Tuesday, 20 December 2016

02 කොටස - මේක මහා උමතුවක්‌, නාදය තියෙනවා, තාලය නැහැ


එයට බෝධිය යෑයි කීවෝ බෞද්ධයෝය.

ඔවුනට පෙර පැරැන්නන් විසින් බෝ ගස හඳුන්වන ලද්දේ ඇසතු ගස හෙවත් අශ්වස්‌ථ වෘක්‌ෂය නමිනි.

දෙවියන් වැඩවසන මහානුභාව සම්පන්න වස්‌තුවක්‌ වශයෙන් වෛදික යුගයේදී සේම පශ්චාත් වෛදික යුගවලදීත් පැරැණි මනුෂ්‍යයන්ගේ මහත් වන්දනාමානයට පාත්‍ර වූ මේ සුවිශේෂ වෘක්‌ෂය බොදුනුවන්ගේ වන්දනාමානයට පාත්‍ර වන්නේ ඒ අර්ථයෙන් නොවේ. තම ශාස්‌තෘවරයාට සත්‍යාවබෝධය ලබාගැනීමට උපකාරීව, උන්වහන්සේගේ ගෞරවයට ද පාත්‍ර වූ වස්‌තුවක්‌ වශයෙනි.

එපමණක්‌ද නොවේ,

බුදුන් වහන්සේ දෙව්රම් වෙහෙරේහි වැඩවාසය කරන කාලයේ උන්වහන්සේගේ කාර්ය බහුලත්වය නිසා ඇතැම් සැදැහැවතුන්ට ඔවුන් ඇතැම් විට මුණ නොගැසුණහ. මේ දුටු අනේපිඬු සිටුතුමා ඊට පිළියමක්‌ වශයෙන් බුදුන් වහන්සේගේ ධර්ම සංකේතයක්‌ ඉල්ලා දෙන ලෙසට ආනන්ද හිමියන් ඇයද සිටියේය. ආනන්ද හිමියන් මෙය බුදුන් වහන්සේට ඉදිරිපත් කළ කල්හි උන්වහන්සේ වදාළේ තමනට බුද්ධත්වයට පත්වීමට උපකාර කළ බෝධියේ ශාඛාවක්‌ ඒ සඳහා සුදුසුම පූජනීය වස්‌තුව බවය.

අනතුරුව උන්වහන්සේ ආනන්ද හිමියන් විසින් ශ්‍රී මහා බෝධියේ බිජුවටකින් ගෙන දෙව්රම් වෙහෙර ප්‍රධාන දොරටුව අභියස රෝපණය කරන ලද ඒ බෝධි මූලයෙහි මුළු රැයක්‌ම සමවත් භාවනාවෙන් වැඩසිටිමින් එය පූජනීයත්වයෙනුත් පූජනීයත්වයට පත් කළේ යෑයි කියෑවෙයි.

ජය ශ්‍රී මහා බෝධියේ ශාඛාවක්‌ ශ්‍රී ලංකාවට වැඩම වීමේදී ඒ මහා පුන්‍ය පරිත්‍යාගය සිදුකරන අශෝක අධිරාජ්‍යයා මුහුණ පෑ බලවත් ගැටලුවක්‌ විය. එනම් මහා බෝධියෙන් ශාඛාවක්‌ සිඳින්නට රාජ නියෝගයකින් හෝ එකඟකර ගන්නට හැකි කෙනකු මුළු මහත් දඹදිවම නොසිටීමය.

අවසානයේදී එය යථාර්ථයක්‌ බවට පත්වූයේ මොග්ගලී පුත්ත තිස්‌ස මහරහතන් වහන්සේගේ උපදේශයක්‌ අනුව සිදුකෙරුණු ඓශ්චර්යවත් ක්‍රියාවකින් අනතුරුව බව මුළු මහත් රජරට වැසියෝම දැනසිටියෝය.

අතරින් පතර වැටෙන සඳ එළියෙන් දිදුලන පොරෝතල කීපයක්‌ වරෙක නැවතෙමින්ද වරෙක ඉක්‌මන් ගමනක යෙදෙමින්ද මේ ගමන් කරමින් තිබෙන්නේ ඒ උතුම් වෘක්‌ෂය කරාය.

හොඳින් මුවහත් දිගු පොරෝද කෙටි පොරෝද රැගත් මිනිස්‌සු මුවපටකින් මුහුණු ආවරණය කොට සිටියහ. මුනකොන්තායුධ රැගත් සිව්දෙනෙක්‌ ඔවුන් සමඟ පිටුපසින් පැමිණියේ ඔවුන්ගේ ආරක්‍ෂාවට විය යුතුය.

ඔවුහු ඓතිහාසික බෝධි වෘක්‌ෂයත් මහා විහාරයත් වෙන් කෙරෙන ගල්බැම්ම දිගේ දිව ආහ. අඳුන් දිවියන් දිව එන කලෙක මෙන් ඔවුන්ගේ පා වලින් හඬක්‌ නොනැගිණ.

ඊළඟ මොහොතේ බෝධිඝරයේ කෙටි බැම්මෙන් ඇතුලට පිනූ ඔවුහු පිරිසේ නායකයා යෑයි සැලකිය හැකි තැනැත්තා දුන් සංඥාවකට අනුව සෙල් රූ මෙන් නිසල වූහ.

ඔවුන් දෙනෙත් අභියස මේ තිබෙන්නේ සුළඟට ලෙළ දෙමින් එකම රිද්මයානුකූල හඬක්‌ නගන සදාහරිත පත්‍රයන්ගෙන් සුසැදි මේ ලෝකයේ උතුම්ම වෘක්‌ෂයය. මිනිසාගේ විශිෂ්ටතම දාර්ශනික සොයා ගැනීමක ජීවමාන සංකේතයය.

⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆

භට්‌ටාර හරිචන්ද්‍ර ජිමුතවාහන ගේ අප්‍රවේශම් සහිත අත වැදී රන් බඳුනක්‌ පෙරළී ගියේය. නොසන්සුන්තාව මොහොතකට සමනය කරගනු වස්‌ ඔහු තම මුඩු හිස අතගෑවේය. මුඩු හිස මුදුනේ ඉතිරි කරන ලද වැඩුණ කෙස්‌ රොදෙහි හෙවත් චූඩාවෙහි වැදීමෙන් අනතුරුව එය නතර විය.

තම වමතෙහි රැඳුණු දීප්තිමත් පහන, දහදියෙන් තෙමුණු මුහුණෙන් ඈතට කර අල්ලාගත් භට්‌ටාර රාජ භාණ්‌ඩාගාරය සිසාරා බැලුවේය.

එහි තැනින් තැන දිස්‌වන රන් භාජනද, රිදියෙන් සහ මානික්‍යයෙන් වැඩදැමූ නොයෙකුත් භාණ්‌ඩද තමා දෙස වියරුවෙන් මෙන් බලාසිටින්නේ යෑයි ඔහුට සිතුණේය.

"මා දුවන්නේ මිථ්‍යාවක්‌ පසුපසද?"

ඔහු එසේ සිතුවේ නැත, එහෙත් එසේ සිතීමට ආසන්නයේ සිටියේය.

⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆

ශ්‍රී මහා බෝධියට පහරදීමට පැමිණි චෝල "මරවර්" සෙබල මුළුවේ ප්‍රධානි කුක්‌කිරාමම් තම පිරිස බෝධිය වටා පෙළගැස්‌වීය. මෙතැනදී කිසිවෙකුත් තම තමන්ගේ හඬ අවදි නොකළ යුතුයෑයි සැලැස්‌මේදීම උපදෙස්‌ ලැබී තිබුණේ බෝධියේ නිල ආරක්‍ෂකයන්ගෙන් එල්ල වන ප්‍රතිප්‍රහාරයකට ඔවුන් සූදානම්ව සිටිය යුතු බැවිනි.

එහෙත් එවැන්නක්‌ සිදුනොවූ බැවින් කුහන් නමැති සෙබලා තුළ වූ සතුට ඔහු දොඩමළු කරවන තරම් විය.

"මහා පුදුමයක්‌"

"මොන පුදුමයක්‌ද බොල"

කුක්‌කිරාමම් ද නිහඬතාව බිඳහලේය.

"කෝ මේක මුරකරන කඩුගන්නලා උන්ටික ?"

"ඒ ගැන කරදර මොකටද උන් රෑ සැණකෙළියට යන්න ඇති"

"එහෙනං පටන් ගනිමු"

"පොඩ්ඩක්‌ හිටින් තවම සංඥව නැහැ"

කුක්‌කිරාමම් කීවේ මඳක්‌ සැරෙනි.

⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆

"මා දුවන්නේ මිථ්‍යාවක්‌ පසුපසද?"

භට්‌ටාර හරිචන්ද්‍ර ජිමුතවාහන හෙවත් එළාර රජුගේ රාජ්‍ය උපදේශක පුරෝහිත මෙවර තමන්ට ප්‍රකාශ කොට ගත්තේ හඬ නගාය. ඉතා දීර්ඝ වෙලාවක්‌ යමක්‌ නොඉවසිලිමත් ලෙස සෙවීමේ වෙහෙස ඔහුට ඔහුගේ කටහඬ තුළින්ම දැනිණි.

ඔහු සිටියේ ඔහු විසින්ම නිදහසේ අවුල්කරන ලද බඩු භාණ්‌ඩ එකතුවක්‌ ඉදිරිපිටය.

"මිථ්‍යාවක්‌ නැතිව ජීවත්වෙන එක මේ රටේ උන්ට බතක්‌ නොකා ඉන්නව වගේ වැඩක්‌. ඒවා ඇත්තදැයි හොයන්ඩ යන එක තමයි අපි අපිටම කරගන්න විකාරේ."

භට්‌ටාරයෝ හදිසියේම පසෙක මුළුගන්වා තිබූ කුඩා ප්‍රමාණයේ දාගැබක්‌ වැනි යමක්‌ දුටහ. දේවානම්පියතිස්‌ස රජුගේ පටන් මේ දක්‌වා මේ මාළිගය පරිහරණය කළ කිසිවකුත් මෙබඳු සංකේතමය වස්‌තුවක්‌ මකුළු දැල් බැඳෙන්නට ඉඩහැර මුල්ලකට අතහරින්නේ නැත. එහෙත් සූරතිස්‌ස රජු මරා දමා මේ මාළිගය අල්ලාගත් සේන හා ගුත්තික රජවරුන් අතින් එවැන්නක්‌ විය නොහැකිද?

කුඩා දාගැබ අතට ගත් භට්‌ටාරට එය රන්කරඬුවක්‌ බව වැටහී යැමට එතරම් කාලයක්‌ ගියේ නැත.

"මං හිතන්නෙ අශ්ව වෙළෙඳ දෙබෑයන්ගෙන් පස්‌සෙ මෙහෙ හිටපු අසේල රජ්ජුරුවො වුණත් මේක දකින්න නැතුව ඇති."

මේ නොයෙක්‌ දේ කල්පනා කරන අතරේ භට්‌ටාර කරඬුව කැරකුවේය.

එය දෙකට ගැලවිණි.

කරඬුවේ දාගැබ වන් කොටස පසෙකින් තැබූ භට්‌ටාර කරඬුව තුළ රෝල්කොට තිබූ යමක්‌ ප්‍රවේශමෙන් එළියට ගත්තේය.

එය රන්පතකි.

එසේම, ක්‍රිස්‌තු පූර්ව තෙවන සියවසට අයත් ලක්‌දිව බ්‍රාහ්මීය අක්‌ෂරයන්ගෙන් සටහන් තබන ලද ලියෑවිල්ලකි.

එහි අර්ථය මෙසේය.

"රත්නමාලී මහා දාගැබ ගොඩනංවන මාගේ මුනුපුරු දෙවනපිය ගාමණී අබය නම් මහරජුට ඉඩහසර පිණිස දෙවනපිය තිස්‌ස මහරජු වන මම ඒ සඳහා සීමා, මායිම් සළකුණු කළෙමි."

හොඳටම තිගැස්‌සුණු හට්‌ටාරට මේ මොහොතේ තමාට තම මුහුණ කැඩපතකින් බලාගැනීමට තිබුණේ නම් කොපමණ හොඳදැයි වශයෙන් වන විකාර සිතිවිලි මාලාවක්‌ පහළ විය.

"හරි වැරදියි" 

ඔහු තමාටම කියා ගත්තේය.

"රජවරු සිටින්නේ අනාගතයේ වන දේවල් රන්පත් ඉරුවල ලියන්න නොවෙයි. හොඳින් රාජ්‍ය විචාරා සෑහෙන තරමේ ප්‍රසිද්ධියකින් යුක්‌තව මරණයට පත්වෙන්න."

⋆     

ක්‍රිස්තු පූර්ව දෙවන සියවසට පෙර පටන්මත් අනුරාධපුරය ඉතා ප්‍රසිද්ධ නගරයක්‌ සේම ජනප්‍රිය නගරයක්‌ වශයෙන්ද ග්‍රීසිය සහ රෝමය වැනි ඉතාම ඈත රාජ්‍ය කරාද පැතිරුණු නමක්‌ හිමිකරගෙන සිටියේය. එය ඉතා බලසම්පන්න වෙළෙඳ පුරවරයක්‌ වශයෙන් නොහඳුනන මහා වාණිජ්‍යයෝ කිසිවකුත් මෙකල්හි මේ කලාපයේ නොවූහ.

ජාත්‍යන්තර වෙළෙඳ ගමන් මාර්ගයක නොවරදින හා මඟහැර යා නොහැකි නොනිඳන තොටමුණක්‌ වූ එය, ස්‌ථාවර දේශපාලන බල මධ්‍යස්‌ථානයක්‌ වශයෙන්ද විදේශින්ගේ විශ්වාසයට ලක්‌වූ එකක්‌ විය.

යටත් පිරිසෙයින්, ස්‌වකීය ගම්භීර ඇතුළු නුවර ප්‍රකාරයෙන් පිටත පිහිටි ද්වාරග්‍රාම දෙකක්‌වත් මෙහි දිවා රාත්‍රි වෙළෙඳ මධ්‍යස්‌ථාන විය.

මින් එකක්‌ හඳුන්වන ලද්දේ කාලසුමන වෙළෙඳ ග්‍රාමය නමින් වූ අතර අනෙක මහ බතික වෙළෙඳ ග්‍රාමය විය.

අප දැන් සිටින්නේ කාලසුමන වෙළෙඳ පළේය. මේ රාත්‍රි කාලයයි.

සල්පිලේ කුඩා එහෙත් අලංකාර මණ්‌ඩපයක්‌ මත අතිශය ශාංගාරාත්මක නර්තනයක යෙදෙන නාටිකාංගනාවකි.

නර්තනයට සංගීතය සපයන වාදකයන් අත පැරැණි බෞද්ධ යුගයේ ඉන්දියානු වීණාවද, රන් සින්නම්, රිදී සින්නම්, සක්‌සින්නම්, වැනි ඉපියා දෙකේ නළා වර්ගද තිබේ. වස්‌කුළල් සහ යතුරු කුළල් වැනි බටනළා වර්ගද තිබේ.

සුරාවෙන් මත්වී සිටින රෝමානුකයෙක්‌ අත හාප් එකකි. එහෙත් එතැන ඇති කිසිඳු බෙර වර්ගයක්‌ කිසිවකු විසින් වාදනය කරනු නොලැබේ.

"ජසීරත් අල්යකුත් (රත්නදීපය) කෝ නුෙඕ බෙර" 

යෑයි පවසමින් අරාබියෙක්‌ තමා අසල ඇති කරඩි බෙරයකට තට්‌ටුවක්‌ දැමීමට උත්සාහ කරන්නේ ඒ නිසාය.

එහෙත් බෙරකරුවෝ බෙර නොවයති. අරාබියා යළිත් කුම්භ බෙරයකට හෝ බුම්මැඩියකට හෝ තලන්නට සැරසුණු කල්හි බෙරවායෝ එයද වළක්‌වති.

"මේක මහා උමතුවක්‌ නේ, නාදය තියෙනවා, තාලය නැහැ."

යම් රහසිගත රාජකාරියකට අදාලව කටයුතු කරන බව පෙනෙන සේන නමැති එළාර රාජ්‍ය සභාවේ සුළු සෙනෙවියා විසින් බෙර වැයීම සඳහා දැන් සංඥාව ලබා දෙන්නේ අරාබියාගේ පෙරැත්තය නිසා නොවේ.

මහ හඬින් බෙර වැයේ. අනෙකුත් සංගීත භාණ්‌ඩද උත්කර්ෂවත් ලෙස වැයෙන අතර නර්තනය ද මහ ජයටය.

⋆      

ඈත කාලසුමන වෙළෙඳ සල්පිල පැත්තෙන් ඇසෙන බෙර හඬින් උදම්වන කුහන්, කුක්‌කිරාමම් දෙස බලයි.

"අන්න බෙර ගහනවා"

කුක්‌කිරාමම් සිටියේ තමන්ට හදිසියේ දැනුණු කුමක්‌දෝ අනතුරක ඉවකිනි.

එහෙත් බෝධිය අසල වැලිමළුවේ වැලි අතර සිදුවෙමින් පවතින විපර්යාසය ඔහු දුටුවේ නැත.

කිසිදු හඬක්‌ නොනැගෙන සේ යම් සර්ප විශේෂයක්‌ මෙන් බඩගාමින් ඉදිරියට ඇදෙන පිරිසක්‌ වැලිමළුවේ වැලි අතර සිටිති. හඳුනාගත නොහැකි වනසේ අඳුරු වර්ණ වලින් මුහුණු පාටකරගත් ඔවුන් බැලූ බැල්මට රකුසන් වැනිය, නැත, වලසුන් වැනිය.

"අන්න බෙර ගහනවා" 

කුහන් යළිත් කීවේය.

"හොඳයි එහෙනං පටන් ගනිල්ලා."

කුක්‌කිරාමම් අණ දුන්නේය.

බෝධියට පහර දෙනු පිණිස සියල්ලෝම එකවර පොරෝ ඔසවති. නගරය දෙවනත් කරන බෙරහඬ නිසා පොරෝ පහර වදින ශබ්දය කිසිවකුට නෑසෙනු ඇත.

එහෙත්, මේ වනවිට වැලි මතුයෙහි බඩ ගා පැමිණි අය හරියටම පොරෝ කරුවන්ගේ දෙපා අසලය. ඔවුන්ගේ දෑත් යකඩ දඬු බඳුය.

ඒ ශක්‌තිමත් දෑත් විසින් ඊළඟ මොහොතේ පොරෝ කරුවන්ගේ දෙපා දැඩි ග්‍රහණයකට හසුකරගන්නා අතර නිමේෂයක්‌ ගතවීමට පෙර ඒ සියල්ලන්ම කපා හෙලූ ගස්‌ බවට පත්කරනු ලැබේ. ඔවුන් අතින් ගිළිහුණු පොරෝ තන්හි තන්හි වැටෙන අතර කිසිවකුට ඒවා නැවත ලබාගැනීමට හෝ ඒවාට සමීප වීමකටවත් ඉඩ නොලැබෙන්නේ සර්පයන් මෙන් පැමිණි උන් වළසුන් මෙන් මරවර් වරුන්ගේ සිරුරු මතට පැන සිටින නිසාය.

මූනකොන්තායුධ රැගත් අය ඒවාද සමඟ ඔසොවා විසිකෙරෙන අතර අහම්බයකින් මෙන් ගැලවෙන කුහන් දකින්නේ තමන් කිසිදිනෙක දැක තබා අසාවත් නැති ආයුධ රහිත පහරදීමක අතිබිහිසුණු දර්ශනයකි. රාක්‌ෂස අංගම් කරුවකුගේ ලිස්‌සා ගිය ග්‍රහණයෙන් යන්තම් පණ බේරා ගත් කුහන් මහා විහාර පවුර දිගේ වේගයෙන් දිවයන්නේය.

රාක්‍ෂස අංගම් කණ්‌ඩායමේ නායකයා හෙවත් නන්දි විසින් ඒ දකිනු ලැබේ.

විශ්මය ජනක වේගයකින් පවුර වෙතට පනින නන්දි කුහන් ලුහුබඳියි.

ඒ වැඩිවෙලා කළ ලුහුබැදීමක්‌ නොවේ. වළසකු මෙන් කුහන් වෙතට පනින නන්දි ඔහු ද පෙරළාගෙන මහා විහාර පවුරෙන් පහළට වැටේ.

කුහන් මරළතෝනියක්‌ නගයි. මහා විහාරයේ කුටියක බණපොත් වනපොත් කරමින් සිටින තරුණ භික්‍ෂූන් වහන්සේ දෙනමක්‌ ශබ්දය ආ දෙසට තම අවධානය යොමු කරති.

දරුණු ලෙස තුවාල ලබා අඩපණව සිටින කුහන් වෙතට පැමිණෙන, ඇද වැටීම නිසා කිසිදු තුවාලයක්‌ නොලැබූ නන්දි කුහන් වෙතට සමීප වෙයි.

නොයෙකුත් සුනු වර්ග, මැලියම් වර්ග මඩ වර්ග මිශ්‍රකොට තැනූ වර්ණ බදාමයන්ගෙන් වසංකරනු ලැබූ නන්දිගේ මුහුණ ඔහු තමාට සමීපවත්ම කවුදැයි නිවැරදිව හඳුනා ගැනීමට කුහන්ට අපහසු වන්නේ නැත.

"මේ නන්දි එළාර රජතුමාගේ විශේෂ ප්‍රහාරක අංශයක්‌ භාරව සිටින මිත්‍ර සෙනවිතුමාගේ නැගණියගේ ස්‌වාමි පුරුෂයා."

නන්දි හඳුනාගැනීම නිසා පහළ වූ අධික භීතියෙන් කුහන් ගොඩ දැමූ මසකු මෙන් වේගයෙන් ගැහෙන්නට වෙයි.

ශූර මරවර් සෙබළයකු වූ කුහන් රාක්‍ෂස අංගම් ශිල්පය නොදැන සිටියද. අනුරාධපුරයේ රහසිගතව ක්‍රියාත්මක වන මේ සුවිශේෂ සටන්කරුවන් පිළිබඳව වූ බොහෝ දේ දැන සිටියේය.

ඉතා අතීතයේ පටන්ම දේශීය රාක්‍ෂස ගෝත්‍රික ජන කණ්‌ඩායම් අතරට පමණක්‌ සීමාවී තිබූ මෙම සටන් ක්‍රමයේ ඉතා ප්‍රකටම ලක්‍ෂණයක්‌ නම් තම ප්‍රතිවාදීන් එක්‌වරම දෙපයින් අල්ලා ඔසොවා පොළොවේ ගැසීමය. ප්‍රතිවාදියා තම යකඩ බඳු දෑත් වලට අසුවන අසූවන තැනින් ඇද ඉරාදැමීම එහි අනෙක්‌ ලක්‍ෂණය වෙයි. කොහොමටත් වෘත්තීය සටන්කරුවන් වූ ඔවුන්ගේ එක්‌ පාරම්පරික ගම්මානයක්‌ වූයේ නැගෙනහිර කන්දරාජියය. අනුරාධපුර රාජ්‍ය විචාළ ඕනෑම දේශීය රජකුට මහත් හිත පක්‍ෂපාතීව කටයුතු කළ මේ නිර්භීත මිනිස්‌සු, අසේල රජු ආක්‍රමණික එළාර රජුට පරාජය වීමත් සමඟ රාජ්‍ය සේවය හැරදා යටිබිම් ගත වූහ.

එහෙත්, ඔවුන් අතරින් එකම එක මිනිසකු පමණක්‌ එසේ නොකළේය. ඔහු එළාර රජු සමඟ එකතු වූවා පමණක්‌ නොව ස්‌වකීය දස්‌කම් විස්‌කම් නිසාම එළාර නව ආරක්‍ෂක ව්‍යහයේ ඉහළම සෙනෙවි තනතුරක්‌ද ලද්දේය.

ඔහු නමින් මිත්‍රය.

නන්දි යනු මිත්‍රගේ සොහොයුරියගේ ස්‌වාමි පුරුෂයාය.

"තා මා හැඳින්නාද?"

නන්දි කුහන්ගේ කණට කර ගුගුලේය.

"නැහැ"

විපතකට පත්වූවකුගෙන් ඇසුණු හඬ ආ දෙස බලමින් භික්‍ෂුන් දෙනම ආරාමයෙන් පිටතට පිවිසෙති.

"මා ඉරා දමන්නට එපා, ඔබට ඕනෑ කාරණය මා කියන්නම්."

කුහන් වෙව්ලන තොල්පටවල් පිළිවෙළකට තබා ගැනීමට උත්සාහ කරමින් පැවැසුවේය. ඒ වනවිටත් තම සුරත විසින් සොයාගෙන තිබූ කුහන්ගේ දකුණු පයේ මැද ඇඟිල්ල වටා පිහිටි මර්මය හෙවත් තාලහෘදය මර්මයට යෙදූ පීඩනය ළිහිල් කළ නන්දි ඔහුට කතා කරන්නට ඉඩහළේය.

"අපව එවුවෙ භට්‌ටාර හරිචන්ද්‍ර ජිමුතවාහන තුමා......"

කුහන් තව බොහෝ දේ කියන්නට උත්සාහ කළමුත් ඊට සවන්දීමේ උවමනාවක්‌ නන්දිට නොතිබුණේය. නැතහොත් මේ ඒ සඳහා කාලය නොවීය. එහෙයින් හේ කුහන් අමතා මෙසේ කීවේය.

"ඇති මැරෙන්ට ලැහැස්‌ති වෙයං"

"එහෙමයි"

භික්‍ෂූන් වහන්සේ දෙනම විමසිල්ලෙන් ඈත් මෑත් බලමින් තමන් වෙත පැමිණෙනු කුහන් විසින් හදිසියේම දකිනු ලබන්නේ මේ අතරය.

"අනේ හාමුදුරුවනේ මාව බේරාගන්ඩ"

කුහන් තමන් දන්නා ශබ්දයෙන් කෑගසන්නේය.

භික්‌ෂූන්වහන්සේ දැක පහරදීම නතර කරන නන්දි සැණෙකින් අඳුරට වැදී නොපෙනී යන්නේය.

තව සුළු මොහොතකින් අඩපණයා වෙතට පැමිණෙන භික්‍ෂූන් වහන්සේ ඔහු වත්තම් කොටගෙන ප්‍රථමාධාර සඳහා ආරාමය තුළට රැගෙන යනු ඇත.

ඉක්‌බිති එහි රැස්‌වන භික්‍ෂූන්ට ඔහු සත්‍ය සඟවා ඔවුන්ගේ අනුකම්පාව ලබාගනු ඇත.

එදින රාත්‍රියේම හෝ පසුදා අළුයම හෝ බෝධිය අසලට යන කිසිවකුත් බෝධියට පහර දීමට පැමිණි කිසිදු "මරවර්" වරයකුගේ මළ සිරුරක්‌ හෝ, පොරෝ තලයක්‌ හෝ තබා අවුල්වී ගිය වැලිතලාවක්‌වත් නොදකිනු ඇත.

ඒ තමා නන්දි.

⋆      



වර්ෂ 2010 ජනවාරි දහහත් වන ඉරිදා, දිවයින ඉරිදා සංග්‍රහයෙන් උපුටාගත් මෙම මහරජ ගැමුණු සිනමා තිර රචනයේ නවකතා පරිවර්තනය දෙවන කොටස ක්‍රි.ව. 2016 ක් වූ දෙසැම්බර් මස විසි වන දින පූජිත විසින් සටහන් කරන වගයි...



No comments:

Post a comment