Saturday 24 December 2016

12 කොටස - කාලවාදියා

සියල්ලෝම කෝපයෙන් පිටවයන රජුට ආචාර කරනු වස්‌ කඳින් නැමී සිටියෝය. 

විහාර මහා දේවිය මහත් ශෝකයෙන් හා ලජ්ජාවෙන් පසුවන ගාමණී අබය වෙතට පැමිණ ඔහු තුරුල්කොට ගත්තීය. 

සාමාන්‍යයෙන් රජු ඉදිරිපිට ඔහුගේ අදහස්‌ සමග සෘජු ලෙස ගැටෙන්නෝ නොසිටිති. ගාමණී අබය රජු සමග ගැටුණ ප්‍රථම අවස්‌ථාව මෙය නොවේ. ඊට ප්‍රතිචාර වශයෙන් ඔහුට අවවාද කෙරුණ ප්‍රථම අවස්‌ථාවද මෙය නොවේ. එහෙත් තම කෝපය හුදු වචන මාත්‍රයෙන්ම ප්‍රකාශ කරනු විනා කාවන්තිස්‌ස රාජ කෝපය කිසිදු විටෙක ගාමණී අබයගේ ජීවිතය උඩින් ගලාගියේ නැත. 

ඊට එකම හේතුව තම අතිසංවේදී අතිජාත පුත්‍රයා කෙරෙහි ඔහු තුළ පැවැති අප්‍රමාණ සෙනෙහස පමණක්‌ නොවේ. ගාමණී අබය යනු කලක්‌ තිස්‌සේ නිද්‍රාවට පත්කරනු ලැබූ සහ සාමය නමැති උතුම් වදනින් යම් වංචාවකට හසුකරනු ලැබූ මනුෂ්‍ය සමාජයක්‌ අවදි කරවීමේ කුරුලු ගීතය ද වූ බව ඔහුට දැනී තිබුණ නිසාය. ආක්‍රමණිකයා යම් දිනෙක රජරටින් පලවා හරින්නා ද අන් කවරකුවත් නොව තම පුත්‍රයා බව ඔහු හොඳාකාරවම දැන සිටියේය. එහෙත් ඔහු කාලවාදියකු විය. කාලවාදියා යනු කාලය විසින් සියලු ප්‍රශ්න විසඳාලන්නේ යෑයි අත පය හකුලා බලාසිටින්නා නොවේ. කාලය විසින් තමන් වෙනුවෙන් වෙන්කරනු ලැබූ කාර්යභාරයන් ඉතාම සියුම් ලෙස අවබෝධකොට සිටින්නා ය.

අති දක්‌ෂ සතුරනට වුව ද බොහෝවිට කාලවාදියෝ නොපෙනෙති. තමන්ට තර්ජනයක්‌ විය හැකි පසමිතුරා කල්තබා විනාශ කිරීමේ ක්‍රමයක්‌ අනුගමනය කරන රාජ ධර්මයකට අයත් සතුරාට වුව ද කාලවාදියා පෙනෙන්නේ නිශ්ක්‍රීය මිනිසකු වශයෙනි. එහෙයින් හැමවිටම ඔහු විසින් කාලවාදියා නොතකා හරිනු ලබයි. ඔහු නිකමකු වශයෙන්ද සළකනු ලබයි.

එළාර රජ්ජුරුවෝ ද කාවන්තිස්‌ස රජු වෙතින් මේ විශිෂ්ට කාලවාදියා නොදුටුවෝය. එහෙත්, කාවන්තිස්‌ස රජ්ජුරුවෝ එළාර රජු පිළිබඳව වන සියලු කාරණා ඊට අදාළ සියලුම සියුම් තත්ත්වයන්ගෙන් වටහාගෙන සිටියහ. එහෙයින්ම හේ මේ අති සියුම් බලවන්ත මිනිසා සමග ගැටෙන්නට නොගියේය. ඒ වෙනුවට ඔහු සමග ගැටෙන්නට හැකි මිනිසා ශක්‌තිමත් කළේය. එහිදී තමා විසින් කළ යුතු පළමු සහ වැදගත්ම කාර්යය වශයෙන් ඔහු සැලකුවේ ඒ ගැටෙන්නට හැකි මිනිසාගේ ආරක්‌ෂාවය. පෙනෙන්නට නොතිබුණ ද යුද්ධය ආරම්භවී දැන් බොහෝ කාලයක්‌ ගතවී ඇති බව ඔහු දැනසිටියේය. එහෙත් ඒ බව කාවන්තිස්‌ස රජු ම විනා ඔහුගේ අමාත්‍ය මණ්‌ඩලයේ බොහෝ දෙනා ද නොදැන සිටියහ. එහෙයින් රජු වනා හි යුද්ධයට එරෙහි සත්ත්වයෙක්‌ යැයි කල්පනා කළ ඔවුහු ද හැමවිටම 'ගඟෙන් මෙහා අපට ප්‍රමාණවත්' යැයි ද යුද්ධය වනාහි තන්හාවට ගොස්‌ සියල්ල නැතිකර ගැනීමේ මාර්ගය යැයි ද ප්‍රසිද්ධියේ ම ප්‍රකාශ කළෝය. 

වරක්‌ මහානන්ද නමැති අමාත්‍යවරයා ප්‍රකාශ කළේ යුද්ධයට මිනිසුන් පොළෙඹවන කිසිවකු මනුෂ්‍යයකු නොවිය හැකි බවය. පසුව මහානන්දගේ අදහස රජරට රාජ්‍යයට ද සැලවූ අතර මහානන්ද වනාහි රුහුණු රාජ්‍ය සභාවේ සිටින ශ්‍රේෂ්ඨතම පඬිරුවන වශයෙන් තමා සලකන බව ද එවැන්නන් රාජ්‍යයන් අතර හා මනුෂ්‍යයන් අතර සැබෑ සාමය ගොඩනඟන්නන් සේම රාජ්‍යයන් අතර හොඳ හිත පතුරවන අවිහිංසාවාදීන් වශයෙන් තමා සලකන බවද භට්‌ටාර හරිචන්ද්‍ර රජරට රාජ්‍ය සභාවේදී ප්‍රකාශ කොට සිටියේය. 

ඊට ප්‍රතිචාර වශයෙන්ම නොවූවත් කාවන්තිස්‌ස රජුගේ අමාත්‍ය මණ්‌ඩලය තුළ ගාමණී අබය කෙරෙහි එතරම් පැහැදීමක්‌ නොවිණි. එසේම, ඊට විකල්ප වශයෙන් හැමවිටම තිස්‌ස කුමරුවා ඔවුන් අතර කතාබහටත් ගෞරවයටත් පාත්‍ර කෙරිණි. 

එහෙත්, දසමහ සෙනෙවියෝ එසේ නොවූහ. ඔවුහු කාවන්තිස්‌ස රජු බලාපොරොත්තු වූ පරිදිම ගාමණී අබය වෙනුවෙන් පණ පිදීමට වුව සූදානම්ව සිටියහ. වේළුසුමන තවමත් කාවන්තිස්‌ස රජුගේ මහ සෙනෙවියා වශයෙන් ක්‍රියාකළ ද ඔහු අතරත් අනෙත් සෙනෙවිවරුන් අතරත් ඒ සම්බන්ධයෙන් වූ ප්‍රතිපත්තිමය වෙනසක්‌ නොතිබිණි. 

වේළුසුමන එතැනින් කරබාගෙන පිටව යනු දුටු ථෙරපුත්තාභය ද සුරනිමල ද කංචදේව ද ඔහු අනුගමනය කරමින් සෙමෙන් සෙමෙන් එතැනින් පිටව ගියේය. අනෙක්‌හු ද එසේ කළෝය. එහෙත් ගෝඨයිම්භරත් නන්දිමිත්‍රත් තව මොහොතක්‌ එතැන රැඳිණි. 

ඒ කිසිවකු කෙරෙහි තම අවධානය යොමු නොකොට තවමත් කුඩා දරුවකු මෙන් මවට තුරුළු වී සිටින ගාමණී අබයගේ අවධානය දැන් යොමුවී පැවතුණේ තම බොඳ වූ දෙනෙත් අතරින් කිසියම් විකාර රූපී විලාශයකින් පෙනෙන මව සුරතේ පැළඳ සිටින ස්‌වර්ණා භරණ කෙරෙහිය. 

⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆

"තක්‌මන්කම කිසිදු විශිෂ්ට කුමන්ත්‍රණයකට සේවය නොසලසයි"

එළාර රජ්ජුරුවෝ කෝපයෙන් ගුගුරමින් ප්‍රකාශ කළෝය. 

තවුස්‌ අසපුවකට සමාන භට්‌ටාරගේ චාම් පිරිසිදු කුටිය දැන් යකුන් නැටූ සොහොන් පිටියක්‌ බවට පත්ව තිබේ. ඒ එළාර තමා අතට හසුවන සියලුම දැයින් භට්‌ටාරට පහරදී ඇති හෙයිනි. 

ඒ සියල්ලටම මුහුණ දෙනු විනා ඉන් වැළකී සිටීමට කිසිදු උත්සාහයක්‌ නොගත් නිසාදෝ භට්‌ටාරගේ දෙතොල් පැලී රුධිරය වහනය වෙමින් තිබෙන අතර ඔහුගේ මුඩු හිස ද තැනකින් දෙතැනකින් ගෙඩි ගැසී තිබේ. 

"ගාමණී අබය ඝාතනය වනවා නම් ඒ මට දොස්‌ නොපැවරෙන කුමන්ත්‍රණයකින් විය යුතුයි. සටන් පුහුණුවකදී අත්වැරදීමකින්, එහෙමත් නැතිනම් ගාමණී - තිස්‌ස අතරවන ගැටුමකින්, තා කළ ආකාරයේ නීච කුමන්ත්‍රණ මට සෙතක්‌ සලසන්නේ නැහැ"

භට්‌ථාර හ්ම් ශබ්දයක්‌වත් නොනඟයි. 

"ජීවග්‍රහයෙන් උන් අතට පත් කෝඳුරුවාත් උගේ භාර්යාවත් දැන් විනාශ කරන්නේ මගේ කීර්තියයි"

වේගයෙන් ඔබ මොබ ඇවිදීම නතර කළ එළාර සෙමෙන් භට්‌ටාරයේ මුහුණ වෙතට ළංවී ඔහුගේ දෙතොල් පුපුරා ගලන රුධිරය තම සුදෝ සුදු සළුවෙන් පිස දැමුවේය. 

"තගේ නීච කුමන්ත්‍රණයෙන් ගාමණී අබය මළා නම්?"

මෙතෙක්‌ වේලා නිහඬව සියල්ල ඉවසමින් සිටි භට්‌ටාර ශබ්ද පුරවන්නට පටන් ගත්තේය. 

"මොන කුමන්ත්‍රණයෙන් ඒක සිද්ධ වුණත් එතකොට මහා මේඝ වනයේ අර හැදෙනවාය කියන දාගැබ නොහැදෙයි...... ඒ දාගැබ හදන රජෙක්‌ මේ අනුරාධපුර රාජ්‍යයේ බිහි නොවෙයි...... ඔබට නැවත උරියාවට හෝ චෝළ දේශයට හෝ පලායන්නට සිදු නොවෙයි. තවත් මා සිරුරේ රුධිරය සොලවන්න, මට දොස්‌ පවරන්න, එහෙත් මා කළ දේ නිසා ලැබෙන ශාන්තියේ හිමිකරුවා වන්න"

"නමුත් මේ නිසා මට සිදුවූ අවමානයෙන් මිදීමට මා පලායා යුත්තේ කොහෙට දැයි කියනු විෂ්ණු ගුප්ත, කෞටිල්‍ය, චානක්‍ය......"

එළාර රජ්ජුරුවෝ නැවත උණුසුම් වූ කෝප වේගයෙන් කීවෝය. 

"....... නුඹලාගේ දුෂ්ටකම් නිසා ධාර්මික එළාරගේ රාජධානියේ මිනිසුන් ඔහු හැර දමා මාගමට පලායන්නට අරන්....."

ඒ තොරතුර විසින් භට්‌ටාරගේ සියලු ඉරියව් වෙනස්‌ කරනු ලැබිණි. මීට පෙරද ඔහු එවැන්නක්‌ අසා තිබේ. දැන් එළාර රජ්ජුරුවෝම ඔහුට එය කියති. 

"මා එය නවත්වන්නම්..... සත්තයි"

භට්‌ටාර, එළාරගෙන් ලැබුණු ස්‌වේත සළුවෙන්, තවමත් පිපුරුණු දෙතොලින් වහනය වන රුධිරය පිසදමමින් කීවේය.

⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆

මාගම රාජ්‍යය, රජරට රාජ්‍යය හා සම්බන්ධ කළ ප්‍රධාන මාර්ග දෙකින්, රට මැදින් වැටුණු කාසපබ්බත, විජිතගාම, මාතුල ජනපදය හරහා මලය රට මැදින් තම්බලගාමය පැන රුහුණට පැමිණෙන මාර්ගය තරමක්‌ දුෂ්කර එකක්‌ විය.

අනුරාධපුරයෙන් අටජගල්ලක දෙසට හැරී මණිසූරිය (මින්නේරිය) හරහා අඹන් ගඟෙන් එතෙරව සරෝගාම, රණමුරේ, ලංකා පබ්බත ආදී ප්‍රදේශ පසුකොට මහියංගනයේදී මහවැලි ගඟෙන් එතෙරව මහගොළුපිටිය මහා අම්බලපිට්‌ඨියංගන හරහා රුහුණට පැමිණීම වඩාත් ජනප්‍රිය සහ පහසු මාර්ගය වූයේය.

රාජ්‍ය ද්වය එකිනෙකා නොතකා සන්සුන්ව කටයුතු කළ කාලයේ ද, එකිනෙක අතර යම් නොසන්සුන්තාවක්‌ රජකළ කාලයේ ද ජනතාව වෙනසක්‌ නොමැතිව මේ මාර්ගයේ එහා මෙහා ගමන් කළහ. මේ ජනතාව අතර වැඩිවශයෙන් සිටි අය වූයේ වෙළෙඳුන්ය.

ඊළඟට වන්දනාකරුවෝත්, නෑගම් යන්නෝත් සිටියහ. ඉතාම සන්සුන් කාලයේ රාජ්‍ය නිළධාරීන් පවා ඉඳහිට මේ පසමිතුරු රාජ්‍යයන් අභ්‍යන්තරයට වන්දනාගමන් ගියහ. වරක්‌ එළාරගේ මහසෙනෙවි දීඝ ජන්තු පවා රුහුණෙන් විශේෂ අවසරයක්‌ නොමැතිව පැමිණ ශ්‍රී පාද කන්ද නැග සිරිපතුල වැඳ නිරුපද්‍රිතව ආපසු ගියේය.

එහෙත්, දැන් තතු වෙනස්‌ය. දෙපාර්ශවයේම කම්මල් වලින් දිවා රෑ වෙනසක්‌ නොමැතිව දුම් රොටු ඉහළ නගින්නටත්, ජනතාව විවිධ යුද සේනාංකවලට බඳවා ගැනීම සඳහා පිරිස් භාර සෙනෙවිවරුන් ගම් නියම්ගම් සැරිසරන්නටත් පටන්ගත් මේ කාලයේ මේ ගමන් බිමන් බෙහෙවින් සීමා කෙරිණි.

නාළිසොබ්බ, කෝටනගර, අම්බතිත්ථ වැනි බළකොටු ආශ්‍රිත ප්‍රදේශවල ප්‍රාදේශීය රජරට නායකයන් තම ප්‍රදේශවල ජනතාවට රුහුණට පැමිණීම හදිසියේ ම මුළුමනින්ම තහනම් කොට ඇතැයි ද මතයක්‌ පැතිරිණි. එය සත්‍යයක්‌ යැයි රුහුණේ මිනිසුනට වැටහුණේ මහියංගන තොටුපළෙන් ගඟෙන් මෙහාට පැමිණෙන ජනතාවගේ සංඛ්‍යාව එක්‌වරම ඉහළගිය බැවිණි.

මහියංගනය භාරව සිටි එළාරගේ ප්‍රාදේශීය නායක ඡත්ථ විසින් ඉක්‌මනින්ම මෙය වළක්‌වනු ලැබිණි. තමන්ගේ විශේෂ අවසරයක්‌ නොමැතිව අඩුම තරමේ වෙළෙඳාමේ යෙදෙන අයටවත් රෝහණ රාජ්‍ය කරා ගමන් කළ නොහැකිය යන නීතියක්‌ ඔහු හදිසියේම ප්‍රතිෂ්ඨාපනය කළේය. එහෙත් එය නොතකා පෙළ ගාමයේ සිට පැමිණි පිරිසක්‌ රාත්‍රි කාලයක ගඟෙන් මෙගොඩට පළාගියේය යන්න සැලවූ කල එසේ පලායන්නන් සියල්ලන්ටම මරණ දඬුවම හිමිවන බව දන්වා ඡත්ථ විසින් අණබෙර යවනු ලැබිණි.

⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆

ඉහින් කණින් බඩුපොදි ඔසොවාගත් පිරිස අතරේ ළමා, ලපටි, ගැහැණු පිරිමි ආදී සියලුම වර්ගවල මනුෂ්‍යයෝ සිටියහ.

ඈත අරිට්‌ඨගිරියේ සිට රුහුණට පලා එන්නන් වන ඔවුන් මහියංගනයට ආසන්න අම්බතිත්ථයේ ඥතීන් හමුවට පැමිණෙන විට දින ගණනාවක්‌ ගතව තිබිණි.

ඡත්ථගේ නීතිය ක්‍රියාත්මක වූයේ මේ අතරය.

අම්බතිත්ථයේ ඥතීන්ගේ උපදෙස්‌ පරිදි මේ කණ්‌ඩායමේ කීප දෙනකු ඡන්ථ සෙනෙවියා හමුවීමට ගියේ මහියංගනයෙන් පිටවීමේ විශේෂ අවසර මුද්‍රාව ලබා ගැනීමටය. එහෙත්, ඡන්ථ විසින් ඔවුනට අවසර මුද්‍රාව ලබා නොදුන්නා පමණක්‌ නොවේ. ඔවුන් කිසිදු චෝදනාවක්‌ නොමැතිව සිරභාරයට ද ගන්නා ලද්දේය.

සිද්ධිය සැළවූ ඉතිරි පිරිස අසල වන රොදකට පලාගිය අතර කොයි මොහොතක හෝ මහියංගනයට ගොස්‌ මහවැලි ගඟෙන් එතෙරට පලායාමේ අපේක්‍ෂාවෙන් පසුවූහ.

දින දෙකකට පමණ පසු දර කපන්නන්ගේ ආධාරයෙන් රහස්‌ මඟක්‌ ඔස්‌සේ මහියංගනයට පැමිණි ඔවුන්, රජරට රාජධානියේ මහියංගන දේශසීමාව අසල තොටුපළට ඉතා ආසන්නව සිටියහ.

⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆

තොටියා මාගම රාජ්‍යයේ වැසියෙකි. දෙගොල්ලන්ගේම දේශ සීමාවට වෙන්කෙරුණු මහවැලි ගඟේ එහා ඉවුරත් මෙහා ඉවුරත් අතර තරමක්‌ විශාල ලී පාරුවක්‌ පැදීම ඔහුගේ රාජකාරියයි.

එහා ඉවුරේ ඈත සිට යම් පිරිසක්‌ තොටුපළ වෙත පැමිණෙනූ දුටු තොටියා ඉක්‌මනින් තම දිගු රිට ගසමින් ඒ පැත්තට පාරුව පැදවූයේය.

ඒ සමඟම මිනිසුන් පැමිණෙන පැත්තේ මඳක්‌ ඈතින් අශ්ව කුරහඬ ඇසෙන්නට වූ අතර භීතියටපත් මිනිස්‌සු මහා මාර්ගයෙන් ඉවතට පැන විවිධ වල් පඳුරු අතරේ සැඟවුණහ.

අවට ප්‍රදේශය පුරාම පැතිරී යන දූලි වලාවක්‌ මවමින් ඡත්ථත් ඔහුගේ අශ්වාරෝහක භටයන් කණ්‌ඩායමත් පැමිණියහ. තමන්ට ලැබුණු තොරතුරු පරිදි පලා ආ කිසිවකු දක්‌නට නොලැබුණු අශ්වාරෝහකයෝ ඉතා විමසිලිමත් ලෙස වටපිට බැලූහ. ඒ වනවිට තොටියා තම පාරුව තොටුපළ අසලට ගෙනැවිත් තිබිණි.

අශ්වාරෝහකයන් ගණනකට නොගත් ඔහු බුලත්විටක්‌ සපමින් සිටියේය.

"දැනගං මේ රජරට රාජධානිය"

ඡත්ථ ගුගුළේය.

"එහෙමයි ආයුබෝවන්ඩ" 

තොටියා මුවපුරා කීවේය.

"එහෙනං මෙතෙන්ට වෙලා මොනවද කරන්නේ දුවපිය තොපේ රටට"

බියට පත් තොටියා පාරුව නැවත මෙහා ඉවුරට පැදවූ අතර, මෙහා ඉවුරේ සිටින මාගම දේශ සීමා භටයන් පිරිසක්‌ ද සියල්ල නිහඬව බලාසිටිනු ඔහු දුටුවේය.

කෙසේ වුවද ඡත්ථගේ පිරිස එහි වැඩි වෙලාවක්‌ ගත කළේ නැත. අසුන් හරවාගත් ඔවුන් එතැනින් පිටවී හැල්මේ ගියෝය.

ඒ සමඟම සැඟවී සිටින මිනිස්‌සු දිව ආහ. සන්ත්‍රාසයෙන්ද, නොඉවසිල්ලෙන්ද පිරුණු මුහුණු වලින් යුත් ඔවුහු ආපසු හැරී එහා ඉවුරට යන තොටියා වෙත මේ දැන්ම හඬ නගා කෑගැසීමෙන් සිදුවන අනතුර අමතක කොට සිටියහ.

"තොටියෝ මෙහෙ වරෝෘ ඉක්‌මනට වරෝ"

ඔවුන්ගේ කෑගැසීම තොටියාට සේම අසරුවන්ටද ඇසුණේය.

තොටියා වේගයෙන් පාරුව නැවත එහා ඉවුරට හරවා ගත්තාසේම අශ්වාරෝහකයෝ ද තම අසුන් ආපසු හරවා ගත්තෝය.

එහෙත්, මඳ බාධාවක්‌ ඔවුනට තිබිණි. එනම් තමන් විසින්ම අවුස්‌සා දැමූ මහා දූවිලි වලාව ඉරාගෙන වේගයෙන් පැමිණෙන්නට අශ්වයන් දැක්‌වූ මැලිකමය.

ඒ නිසා අශ්වයන්ට තලන්නටත් ඔවුනට පරුෂ වචනයෙන් බැණ වදින්නටත් අශ්වාරෝහකයන්ට සිදුවූ අතර මඳ පමාවකින් පසුව ඔවුහු යළි තොටුපළ වෙත පැමිණ සිටියහ.

ඒ වනවිට පලායන්නන් සියල්ලන්ම පාහේ පාරුවට නැග සිටි අතර තොටියා තම උපරිම ශක්‌තියෙන් හා වේගයෙන් යුතුව පාරුව රුහුණු රාජ්‍ය සීමාව කරා පදවමින් සිටියේය.

එහෙත්, පාරුව තවමත් ගඟ මැදය.

ඡත්ථගේ විධානය පරිදි අසරුවෝ සන්සුන්ව තම තමන්ගේ හියවුරු කරා සුරත් යෑවූහ.

සිදුවීමට යන අනතුර මෙහා ඉවුරේ සිට දුටු මාගම දේශසීමා ආරක්‌ෂක භටයෝ ඉක්‌මනින් පාරුව පදවන්නැයි තොටියාට කෑගැසූහ.

ඡත්ථගේ මුහුණේ මද සිනහවක්‌ නැඟිණි. මේ වූකලී තමන් අතිශය ප්‍රියකරන දුනු ශිල්පයේ විශ්ෂ්ටතාව අත්හදා බැලීමට තමන්ට ඉතාම කලාතුරකින් ලැබෙන අවස්‌ථාවකි.

තොටියා පාරුව පැදවීමට වේගවත්වන තරමටම ඔහු සන්සුන් විය. පාරුවේ වූවන් සහ එහා ඉවුරේ සිටින මාගම දේශසීමා භටයන් මරහඬ තලන තරමටම ඔහු සන්සුන් වූයේය. ඔහුගේ පිරිසද එසේම විය.

"හ්ම්"

විධානය සමඟ 'ස්‌' අනුකරණයෙන් නැගුණු එකම නාදයක්‌ එහා ඉවුරෙන් නිකුත් කෙරිණි.

හරහට වසින වර්ෂාවක්‌ මෙන් සැණෙකින් පැමිණි ඊතල සමූහය පාරුවේ වූ කිසිවකුත් නොබේරා ඔවුන් සියල්ලන් සිරුරු විනිවිද ගොස්‌ එම සිරුරු තුළම රැඳිණි. තොටියා හැර වෙන කිසිවකුගේවත් සිරුරු ගඟට නොවැටිණි. ඒවා ලී කොට පාරුවේ හැම අතම විසිරී වැටිණි.

ඡත්ථ සහ පිරිස නැවත තම දුනු උර හරහා දමාගත් අතර පැතිර ගිය නිහඬ බව මෙතෙක්‌ ලෝකයේ කිසිවිටෙක නොතිබුණු තරමේ එකක්‌ විය.

පාරුව මත මරණයට පත්ව සිටින තොටියා ඇතුළු සියල්ලන්ගේ මළසිරුරු සමඟ පාරුව මරණයේ යාත්‍රාව මෙන් මාගම් රාජධානියේ ඉවුරට පාවී ආවේය.

නිහඬතාව බිඳිමින් මාගම දේශ සීමා භටයෝ එහා ඉවුරේ සිටින ඡත්ථගේ භටයනට ශාප කළෝය.

ඡත්ථගේ භටයෝ තම ඇඳිවත් උනා මාගම භටයනට තම පශ්චාත් භාග ප්‍රදර්ශනය කළහ.

⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆

වර්ෂ 2010 අප්‍රේල් මස එකොලොස්වන ඉරිදා, දිවයින ඉරිදා සංග්‍රහයෙන් උපුටාගත් මෙම මහරජ ගැමුණු සිනමා තිර රචනයේ නවකතා පරිවර්තනය දොළොස් වන කොටස ක්‍රි.ව. 2016 ක් වූ දෙසැම්බර් මස විසි හතර වන දින පූජිත විසින් සටහන් කරන වගයි...


No comments:

Post a Comment