌ටාර උඩ බලාගෙන කතා කළේය.

"අච්චර වනාන්තර තියෙද්දී මහාමේඝ වනයේ දඩයමේ යන්ඩ රජතුමාට පිස්‌සුද..." 

"බොලව් ඒක වනාන්තරයක්‌ නොවෙයි, වල් බිහිවෙච්ච උද්‍යානයක්‌. ඒකෙ වල් බිහිවෙන්න ඇරියෙ අපි, මේක හරියට අපි රාස්‌සයෙක්‌ මවල අපිම උගෙ කට ඇතුලෙ හැංගිමුත්තම් සෙල්ලමේ ගියා වගේ වැඩක්‌. කෝ දීඝ ජන්තු සෙනෙවිතුමා?"

"එතුමාත් රජතුමා සමග ගිහින්" 

අනෙක්‌ සෙනෙවියා කීවේය.

"මිත්‍ර සෙනෙවි?"

"එතුමාත් ගිහින්"

"ඇයි නුඹලාත් නොගියේ?"

සම්භාවනීය පිරිසක්‌ වූ දමෙඩයන් ඉදිරිපිට විසුළු භාවයට ලක්‌වීම සෙනෙවිවරුන් තුළත් අමාත්‍යවරුන් තුළත් ඇති කළේ ලඡ්ජාවකි.

"රජ්ජුරුවොයි උඹලයි මහා මේඝ වනයේ දඩයමේ යනවා, මාගම උන් මෙහේ දඩයමේ එනවා කාලෙකට ඉස්‌සර අර වේළුසුමනයා මෙහේ ඇවිත් අපේ නන්දසාරථි මහ සෙනෙවිතුමාගේ බෙල්ල කපල අරගෙන ගියා උඹලට මතක නෑ මයෙ හිතේ..."

වහාම තම පෞද්ගලික නිවස්‌නයේ සිටි මහා නීල චෝල සෙනෙවියා කැඳවන ලද අතර ඔහු සෙනෙවි පාණිමුත්තද සමග භට්‌ටාරගේ අණ අනුව ක්‍රියාත්මක විය. 

⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆

තම හිස ක්‍රමක්‍රමයෙන් මුඩු බවට පත්වනු එළාර රජුට දැනුණේ තරුණ වියේදීමය. නොයෙකුත් දුර්ලභ ඖෂධ යොදවා කෙස්‌ ගැලවීයැම වළක්‌වා ගන්නට ඔහු උත්සාහ කළේ නැත.

දැන් ඔහු මැදිවියද පසුකොට සිටියි. හිස සම්පූර්ණ මුඩුය. අතරින් පතර කෙස්‌ ගසක්‌ දෙකක්‌ පැසුණ කාලවර්ණ රැවුල මුහුණ පුරාය. නිරන්තර සටන් අභ්‍යාසයෙන් සහ පමණ දැන ලබාගන්නා ආහාරපානාදියෙන් යුත් ඔහු සිරුර සෘජුය, දැඩිය, අතිශයින් ශක්‌තිමත්ය. මේ සියල්ල එක්‌වූ කළ කවර චිත්‍ර ශිල්පියා අතින් වුවත් ප්‍රතාපවත් රූපයක්‌ නිර්මාණය වීම වළක්‌වනු නොහැකිය.

ඒ රූපයේ හිමිකරුවා ඒ මොහොතේ වේගයෙන් දිවයන ගෝනකු පසුපස තම ශ්වේත වර්ණ සෛන්ධවයා මෙහෙයවමින් සිටියේය. 

දඩයමේ යැම සඳහා යොදා ගන්නා සුවිශේෂ අසුන් දෙදෙනා පිට නැඟුණු මිත්‍රත්, දීඝ ජන්තුත් රජු අසලින්ම ඔහුගේ ඉලක්‌කය වෙතට පියඹා යමින් සිටියෝය. තිදෙනා පිටුපස හියවුර බැගින් වූ අතර තියුණු ඊතලවලින් ඒවා පිරී පැවතුණේය. උර මත දමාගත් විශාල ප්‍රමාණයේ දුන්නක්‌ තිබුණ ද රජු මේ මොහොතේ ගෝනා හඹා යමින් සිටියේ ඌ වෙත එල්ල කරගත් තෝමරයක්‌ සමගය.

තම සිතටත්, ගතටත් දැනෙන දුර ප්‍රමාණයට ගෝනා සමීප වූ සහ දුරස්‌ථ වූ කල්හි එළාර රජු ගෝනා වෙතට තෝමරය වේගයෙන් එල්ල කළේය.

එහෙත් යන්තම් සීරිමක්‌ පමණක්‌ ලබා ගනිමින් ගෝනා මරණයෙන් ගැලවිණ. එකෙණෙහිම පසුපස බලන එළාර අතට තෝමර කීපයක්‌ රැගෙන පැමිණෙන සේවක අසරුවා විසින් තවත් තෝමරයක්‌ එවන ලද්දේය. වේගයෙන් අසු පදවන අතරම ඉතා ශූර ලෙස එය අල්ලාගත් එළාර රජ්ජුරුවෝ මහත් ප්‍රමෝදමත් හඬක්‌ නඟමින් එය සැණෙකින් වේගය තවත් වැඩිකොට පලායන ගෝනා වෙතට මුදාහළෝය. තෝමරය ගෝනාගේ වේගය අතික්‍රමණය කළ අතර එය උගේ ගෙල පිටුපස සිදුරු කරමින් ගොස්‌ ඌද පෙරළාගෙන පොළොවේ ඇනී නතර විය.

විශ්මයටත්, ප්‍රීතියටත් පත් සෙනෙවිවරු ද, සේවකයෝ ද ඔල්වරසන් දෙති. එළාර රජු නිහඬව තම අසුගේ වේගය පාලනය කොටගනී. සෙනෙවියන් දෙදෙනාත් අනෙකුත් අයත් පහරේ අපූර්වත්වය නැරැඹීමට ගෝනා වෙතට යන අතර උගේ මළසිරුර නැරැඹීමේ උනන්දුවක්‌ නොමැති එළාර අසු ආපසු හරවා ගත්තේය. ගෝනා වැටුණු ප්‍රදේශයෙන් යළිත් ඔල්වරසන් හඬක්‌ නැගෙයි. පිරිස මහත් ගෞරවයෙන් හා අභිමානයෙන් තමා වෙනුවෙන් නඟන තුතිගොස අසමින්ම රජු සෙමෙන් සෙමෙන් ඉදිරියට පැමිණියේය.

⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆

ඔහු එය දුටුවේ හදිසියෙනි. 

වෙහෙස නිවා ගැනීම සඳහා හෝ ඒ වේශයෙන් පැමිණි වෙනත් හේතුවක්‌ නිසා හෝ ඔහු මේ කුඩා අඩිපාර දිගේ තරමක්‌ ඈතට ගමන් කරමින් සිටියේය.

වනරොදින් වැසී ඇති මුත් ඉතා පැහැදිලිව උසට උසේ පෙනෙන මහා සෙල් ටැඹ ඔහු විසින් දක්‌නා ලද්දේය.

එළාරට මොහොතකට හැඟුණේ තමන් එය දුටුවා නොව එය විසින් තමන් දකිනු ලැබුවේය ලෙසිනි.

ඒ දෙස මොහොතක්‌ අසු පිටම සිට බලා සිටි එළාර අනතුරුව අසු පිටින් බැස ඒ කරා ළඟාවීමට උත්සාහ කළේය.

ඊට බාධා කළ විවිධ වල්පඳුරු සහ වැල් වර්ග ඔහු සිය අසිපතින් සිඳ දැමුවේය. සෙල් ටැඹ අසලට වන්නට එබඳු බාධාවන් නොවීය. එහි වටේටම කදිම ඉඩකඩක්‌ විය.

සෙල් ටැඹ එළාර සිතුවාටත් වඩා දැවැන්ත එකක්‌ විය. මුලින්ම ඔහු එහි පහළ සිට ඉහළම ස්‌ථානය දෙස බැලුවේය. ඒ දීර්ඝ උසට ඉහළින් ඔහුට පෙනුණේ නිල් වියනක්‌ බඳු ආකාශයයි.

සෙල් ටැඹේ පහළ කොටස පැරැණි බ්‍රාහ්මීය අක්‌ෂර ගණනාවකින් සමන්විත විය.

එළාර බ්‍රාහ්මීය අක්‌ෂර කියවන්නට පමණක්‌ නොව ලියන්නට ද දැන සිටියේය. ඒ අක්‌ෂර එකතුවී සෑදෙන වචනයක වාච්‍ය අර්ථය පමණක්‌ නොව වනිතාර්ථයන්ද දැන සිටියේය. 

එහෙත් මේ තමාට කියවන්නට සිදුවී තිබෙන්නේ කුමක්‌ද?

"මෙතැන රත්නමාලී මහා දාගැබ ගොඩනංවන මාගේ මුණුපුරු දෙවන පිය ගාමණී අබය නම් මහ රජුට ඉඩහසර පිණිස දෙවන පිය තිස්‌ස මහ රජු වන මම සීමා මායිම් සළකුණු කළෙමි..."

එළාර රජ්ජුරුවෝ  සසළ වූහ.

ඔහුගේ මතකය එක්‌වරටම ඇදී ගියේ මීට වසර විසිපහකට පමණ පෙර තම රාජ භාණ්‌ඩාගාරයේ තිබී භට්‌ටාරට හමුවූ රන්පත වෙතටය. 

එහි ද ලියා තිබුණේ මෙයමය.

භට්‌ටාර මෙම රන්පත සොයන්නට වෙහෙසුණේ ඔහුගේ චර පුරුෂයන් විසින් සොයා ගනු ලැබූ අනුරාධපුර වැසියන් සතුව පවත්නා එක්‌තරා ජනශ්‍රැතියක්‌ නිසාය. ඒ අනුව මහාමේඝ වනය පීරූ භට්‌ටාර මෙම සෙල්ටැඹ දැක තිබේ. රන්පත සොයන්නට ඔහු වෙහෙසුණේ ඉන් පසුවය.

එහෙත්, මේ දෙකම දැකලාත් භට්‌ටාරගේ නිගමනය වූයේ මේවා මිථ්‍යාවන් බවය.

එළාරට මේ භූමිය පිළිබඳව මුල් වරට දැනගන්නට ලැබුණේ දමෙඩයන් ගෙනි. දමෙඩයන්ද සිංහලන්ම වුවත් ඔවුහු වැඩි කාලයක්‌ භූමියක වාසය කළෝ නොවෙති. ඈත, ඈත වෙළෙඳ තොටමුණු සොයා සමුද්‍ර වෙළෙඳාමේ යෙදුණු ඔවුන් ඉතාම ප්‍රඥවන්ත මනුෂ්‍ය කොට්‌ඨාසයක්‌ ද විය. සිංහලද්වීපයේ ඉසුරු රැගෙන වෙනත් රට රාජ්‍ය කරා නැව් නැඟුණු ඔවුන්ගේ මුතුන් මිත්තන් තමන් ගොඩ බට හැම තැනකදීම ප්‍රකාශ කළේ තමන් පැමිණෙන භූමියේ වැඩි වශයෙන්ම සිටින්නේ බිහිසුණු යක්‌ෂයන් සහ රාක්‌ෂසයන් බවය. ගෙන යන භාණ්‌ඩ වෙරළේ තබා හුවමාරු භාණ්‌ඩ රැගෙන එනවා විනා රට ඇතුළට යැම ඉතා අවදානම් ක්‍රියාවක්‌ වශයෙන් ඔවුන්ගේ පැරැන්නෝ අඟවා තිබිණ. 

එහෙත් ශතවර්ෂ ගණනාවකට පසුව එය වෙළෙඳ උපක්‍රමයක්‌ පමණක්‌ බවට හෙළිදරව් වූ අතර දමෙඩයන් සමග වෙළෙඳ කටයුතු කළ ලෝකයේ නොයෙක්‌ රටවල වූවෝ වැල නොකැඩී මේ ඉසුරු බර දිවයින සොයා පැමිණියහ.

එළාරට දමෙඩයන් මුණගැසෙන විට ඔවුන් බොරු කී කාලය අතීතයට එක්‌ව තිබුණේය. ඒ වෙනුවට රාජ්‍යයේ ඉසුරුමත් භාවය පමණක්‌ නොව රාජ්‍යයේ ආරක්‌ෂක තත්ත්වය ද ජනතාවගේ ස්‌වභාවය ද වැනි බොහෝ අනවශ්‍ය කරුණු ද ඔවුන්ගෙන් නොවළහා දැන ගැනීමට එළාර සමත් විය. ඇත්ත වශයෙන්ම භට්‌ටාරට ද මේ බව දැන්වූයේ එළාරමය.

"සිංහල ද්වීපය නමින් අප දැනගන්නා මේ භූමියේ අතීතයේ ස්‌වදේශීය ගෝත්‍ර ගණනාවක්‌ හිටියා. ඉතාම ශිෂ්ටාචාරවත් ගෝත්‍ර වූ මේවා අතර බලසම්පන්න සහ පැතිරුණු ගෝත්‍ර වූයේ යක්‌ෂ, නාග, රාක්‌ෂස යන ගෝත්‍රත්‍රයයි. පසු කලෙක මෙහි ආර්යයන් සංක්‍රමණය වුණා. මුල් කාලයේදී ආර්යයන් සහ යක්‌ෂයන් අතර බිහිසුණු ගැටුම් පැවතියා. එහෙත් නාගයන් සහ ආර්යයන් අතර එබඳු ගැටුම් පැවතියේ නැහැ. ඉතා ඉක්‌මණින්ම ආර්යයන් සමග මිශ්‍ර වූයේ ඔවුන්. තවත් කාලයකදී මේ සියල්ලන් එකතු වී එක්‌ මනුෂ්‍යයකු බිහිකළා. ඒ තමා සිංහලයා. එදා පටන් මෙහි පැවතුණේ සිංහල රාජ්‍යය. ඊට තවමත් එකඟ නොවුණු යම් යම් ගෝත්‍ර කණ්‌ඩායම් ඉතාම සුළු වශයෙන් තැනල තැන සිටියා තමයි. ඒත් කවුරුත් මේ සිංහල රාජ්‍යයට විරුද්ධ වුණේ නැහැ."

"කාලිංග යුද්ධයෙන් අපව විනාශ කළ අශෝක අධිරාජයා එතුමාගේ පුත්‍ර රහතන් වහන්සේ සිංහල ද්වීපයට යෑව්වා. එදා පටන් එය සිංහල ද්වීපයක්‌ වගේම බෞද්ධ ද්විපයකුත් වුණා. බෞද්ධ ද්වීපයක්‌ කියන්නේ ධර්ම ද්වීපයක්‌. ධර්ම ද්වීපයක්‌ කියන්නේ පහසුවෙන්ම අල්ලාගත හැකි ද්වීපයක්‌. මුතු මැණික්‌ පිරුණු මේ සාර භූමිය එහෙම පිටින්ම වෙළෙඳ නගරයක්‌ කරන්න පහසුවෙන්ම පුළුවන්. රෝමකයන් හරි, යවනයන් හරි එහෙම හිතන්න ඉස්‌සර, අපි ඉස්‌සර වෙමු..."

තමා භට්‌ටාරට මුල්වරට පැවැත්වූ දේශනය එළාරට මේ මොහොතේදී සිහිපත් විය. ඉන්පසුව තමාට දේශනා පවත්වන්නට වූයේ භට්‌ටාරය. භට්‌ටාර යෝජනා කළ බොහෝ උපක්‍රම, සැලසුම් අතිශය ඵළදායක ඒවා විය. එහෙත් ඔහුට වැරදුණ තැනක්‌ තිබිණි. ගාමණී අබය නමින් රජෙක්‌ පහළ වන්නේ නැතැයි ඔහු තිර ලෙසම කීවේය. එහෙත් වැඩි දවසක්‌ යන්නට පෙර එවැන්නෙක්‌ මාගම රාජධානියේ පහළ විය.

එදා රාජ භාණ්‌ඩාගාරයේ රන් පතක්‌, ඒ මිනිසා හෙවත් ගාමණී අබය වෙනුවෙන් අනාගත සාක්‌ෂියක්‌ දරා සිටියේය. 

දැන් මහා සෙල්ටැඹක්‌ ඔහු වෙනුවෙන් මහා සාක්‌ෂියක්‌ දරයි.

මේ කුමන කරුමයක්‌ද?

අපට වැරැදුණේ කොතැනින්ද?

⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆



වර්ෂ 2010 පෙබරවාරි විසිඑක් වන ඉරිදා, දිවයින ඉරිදා සංග්‍රහයෙන් උපුටාගත් මෙම මහරජ ගැමුණු සිනමා තිර රචනයේ නවකතා පරිවර්තනය හයවන කොටස ක්‍රි.ව. 2016 ක් වූ දෙසැම්බර් මස විසිඑක් වන දින පූජිත විසින් සටහන් කරන වගයි...

No comments:

Post a Comment